Image courtesy The Independent

පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම් කරන්නට වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍යන්ගේ මේ පුවත වාර්තා වූයේම නැත. එහෙත් 1999 වසරේ ටවුන් හෝල් බෝම්බ සිදුවීම (හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමින් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කල) සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනෙක් වසර 290 සහ වසර 300 බැගින් වන සිර දඩුවම් වලට යටත් කෙරුණු බව ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍යන් වාර්තා කළේය.

දඬුවම් නියම කිරීමට වසර 15, 16ක් ගත වීම/ සැකකරුවන් නිදහස් කිරීම.

සැකකරුවන් දෙදෙනා 2000 වසරේ සැප්තැම්බර් මස 18 වන දින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රිමාන්ඩ් ගත කෙරිණි.(මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊටත් පෙර විය හැකිය.) ඔවුන්ගෙන් එක් අයෙක් තමනට කෘර වද හිංසා සිදු වූ බව සිය නීතිඥවරයාට පවසා ඇත. 2000 වසරේදී දමිල ජනතාව සමුල ඝාතනයට වරදකරු ලෙස, සිද්ධිය සිදුවී වසර 15කට පසු, මෙම වසරේ මුල් බාගයේදී හමුදා නිලධාරියෙකුට මරණ දඬුවම නියම විය. මෙම සිදුවීම් දෙකේදී දඬුවම් නියම කිරීමට වසර 16ක් හා 15ක් බැගින් ගත විය. අභියාචනාවන් ඉදිරිපත් වුයේ නම් මෙම නඩු තීන්දු වීමට තවත් බොහෝ කල් ගතවීමට ඉඩ තිබුණි.

නිවැරදිකරුවන් ලෙස තීන්දු වීමට වසර 15ක් – ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ අහිංසක රැඳෙවියන්

දමිළ තෙදරු මවක වන වසන්ති රගුපති ශර්මා මහත්මිය, 2000 වසරේ ජුලි මස 27 වන දින ටවුන්හෝල් බෝම්බ සිද්ධියේ සැකකාරියක ලෙස රිමාන්ඩ් බාරයට ගෙන (අත්අඩංගුවට ගත් දිනය බොහෝ දුරට මීට පෙර දිනයක් විය යුතු නමුත් නිශ්චිත දින වකවානු පිලිබඳ වාර්තා නොවේ.) 2002 වසරේදී ඇයට විරුද්ධව අධි චෝදනා ගොනු කරන ලදී. වසර 15කට පසු ඇය නිර්දෝෂි බවට අධිකරණය විසින් තීරණය කර තිබේ. ඇය පමණක් නොව මෙම වසරේ මැයි මස නිර්දෝෂි කොට නිදහස් කෙරුණු දමිළ ජාතික ඇන්තනි චන්ද්‍රා මහත්මියද 2008 වසරේ සිට රැඳවුම් බාරයේ සිටි තිදරු මවකි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින්නන් මුහුණ දෙන ගැටළු.

මෑතකදී මා සම්බන්ධවී කටයුතු කල වාර්තාවක සොයා ගැනීම් වලට අනුව 2015 වසරේ මුල් බාගය වනවිට නඩු විභාග අවසන් නොවීම නිසා වසර 18ක් 19ක් තරම් කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ සිටින රැඳවියන් සිටින අතරම ඇතැම් අවස්ථාවලදී චෝදනා ගොනු කිරීමටද වසර 15ක් තරම් කාලයක් ගෙන තිබේ. එම වාර්තාවේ සොයා ගැනීම් වලට අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, චෝදනා රහිත දීර්ඝකාලීන රඳවා තබා ගැනීම්, දිගු කාලයක් ගත වන අධිකරණ ක්‍රියාවලීන්, එක සැකකරුවෙකුට එරෙහිව බහුවිධ චෝදනා එල්ල කිරීම්, අමානුෂීය තත්ත්ව යටතේ රඳවා තබා ගැනීම්, කෘර වදහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් පාපොච්චාරනය කරවීම් සිදු වී ඇති බව පැහැදිලි විය. එසේම දිගු කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් බොහෝ විට කෘර වදහිංසා පමුණුවමින් අමානුෂික ලෙස කල ප්‍රශ්න කිරීම් හේතුවෙන් මෙම රැදෙවියන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මට්ටමද දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇත. බොහෝ අවස්ථාවලදී එම රැඳෙවියන් නොදන්නා භාෂා වලින් ලියා ඇති පාපොච්චාරනයන්ට ඔවුන් ලවා බලහත්කාරයෙන් අත්සන් කරවාගෙන ඇත. මෙම හේතුන් නිසා බොහෝ රැඳෙවියන් සිය තාරුණ්‍යය ගත කර ඇත්තේ සිර මැදිරි තුලයි.

