සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින් තිබෙන, සංකීර්ණ, දීර්ඝ කාලීන ගැටලූවක ප‍්‍රවෘත්ති හා තොරතුරු පරිසරය පිළිබඳ සංක්ෂිප්ත අධ්‍යයනයක නිරත වීමට මා පෙලඹවී ය. විල්පත්තුව: වගකීම බෙදාහදා ගැනීමේ සෙල්ලම නමින් මාධ්‍යවේදී තුලසි මුතුලිංගම් පළ කළ ලිපිය, මේ වන විට සිදු වෙමින් පවත්නා, ප‍්‍රධාන වශයෙන් සාවද්‍ය තොරතුරුවලින් සපිරි විවාදයක බෙදුම් රේඛාවන්, සිත් කා වදින අයුරිනුත් සංක්ෂිප්ත ආකාරයෙනුත් සලකුණු කරයි. මගේ උනන්දුව වඩාත් දැල්වූයේ, සත්‍යවාදී භාවයෙන් මුළුමනින් ම පාහේ තොර වුව ද, ගැටලූවක් පිළිබඳ අවබෝධය තුළ ආධිපත්‍යය දරන ප‍්‍රකාශයක් මේසා පරිමාවකින් හා ප‍්‍රවේගයකින් වපුරා පතුරවා හැරීමට ෆේස්බුක් අඩවියේ මාධ්‍ය පරිසරය කොතරම් නම් සංකීර්ණ විය යුතු ද යන කාරණය යි. මෙය වසරකට පෙර අම්පාර හා දිගන සහ ඒ අවට පැතිර ගිය කායික, චාලක ප‍්‍රචණ්ඩත්වයට දායක වූ විඛාදක බලවේගයකි. විල්පත්තුව පිළිබඳ අන්තර්ගතය ගැන මෑත කාලීනව ඇති වූ උනන්දුව හා වර්ධනය ආශ‍්‍රිතව සාවද්‍ය තොරතුරු පැතිර යාම සිදු වූයේ ක‍්‍රමෝපායාත්මකව එම තොරතුරු වැපිරීමෙන් බව බී.බී.සී.ය විසින් තහවුරු කරනු ලැබිණ. මෙය ද, ට්විටර් අඩවියෙහි පළව ඇති වඩාත් විවෘතව ප‍්‍රචණ්ඩ වූත් සීමාන්තිකව වර්ගවාදී වූත් අන්තර්ගතය ද, විල්පත්තුව සම්බන්ධයෙන් වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන හා ප‍්‍රවර්ධනය කෙරෙන දෙයින් වැඩි කොටසකට, සංරක්ෂණය හෝ පරිසරවේදය පිළිබඳ කවර හෝ සැබෑ ඇල්මක් හෝ උනන්දුවක් සමග ඇත්තේ ඉතා සුළු සම්බන්ධයක් ය යන කරුණත් අවධානයට පාත‍්‍ර කළේ ය.

