Image: @Panama 2016 | Sampath Samarakoon

පානම ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ප්‍රාදේශීයලේකම් කාර්යාලයත්, පානම ජනතාවගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් යුක්තිසහගත සහ සාධාරණ ලෙස ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස අද(30) පොතුවිල් අධිකරණය විසින් අදාල අංශ වෙත දැනුම් දුන්නේ ය.

අධිකරණය එසේ දැනුම් දුන්නේ පසුගිය 26වන දින සිය මුල්ගම්වන ශ්‍රාස්තවෙල සහ රාගම්වෙල සිය ඉඩම්වල ඇතුලුවීමේදී ගුවන් හමුදාවේ තර්ජනයන් සහ පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගය සලකා බැලීමේ අවස්ථාවේදීය.

පොලීසියට කිසිදු සාක්ෂියක් නෑ.

එහි දී පොලීසියට, අදාල ඉඩම් ගුවන් හමුදාවට අයිති ඉඩම් යැයි නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වු බවත්, අදාල ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව නීතියානුකූල මැනුම් කටයුතු සිදු කල යුතු බවටත් අධිකරණය ප්‍රකාශ කල බව අද දිනයේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රා සුමතිපාල මෙනවිය ‘විකල්ප‘ සමග ප්‍රකාශ කළාය.

නීතිඥ රවීන්ද්‍රා සුමතිපාල මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

‘‘අදාල ඉඩම් ගුවන් හමුදාවට අයිති ඉඩම් බවත්, එහෙම ඉඩමකට ප්‍රදේශවාසීන් ඇතුලු වුන බවත්, අද අධිකරණයේ දී පොලීසියට හැකියාවක් තිබුණේ නෑ ඔප්පු කරලා පෙන්වන්න. ඒ කිසිදු චෝදනාවක් ඔප්පු කරන්න කිසිදු ලේඛන ගත සාක්ෂියක් පොලීසියට තිබුනේ නැහැ. එවෙගේම අපි පෙන්වා දුන්නා ජනතාවගේ පැත්තෙන්, මෙවැනි කටයුතු මීට පෙරත් මේ ස්ථානයේ සිදු වී තිබෙනවා, බොරු චෝදනා මත, මේ අද කැදවා ඇති පිරිසේම 10දෙනෙකුට ආසන්න පිරිසක් අධිකරනයට කැදවලා නිදොස් කොට නිදහස් කර තිබෙනවා, නැවත වරක් එවැනි චෝදනා මත තමයි මේ ගෙනල්ලා තිබෙන්නේ, එසේම නීතියානුකූල නොවන ඉඩමකට මොවුන් ඇතුල් වෙලා නැහැ, ගුවන් හමුදාවට අයිති ඉඩමකට පැමිණීමක් වැනි එවැනි කිසිදු සිදුවීමක් සිදු වෙලාත් නැහැ, සහ එවැනි දෙයක් සිදු වීමට කිසිදු ඉඩකඩකුත් නැහැ, කියලා ජනතාවගේ පාර්ශවයෙන් අපි කරුණු අධිකරණයට දක්වා සිටියා.‘‘


ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කළ යුතුයි – අධිකරණය

පසුගයි කාලය පුරාම පොලීසියට අමතරව ගුවන් හමුදාව සහ ඊට අනුබද්ද ඊනියා බුද්ධී අංශ යැයි කියා ගන්නා පිරිස් ගෙන් පානම යුක්තිසහගත ඉඩම් අරගලයේදි විවිද බාධා එල්ලවිය. එය විටෙක ජීවිත අවධානම් ගත් අවස්ථාවන් ද විය. විශේෂයෙන් පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ පුංචිරාල සෝමසිරි ඇතුලු පිරිසට එය ප්‍රභලව දැනුනු අවස්තාවන් බොහෝමයක් විය. නමුත් අද අධිකරණයේදී ඒ සියලු දේට යුක්තිය ඉටු විය යුතු බවට ප්‍රකාශ වීම ජයග්‍රහණයක්. එසේම දිගින් දිගටට ගුවන් හමුදාව සිය මිලිටරි බලය යොදා ගනිමින් ජනතාවගේ ඉඩම් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කළේ ය. නමුත් අද මිනිසුන්ගේ ඉඩම් අයිතිය තහවරු කළ යුතු බව අධිකරණය දන්වා සිටීම ජනතාවගේ ජයග්‍රහණයකි.

‘‘ඒසේම අපි ඔප්පු කර පෙන්නුවා මෙම ඉඩම ගුවන් හමුදාවට අයිති ඉඩමක් නොවන බවත්, කැබිනට් තීන්දුවක් මත මේ ඉඩම් ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ජනතාවට බෙදාහරින්න නිදහස් කර තිබෙන ඉඩම් ප්‍රමාණයක් බවත් ඉතාමත් සාධාරණ හේතු මත මේ ජනතාව ඒ ඉඩම්වලට ඇතුල් වූ බවත් අපි පෙන්වා දුන්නා.

