මගේ ළගම මිතුරෙකුගේ විවාහ මංගල්‍යය සදහා සති කිහිපයකට පෙර මඩකළපුවට ගියෙමි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සදහා පැවති සාදයට ගොස් නවාතැන් පළට එන අතරතුර, පැරණි කල්ලඩි පාලම උඩ මදකට නැවතී උණුවෙන් වඩේ එකක් කමින් සිංදු කියන මාළුවන්ට සවන් දෙමු යැයි එක් මිතුරෙක් කළ යෝජනවාට අපි සැවොම එකග වීමු. වාහනය නවතා මධ්‍යම රාත්‍රියේ උණු උණුවෙන් බැදෙන පරිප්පු වඩේ සහ බිත්තර රොටී කිහිපයක් මිලදී ගත් අපි වාහනයේ ඩිකිය විවෘත කර මේසයක් ලෙස සකසා වඩේ රස බැලීමට සූදානම් වීමු.

ශ්‍රී ලංකාවේ අපි පොදුවේ බත් කොළ හෝ ලන්චි ෂීට් නමින් හදුන්වන වර්ග අඩි එක හමාරක පමණ පොලිතීන් කොළයක සෑම බිත්තර රොටියක්ම වෙනව වෙනම ඔතා තිබිණි. පරිප්පු වඩේ හතර බැගින් එක් පොළිතීන් කොළයක ඔතා පාර්සල් දෙකක් සකසා තිබුණි. වඩේ වලට සම්බෝල වෙනම රෝස පැහැති කුඩා ෂොපින් බෑග් නමින් අපි හදුන්වන පොලිතීන් බෑගයකද, බිත්තර රොටී වලට හොදි එවැනිම තවත් බෑගයකද දමා තිබුණි. එම පොළිතීන් බෑග් දෙක පරණ පාසල් පොත් වලින් සකස් කර ගත් කඩදාසි බෑගයක දමා, එල්ලාගෙන යා හැකි තරමක් විශාල සුදු පැහැති පොළිතීන් බෑගයක දමා තිබුණි. එවැනිම තවත් බෑගයක වඩේ පාර්සල් දෙක සහ වෙන වෙනම පොළිතීන් කොළ වල ඔතා කඩදාසි බෑගයක දමා තිබූ බිත්තර රොටී හයක් දමා තිබුණි.

වඩේ සහ බිත්තර රොටී උණු උණුවේම ගිල දමා ඒවා ඔතා තිබූ ඇසුරුම් සිංදු කියන මාළුවන්ට රෑ කෑම සදහා කළපුවට දමා වාහනයට නැගි අපි නවාතැන් පළ කරා ආවෙමු. ජලය හිග කාලයට පුරවා කල් තබා ගැනීම සදහා මිලි ලීටර් 500 ප්ලාස්ටික් වතුර බෝතල් තුනක්ද මාළුවන්ට පරිත්‍යාග කළෙමු.

අප විසින් වතුරට දැමූ පොලීතීන් වලට මීලගට වන්නේ කුමක් දැයි ඒ මොහොතේ කිසිවෙකුත් නොසිතූහ. ස්වභාවිකව පරිසරයේ පවතින බැක්ටීරියා වලට පොළිතීන්/ ප්ලාස්ටික් දිරා පත් කිරීම ඉතා අපහසු කාර්යක් බවත්, ඒ නිසා අප පරිසරයට එක් කරන පොළතීන්/ ප්ලාස්ටික් දිරාපත් වීමට ඒවා නිෂ්පාදනය කර ඇති අමුද්‍රව්‍ය අනුව වසර 20 ක සිට 600ක් සක්වා කාලයක් ගත වන බවත් විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. ඒ නිසා පොළීතීන්/ ප්ලාසිටික් ඉවතලෑම සිදු කළ යුතුතේ ඉතා ප්‍රවේසමෙනි. ඉවත ලන පොළිතීන් සහ ප්ලාසිටික් වෙනම එකතු කර ප්‍රතිචක්‍රීකරණය සදහා ලබා දිය යුතුය.

හවසට වැඩ ඇරී ගෙදර යන ගමන් මිලදී ගන්නා ආප්ප පහ සමග ලැබෙන ලුණු මිරිස් දමා ඇති කුඩා පොළීතීන් ඇසුරුම ප්‍රතිචක්‍රීකරණය සදහා වෙනම එකතු කරන්නේ අප කීදෙනාද? මේ දින වල ඇති අධික රස්නය නිවා ගැනීමට මිල දී ගන්නා කූල් කළ මයිලෝ පැකට්ටුවේ බටය අමුණා ඇති පොලීතීන් ඇසුරුම හදිස්සියට කටෙන්ම කඩා බිම නොදමන්නේ කවුද? ගෝල් ෆේස් එකේ සරුංගල් යැවීමට හෝ ඉස්සෝ වඩේ කෑමට යන අපි එහිදී මිලදී ගන්නා අයිස්ක්‍රීම් පළමේ ඇසුරුම බිම නොදමා ප්ලාස්ටික් වලට වෙන් වූ කුණු කූඩයකට දැමීමට උනන්දු වනවාද? වෙසක් පෝයට ගංගාරම වෙසක් කළාපයේ ඇති දන්සැලෙන් කොත්තමල්ලි දමා දෙන ප්ලාස්ටික් කෝප්පය කුණු කූඩයට නොදමා සෙනග අස්සේ තෙරපි තෙරපි යන ගමන් කුණු කූඩය දිශාවට විසි කරන පුද්ගලයන් කොපමණ සිටිනවාද?

ඔබ ගාලු කොටුවට ගොස් වට පිට බලන්න තැනින් තැන ගොඩ ගැසුණු පොළීතීන් සහ ප්ලාසිටි බොතල් සිය දහස් ගණනක් ඔබ දකීවි. කොග්ගල මඩොල් දූවට යන්න, දූවට ගොඩ වෙන තැන සිටම ඇත්තේ ජින්නා සහ උපාලි සිහි වීම සදහා ඔවුන්ගේ රසික රසිකාවියන් විසින් දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාසිටික් ඇසුරුම්ය. කතරගමට යන්න, එහිද දෙවියන්ට පූජා කළ පොළිතීන් ඕනෑ තරම් ඇත. අනුරාධපුරයේ පිච්චමල් පූජාවට මල් දමාගෙන යන පොළිතීන් බෑග් එමට ගොඩ ගැසී ඇත. ඕනෑම පාසලක් අසලට ගොස් කාණු දෙස බලන්න. පාසල් විවේක කාලෙයන් පසු කැන්ටිම අසල බලන්න. බැලූ බැලූ තැන පොළිතීන්ය. ප්ලාස්ටික්ය.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම කොළඹට පමණක් අදාල ප්‍රශ්ණයක් නොවන්නේ ඒ නිසාය.

මීතොටමුල්ලට කුණු යන්නේ අපි කුණු ප්‍රමාණවත් ලෙස බැහැර නොකරන නිසාය. කිසිම ආයතනයක් මේ කුණු කන්දට අත තැබීමට අකමැති මෙහි ඇති පොළිතීන් ඉවත් කිරීම තවත් වියදම් යන කාර්යයක් නිසාය. මීතොටමුල්ල කුණු කන්ද දේශපාලඥයිගේ වගකීමක් පමණක් නොවන්නේද එය දෙශපාලන ගැටළුවකින් ඔබ්බට යන්නේද ඒ නිසාය.

පුද්ගල දින චර්යාවේ වෙනසකින් තොරව කුණු කන්දට යට වූ මිනිසුන්ට නිවන් සුව පැතීම විහිළුවක් වන්නේ ඒ නිසාය. පොළිතීන් සහ ප්ලාස්ටික් භාවිත අවම කිරීම, ඒවා නැවත නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට රටේ සියළුම පුරවැසියන් ක්‍රියා නොකරන තාක් කල් මීතොට මුල්ල ගැන කිඹුල් කදුළු හෙලීමට අපට අයිතියක් නැත.

වගකීමෙන් යුතු රජයක් බිහි වීමට නම් වගකියන ජනතාවක් සිටිය යුතුය. ඒ නිසා දිවා ආහාරය රැගෙන යාමට නැවත නැවත භාවිත කළ හැකි පෙට්ටියක් භාවිතා කරමු. වතුර බෝතල් මිලදී ගන්නවා වෙනුවට නිවසින් වතුර පිරවූ බෝතලයක් රැගෙන යමු. ප්ලාස්ටික් සහ පොළිතීන් ඇසුරුම් වල ඇති භාණ්ඩ මිලදී ගැනීම අවම කරමු. සුපිරි වෙළද සැලට, කඩයට හෝ පොළට යන විට නැවත නැවත භාවිත කළ හැකි මල්ලක් රැගෙන යමු. ප්ලාස්ටික් සහ පොළිතීන් ඇසුරුම් වෙනුවට පරිසර හිතකාමී ආදේශක භාවිත කරන ලෙස නිෂ්පාදකයින්ට, කර්මාන්ත හිමිකරුවන්ට බල කරමු. ප්‍රතිචක්‍රීකරණය සදහා කසල එකතු කරන මධ්‍යස්ථාන සෑම නගරයකම පිහිටුවීමට රජයට බලකරමු. විධිමත් ලෙස කසල බැහැර කරමු.

පබා දේශප්‍රිය | Paba Deshapriya