දින 7ක් පුරා ෆේස්බුක් හා ට්විටර් අඩවිවල ඉංග‍්‍රීසි හා සිංහල භාෂාවලින් පළ වී ඇති අන්තර්ගතය පිළිබඳව කරනු ලබන කෙටි විමසුමකින්, වර්තමානයේ සමාජ මාධ්‍යය තුළ තොරතුරු ගලා යන ආකාර පිළිබඳව යම් අදහසක් ඇති කර ගත හැකි ය. එම දත්ත, අතෘප්තිය වැපිරීම සඳහා ගැටලූවක් හිතාමතා ආයුධයක් කර ගන්නා ආකාරය පිළිබඳව ද තියුණු අවබෝධයන් සම්පාදනය කරයි. යොදා ගන්නා ලද හෝ හුවා දක්වන ලද පෝස්ටු, ට්වීට් පණිවුඩ, පිටු හා ගිණුම් සියල්ල ම ප‍්‍රසිද්ධ ඒවා ය. ලැබී ඇති වාර්තාවලින් පෙන්නුම් කෙරෙන්නේ, සිය ගණන් සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතරට අන්තර්ගතය කා වැද්දීම සඳහා, වට්ස්ඇප් හා ෆේස්බුක් මැසෙන්ජර් මෘදුකාංග බෙහෙවින් යොදා ගෙන ඇති බව යි. ක්ෂණික පණිවුඩ මගින් හුවමාරු කර ගන්නා ලද ප‍්‍රවෘත්ති හා තොරතුරු පිළිබඳව අධ්‍යයනයක් සිදු කළ හැකි නමුත්, එය බොහෝ කාලයක් ද වැඩි ශ‍්‍රමයක් ද අවශ්‍ය කරන කර්තව්‍යයක් වන්නේ ය. කටකතාවලින් ඇඟවෙන්නේ, මෙම වට්ස්ඇප් කණ්ඩායම් තුළ හුවමාරු වූ අන්තර්ගතයෙන් වැඩි කොටසක්, ෆේස්බුක් අඩවියේ තිබෙන තොරතුරුවලට ලින්ක් කර තිබූ බව යි. ඉන්දියාව තුළ ලෝක් සභා මැතිවරණවලට පෙරාතු කාලයේ දී ක‍්‍රියාත්මක වූ බලවේග හෝ බ‍්‍රසීලය තුළ සිදු වූ දෙය මෙන් මෙය ද, ක්ෂණික පණිවුඩකරණයේ කාර්ය භාරය සහ ප‍්‍රවෘත්ති හා තොරතුරු භූ දර්ශනයේ පැතිරීම හා අදාළත්වය (විද්වත් සාහිත්‍යය තුළ ‘න්‍යාය පත‍්‍ර තහවුරු කිරීමේ කාර්යය’ ( Agenda Setting)  ලෙස ද හැඳින්වේ) සුපරීක්ෂාවට ලක් කිරීම සඳහා, ශ‍්‍රී ලංකාව තුළ වඩාත් පරිස්සම් සහගත අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව මතු කරයි. අමන්තගේ ප‍්‍රශ්නයට දත්ත පදනම් කර ගත් ප‍්‍රතිචාරයක් වර්ධනය කිරීමේ දී, මට කාලය තිබුණේ ෆේස්බුක් හා ට්විටර් අඩවි ගවේෂණය කිරීමට පමණකි.

ෆේස්බුක් හා ට්විටර් අඩවිවල දී ඉංග‍්‍රීසි හා සිංහල භාෂාවලින් විල්පත්තුව පිළිබඳව පළ වන උනන්දුව සැබවින් ම 20 ( ලියුම්කරු අර්ථ දක්වන්නේ මාර්තු 20 වන දා යන්නයි ) වන දාට (බදාදාට) පෙර පැවතියේ නැත. වේදිකා හා භාෂා දෙක හරහා විල්පත්තුව පිළිබඳව නිෂ්පාදිත අන්තර්ගතය එදින විස්මිත ලෙස වැඩි වූ අතර නිරීක්ෂණය කරන ලද අවශේෂ කාලය තුළ ද වැඩි මට්ටමක පැවතිණ. වචනය පළමුවෙන් සඳහන් වූයේ ඉරාජ් විසින් 17 දා ෆේස්බුක් අඩවියෙහි ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ කරන ලද පෝස්ටුවක ය (බෙදාහදා ගැනීම්: Shares 120) . අනතුරුව 19 දා (බදියුද්දීන් ඉලක්ක කර ගනිමින්) තවත් අයෙකු වචනය සඳහන් කර තිබිණ (බෙදාහදා ගැනීම්:Shares 225 ).  20 දා වඩාත් ම බෙදාහදා ගත් පෝස්ටුව තිබුණේ ‘විල්පත්තුව සුරකිමු’ පිටුවේ ය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ යන අයට විවෘතව විරුද්ධත්වය පළ කරන පෝස්ටරයක් වන මෙය ඔවුන් බදියුද්දීන් ආරක්ෂා කරන්නේ හා ප‍්‍රවර්ධනය කරන්නේ යැයි විස්තර කරන්නක් බව සැලකිල්ලට ගත යුතු ය (බෙදාහදා ගැනීම් : Shares 1,265). අසාම් අමීන් (335) සහ ඉරාජ් (375) ද මෙදින බෙහෙවින් බෙදාහදා ගන්නා ලද පෝස්ටුවලින් සමන්විත විය. ‘නමෝ බුද්ධාය’ (බෙදාහදා ගැනීම් :shares 597), ‘පොඞ්ඩා’ (බෙදාහදා ගැනීම් Shares 838) සහ ‘Traveler'(බෙදාහදා ගැනීම් :shares 653) ඊළඟ දිනවල දී වැඩියෙන් ම බෙදාහදා ගත් අන්තර්ගතයන් කිහිපයකින් සමන්විත විය. ඔටාරා ගුණවර්ධන ‘විල්පත්තුව සුරකිමු’ පිටුවේ අන්තර්ගතයෙන් 21 දා බෙදාහදා ගත් දෙය (බෙදාහදා ගැනීම් :Shares 221) සහ 23 දා ඇය විසින් ම පළ කරන ලද පෝස්ටුවක් (බෙදාහදා ගැනීම්:: shares 465) ද ඉමහත් ආකර්ෂණයක් දිනා ගත්තේ ය. සැබවින් ‘W Now’ පිටුවෙන් උපුටා ගන්නා ලද පෝස්ටුව (බෙදාහදා ගැනීම්: shares 654) සිංහල බසින් සම්පාදිත වීඩියෝවකි. පහත දැක්වෙන ප‍්‍රස්තාරයේ ඇති කවයන්හි විශාලත්වය බෙදාහදා ගැනීම්(shares) සංඛ්‍යාවට අනුරූප ය. ජනප‍්‍රවාදය (legend) පෙළ ගස්වා ඇත්තේ, වැඩි ම බෙදාහදා ගැනීම් සංඛ්‍යාවේ සිට අඩු ම බෙදාහදා ගැනීම් සංඛ්‍යාව දක්වා සහ ගිණුම් අනුව ය. (පෙළ ගැස්වීමේ මෙම සාමාන්‍ය මූලධර්මය පහත දැක්වෙන සියලූ ප‍්‍රස්තාරවලට (graphs)  අදාළ ය).

 

 

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. දින 7ක් පුරා වඩාත් ම බෙදාහදා ගත් පෝස්ටු පහ තුළ දිස් වන, පිළිගත් මාධ්‍යවේදියෙකුට අයත් එක ම ගිණුම බී.බී.සී.යේ අසාම් අමීන්ගේ ය.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. මෙය විල්පත්තුව ආශ‍්‍රිතව ෆේස්බුක් අඩවිය තුළ පවත්නා වෙනස් භූ දර්ශනයකි. සම්බන්ධ වීමේ පරිමාව වඩාත් ඉහළ මට්ටමක පවතින බව සැලකිල්ලට ගත යුතු ය. මෙම තනි කාරණය සම්බන්ධයෙන් ගත් විට, ෆේස්බුක් අඩවිය තුළ, ඉංග‍්‍රීසි භාෂාවට සංසන්දනාත්මකව සිංහල භාෂාවෙන්, ක‍්‍රියාකාරී පරිශීලකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති.  ‘Sinhala Buddhists‘පිටුවේ (9,185) සහ ‘1000 Talk “තව්සන් ටෝක්” පිටුවේ (6,628) පෝස්ටු හැරුණු විට, බෙදාහදා ගැනීම් (7,495) වැඩි ප‍්‍රමාණයක් උපදවා ගෙන තිබුණේ, ‘විල්පත්තුව සුරකිමු’ පිටුවට පෝස්ට් කර තිබූ, චාලක ක‍්‍රියාව (kinetic action) සඳහා රැලි වන ලෙස කරන ලද බෙරිහන් දීම යි. ‘Sinhala Buddhists‘ පිටුවේ තිබූ පෝස්ටුව, පෙනෙන හැටියට නම් ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශයකින් සමන්විත ය. වඩාත් ම බෙදාහදා ගත් පෝස්ටු 20 න් වැඩි කොටසක් උපුටා ගෙන තිබුණේ, සාම්ප‍්‍රදායික නොවන මාධ්‍ය මූලාශ‍්‍රවලින් හෝ ඕපාදූප (Gossip) පිටුවලිනි.

 

සිංහල තොරතුරු භූ දර්ශනය තුළ බොහෝ දුරට ආධිපත්‍යය දරන්නේ සාම්ප‍්‍රදායික නොවන මාධ්‍ය මූලාශ‍්‍රවලින් සහ ඕපාදූප (Gossip)  පිටුවලින් උපුටා ගත් පෝස්ටු ය. වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. වඩාත් ම ලයික් කරන ලද අන්තර්ගතය, වඩාත් ම නරඹන ලද වීඩියෝ සහ සිංහල බසින් වඩාත් ම අදහස් දක්වන ලද පෝස්ටු ආශ‍්‍රිතව ද මීට සමාන රටාවක් දැක ගත හැකි ය (පහත දැක්වෙන සම්පූර්ණ ස්ලයිඞ් එකතුව (slide deck) බලන්න). මෙම කාල සීමාව තුළ දී, වැඩි ම අදහස් දැක්වීම් සංඛ්‍යාවක් කර තිබෙන්නේ,  ‘Sinhala Buddhists’ පිටුවේ ඇති මේ පෝස්ටුව සම්බන්ධයෙන් බව ද සැලකිල්ලට ගත යුතු ය.

 

වීඩියෝව ෆේස්බුක් අඩවිය පුරා වයිරසයක් මෙන් පැතිර ගිය නිසා, සිංහල බසින් විල්පත්තුව ගැන කියැවෙන වීඩියෝ සඳහා, වැඩි ම නැරඹුම් සංඛ්‍යාවක් උපදවා ගෙන තිබෙන්නේ කුමන පිටු ද යන්න විමසා බැලීම ද වැදගත් වේ. ‘ජන බලය’ පිටුවට පෝස්ට් කර තිබූ වීඩියෝවක්  ’‘Bring Back Gota‘ පිටුවේ බෙදාහදා ගත් අතර (123,328 වතාවක් නරඹා (views) තිබිණ).  ‘1000 Talk “තව්සන් ටෝක්‘ පිටුවේ තිබෙන එම වීඩියෝවට (121,518 වතාවක් නරඹා (views) තිබිණ)  වඩා එය නරඹා තිබෙන බව සැලකිල්ලට ගත යුතු ය. සමස්තයක් ලෙස ගත් විට, මෙම දින 7 තුළ, සිංහල බසින් පළ කරන ලද වීඩියෝ රූපාවලි සමීපව විමසා බැලීමෙන් අනාවරණය වන්නේ, හිරු, Live at 7 සහ අද දෙරණ විසින් පෝස්ට් කරන ලද අන්තර්ගතයටත් වඩා ආධිපත්‍යය දරා තිබෙන්නේ, සැබෑ සන්දර්භය තුළ පිහිටුවා සාකච්ජා කිරීමට වඩා සරල කිරීමට නැඹුරු වූ නිර්ණායක කට්ටලයක් බව යි.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න.

විශාලත්වය අනුව පෙළ ගැස්වූ විට, පෝස්ටු පිළිබඳව අදහස් දැක්වීමට වඩා ඉක්මනින් අඩු වීමක් සිදුව තිබෙන්නේ ද (පහත දැක්වෙන සම්පූර්ණ ස්ලයිඞ් එකතුව බලන්න), ෆේස්බුක් අඩවියේ (හැඟීම් අවුස්සන අන්තර්ගතය) නැරඹීම, ලයික් කිරීම හා බෙදාහදා ගැනීම සම්බන්ධයෙනි (ඉංග‍්‍රීසි හා සිංහල භාෂා දෙකේ ම අන්තර්ගතය සම්බන්ධයෙන් මෙය සත්‍යයකි). 2018 ව්‍යවස්ථා අර්බුදය අතරතුර දී ද මම මේ රටාව දැක ඇත්තෙමි. ඉංග‍්‍රීසි භාෂාවෙන් වැඩි ම ලයික් කිරීම් හා අදහස් දැක්වීම් ප‍්‍රමාණය උපදවා ගෙන තිබුණේත්, බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ඉහළ මට්ටම් අත් කර ගෙන තිබුණේත්, අසාම් අමීන්ගේ පිටුව/ගිණුම බව සඳහන් කිරීම වැදගත් විය හැකි ය. කෙසේ වුව ද, සිංහල පිටු/ගිණුම් පරිසර පද්ධතිය තුළ අමීන්ගේ අන්තර්ගතය දක්නට නොලැබිණ.

ඉංග‍්‍රීසි බසින් ට්විටර් අඩවිය තුළ විල්පත්තු ගැටලූව පිළිබඳව පළ වී ඇති දෙය විමසා බලන විට කෙනෙකුට එක වර ම පෙනී යන්නේ, සමස්තයක් ලෙස ගත් විට, ෆේස්බුක් අඩවියට සංසන්දනාත්මකව එම අඩවියට සම්බන්ධ වී තිබෙන්නේ කොතරම් අඩු පිරිසක් ද යන්න යි. එහෙත් 20 දා ට්විටර් අඩවිය තුළ ද භාෂා දෙකෙන් ම විල්පත්තු ගැටලූව විස්මිත වර්ධනයක් පෙන්නුම් කරන නමුත්, පෙර දිනයට සංසන්දනාත්මකව ඉතා සුළු වශයෙනි.

එක් එක් කවය තුළ දක්වා ඇති සංඛ්‍යාවලින් පෙන්නුම් කෙරෙන්නේ, ප‍්‍රස්තාරය සඳහා පදනම් කර ගෙන ඇති මිම්ම යි. පහත දැක්වෙන ප‍්‍රස්තාරයේ දී අපි, මෙම දින 7 තුළ, වඩාත් ම ක‍්‍රියාකාරී ගිණුම් 20 ඉංග‍්‍රීසි බසින් ‘Wilpattu’  ට්වීට් කරමින් උපදවා ගෙන ඇති ලයික්ස් සංඛ්‍යාව විමසා බලන්නෙමු. ඉහත දක්වන ලද ප‍්‍රස්තාරවල දී මෙන් මෙහි දී ද, ප‍්‍රස්තාරය තුළ ඇති කවයන්හි විශාලත්වය, වාර්තා වීම් සංඛ්‍යාවට අනුරූප ය. වඩාත් පහසුවෙන් විමසිය හැකි වන පරිදි මා ඒ ඒ කවය තුළ අංක ද යොදා ඇත. ජනප‍්‍රවාදය පෙළ ගස්වා ඇත්තේ වැඩි ම ලයික්ස් සංඛ්‍යාවේ සිට අඩු ම ලයික්ස් සංඛ්‍යාව දක්වා සහ ගිණුම් අනුව ය. පෙළ ගැස්වීමේ හා ඉදිරිපත් කිරීමේ මෙම සාමාන්‍ය මූලධර්මය, පෙර සේ ම, අවශේෂ රූප සටහන්වලට ද අදාළ වේ.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. 22 දා පෝස්ට් කරන ලද නාමල් රාජපක්ෂගේ ට්වීටයෙන් සහ අසාම් අමීන්ගේ ට්වීටයෙන් පසුව, 23 දා අතිශයින් ම වෙනස් කේන්ද්‍රයක් අල්ලා ගත් පණිවුඩයක් පළ වී තිබිණ. මෙම දින හත තුළ දී, වැඩි ම ලයික්ස් ප‍්‍රමාණයක් උපදවා ගන්නේ මෙම ට්වීට් පණිවුඩ 3 ය. ගිණුම් ගණනාවක් ට්වීට නිපදවා ඇති නමුත් ප‍්‍රතිට්වීට (Retweet) සැලකිය යුතු ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇත්තේ කිහිපයක් පමණකි (පහත දැක්වෙන සම්පූර්ණ ස්ලයිඞ් එකතුව බලන්න).

ට්විටර් අඩවියේ විල්පත්තුව සමන්විත වන්නේ, අන්තර්ගතය නිෂ්පාදනය කිරීමෙහි නිරත වෙන ම ම ගිණුම් සමූහයකිනි. ඒවා අතර ඉංග‍්‍රීසියට සංසන්දනාත්මකව සිංහල අන්තර්ගතය බෙහෙවින් අඩු බව ද පෙනී යයි. මෙය ෆේස්බුක් අඩවියේ සාමාන්‍ය රටාවේ ප‍්‍රතිලෝමයකි. විශාලත්වය අනුව පෙළ ගැස්වූ විට එම අඩවිය, 2015 සිට මා අධ්‍යයනය කර ඇති (2018 ව්‍යවස්ථා අර්බුදය ද ඇතුළු) ඕනෑ ම ගැටලූවක් සම්බන්ධයෙන් සහ ඕනෑ ම කාල පරාසයක දී, ඉංග‍්‍රීසියට වඩා සිංහල අන්තර්ගතය නිෂ්පාදනය කර ඇත.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. පිළිවෙළින් 21 දා සහ 22 දා @DJSlash9 විසින් පෝස්ට් කරන ලද ට්වීට් පණිවුඩ දෙක, වැඩි ම ලයික්ස් ප‍්‍රමාණයක් උපදවා ගනියි. පණිවුඩ දෙක ම, දේශපාලනය හා බදියුද්දීන් සම්බන්ධයෙන් තීරණාත්මක ප‍්‍රශ්න මතු කරයි. කලින් මට හමු වී නැති සැබවින් ම ආගන්තුක මෙම ගිණුම, එහි කතුවරයා, යම් දේශපාලන පක්ෂයකට එරෙහිව ට්වීට් පෝස්ට් කිරීම සඳහා සෑම දෙයක් ගැන ම උනන්දු වන බව පෙන්නුම් කරයි. (interested in everything from quick erections and other phallic issues)  එම ගිණුම, මෙම දින 7 දී, වැඩි ම සිංහල ප‍්‍රතිට්වීට ප‍්‍රමාණය ද උපදවා ගනියි. 23 දා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජෙහාන් හමීඞ් විසින් පළ කරන ලද ට්වීටය, පාලන තන්ත‍්‍ර පෙරළිය පිළිබඳ ගැටලූව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර, යම් තරමක ආකර්ෂණයක් දිනා ගනියි. වඩාත් ම ක‍්‍රියාකාරී ට්වීට නිෂ්පාදකයන් සම්බන්ධයෙන් ගත් විට ද, ඉංග‍්‍රීසි හා සිංහල භාෂා දෙක අතර විශාල වෙනසක් දක්නට ලැබේ. සම්පූර්ණ ස්ලයිඞ් එකතුවල ගැබ් වන තොරතුරු, පහත විස්තර කෙරේ.

මෙහි දී විශේෂ අවධානයක් යොමු කෙරෙන්නේ, ට්විටර් අඩවිය තුළ දී සහ විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් ෆේස්බුක් අඩවිය තුළ දී, පෝස්ට් කරන ලද අන්තර්ගතය සම්බන්ධයෙන් කර ඇති අදහස් දැක්වීම් (හෝ ප‍්‍රතිචාර) කෙරෙහි ය. මම විශේෂිත පෝස්ටු හෝ ට්වීට ලින්ක් නොකරන්නේ ඒවා තව දුරටත් ප‍්‍රසිද්ධ හෝ ප‍්‍රවර්ධනය වීම වැළැක්වීම සඳහා ය. එහෙත් මා ඉරිදා සඳහන් කළ පරිදි, මෙම අදහස් දැක්වීම් අතරට, ප‍්‍රචණ්ඩත්වය සඳහා විවෘතව කෙරෙන කැඳවුම් ද ඇතුළත් ය.

විල්පත්තු වනාන්තරය විනාශ කළ බව කියමින් එහි ලා ඉටු කළේ යැයි කියන කාර්ය භාරය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා අමාත්‍ය රිෂාද් බදියුද්දීන් එල්ලා මැරිය යුතු හෝ ඝාතනය කළ යුතු යැයි නැවත නැවතත් ඉල්ලා ඇත. මෑතක නවසීලන්තයේ ඇති වූ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව විවෘත සැඳහුමක් කරන එක් ට්වීටයක කතුවරයා, බදියුද්දීන්ට වුවමනා කරන්නේ ශ‍්‍රී ලංකාව සෞදි අරාබියක් බවට පත් කිරීමට නම් ක‍්‍රයිස්ට්චර්ච්හි ඕස්ටේ‍්‍රලියානුවන් කළ දෙය කිරීමට තමන්ගේ සූදානම ප‍්‍රකාශයට පත් කරයි. තවත් ට්වීටයක්, බෞද්ධ භික්ෂුවක් බදියුද්දීන් එල්ලා මැරිය යුතු හෝ ඝාතනය කළ යුතු යැයි සඳහන් කළ බව උපුටා දක්වයි. නීතියේ පාලනය, නිසි ක‍්‍රියාවලිය, ප‍්‍රබල විමර්ශන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල කාර්ය භාරය, මුස්ලිම්වරුන් විසින් සිංහල බෞද්ධයන්ට එරෙහිව වර්තමාන තත්ත්වය හමුවේ කිසි සේත් ම වැදගත් නොවන හෝ ප‍්‍රමාණවත් නොවන දේවල් බවට පත් කෙරේ. මෙම කතිකාවේ දී නැවත නැවතත් මතු වන තේමාවන් වන්නේ ෆැසිස්ට්වාදය, ප‍්‍රචණ්ඩත්වය, පූජක තන්ත‍්‍රවාදී ආඥා සහ ප‍්‍රජාගණවාදී නැගිටීම් ය.

කෙටියෙන් කිව හොත්, 20 දා සිට, විල්පත්තුව ආශ‍්‍රිතව කෙරෙන සාකච්ජා , විශේෂිත ප‍්‍රජාවක්, ආගමක් හා සංස්කෘතියක් ඉලක්ක කර ගත් අන්තගාමී, වර්ගවාදී, අන්තවාදී අන්තර්ගතයකින් සපිරි අතිශය විසකුරු මඩ ගොහොරුවක ගිලී ගොස් ඇත. එපමණක් නොව, ශ‍්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යය ආශ‍්‍රිත තොරතුරු පරිසරය සම්බන්ධයෙන් කරන ලද සමස්ත නිරීක්ෂණ, 2015 සිට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ආශ‍්‍රිතව ෆේස්බුක් අඩවිය තුළ සිදු වන සාකච්ජා වල  තේමාව හා ස්වරය පිළිබඳව කරන ලද සංක්ෂිප්ත අධ්‍යයනයක සොයා ගැනීම්වලට මුළුමනින් ම සමාන බව සහ එම සොයා ගැනීම් තහවුරු කරන බව කිව යුතු ය. ශ‍්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යය පිළිබඳව 2018 දී ලියන ලද ප‍්‍රතිපත්තිමය සාරාංශයක (Policy brief)  (d), (e) සහ (f) නිර්දේශ නැවත සිහිපත් කරමින් මෙම අධ්‍යයනය, ෆේස්බුක් හා ට්විටර් අඩවි අතර සහ ඒ එක් එක් අඩවියේ ඉංග‍්‍රීසි හා සිංහල භාෂා අන්තර්ගතයන් අතර පවත්නා අතිශය වෙනස් ලක්ෂණ ග‍්‍රහණය කර ගනියි.

මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. බලපෑම මැනීමේ දී බොහෝ කොන්දේසි සහ වෙනස් විධික‍්‍රම අදාළ කර ගැනෙන නමුත්, යොදා ගත හැකි එක් මිනුමක් ලෙස, (පෝස්ටු සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින සමයක දී) ගැටලූවක් ප‍්‍රවර්ධනය කරන පිටුවකට (රසිකයන්, අනුගාමිකයන් හෝ දායකයන් ලබා දුන්) ලයික්ස් (Likes)  සංඛ්‍යාව විමසා බැලීම දැක්විය හැකි ය. (සැබෑ පාඨක/පේ‍්‍රක්ෂක පිරිස තීරණය වීමේ දී ෆේස්බුක් අඩවියේ  News Feed ඇල්ගොරිතම සහ පෞද්ගලික කැමැත්ත පිළිබඳ අනුමානයන් බලපාන නමුත්) මෙය පාඨකයන්/පේ‍්‍රක්ෂකයන් වීමට ඉඩ තිබෙන පිරිස පිළිබඳ ඉඟියක් සම්පාදනය කරයි.

සිංහල අන්තර්ගතයක් සහිත, වැඩි ම ලයික්ස් ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගත් පිටු මේවා ය.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න. ඉංග‍්‍රීසි අන්තර්ගතයක් සහිත, වැඩි ම ලයික්ස් ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගත් පිටු මේවා ය.

වඩාත් විශාල රූප සටහනක් සඳහා ක්ලික් කරන්න.

අවරෝහණ ක‍්‍රමයට දැක්වූ විට, සිංහල භාෂාව යටතේ ඉහළින් ම තිබෙන පිටු පහ වන්නේ: Hiru FM (1,816,575), ෂා FM (1,251,158), Hiru News (1,925,501), ‘1000 Talk “තව්සන් ටෝක්”‘ (894,141)  සහ Hiru TV (708,279)ය. අවරෝහණ ක‍්‍රමයට දැක්වූ විට, සිංහල භාෂාව යටතේ ඉහළින් ම තිබෙන පිටු පහ වන්නේ: Newsfirst.lk (1,058,433), Otara Gunewardene (1,331,188), Iraj (1,087,099), අද දෙරණ (233,597) සහ ‘ වටපිට'(463,926) ය. මේ අනුව, වැඩි ම අනුගාමිකත්වයක් සහිත සිංහල පිටු පහේ නිර්ණායකයන්, කේන්ද්‍රයන්, ප‍්‍රකාශනයන්, වදන්, අන්තර්ගතයන් හා (විසකුරු) අදහස් දැක්වීම්, ආසන්න වශයෙන් ගිණුම් මිලියන 6.6ක් වෙත ගලා යා හැකි ය. ඉංග‍්‍රීසි පිටු සම්බන්ධයෙන් ගත් විට, ආසන්න වශයෙන් ගිණුම් මිලියන 4.2ක් වෙත ගලා යා හැකි ය.

