ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මේ තාක් සිදුවූ ලොකුම කැළලක් දැන් ජනාධිපති සිරිසේන විසින් කර තිබේ. එනම් තවමත් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධූරයේ දිව්රුම් දි නැති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිල පණිවිඩයක් යවමින් එක්සත් ජාතින්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ ඉවත් කර දෙන ලෙස බැගෑපත් වීමය.

මේ දිනවල අන්තර් ජාතික පුවත් සේවා විසින් සිරිසේනගේ එම කතාව ලොව පුරා බෙදා හරිමින් සිටින්නේ මෙසේය.

‘‘තමා දැනටමත් ට්‍රම්ප්ට පණිවිඩයක් යවා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල කියයි. ශ්‍රී ලංකාවෙහි යුද සමයෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ පරීක්ෂාකිරීම පිණිස දේශීය සහ විදේශිය විනිසුරන්ගෙන් සමන්විත දෙමහුන් අධිකරණයක් පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පසුගිය වසරෙහි ඉල්ලා සිටියේ ය. එසේ නමුත් එක්සත් ජනපදය සමඟ සම දායකත්වයෙන් යුතු යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම මගින් විදේශීය තාක්ෂණික සහාය ඇති දේශීය යාන්ත්‍රණයක් මගින් එම චෝදනා පරික්ෂා කිරීමට එකඟ විය.

‘‘ පසුගිය දා පැවැති සිය පක්ෂයේ රැස්වීමකදී සිරිසේන කියා සිටියේ තමා ට්‍රම්ප් සමඟ මානව හිමිකම් කව්න්සිලයේ යෝජනාව සාකච්ජා කරන බවත් ‘මෙම තත්වයෙන් අපේ රට නිදහස් කර අපට නිදහසේ ජිවත් විය හැකි රටක් ගොඩ නඟා ගැනීමට සහාය ඉල්ලා විශේෂ නියෝජිතයකු ට්‍රම්ප් හමුවීමට යවන බවය.’’ ( ඇසෝසියේටට් ප්‍රෙස් පුවතකින් උපුටා ගැනුණි.)

ජනාධිපති සිරිසේනගේ මෙම ප්‍රකාශය ඉතා තීරණාත්මක විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශයකි. ඔහු මේ තාක් කියමින් සිටියේ මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද යෝජනාව රටට කිසිදු අයහපතක් නැති බවයි. එම යෝජනාව ගෙන එන ලද්දේ සිරිසේන ජනාධිපති ධුරය යටතේදී ඔහුගේ ආණ්ඩුවේ සම්පූර්ණ සහයෝගය ඇතිවය. එමෙන්ම ඔහු මෙරට ජනයාට කියමින් සිටියේ එකී විදේශ පිළිවෙත මගින් ශ්‍රී ලංකාවට එල්ල විය හැකිව තිබූ බරපතල තංහචි ඉවත් කරවා ගැනීමටත් ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ආකල්පයක් අන්තර් ජාතික වශයෙන් ගොඩ නැගිමටත් තම රජයට හැකිවූ බවය.

දැන් ඔහු ගායනා කරන්නේ අලුත්ම ගීතයකි. ඉන් කියැවෙන්නේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව නිසා ශ්‍රී ලංකාවට නිදහසේ ජීවත්විය හැකි නිදහස් රටක් නැති කර ඇති බවයි. (සිරිසේන ට්‍රම්ප්ට ආයාචනා කිරීමට බලාපොරොත්තු වන ඉහත කාරණා දෙස යළි බලන්න.) ඔහුට අවශ්‍යව ඇත්තේ එම යෝජනාවෙන් ඉවතට ගමන් කිරීම බව මෙම ආයාචනයේ තේරුමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි පාරම්බාමින් අහස උසට මානව හිමිකම් කතා දෙමින් තම නායකත්වය යටතේම ඉදිරිපත් කොට කවුන්සිලයෙහි ඒකජන්දයෙන් සම්මත වූ යෝජනාවක් ඉවත් කර ගැනීමට මානව හිමිකම් විරොධී උම්මන්තක සුදු ජාතිකවාදියකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නකු හමුවෙහි ඇයැද සිටීම කොතරම් ලැජජා නැති කමක්ද?

සිරිසේන බලයට පත් වූයේ මෙරට සමාජ සාධාරණත්වය, යුක්තිය, සාධාරණය, සහජිවනය නඟා සිටුවනු පිණිසය. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය බල ගන්වනු පිණිසය. එවැනි ජනවරමක් ලැබූ ජනපති සිරිසේනට ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නාහෙට නාහන මානව විරෝධී දේශපාලනඥයකු වෙත රට බේරා දෙන්නැයි ආයාචනා කිරීමට ඇති හදිසිය කුමක්ද?

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිව්රුම් දෙනතුරුවත් ඉවසා සිටීමට සිරිසේනට නොහැකි වූයේ ඇයි? ඔහු මෙම තීරණාත්මක පියවර ගැනීමට පෙර අගමැතිවරයා සමඟ හෝ අඩුම වශයෙන් අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශ ඇමැති මංගල සමරවීර සමඟ හෝ සාකච්ජා කළේද? තමන් බලයට ගෙන ඒමට තීරණාත්මක දායකත්වයක් ලබා දුන් යුද්ධයේ ගොදුරු බවට පත් දෙමළ ජනයාගේ නියෝජිතයා වන දෙමළ සන්ධානය සමඟ සාකච්ජා කළේ ද? ඔහු විසින් යවන ලදැයි කියන පණිවිඩය මහ ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කිරීමට ඔහු සූදානම්ද?

ජනාධිපති සිරිසේන තවමත් ඇමෙරිකානු ජනාධිපතිවන බරක් ඔබාමා සමඟ කරට අත දාගෙන සිටි නමුත් මෙවැනි ආයාචනයක් ඔහුගෙන් කළේ නැත.

ඇයි?

එපමණක් නොව එම යෝජනාව ගෙන ඒමට ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් යුරෝපා සංගමය, කැනඩාව, ජපානය හා මහා බ්‍රිතාන්‍ය යන රටවලින් කළේ ද නැත. එම රටවල් කිසිවක් ට්‍රම්ප් සමඟ එක්වී මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව ඉවත් කර ගනු ඇතැයි සිතිය හැක්කේ ලිං මැඩි දේශපාලනයකට පමණි.

ඇත්ත වශයෙන්ම නම් ජනපති සිරිසේන කර ඇති මෙම ඉල්ලීම 1930 ගණන්හිදී කවර හෝ රාජ්‍ය නායකයකු හිට්ලර් හමුවී අයැදිමක් කළා හා සමානය. ලැජ්ජා සහගතය‍.

අනෙක මෙවැනි අතිශය තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම් සාකච්ඡා කරන්නට පෙර ප්‍රසිද්ධ කරන්නේ කව්ද? ට්‍රම්ප් මෙම ඉල්ලීම නොසළකා හැරියහොත් සිරිසේන ඊලඟට යන්නේ කා ළඟටද?

එක දෙයක් පැහැදිළිය. සිරිසේන වෙනුවෙන් ට්‍රම්ප් හමුවීමට යවනු ඇත්තේ විදේශ ඇමැති සමරවීර නොවේ. ඔහුගේම විශේෂ නියෝජිතයෙකි. ලබන මාර්තුවෙහි මානව හිමිකම් කවුන්සිලයෙහි පැවැත්වෙන ශ්‍රී ලංකා සැසිවාරයටත් එවැනි විශේෂ නියෝජිතයකු එවනු ඇත්ද?

ජනාධිපති සිරිසේනගේ විදේශ කටයුතු උපදේශකයින් කව්රුන්දැයි දන්නා කෙනෙක් නැත. ඔහු ජනාධිපති වූ අලුත ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී උණුසුම මැද විදේශ කටයුතු පිළිබඳ උපදේශක වශයෙන් පත් කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල එම ධුරයේ සිටියේ සති දෙක තුනක් පමණි.

ඒ කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හුවා දක්වමින් ගෝලීයකරණය අවසන් වී ගෙන ලෝකයම ජාතිකවාදය කරා ගමන් කරන්නේ යැයි අභූත න්‍යායක් ප්‍රසිද්ධ කරන ඇමැතිවරයකු නම් පසුගිය දිනවල දක්නට ලැබුණි. ඒ හෙළ උරුමයේ චම්පික රණවකය. (ගෝලීයකරණය අවසාන නම් වරාය මුල්‍ය නගරය සහිත මොගාපොලිස් වැඩසටහන සාර්ථක වන්නේ කොහොමද?)

ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක නොව ප්‍රංශයේ පැසිසිට්වාදී අන්ත ජාතිවාදීනිය වන මරි ලා පෙන් සහ යුරෝපයේ සිටින එවැනි අනෙක් අන්තවාදින් ද සාධනීය ලක්ෂන ඇති ජාතිකවාදීන් ය. එනමුත් මෙම රටවල ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සහ දේශපාලන ව්‍යාපාරයන්ට අනුව නම් මෙකී අන්තවාදී දේශපාලනඥයින් නූතන ෆැසිසිට්වාදීන් ය. ඊටත් වඩා එම රටවල සියලු ආකාරයන්හි සුලුතර ප්‍රජාවන්ට ට්‍රම්ප්ලා සහ මරි ලා පෙන්ලා නියෝජනය කරන්නේ ද මාරක අනතුරකි.

වම්පික රණවක කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගෝලීයකරණයේ අවසානය බවත් තමන් විසින් දේශණා කරන ලද ජාතිකවාදය කරා දැන් ලෝකය පැමිණෙමින් සිටින බවත් ය! (ට්‍රම්ප්ට වඩා හිලරි ක්ලින්ටන් ජන්ද ලක්ෂ 20ක් ලබා ගත්තේය.ට්‍රම්ප් ජයග්‍රහණය කළේ වහලුන්ව සිටි ජනයාගේ ජන්ද අවප්‍රමාණ කිරීම පිණිස නිර්මානය කරන ලද ඉලෙක්ටෝරල් කොලේජ් යන සංකිර්ණ මැතිවරණ ක්‍රමය නිසා ය.)

පෙනෙන විදිහට නම් ජනපති සිරිසේනගේ මෙම අදූරදර්ශී තීරණයට බලපාන්නට ඇත්තේ චම්පික රණවක සහ ජනාධිපති උපදේශක අනෙක් රණවකවාදීන්ගේ ඉහත කී අභූත මතය විය හැකිය. ඔවුන් කියනු ඇත්තේ දැන් ලෝකයම අන්ත ජාතිකවාදයට යනවා, ඒ නිසා ඒ ලෝක ව්‍යාපාරයේ නායකයා වන ඩොනල්ට් ට්‍රම්ප්ගේ පිටේ නැගී අපත් ගොඩ යා යුතුය කියා ය‍. මේ අන්තවාදී උපදේශකයින්ට විදේශ ඇමැති සමරවීර පේන්න බැරි බව ප්‍රසිද්ධ රහසකි.

මෙවැනි අදූරදර්ශී කතා නිසා අපකිර්තියට පත් වන්නේ ජනාධිපති සිරිසේන පමණක් නොවේ. සමස්ත ආණ්ඩුවම සහ ජනවාරි 08 පෙරළියට දායක වූ සියලු බලවේගයන්ය. එබැවින් පටු දේශපාලන වාසි තකා මෙවැනි අතාර්කික පියවර ගන්නවා වෙනුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් උපදෙස් ලබා ගන්නවා නම් ජනාධිපතිතුමනි, කොතරම් හොදද?

sd-120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya