iMAGE: Vikalpa/ UNFRAMED

පසුගිය 2018  වසරේ ජනවාරි මස 30 සහ 31 වන කොළඹින් අප  ආරම්භ කළ , විකල්ප වෙබ්වි අඩවිය වීසින් වසර 10 ක් පුරා ගන්නා ලද ජායාරූප අළලා සැකසු පශ්චාත් යුධ ශ්‍රී ලංකාව : ජීවිතය  හා යුක්තිය වෙනුවෙන් වූ #UNFRAMED ජායාරූප ප්‍රදර්ශනයට වසරක් සපිරීමට ආසන්නව තිබෙන මොහොතක අපි එහි හයවන  පියවර  ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2019 ජනවාරි මස 23 සහ 24 දින අති සාර්ථක ලෙස පැවැත්වූවෙමු.

විශේෂයෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 16 සිට 18 දක්වා ‘මාගේ දේශය අවදිකරනු මැන’  2108 ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පුර්ණ  සංවිධාන ශක්තියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සිසුන් පිරිසකගේ විරෝධය මත වාරණයට ලක් වූ අතර ඉන් පසු පවත්වනු ලැබූ පළමු ප්‍රදර්ශනය මෙය වේ.

 

ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ  ( NCDF) සංවිධාන ශක්තියෙන් පවත්වන ලද මෙවර ප්‍රදර්ශනය නැරඹීම  සඳහා විශාල ජනකායක් දින දෙක පුරාම ත්‍රිකුණාමල නගර ශාලාවට රැස්වී සිටීම සුවිශේෂී ලෙස සටහන් කළ යුත්තකි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ලෙස සියලුම ජන කොටස් නියෝජනය  කරමින් පැමිණි පිරිස  අතර  පාසල් ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, ර‍ජයේ නිලධාරින්, ගුරුවරුන්, තරුණ තරුණයින්, සමාජ ක්‍රියාකාරීන්, ජායාරූපශිලිපින්, මාධ්‍යවේදීන්, කාන්තා ක්‍රියාකාරීන්, ධිවර ප්‍රජාව, දෙමාපියන් මෙන්ම යුද්ධයේ සෘජු වින්දිතයින් බවට පත්වුවන් ඇතුළු බොහෝ දෙනෙක් මෙවර ප්‍රදර්ශනයේදී දැක ගත හැකිවිය.

විශේෂයන්ම “ප්‍රදර්ශනය නොබලා, විවේචනය කළ සහ ව්‍යාජ ෆේස්බුක් පෝස්ට් දමමින්, වෛරී ප්‍රකාශ සිදුකරමින්,  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට තිබූ UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය ‘වාරණය’ වන තැනකට තල්ලු කළ ‘ඇතැම් විශ්ව විද්‍යාල සිසුන්ට’ සුවිශේෂ ආරාධනයක් සමඟ, එන්න ත්‍රීකුණාමලයට…23 සහ 24 ජනවාරි.” ලෙස අප කළ පුර්ව ප්‍රචාරනයන්ට ප්‍රතිචාර දක්වමින් ත්‍රිකුණාමල මණ්ඩපයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හා ශිෂ්‍යාවන් රැසක් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ  සිටියහ. 

එහිදී ඔවුන් සමඟ දීර්ඝ සංවාදයක් හා අදහස් බෙදා ගැනීමක් සිදු කිරීමට අපට හැකි වූ අතර, විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් යුත් අදහස් රැසක් එහිදී ජායාරූප මුලික කොට ගෙන සාකච්ජාවට බඳුන් විය.

එහිදී එක් කැපිපෙනෙන පසු සටහනක් එක් ශිෂ්‍යාවක් විසින් අප සමරු සටහනේ මෙසේ සටහන් කොට තිබුණි.

“තිත්ත වුනත් ඇත්ත 

පිලිගනින් ඒක ඇත්ත”

පෙනෙන ලෝකයට එහා දෙයක් පෙන්නන දරපු අසීරු වෑයමක්.  මිනිසුන්ගේ අදහස් ස්පර්ශ කරමින් ඔබ මෙය ඉතා අසීරුතා මැද සිදු කරන බව පෙනෙනවා. ඔබේ අසීරු වෑයම සාර්ථක වේවා යයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර, ඔබ යම් කෝණයකට සිමා නොවී තිත්ත ඇත්ත ලෝකය ඉදිරියේ දිග හැරීම ගැන මා ප්‍රශංසා කරනවා” 

 

විශේෂයන්ම මෙවර පැවති ප්‍රදර්ශනය තවත්  කරණා දෙකක් මත සුවිශේෂී වේ.  ජනවාරි මස 23 වන දින දීප ව්‍යාප්තව පවත්වන ලද ” වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු; 1000 දක්වා ඉහල දමන ලෙස ඉල්ලා කරන ලද “1000 ව්‍යාපාරය ” සමඟ සම්බන්ධ වෙමින් ත්‍රිකුණාමලයේදී අප විසින් “වසර 150 ක තේ කඳුළු කතාව ” නම් ජායාරූප පෙළ  මෙවර ප්‍රදර්ශයේ දීද යුක්තිය වෙනුවෙන් වූ සාමුහික අරගලයට එක්කාසු කිරීමට හැකිවීමය .

එසේම ජනවාරි මස 24 වන දිනට  වසර 9 ක් පුරා අතුරුදහන් තම සැමියා වන ප්‍රගීත්යු එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය  ඉල්ලන සන්ධ්‍යා එක්නැලිගොඩ හා ප්‍රගීත් එක්නලිගොඩ වෙනුවෙන් 5 වෙනි වරටත් අප #UNFRAMED ජයාරූප හරහා ජනයාට සම්මුඛ කරන්නට හැකිවීමය. එය තව දුරටත් විශේෂ වන්නේ වාරණය කරන ලද ප්‍රදර්ශනයේදී ප්‍රගීත් සම්බන්ධව ඇතැම්වි ව්ශ්ව විද්‍යාල ශිෂ්‍යන් දක්වන ලද අදහස නිසාමය. කෙසේවෙතත් ප්‍රදර්ශනය ඉලක්ක කරගිනිමින්  මෙවරද විකල්ප සංස්කාරක හා සම සංස්කාරකවරියට ව්‍යාජ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ අතර ඒවාට  වන නිසි පිළිතුරු  බිම් ගත සංවාදයේ යෙදුණු ප්‍රදර්ශනය නැරඹු අයගේ අදහස් කියවීමෙන් ඔබට අවබෝධ කොට ගත හැකියි.

 

 

ප්‍රදර්ශනයේ අවසන් දින අවසන් අඩ පැයේ පැමිණි ගෞව්රි අම්මා ජායාරූප එකින් එක නරඹන අයුරු අපි බලා සිටියෙමු. ඇගේ දෑස් බිදෙන් බිඳ තෙත්විය. ඈ දීර්ඝ කතාවක් අප ඉදිරියේ කියන ලදී. එය මෙහි ලිවිය නොහැකිය. එවන කතා බොහොමයක් අප සතුව තිබේ. එහෙත් 1990 මතකයෙන් අදටත් ඇගේ සිත පාරමින් තිබෙන අවිහිංසක බලාපොරොත්තුවක කඩවීම මෙසේ ලියා තබමු.

“මගේ මහත්තය ලංකා බැංකුවේ වැඩ කළේ. මන් ගුරුවරියක්ව හිටියා. මහත්තයා ලංකාවේ පළවෙනියටම  ඒ කාලේ ගණකාධිකරණය වෙනුවෙන් ලන්ඩන් වලින් තිබ්බ විභාගයට පොත් ගෙන්න ගත්තේ ලන්ඩන් වලින්ම. අපේ තිබුණ සියලුම රත්තරන් බඩු උකස් කරලා අපි ඒ පොත් ටික ගෙන්න ගත්තී. පුදුම වටිනාකමක් තිබ්බ පොත්. මන් පොරොන්දු වෙලා තරුණ ළමයි ගොඩකට ඒ පොත් ටික දෙන්න, එයාලට පාවිච්චි කරන්න, එත් එදා අන්තිමට  එයාල ආවම එකම එක පොතක් වත් ඉතුරු නොවෙන්න එයාලා පිච්චුවා. ආමී එකේ ආපු පුතාලට මන් කිව්වා එකම එක  පොතක් ඉතුරු කරන්න පුතේ කියලා.  එත් එක පොතක් වත් ඉතුරු කළේ නෑ. තිබ්බ පොත් ඔක්කොම පුච්චිලා  අලුවෙලා යනවා මේ දැනුත් පේනවා මට. දරුවෝ මගෙන්  පොත් ඉල්ලද්දී මට දෙන්න එක පොතක් වත් තිබ්බේ නෑ.

ඒ වගේම මගේ දුවගෙයි පුතාගෙයි එකම එක පොතක් වත් ඉතුරු වුනේ. මන් ගුරු රස්සාවෙන් අයින් වුණා. කඳවුරේ ඉද්දි ඒ පුරාම ඇවිදලා ඇවිදලා මන් ගුරුවරු හෙව්වා දුවටයි පුතාටයි පාඩම් කියල දෙන්න කියාලා. ඒ දෙන්නම අද ඕස්ට්‍රේලියාවේ, පුතා  ඉංජිනේරුවෙක්, දුව වෛද්‍යවරියක්. මට එන්න කිව්වමත් හැමදාම මන් එහෙ යන්නේ නෑ . මේ මගේ පොළොව, ඒක දාලා මට යන්න බෑ පුතේ. ත්‍රිකුණාමලයේ මන් අපේ පවුලේ හයවෙනි පරම්පරාව. මන් මැරෙන්නේ මේ පොළොවේ. මට අදටත් දුකයි මට එක පොතක් වත් එකම එක දරුවෙකුටත් දෙන්න බැරි වුණා. එක පොතක් දුන්න නම් දරුවෙක් ඉගෙන ගන්නවනේ පුතේ ” 

අප මගහරිමින් සිටින සත්‍ය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් #UNFRAMED මේ වසරේදී පාඨක ඔබට සම්ප කරන්නට හා යුක්තිය වෙනුවෙන් වන හඬ බලවත් කරන්නට අපි සුදානම් ව සිටිමු.

  

ප්‍රදර්ශනය අතරතුර විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප

බිම් ගත සංවාදයේ යෙදුණු ප්‍රදර්ශනය නැරඹු අයගේ අදහස්