නිෂ්පාදනය, බලපෑම හා සම්බන්ධය පිළිබඳ වෙනත් බහුවිචල්‍ය මිනුම් ද සැලකිල්ලට ගනිමින් පරිස්සමින් කියවූ විට, මෙම සංඛ්‍යා සහ ඒවා අදාළ වන ගිණුම්වලින් බැලූ බැල්මට නම් පෙන්නුම් කෙරෙන්නේ, යොදා ගන්නා භාෂාව අනුව ගත් විට, ෆේස්බුක් අඩවිය තුළ සිදු වන සාකච්ජාවේ ප‍්‍රධාන කාරකයන් බෙහෙවින් වෙනස් වන බව යි. දෙවැන්න නම්, අතිශය ගතානුගතික, පරිස්සම් සහගත කියවීමක දී පවා, විවිධාකාරයෙන් විශ්වාසය තබනු ලබන, අවබෝධ කර ගනු ලබන හා සම්බන්ධ කර ගනු ලබන සාම්ප‍්‍රදායික නොවන, සාම්ප‍්‍රදායික, ඕපාදූප, කීර්තිමත්, අප‍්‍රකට, සුප‍්‍රකට මාධ්‍ය ක‍්‍රියාකාරකයන් ඇතුළත් කර ගනිමින් සමාජ මාධ්‍යය තුළ ගලා යන තොරතුරුවල පරිමාණය හා විෂය පථය ද සංඛ්‍යාවලින් පෙන්නුම් කෙරෙන බව යි. අවසන් වශයෙන් කිව යුත්තේ, වර්ගවාදය (සහ කවර හෝ චාලක ප‍්‍රචණ්ඩත්වයක්) ඇවිස්සීමේ දී සමාජ මාධ්‍යය ඉටු කරන කාර්ය භාරය සම්බන්ධයෙන් පමණට වඩා සරල කියවීම් වෙනුවට, පශ්චාත් යුද්ධය ශක්තිමත් කරන සමාජ-ආර්ථික, ප‍්‍රජාගණවාදී හා අනන්‍යතා බෙදුම් රේඛාවන් හරහා සහ ඒවා මත ක‍්‍රියාත්මක වන ඔන්ලයින් බලවේග කොතරම් සංකීර්ණ ද යන්න සම්බන්ධයෙන් කරනු ලබන මීට වඩා සියුම් වූ ද අඛණ්ඩ වූ ද අධ්‍යයනයන් සිදු කළ යුතු බව යි.

පහත දැක්වෙන ගූගල් ස්ලයිඞ් (Google Slides)  ඉදිරිපත් කිරීම්වලින් ඉහත සඳහන් කරුණු ආවරණය වන අතර  එමගින් තවත් තොරතුරු සපයා ගත හැකි ය. ඒවා කර්තෘවරයා නිසි පරිදි සඳහන් කරමින් නිදහසේ බෙදාහදා ගන්න.

 

 

Sanjana Hattotuwa | සංජන හත්තොටුව

 

සංස්කාරක සටහන : සංජන හත්තොටුව  විසින් ‘The ecology of an issue: ‘Save Wilpattu’ on Facebook and Twitter’ යනුවෙන් Groundviews වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද මුල් ලිපිය , විකල්ප වෙබ් අඩවිය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව මෙසේ පළවේ. සංජන හත්තොටුව Groundviews වෙබ් අඩවියේ සමාරම්භක සංස්කාරකවරයා ය. මේ වන විට ඔහු ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සාමය හා ගැටුම් අධ්‍යයන පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ (NCPACS) ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල නිරතව සිටියි.