මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මරණයෙන් නැගිට්ටේය. ලසන්ත වික‍්‍රමතුංග ද, වසීම් තාජුඞීන් ද ඒ විදියට ම මරණයෙන් නැගිට්ටාහ. ඔවුහු මරණයෙන් නැගිට මහින්ද රාජපක්ෂලා ට ගෙදර යන්නට වැඩ හැදූහ. ඒ වැඩේ අතුරු ඵලයක් ලෙස, නැතහොත් ඒ වැඩේ බෝනස් එක ගත්තේ මෛත‍්‍රිපාල සිරිසේනත්, රනිල් වික‍්‍රමසිංහත් ය. දැන් මේ කියන ආණ්ඩුව බිහි වූයේ ඒ විදියට ය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මරණයෙන් නැගිට්ටා කියා අප ලියන්නේ පළමු වැනි වතාවට ය. ඔහු තවමත් අතුරුදන් ය. ඒ අතුරුදන් මිනිසා පිළිබද අංශුමාත‍්‍රයක හෝ බලාපොරොත්තුවක් තියාගන්නවා මිස ඒ බලාපොරොත්තු අතහරින්නට සන්ධ්‍යා එක්නැලිගොඩ නම් ගැහැනිය මෙන් ම සංජය එක්නැලිගොඩ නම් තරුණයා ද සූදානම් නැත. ඒත් අප ඇත්ත කතා කළ යුතුය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ සියලූ පරීක්ෂණ ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අදිකාරි ශානි අබේසේකර මේ වනවිට ඒ වඩේ හරියට කරමින් සිටින බවක් පෙනේ. එයින් ශානි අබේසේකර කියන්නේ සුපර් මෑන් කෙනෙක් බවත්, හ‍ෙද වැඩකාරයෙක් බවත් කියන්නට අපට අවශ්‍ය නැත. ඔහු ගේ කැරැට්ටුව ගැන පත්තර පිටු ගණන් ලිවිය හැකිය. CID යේ බලය අයුතු ලෙස භාවිත කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඔහු ගේම් ගැසූ ආකාරය අධිකරණය ඉදිරියේ ද ඔප්පු වී තිබේ. ඒත් හරියට දෙයක් කරන්නේ නම් ඒ දේ අගය කළ යුතුය.

m33333333

මේ දෙපැත්ත ම ලියන්නේ කොයි දේත් නරක දකින්නට අප සහජ උනන්දුවක් දක්වන නිසා නොවේ. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ ද සිදු වෙමින් පවතින දේවල් අනුව හෙට-අනිද්දාට මොනවායින් මොනවා වේ දැයි කියන්නට කිසිවකුට බැරි නිසා ය.
ජනාධිපතිවරයාට අනුව මිනීමරුවන් රණවිරුවන් වන්නේය. ඔවුන් යුනිෆෝම් ඇදගෙන රස්සාව කරන අතරතුර, මිනීමැරුම් ද කළා කියන්නට සාක්ෂි එළියට එමින් තිබේ. සුදු වෑන් කල්ලි මෙහෙයවූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු විසින් බව හෙළි වී තිබේ. ඒත් ඔහු යටතේ සේවය කළේ තොත්ත බබාලා ද? යුනිෆෝම් ඇදගෙන මේ කරන්නේ අපරාධ බව ඔවුන් දැන නොසිටියේ ද?

ඒ නිසා කියන්නට ඇත්තේ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටි මහින්ද රාජපක්ෂ පන්නයට ම මෛත‍්‍රිපාල සිරිසේන ද වැටෙමින් සිටින බව ය. ඒ නිසා ය, මිනීමරුවන් ගලවාගන්නට කතා කරන්නේ.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින පේ‍්‍රමානන්ද උදලාගමට ඇප ගන්නට ඔහු ගේ පාර්ශ්වයෙන් පෙනී සිටි නීතීඥයන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ගෙනා තර්කය මෛතී‍්‍ර ගේ ඔය කියන කතාව ය. රිවිර පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ සිටින ඒ උදලාගමට ඇප ගැනීමට ද ගම්පහ අධිකරණයේ දී නීතීඥයන් ගෙනාවේ ඔය කතාව ම ය. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවන් වන ලූතිනන් කර්නල්වරයාට සහ සාජන් මේජර්වරයාට ඇප ගන්නට ඔවුන් ගේ පාර්ශ්වයෙන් පෙනී සිටි නීතීඥයන් ගෙනා තර්කය වූයේ ද ඔය කතාව ම ය.

‘මගේ කතාව හරියට අහලා නෑ, ඒක මාධ්‍ය වලින් සම්පූර්ණයෙන් දැම්මෙ නෑ’ වගේ ස්වයං වින්දන කතා නොකියා දැන්වත් ජනාධිපතිවරයා තේරුම් ගත යුත්තේ රාජ්‍ය නායකයකු ලෙස නැතහොත් රටේ ප‍්‍රධාන පුරවැසියා ලෙස කරනු ලබන කතාවක් කොයි තරම් බලසම්පන්න ද කියන එක ය. රාජ්‍ය නායකයකු ඒ තනතුරේ ගෞරවය රකින්නට මෙන් ම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහසට තමන්ගේ හැසිරීම හරහා බාධා එල්ල නොවන ලෙස කටයුතු කරන්නට ද ජනාධිපතිවරයා මින් මත්තට වත් වගබලා ගත යුතුය.

ඒත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලි ය. ඒ බව තහවුරු කෙරෙන ප‍්‍රධාන ම කාරණය නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයා ලෙස පෙනී සිටින ඩිලාන් පෙරේරා නමැත්තා විසින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරියට ගහන ගැහිල්ල ය. ඒ ගැහිල්ල කන්ට්‍රෝල් කරන්නට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ලොක්කන්ට වුවමනාවක් නෑ කියන්නේ මේ බල්ලන් ලිහා දමා ඇත්තේ ඔවුන් ම විසින් බව නොකියා කීම ය.

කොහොම හරි අවිස්සාවේල්ල අධිකරණයෙන් ප‍්‍රගීත් ගේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන්ට ද, ගල්කිස්ස අධිකරණයෙන් ලසන්ත ගේ සිද්ධියට අදාළ ව රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර්වරයාට ද ඇප ලැබිණි. දැන් ඉතින් සියල්ල ඒ ආකාරයට සිදු වන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒත් ඒවා ඒ ආකාරයට සිදුවන්නට ඉඩ දිය නොහැකිය. එහෙම වුණොත් ප‍්‍රගීත් ලා මේ ආණ්ඩුවට කරන්නේ කුමක්ද යන්න හිතාගන්නට වත් බැරි වනු ඇත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කරන්නට යුද හමුදා බුද්ධි අංශයට අවශ්‍ය වී තිබිණි. එවිට වැඩ කීපයක් බේරාගත හැකිය. එයින් මූලික ම වැඬේ වූයේ ප‍්‍රගීත් පැහැරගෙන යාම කියන කළු ලපයෙන් ගැළවීමයි. දේශපේ‍්‍රමී කියන ලේබලය යට ඉ`දගෙන ඕනෑ ම දහදුරා වැඩක් කළ හැකි යැයි ඔවුහු විශ්වාස කළහ.

මේ වැඬේ සාධාරණීකරණය කරන්නට ඇතැම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහත්තුරු ද සම්බන්ධ වී සිටියහ. යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන් කියන දේ එහෙම පිටින් ම පත්තර පිටු වල වැපිරුවේ ඔවුන් ය. ඔවුන්ට ලියන්නට අයිතියක් ඇත. ඒත් වාසිය තකා පැළ කරන බොරු වලට පොහොර දමන්නට අයිතියක් නැත. එහෙම කරන එක හෙණ ගහන අපරාධයකි.

ලසන්ත ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සිදුවීම් රැසක දී මෙන් ම එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධියේ දී ද මේ වන විට යුද හමුදා බුද්ධි අංශය කරමුලට ම හිර වී තිබේ. ඔවුන් ත‍්‍රස්තවාදී ලේබලය ගසා රාජපක්ෂ විරෝධීන් පැහැරගත් බවට උදාහරණ එළියට එමින් තිබේ. රටේ ආරක්ෂාවට අදාළ මෙහෙයුම් කරන්නට බුද්ධි අංශ වලට හැකියාව ඇත. එහෙත් මිනිසුන් පැහැරගෙන ගොස් මරා දමන්නට ඔවුන්ට බලයක් නැත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඒ ආණ්ඩුව විවේචනය කළ’වුන් මර්දනය කරන්නට ආරක්ෂක අංශ යොදා ගත්තේය. කොටිකාවත්තේ දී පොලිස් අත්අඩංගුවට පත් සුදු වෑන් රථයේ හිටියේ හමුදා සෙබළුන් ය. ඔවුන් අත්අඩංගුවට ගන්නවාත් එක්ක ම ඉහළින් ආ අණකින් ඔවුන් නිදහස් කෙරුණේ ඇයි?

මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා ගේ ආරක්ෂකයන් එල්ටීටීඊ ය භාවිත කළ සුදු වෑන් රථයකට ව්‍යාජ අංක තහඩු ගසාගෙන එහෙ-මෙහෙ ගියේ නෑ කියන්නට බැරි ය. මිරිහාන පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් පසු ආරක්ෂක අංශ වල සිටින සමහර ඉහළ ම නිලධාරීන් මිරිහානට දුරකතන ඇමතුම් දෙන්නට හදිස්සි වුණේ ඇයි?

දැන් ඒ සිද්ධියටත් වෙච්ච දෙයක් නැත.

එල්ටීටීඊ ය යනු ලංකාවේ තහනම් සංවිධානයකි. ඔවුන් භාවිත කළ වාහනයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු නීත්‍යනුකූල ක‍්‍රමවේදයකට එය ආරක්ෂක අංශ වල භාවිතය සදහා ලබා ගත හැකිය. ඒත් ප‍්‍රසන්න සිල්වා පමණක් නොවේ, හමුදාවේ ඉහළ නිලධාරීන් බහුතරයක් මේ නීති කඩා තමන්ගේ හිතූ මනාපේ විවිධ ක‍්‍රියාකාරකම් සදහා මේ වාහන භාවිත කර ඇත. අනූව දශකය මුල දී මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෑම් තම්බිමුත්තුට වෙඩි තිබ්බේ මෙලෙස එල්ටීටීඊ ය භාවිත කළ යතුරු පැදි වලින් පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් බවට තොරතුරු හෙළි වී තිබේ. ඉන්පසු ඔවුන් යතුරු පැදි දමා ගොස් ඇත. එය පොලිස් අත්අඩංගුවට ගත් පසු සොයා බැලීමේ දී එල්ටීටීඊ යතුරු පැදියක් බව තහවුරු විය. ඒ කියන්නේ වෙඩි තැබීම කළේ එල්ටීටීඊය යි.

මේ ජාතියේ වැඩ ගොඩක් පසුගිය කාලයේ දී සිද්ධ විය. යුද්ධය පිටින් දමා රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කළේ මෙවැනි උපක‍්‍රම භාවිත කරමිනි. ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් කළ කරුණා අම්මාන් පාර්ශ්වයේ සාමාජිකයන්ට ලබා දී තිබුණේ ම මෙසේ එල්ටීටීඊ ය භාවිත කළ වාහන බව හෙළි වී තිබේ. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම යන සිද්ධි වලට අදාළ පරීක්ෂණ වල දී මීට අදාළ තොරතුරු රැසක් එළියට එන්නට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

කතාව වෙනත් පැත්තකට ගියේය. ඒත් මේ කරුණු සදහන් කළේ එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධිය ගැන නාහෙන් අඩන දේශපේ‍්‍රමීන්ට දැනගන්නට ය. බුද්ධි අංශ කළ ක‍්‍රියාකාරකම් හෑල්ලූවට ලක් කරන්නට හෝ රටේ ආරක්ෂාව බල්ලට දමන්නට අපට අවශ්‍ය නැත. (මේ නාහෙන් අඩන දේශපේ‍්‍රමීන් කියන්නේ එහෙම කතාවකි.)

6755709057_c20db345d1_b

අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව කියන ලේබලය ගසාගෙන කොන්ත‍්‍රාත් කළවුන් දඩු කදේ ගසන්නට ය. ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කරන්නට දැෙගලූවේ මොවුන් ය. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ම අධිකරණයට දැනුම් දී ඇත්තේ ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු නොවන බව ය. ඒ කියන්නේ යුද හමුදා බුද්ධි අංශය දැන් හිටගත යුත්තේ හෙලූවෙන් ය. ඔවුන් කී බොරු දැන් හෙළි වී තිබේ. ඒ බොරු මත පදනම් ව සෙල්ලම් දමන්නට ආ ව්‍යාජ දේශපේ‍්‍රමීන්ට යන එන මං නැත. ඒ අතරවාරයේ ය, මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා ඔවුන්ගේ පැත්ත ගත්තේ. ඔවුන් ගැන මහා ආදරයකින් කතා කළේ. රණවිරුවන් රිමාන්ඞ් කර තබා ගැනීම පිළිකුල් සහගත යැයි කිව්වේ.

මේ පැහැර ගැනීමට අදාළ ව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනා ඇතුළු පිරිස කාගේ හෝ අණක් පිළිපැද්දා විය හැකිය. ඔවුන්ට ‘යුක්තිය’ වෙනුවෙන් පාවා දෙන්නට කාලය හරි ගියා විය හැකිය. ඒ ගැන දැනගත් පසු ඒ පාවාදීම වළක්වන්නට මොනවා හෝ සිද්ධ වුණා විය හැකිය. මේ අතරින් එක් කර්නල්වරයකුගේ රියැදුරාට අදටත් වෙච්ච දෙයක් නැත. මේ කියන රියැදුරා කර්නල්වරයාගේ බිරි`ද සමග හිතවත්කමක් පැවැත්වූවා කියන සැකය මත අතුරුදන් කර වූ බවට තොරතුරු හෙළි වෙමින් තිබේ.

මීට පෙරත් අප දිගින් දිගටම ලියූ ආකාරයට මොවුන් ඒ කාලයේ තව වැඩ ගොඩක් දමා ඇත.

මොවුන් ගැන කිඹුල් කදුළු හෙළන දේශපේ‍්‍රමී මහත්තුරුන් කියන ආකාරයට මේ බුද්ධි මෙහෙයුම, ඒ කියන්නේ ව්‍යාජ එල්ටීටීඊයක් හදා සැග වී සිටි එල්ටීටීඊකාරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කර ඇත්තේ හිටපු යුද හමුදාපති, වර්තමාන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැනුවත්ව ය. හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව ය. යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කියන ආකාරයට මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඒ කාලයේ සෑම අ`ගහරුවාදාවකම පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට තොරතුරු වාර්තා කර තිබේ.

ඒ සියල්ල හරි වන්නට ඇත.

එසේ නම් වහා ම කළ යුතු ව තිබුණේ හිටපු යුද හමුදාපතිවරයාගෙන් සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් මේ පිළිබදව ප‍්‍රශ්න කිරීමයි. එහෙත් එවැන්නක් මෙතෙක් සිදු වූයේ නැත. ඒ වෙනුවට සියල්ල ලිහිල් වන්නට පටන් ගෙන තිබේ.
ප‍්‍රගීත්ට එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධකම් පවත්වා ගන්නට අයිතියක් තිබූ බව අපි යළිත් ලියමු. බුද්ධි අංශය හෝ ඒ වෙනුවෙන් කඬේ යන මහත්තුරුන් අධිකරණය කී දේ පිළිනොගෙන තවමත් තැන තැන කියන ඒ කතාවට උත්තර දෙන්නට අප තවදුරටත් සූදානම් ය. ජනමාධ්‍යවේදියකු ලෙස ඔහු තොරතුරු ලබාගැනීම සදහා ඒ සම්බන්ධකම් නඩත්තු කළා විය හැකිය. අනෙක් අතට මේ යුද්ධය නිසා අසරණ ව සිටි උතුරේ තරුණයන් සම්බන්ධයෙන් යමක් කළ යුතු බව ප‍්‍රගීත් තම හිතවතුන්ට නිතර පවසා ඇත. එල්ටීටීඊයේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වලට සහයෝගය නොදක්වමින් ඉහත කී ජාතියේ ක‍්‍රියාකාරකම් කිරීමට ප‍්‍රගීත්ට පමණක් නොව අප සියල්ලන්ට ම අයිතියක් ඇත. ඒත් ඒ කාලයේ දේශපේ‍්‍රමී සළුපිළි වලින් හැම බිම් අගල ම වහන්නට උත්සාහ කළ ආණ්ඩුවක් තිබුණේය. වැඩක් කරන්නට ඕනෑ වූවෝ පවා ආණ්ඩුව මැවූ සුදු වෑන් භීතීකා මැද්දේ නිහ`ඩ වූහ. ඊට එරෙහිව කතා කළ පිරිස අන්තිමේ දී ජීවිත බේරාගන්නට රට පැන්නහ. අන්තර්ජාතික කාටූන් ශිල්පීන්ගේ සංගමය ප‍්‍රගීත්ට යුරෝපයට එන ලෙස වරින් වර දැනුම් දුන්න ද ඔහු ඒ මග තෝරා නොගෙන දිගට ම සටන් කළේය.

තවත් කාරණයක්…

ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් කී ආකාරයට සහ ඇතැම් මාධ්‍යවේදීන් ලියූ ආකාරයට ප‍්‍රගීත් ඇත්තටම ත‍්‍රස්තවාදීන්ට සහයෝගය දුන්නා නම් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අයිතියක් තිබේ ද?

හිටපු අග විනිසුරු මොහාන් පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු කිව්වේ ප‍්‍රගීත් සැග වී සිටින බව ය. ඒත් ඔවුන්ට ඒවා ඔප්පු කරන්නට නොහැකි විය.

රාජපක්ෂ හිතවාදී, ඒ ආණ්ඩුවෙන් වරදාන-වරප‍්‍රසාද ගත් මාධ්‍යවේදීන් හැර අනෙක් අය අත්අඩංගුවට ගන්නට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ප‍්‍රශ්න කරන්නට, රදවා තබා ගන්නට ඒ කාලයේ කිසිදු බාධාවක් තිබුණේ නැත. හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොල් හොරකු වුවත් ර`දවා තබාගෙන ප‍්‍රශ්න කරන්නට ර`දවා තබා ගැනීමේ නියෝග නිකුත් කරන ජාතියේ අයකු විය.

ප‍්‍රගීත් එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් වලට සහයෝගය ලබා දුන් බවට සාක්ෂි තිබුණේ නම්, ඇතැම් දේශපේ‍්‍රමී මහත්තුරුන් ලියූ ආකාරයට ප‍්‍රභූන් ඝාතනය කරන්නට සැලසුම් හැදුවේ නම් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයි?

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් අලූගුත්තේරු වැඩ හැට-හුටාමාරක් කළ පිරිසකට ප‍්‍රගීත් ව විතරක් පැහැරගෙන යන්නට අවශ්‍ය වුණේ ඇයි?

බලය භාවිත කර මිනීමැරීම හෝ පැහැරගෙන යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. මේ යන විදිහට හෙට මේ ආණ්ඩුවත් කොතැනට ඇද වැටේ දැයි අප දන්නේ නැත. ඒ නිසා අසල්වැසියාට පහර දෙන විට ගේ ඇතුළට වී දොර වසා ගැනීමේ තියරිය අනුගමනය නොකරන්න. ඔබට ගහන්නට වැඩි කල් යන්නේ නැත.

රාජපක්ෂලාගේ මිනී අළු භීතිකාව ඇතුළු ප‍්‍රගීත් කළ ආණ්ඩු විරෝධී කටයුතු රැසක් මේ පැහැර ගැනීමට හේ්තු වූ බව පිටු ගණන් පුරවමින් අප ලියා ඇත.

‘අන්න ඒකනෙ කිව්වෙ…’

මෙහෙම කී විට එහෙම කියන අය ද සිටී. ඔවුන් කියන්නේ ආණ්ඩු විරෝධී වීම බරපතල වරදක් බව ය. නැත, ආණ්ඩු විරෝධී වන්නට ඕනෑ ම අයකුට අයිතියක් ඇත. රාජපක්ෂ ලා ගෙදර යැව්වේ ඒ ආණ්ඩු විරෝධය යි. රාජ්‍ය විරෝධී වීම යනු වෙන ම කතාවකි.

ප‍්‍රගීත් ගේ, ලසන්ත ගේ මෙන් ම පසුගිය කාලයේ කළ පැහැරගෙන යාම් වලට සහ මරාදැමීම් වලට අදාළ පරීක්ෂණ හරියට කිරීම මේ ආණ්ඩුවේ වගකීම ය. ඒ පරීක්ෂණ සහ අනෙකුත් නීති කටයුතු ඞීල් වලට යට වෙන්නට ඉඩ නොදිය යුතුය. ඒ පරීක්ෂණ සහ නීති කටයුතු ඞීල් වලට යට කරන්නට, අරයා-මෙයා බේරන්නට ආණ්ඩුව ඇතුළේ ම සිටින ලොක්කන් දගලන බව ඇත්ත ය. ඒත් ඔවුන්ට කියන්නට ඇත්තේ මුලින් ම ලියූ ආකාරයට ප‍්‍රගීත් ලා, ලසන්ත ලා වළෙන් නැගිට සිටින බවයි. ඔවුන් යට කර දමන්නට නොහැකි බවයි. ඔවුන්ගේ ශක්තිය තවමත් අසාධාරණයට එරෙහිව නැගී සිටින බවයි. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ලොකු මහත්තුරුන් ඒ ශක්තිය විහිළුවට ගන්නට හදන්නේ නම්, තමන් ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් ඒ ශක්තිය අවතක්සේරු කරන්නේ නම් කියන්නට ඇත්තේ ‘ඔබත් ඉවරයි’ කියන වචන දෙක විතර ය.

shalika-wimalasenaශාලික විමලසේන | Shalika Wimalasena

සබැදි සටහන්

ජනාධිපතිතුමණි, ‘මාස 18ක් නෙමෙයි, මම මාස 81ක් යුක්තිය හොයනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ

ජනපති කතාව කණකොකා හැඬීමක්!