පසුව අධිකරණය තීන්දුවක් විදිහට දුන්නා ඔවුන්ට කිසිදු ප්‍රශ්ණයක් නැතුව ඉඩම් වලට ඇතුල් වීමට හැකියාව තිබෙනව බවත්, ඒ වගේම ඔවුන්ගේ ඉඩම් අයිතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් සමග එකතු වී ඒ ඉඩම් අයිතිය ලබා ගන්න ඉක්මනින් කටයුතු කරන ලෙසත් අධිකරණය දන්වා සිටියා…‘‘


පොලීසියට දැඩි ලෙස අවවාද,

12920360_453739458150916_8549166132302732177_n

මින් පසු එවැනි චෝදනා නගලා, එවැනි හිංසාකාරී, පීඩාකාරී ලෙස කටයුතු කිරීමෙන් වැලකී සිටින ලෙසත් මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදුවීම වලක්වන ලෙසත් අධිකරණය විසින් පොලීසියට දන්වා සිටි මත් ඉඩම් අරගලයේ ජයග්‍රහණයේ මාවතේ වැදගත් පියවරකි. ‘‘ඒවගේම දී ඇති තහණම් නියෝගය ඉවත් කරනු ලැබු අතර, සියලුම සැකකරුවන් නිදොස් කොට නිදහස් කරා.‘‘ නීතිඥ රවීන්ද්‍රා වැඩිදරටත් පැවසීය.

මැනුම් කටයුතු,

පානම ජනතාව අද අධිකරණයේ රැදී සිටියදී මැනුම් කටයුතු සිදු කිරීමට පැමිණෙන බවට සැලවීමත් සමග ඒ බව අධිකරණයට දන්වා සිටි බවද නීතිඥ රවින්ද්‍රා පැවසූ අතර, ‘අදාල ජනතාව අධිකරණයේ සිටියදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව මැනුම් කටයුතු සිදු කිරීමට සූදානම් වීම ඉතාමත් අගති සගතයි කියලා, එයින් අපි පෙන්වා දුන්නා. මැනුම් කටයුතු වලින් අගතියක් නොවීමේ අවශ්‍යතාවය කියන දෙය පිළිබද අපි අධිකරණයට කරුණු දක්වා සිටියා, එය අධිකරණය විසින් පිළිගනු ලැබුවා.‘ නීතිඥ රවින්ද්‍රා වැඩිදුටත් පැවසීය.

කේසේ නමුත්, පානම ඉඩම් අරගලයෙ වැදගත් ජයග්‍රහණයේ අවස්ථාවක් අද සනිටුවහන් කළේය. විශේෂයෙන් පසුගිය 2015 ජනවාරි 8 දා, රාජපක්ෂලාගේ අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය පළවා හැර කිසිත් නොකර සිටීමෙන් ජනතාවගේ අයිතීන් ඉබේම තහවරු නොවන බවත්, එයට අරගල කළ යුතු බවත්, ඒ අරගල ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතියේ පාලනය විශ්වාස කරන සමාජයක් තුළ ජයග්‍රහණය කල හැකි බවත් අද දවසේ පානමෙන් නැවත වරක් ලාංකීය සමාජයට කියා දී තිබේ.

එසේම ලෝක ප්‍රකට වැකියක් වන, ‘අරගලයෙන් තොරව ජයග්‍රහණයක් නොමැත‘ යන්න අද දවසේ නැවත වරක් තහවරු වී ඇත්තේ නොනිමි අරගලයක යෙදුනු පානම්පත්තුව ජනතාවගේ අපරිමිත ධෛර්ය නිසාය. එසේම ඒ ධෛර්ය පෝෂනය කිරිම සදහා NAFSO,PARL,MONLAR,TISL,ECT ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක්, ක්‍රියාකාරී ජනතාවාදී නීතිඥවරුන් කිහිපදෙනෙක්, මාධ්‍යෙව්දීන්, පුරවැසියන් කළ කැපකිරීම ඉතාමක් වැදගත් සලකුනු ලෙස සටහන් වන්නේ ය. එසේම පොතුවිල් අධිකරණයේ විනිසුරුතුමන් ගේ යුක්තිසහගත තීන්දුව අධිකරණය පිළිබද ජනතාවගේ තහවරු වෙමින් ඇති විශ්වාසය තවදුරටත් තහවරු කරන විශිෂ්ඨ තීන්දුවක් ලෙසද සටහන් වනු ඇත.

@Vikalpa