නිදහස ලැබීමෙන් පසුව හිරිහැරයට ලක්වීම සහ මුහුණ පෑමට සිදුවන ගැටළු

වරක “ත්‍රස්තවාදී සැකකරුවෙකු” ව සිට තිබීම කල් පවත්නා කැළලකි. අධිකරණයෙන් නිර්දෝෂී කොට නිදහස් කර තිබියදී පවා සමාජයට ඔහු හෝ ඇය තවමත් වරදකරුවෙකි/කාරියකි. නිදහස ලැබීමෙන් පසු ශර්මා මහත්මිය ජීවත් වීමට තැනක් සොයා ගත නොහැකිව කරදරයට පත් වුවාය. චන්ද්‍ර මහත්මියට ඇගේ රැකියාව යලි ලබා ගැනීම අපහසු විය. මේ දෙදෙනාගෙන් එක් අයෙකුටවත් කිසිදු වන්දියක් හිමි වුයේ නැත. රැකියාවක්ද නොමැතිව ජීවත් වීමේ මාර්ගයක් සොයා ගත නොහැකිව මේ දෙදෙනාම ජීවිතය පවත්වාගෙන යාමට දැඩි පරිශ්‍රමයක් දරයි. ශර්මා මහත්මිය රිමාන්ඩ් බාරයට පත් කල අවස්ථාවේ ඇයගේ ආභරණ බන්ධනාගාර නිලධාරීන්ට ලබා දුන්නද, නිදහස් වී පැමිණෙන විට ඇයට ඒවා යලි ලබා දී නොමැත. ඒ වෙනුවට ඒ සියල්ල නැති වී ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත.

jk

දින 362ක් කිසිදු චෝදනාවක් රහිතව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට 2015 වසරේ මාර්තු මස ඇප මත නිදහස් කල බාලේන්ද්‍රන් ජෙයකුමාරි මහත්මිය, යලිත් වරක් 2015 වසරේ සැප්තැම්බර් මස අත්අඩංගුවට ගෙන සතියක් පමණ කාලයක් රඳවා තබා ගන්න ලදී. තවමත් ඇයට විරුද්ධව චෝදනා ගොනු කර නැත. 2014 වසරේ මාර්තු මස මා සහ තවත් කතෝලික පූජකවරයෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනාවක් රහිතව නිදහස් කෙරුනේ, ජෙයකුමරි මහත්මියගේ සහ සිරබාරයේ සිටි අනෙකුත් රැඳෙවියන්ගේ තත්වයන් පිළිබඳව සොයා බැලීම යන වරදට විය යුතුය. ඉන් මස 18කට පසුවත් තවම මා සැබවින්ම නිදහස් නැත. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා වන මාගේ විදේශ සංචාර වළක්වමින් මාස 15කට බලපවත්නා විදෙස් ගමන් තහනමකට මා යටත් කර ඇත. මා හට එරෙහිව තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. මාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව තවමත් සීමා ක්‍රියාත්මක අතරම අත්අඩංගුවට ගන්නා විට රැඳවුම් භාරයට ගත් ඉලෙක්ට්‍රොනික උපාංග තවමත් මා වෙත යලි ලබා දී නොමැත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රැඳෙවියන් පිලිබඳ විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය

යම් ප්‍රකාශ කිහිපයක් හැරුණු කොට, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැදවියන් පිලිබඳ කිසිදු නිල මට්ටමේ තොරතුරක් මේ වනතෙක් ලබා දී නොමැත. අපගේ වාර්තාවෙන් සොයා බැලු රැඳෙවියන් අතරට බූස්ස සහ කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඇතුළු ස්ථාන වල රඳවා සිටින රැඳෙවියන් ඇතුලත් නොවීය.

විමර්ශන නිලධාරියෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කල සාක්ෂි සහ රහසිගත කඳවුරකදී රැඳවියන් හා කතා බහ කල මෙන්ම ඔවුනට අහාර සැපයු නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මාධ්‍ය සාකච්ඡාවන් වලදී ලබා දුන් ප්‍රකාශ අපගේ වාර්තාවෙන් විශේෂයෙන් ඉස්මතු කර තිබේ. මේවා සම්බන්ධයෙන් කර ඇති විමර්ශන සහ ඊට වගකිව යුත්තන් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න තවමත් අපැහැදිලිය.

මීට වසර 6කට පෙර අත්අඩංගුවට ගැනුණු කේ.පී. නමැති එල්.ටි.ටි.ඊ. නායකයා පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේ අගෝස්තු මාසයේදී අධිකරණයට දන්වා ඇත. තමන් එල්.ටි.ටි.ඊ.යට සම්බන්ධව කටයුතු කල බවට කේ.පී. විසින්ම ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යයේ දක්නට ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රජයේ නිල ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රකාශ වුයේ හෙතෙම ත්‍රස්තවාදය සම්බන්ධ කටයුතු සහ අනෙකුත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දියාවේ සහ ඉන්ටර්පොල් හි “අවශ්‍ය කර ඇති පුද්ගලයින්”ගේ ලයිස්තුවේ සිටි අයෙක් බවයි. එසේම අවි යුධ ජාවාරමේ නිරත වීම, 1990 වසරේ රජීව් ගාන්ධි ඝාතනය ඇතුළු ඉතා වැදගත් පුද්ගලයින්ගේ ඝාතන කුමන්ත්‍රණයන්ට හවුල් වීම සහ ඇතැමිවිට විදේශයන්හි වෙසෙන දමිල වැසියන්ගෙන් බලෙන් ලබාගත් මුදල් ආදියෙන් එල්.ටිට්.ටි.ඊ.යේ ත්‍රස්ත ක්‍රියා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගනනින් අරමුදල් පවත්වාගෙන යාම ඇතුළු ත්‍රස්ත ක්‍රියා රැසකට එරෙහිව ඔහුට චෝදනා එල්ල වී තිබිණ. එහෙත් මෙම නඩුව ඉදිරියට ගෙන යාමට රජය මැලි බවක් දක්වන බව පෙනී යයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නොකඩවා ක්‍රියාත්මක කිරීම සහ කෘර වැඩ හිංසා කිරීම් පිළිබඳව නොකඩවා ලැබෙන පැමිණිලි.

පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව තුල සිදු වී ඇතැයි කියන ක්‍රමානුකුල අපරාධ දීර්ඝ ලැයිස්තුවක් පිලිබඳ සාකච්ඡා කරන ලදී. නීති විරෝධී මිනීමැරුම්, බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, කෘර වද හිංසා පැනවීම්, ලිංගික හා ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, රෝහල් සහ පල්ලි ආශ්‍රිතව සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ඇතුළු බොහෝ අපරාධ මීට ඇතුලත් විය. එසේම පුළුල් ලෙස සිදු වූ වරදකරුවන්ට දඬුවම් ලබා නොදීම පිළිබඳවද මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කල වාර්තාවන්ගේ සවිස්තරව දක්වා ඇත. ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කල යෝජනාවට අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යලි සලකා බලා සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට ශ්‍රී ලංකව කැපවී සිටින බව දක්වා ඇත. එහෙත් ඒ යටතේ දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටි අයට සාධාරණය ඉටු කිරීම හෝ එසේ රඳවා තබා ගෙන සිට චෝදනා ගොනු කිරීමෙන් තොරව සහ දිගු කාලීන අධිකරණ ක්රියවලීනට යටත්ව සිට නිදොස් කොට නිදහස් කල ශර්මා මහත්මිය සහ ඇන්තනි මහත්මිය වැනි අයට සාධාරණය ඉටු කිරීම තහවුරු කිරීම පිළිබඳව එහි සටහන් නොවේ.

ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිලිබඳ ව්‍යාපෘතියේ(ITJP) ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාවෙන් 2015 වර්ෂයේ සුදු වෑන් පැහැරගෙන යාම්, බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම්, කෘර වද හිංසා පමුනුවීම් සහ ලිංගික අපචාරයන් පිලිබඳ සිද්ධීන් 11 ක් දක්වා තිබේ. මෙම වසරේදී උතුරේ පුද්ගලයෙක් පාර අසල සිටියදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් රහස් ස්ථානයක රඳවා තබාගෙන කෘර වද හිංසා දෙමින් ප්‍රශ්න කිරීම් වලට යටත් කල බවට අපට වාර්තා වී ඇත. ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් නීතිඥවරයෙකුට දැනුම් දී ඇත්තේ මේ වන විට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එහෙත් සැබෑවටම මෙම අගය මීට වඩා වැඩි වීමට ඉඩ කඩ බහුලය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳෙවියන් සහ සමගි සන්ධානය

ශ්‍රී ලංකා රජය සහ ජනතාව ශර්මා මහත්මියට සහ ඇන්තනි මහත්මියට සාධාරනය ඉටු කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රතිසන්ධාන කටයුතු කෙසේ වේදැයි යන්න තීරණය කරන තීරණාත්මක සාධක වේ. ඔවුන් මෙන්ම තවමත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වසර 9කට පසුත් චෝදනා පවා ගොනු නොවූ, ඇතැම් විට වසර 19ක් ගත වීත් තවමත් නඩු විභාග වන දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ සිටින බොහෝ දෙනෙක් සිටි. ඇතැම් විට ඔවුන්ද වසර ගණනාවකට පසු නිදොස් විය හැකිය, ඇතැමෙක් කිසිදු චෝදනාවක් නොලබාම නිදහස් විය හැකිය, එවන් අයවලුන් හටද සාධාරණය ඉෂ්ට විය යුතුය.

විශේෂ අවධානයට:- groundviews.org ඉංග්‍රීසි බසින් පල කරන ලද ලිපියක පරිවර්තනයක් වන අතර අදාල ලිංක් සමග වැඩිවිස්තර සදහා එයට පිවිසෙන්න.