සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී තිබේ.

ලංකාවේ දේශපාලන ඉරණම කෙසේ වී ද යත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර, යුක්තිය නැතිව වසර 10ක් ගතවන විට ‘යහපාලනය’ නමින් අභිනවයෙන් පත් වූ සිරිසේන ජනාධිපතිවරයා සිය පදවිප්‍රාප්තියේ 3න් වන වසර සැමරීම ද අද(ජනවාරි 08) දවසේ ම සිදු කරයි.

කෙසේ නමුත් ‘යහපාලන‘ ආණ්ඩුව පත් වී මාස කිහිපයකට පසු ලසන්ත ඝාතනය පිළිබද පරීක්ෂණ නැවත ආරම්භ කෙරිණි. එම විමර්ශණ අනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය. එසේම ඉන් පසුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, පසුව මරා දැමීම පිළිබඳ වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි ගත් හමුදා සෙබළුන් 13 දෙනාමාස 6ක් ඇතුලත් කොටස් වශයෙන් නිදහස් කර යැවුවේය. ඒ අතර රණවිරුවන් තමන්ගේ අනුදැනුමකින් තොරව අත්අඩංගුවට ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගෝරනාඩු කළේය. ඇසින් දුටු සාක්ෂි චිත්‍රපටයක මෙන් දිගහැරි රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා නිළධාරීන්ද නිදහස් කර යැවුනේ එවන් පසුබිමකයි. ‘දැන් ඉතින් ඔක්කෝටම ඇප, නිදහස ලැබෙයි‘ ජනාධිපතිගේ කතාවෙන් පසු ඇතැම් විචාරකයන් කීවේ ය. කී ලෙසම සිදුවිය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී ලසන්ත ඝාතනය පිළිබද පරීක්ෂණය කඩිනම කළ බවක් පෙනී ගියේ ය. එසේම එතෙක් ලසන්ත ඝාතනය පිළිපද පරීක්ෂණ සිදු කල ත්‍රස්ථ විමර්ශණය ඒකකය වෙනුවට එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව වෙත පැවරීමට පැමිණිලි පාර්ශවයට හැකියාව ලැබිණි. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ ඉතාමත් සැලකිලිමත් ලෙස පවත්වාගෙන ගියා’ ලසන්තගේ යුක්තිය වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකරන නීතිඥ අතුල එස්.රණගල මහතා පසුගිය 2018 වසරේ ජනවාරි යේ අද(08) වැනි දිනක බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත සිහිකිරීමේදී කීවේය.

නීතිඥ අතුල එස් රණගල

“…. පැහැදිලිව කියන්නට ඕන යම් කිසි පුද්ගලයින් සිතා සිටියා, CID එක යම් කිසි පුද්ගලයෙක් එළඹගෙන විමර්ශණය කරනවා කියලා. එහෙම කලේ නෑ. යම් කිසි විදිහකින් නිවැරදි තොරතුරු ලබා ගැනීමට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කළේ. මේ අවස්ථාව ලබා ගත්තේත්, අධිකරණයෙන් විශාල වෙහෙසක් දරලා. කලින් තිබුණු තත්ත්වය වෙනස් කරලා CID එකට මෙහි විමර්ශණ කටයුතු බාර කලා. අවසාණයේ CID එකට හැකියාව ලැබුණා හිටපු DIG මහත්තයෙක් අත්අඩංගුවට ගන්න. ඔහුගේ ප්‍රකාශයක් මත ඉදිරි ගමන යන්න සිටියා. ඔහු දින ගණනාවක් රිමාන්ඩ් බාරයේ හිටියා. එවකට හිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාත් සමග.. නමුත් මේ පරීක්ෂණ නොමග යවන්න අදාල පොත් පත් ඉරා දාලා, අලුත් පිටු එකතු කරලා, විශාල පෙරලියක් කරලා තිබුණා, ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව. ඊළගට තිබුණේ, එවකට හිටිය පොළිස්පතිතුමාව අත්අඩංගුවට ගැනීමට, නමුත් අවාසනාවකට වගේ ඒ මොහොත වෙනකොට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදව වාරණයක් ලබා ගත්තා. එයින් විමර්ශණ කටයුතු අඩාල වීම සිදු උනා.” නීතිඥ අතුල එස්. රණගල මහතා අද(08) පැවති 10වන සිහිකිරීමේ දී පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ,

”දැන් මේ ආණ්ඩුවට වගකීමක් තියනවා, දැන් මේ යනු ලබන නඩුව පිළිබද, ප්‍රෝසේස් එක පිළිබදව වගකිවයුත්තන් අපෙන් විමසීමක් කළ යුතුයි. මොකද්ද අලුත් තත්ත්වය කියලා. මම කියන්නේ නෑ, පොලිස් දෙපාර්තමේන්තුවට ඇගැලි ගැසීමට ආණ්ඩුවකට පුලුවන් කියලා, නමුත් ඔවුන්ගේ වගකීමක් තියනවා අපි හරහා යම් විමසීමක් කරන්න. මම හිතනවා ඒක කළ යුතුයි කියලා. පසුගිය වසරේත් ඇමතිවරු කිහිපපොලක් ඇවිල්ලා හිටියා. ඔවුන් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ‘මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා ඉක්මනින්ම මෙය විසදන්න කල්පනා කරනවා’ කියලා. නමුත් එහෙම කාර්ණාවක් ඉටු උනේ නෑ. නමුත් ඔවුන්ගේ වගකීමක් තියනවා ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මරා දැම්මේ කවුද කියලා සොයා ගන්න.”

ලසන්ත සිහි කිරීම

(අද පැවති 10වැනි සිහි කිරීමේදී ‘විකල්ප’ කැමරාවේ සටහන් වූ ඡායාරූප එකතුව – BY; Ishara Danasekara)

My Page

අද(08) ලසන්ත වික්‍රමතුංගගේ දේහය මිහිදන් කර ඇති බොරැල්ල සුසාන භූමියට ලසන්තගේ ඥාතීන්, හිතමිතුරුන්, මාධ්‍ය මිතුරන් සහ ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් එක්ව සිටියේ ලසන්ත ව සිහි කරනු පිණිසය. සිහිකිරීම් යනු ලෝකෝත්තර දෙයකි. ඕනෑම අයෙක්ට ඇග රිදවා ගන්නේ නැතිව සහභාගී විය හැකිය. පහනක්, ඉටි පන්දමක් දල්වා මිය ගිය අයට ‘සුවය’ ප්‍රාර්ථනා කළ හැකිය. එය වැදගත්ය. නමුත් ඉතා අමාණුෂික ලෙස මහ දවල්, අධිආරක්ෂක කළාපයක් තුළ ඝාතනය කළ ලසන්තගේ ඝාතකයන් සෙවීම සහ ලසන්තට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් එතැනට කී දෙනෙක්(විශේෂයෙන් ඇතැම් දේශපාලකයින්) පැමිණ සිටියේ දැයි දන්නේ ඔවුනොවුන් පමණි. ලසන්තට යුක්තිය ඉටු කිරීම අරඹයා, ඔහුගේ නීතිඥ අතුල එස්. රනගල මහතා අද ද කිව් කතාවක් යළි සටහන් කරමු. ”ඔවුන් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ‘මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා ඉක්මනින්ම මෙය විසදන්න කල්පනා කරනවා’ කියලා. නමුත් එහෙම කාර්ණාවක් ඉටු උනේ නෑ.’ මෙහි අර්ථය කියවා ගැනීමට පාඨක ඔබට බාර කරමු. (මේ ප්‍රකාශය පිළිබද එම ස්ථානයට පැමිණ සිටි රවී කරුණානයක ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීයෙක් විමසීමේදී ඇමතිවරයා කීවේ ‘එ්ක අහන්න ඕන ඒ කිව්ව අයගෙන්’. (මෙයත් කියවා ගැනීම පාඨක ඔබට බාර කරමු)

ඝාතකයන්?

කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප්‍රගීත් වැනි මාධ්‍යවේදීන් ද , මාධ්‍යවේදී පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්දකයින්, වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල් දැමීම යනු වරද කර දඩුවම් නොළබා සිටීමේ ඓතිහාසික පුරුද්දට තවදුරටත් සහය දීමක් බව අපගේ හැගීමයි.

කෙසේ නමුත්, ලසන්ත ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මෙතෙක් වාර්තා කර ඇති කරුණු අනුව, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ වී ඇති බව දැන් රහසක් නොවේ.
කෙසේ නමුත්, ලසන්තව ඝාතනය කිරීම සදහා ඔවුන්ට එම නියෝග ලබාදුන්නේ කවුද යන්න, සාක්ෂි සහිතව අධිකරණය හමුවේ හෙළිදරව් කිරීමට පරීක්ෂණ මෙහෙයවන්නන්ට තවමත් අපොහොසත් වී තිබේ. ඝාතකයන් හෙළිදරව් කර නීතිය හමුවට ගෙන එනවා සේම, එම ඝාතනයට අණදුන් මර්දකයින් ද නීතිය හමුවට ගෙන ඒම ද ඉතා වැදගත් ය.

එසේම ‘යහපාලන‘ ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මෙන්ම යහපාලන ගුණාංග පිළිබදව විශ්වාස තබා කටයුතු කරන්නේ නම්(ජනාධිපතිවරයා කෙසේ වෙතත්) අදාල පරීක්ෂණ ස්වාධීනව කර ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරනවා විනා ඒවාට අකුල් හෙළන ක්‍රියාවලීන් සිදු කරන්නේ නම් බහුත්වවාදී, මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් අගයන ලංකාවක් පිළිබද කල්පනා කරන පුරවැසියා ‘වත්මන් ආණ්ඩුව’ ගැන ද තීන්දුවක් ගන්නා දවස වැඩි ඈතක නොවනු ඇත.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon