iMage: Colombo Gazette

පුද්ගල ඝාතන, දේශපාලන මුලෝපායක් ලෙස පාවිච්චි කරන විට එය ත්‍රස්තවාදය බවට පත් වෙයි. අබු බකර් අල්-බග්දාදි විසින් නායකත්වය දෙන ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ දේශපාලනය සහ මුලින්ම පදනම්ව ඇත්තේ ත්‍රස්තවාදය අවියක් ලෙස යොදා ගැනීම මත ය. අල්-බග්දාදි ශ්‍රී ලංකාවෙහි දී එල්ල කරන ලද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිය අනුගාමිකයින් විසින් කළ බව පිළිගත්තේ පස් වසරකට පසු වීඩියෝ ප්‍රකාශයක් මගින් කළ එලියට පැමිනෙමිනි. අල්-බග්දාදිගේ මෙළෙස කළඑළි බසින ලද්දේ ශ්‍රී ලංකාවෙහි කරන ලද ප්‍රහාරයන්හි සාර්ථකත්වය නිසා යැයි අනුමාන කිරිමේ වරදක් නැත. මන්ද යත් පාස්කු ඉරිදා ප්‍රහාර ලෝකයෙහි ම අවධානයට ලක් වූ බැවිනි. කළඑළි බැසීමට අල්-බග්දාදි යොදා ගත්තේ එම ප්‍රසිද්ධිය යි. අල්-බග්දාදි අත හැරියේ දේශපාලන බෝමිබයකි.

එම ප්‍රසිද්ධියම යොදා ගෙන ශ්‍රි ලංකාවේදීත් දේශපාලන බෝම්බ පත්තු විය. ජනාධිපති සිරිසේන මෙම ඛේදවාචකය තමන්ට අගමැති වික්‍රමසිංහ සමඟ ඇති යුද්ධයෙහි තවත් සටන් පෙරමුණක් බවට පත් කර ගන්නට උත්සාහ කළේ ය. ඔහු මෙකී බේම්බ ප්‍රහාරයන්හි වගකීම ආණ්ඩුව බාරගත යුතු යැයි කීවේ ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහ නිසා ය. තමා ආණ්ඩුවේ ප්‍රධානියා බව ඔහුට අමතක විය. අවසානයේ දී ඔහුට සිදුවූයේ තමාගේම ආරක්ෂක ලේකම් ඉවත් කිරීමට ය‍. සිරිසේන තරම් ආරක්ෂක ලේකම්වරු පන්නා දමමින් අලුත් අය පත් කරගත් වෙනත් ජනාධිපතිවාරයෙක් මෙරට සිට නැත. 2015 ජනවාරි 08 දා සිට ගෙවී ඇති වසර හතර හමාරට ඔහු විසින් ආරක්ෂක ලේකම්වරු පස් දෙනෙකු පත් කරගෙන තිබේ. එය සාර්ථක රාජ්‍ය පාලනයක ළකුණක් ද? අසාර්ථක රාජ්‍ය පාලනයක ළකුණක් ද?

සිරිසේනගේ ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට දින කිහිපයකට පෙර ජනාධිපති උපදේශකත්වයෙන් ඉල්ලා අස්වූ විශ්වසනීයත්වය සහ ප්‍රවීනත්නය අතින් කිසිවෙකුට නොදෙවෙනි රාජ්‍ය සේවකයකු වූ ලයනල් ප්‍රනාන්දු කියන අන්දමට සිරිසේන තරම් නරක ප්‍රධානියකු ඔහුට සිය සේවා කාලයෙහිදී හමු වී නැත. ඒ තරමටම ඔහු අකෘතඥ ය.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ඒ් සා මහත් විපතක් ඇතිව තිබියදීත් සිරිසේන උත්සාහ කළේ ඉන් දේශපාලන වාසි ගැනීමට ය. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබී තිබූ බුද්ධි අංශ වාර්තා තමන් දැන නොසිටියේ යැයි කීම සිරිසේන විසින් මෙරට මහා ජනයා රැවැටවීම සදහා ගොතන ලද බොරුවක් බව දැන් සනාථ වී තිබේ. පනාධිපතිවරයාට ඒකී බුද්ධි අංශ වාර්තා තෙවරක්ම ලබාදුන් බවට මෙරට ඉංග්‍රිසි පුවත්පත් විසින් වාර්තා කළේ සිරිසේනගේ එම සම්‍යක් ප්‍රලාපයෙන් පසු ය. තමා කීවේ ඇත්තක් නම් සිරිසේන ඊට පිළිතුරු දිය යුතුව තිබුණි. තවමත් ඔහුගේ කටේ පිට්ටු ය.

මෙම අපරාධය සිදුවන බව සිරිසේන දැන සිටියේ නම් එය වැළැක්වීමට පියවර නොගෙන සිංගප්පූරුවේ විනෝද ගමනක් ගිය ඔහු පාස්කු ඉරිදා මරණයට පත් වූ සියළු දෙනා වෙනුවෙන් වගකිය යුතු නැත් ද? ඇත්තටම සිරිසේන මේ වගක්වත් නොදැන සිටියේ යැයි මොහොතකට සිතමු, රාජ්‍ය නායකයා, සියළු හමුදාවන්හි ප්‍රධානියා, පොලීසිය බාර ඇමැති, බුද්ධි අංශ බාර ඇමැති වශයෙන් සිටියදීත් මේ සා විපතක් පිළිබඳව බුද්ධි අංශ විසින් සකස්කළ වාර්තාව නොදුටුවේ නම් මේ පට්ටම් වලින් වැඩක් ඇත්ද? එසේ වී නම් එය සිරිසේනගේ නායකත්වය යනු හිල් බාල්දියකින් වතුර ඇදිමක් නොවේ ද?

ඇත්ත වශයෙන්ම නම් මෙම විපතට මඟපෑදූ බුද්ධි තොරතුරු අසාර්ථකත්වයට ඇති ළගම හේතුව නම් සිරිසේන විසින් දියත් කරන ලද ඔක්තොම්බර් කුමන්ත්‍රණය යි. ශ්‍රේෂ්ධාධිකරණය හමුවෙහි ඒකී කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු සිරිසේන රාජ්‍ය පාලනය කරගෙන ගියේ නාහෙට නාහන හිතුවක්කාරයකු ලෙස ය. ඔහු ව්‍යාවස්ථාවෙහි තමන්ට නැති බලතල අල්ලා ගෙන ජනයාගේ ආරක්ෂාව බිංදුවට දැම්මේ ය. පාර්ලිමේන්තුවෙහි බහුතර බලය ඇති ආණ්ඩුව විසින් යෝජනා කරන ලද නීතිය හා සාමය පිළිබද ඇමැතිවරයා ඔහු පත් කළේ නැත. එම අමාත්‍යාංශය නීති විරෝධීව තමන් අතෙහි තබා ගත්තේ ය.

අගමැති වික්‍රමසිංහ පමා වී හෝ සිය ආණ්ඩුවේ වගකීම පිළිගත්තේ ය. නමුත් තවමත් ජනපති සිරිසේන තමාගේ වගකීම පිළිගෙන තිබේ ද? මා දන්නා තරමින් නැත. සරත් ෆොන්සේකා කියන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මධූශ් හෝ හමුදාවට බොරු සහතික දී ඉන් දෙවරක්ම පැන ගිය බොරුකාරයකු වන නාමල් කුමාර සම්බන්දයෙන් සිරිසේන උඩ පනිමින් කළ මහා ඝෝෂාවෙන් අබටැක් තරම්වත් මෙම ප්‍රහාරය පිළිබඳව ලද බුද්ධි අංශ වාර්තාවලට සිරිසේන හෝ සිරිසේනගේ කේවට්ටාචාරින් දක්වා නැත.

ඔක්තෝබර් ක්‍රමන්ත්‍රණයෙන් පසු ආක්ෂක හමුදා සහ පොලීසිය යන දෙකම තිබුණේ සිරිසේන යටතේ ය. මෙම ත්‍රස්ත ප්‍රහාරයන්හි එක් පෙර ළකුණක් වූ මාවනැල්ලෙහි බුදු පිළිම සහ කුරුස විකෘති කිරීම සිදු වූයේ 2018 නොවැම්බර් මාසයේ ය. එම ක්‍රියා සම්බන්ධයෙන් ආරම්භ වූ පොලිස් පරීක්ෂණ දිගටම කරගෙන යන ලද්දේ නම් තව්හික් ජමාද් අන්තවාදී ත්‍රස්ත ජාලය හෙළි කරගන්නට තිබුණි. එය එසේ සිදු නොවීම සිරිසේනගේ දුර්වල නායකත්වයේ භයානක ප්‍රතිඵලයකි.

ඊළඟට සිරිසේන තවත් බෝම්බයක් ගැසුවේ ය. එනම් මෙම ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට බැරිවූයේ මානව හිමිකම් සංවිධාන නිසා බවය. ඊට හේතුව සිරිසේන කියන අන්දමට මෙරට මානව හිමිකම් සංවිධාන රාජපක්ෂ සමයෙහි කරන ලද බිහිසුණූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටීම ය. මෙම ඉල්ලීමට ජනාධිපතිවරණ සමයෙහි දී සිරිසේන සහමුලින්ම එකග වී සිටියේ ය. දැන් සිරිසේන කියන්නේ මානව හිමිකම් සංවිධාන වල බලපෑම නිසා එම සහගහන අපරාධ සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට සිදු වූ බවත් ඒ් නිසා රාජ්‍ය බුද්ධි අංශ අඩපණ වූ බවත් ය. සිරිසේනට අනුව මානව හිමිකම් සංවිධාන ලසන්ත ඝාතනයට හෝ ප්‍රගීත් ඝාතනයට හෝ තාජුඩින් ඝාතනයට හෝ ත්‍රිමලයේදී ඝාතනය කළ දරුවන් 11 දෙනා වෙනුවෙන් හෝ යුක්තිය ඉල්ලා සිටීම වැරදි ය.

මේ මිනිසා තරම් අකෘතඥ වෙනත් දේශපාලන නායකයකු නැතැයි යන්නට වෙනත් සාක්ෂි අවශ්‍ය ද?

කතෝලික දේවස්ථානයන්ට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඔවුන් බටහිර සංස්කෘතියට අයත් නිසා යැයි කීවේ ද සිරිසේනම ය. එසේ නම් මාවනැල්ලේ බුදුපිළිම විකාති කිරීමට හේතුව කුමක්ද කියා කල්පනා කරන්නට තරම්වත් මොළයක් සිරිසේනට දැන් නැත්ද? එම අමනෝඥ ප්‍රකාශයෙන් සිරිසේන කළේ තුවාලයට ලුණු වක්කිරීමකි. වින්දිතයා ද වරදකරුවකු කිරීම ය.

එකම වේදිකාවක සිට රටවැසියන් අමතා රටක් ලෙස අප මුහුණ දී සිටින තර්ජනය සහ අභියෝග ගැන කතා කිරීමට ජනපති සිරිසේන සහ අගමැති වික්‍ර්‍රමසිංහ අසමත් වීමෙන් පෙන්වන්නේ අන්තවාදී බෝම්බ ප්‍රහාර හා සමාන දේශපාලන බෝම්බ අප හමුවේ තිබෙන බවයි.

අවමගුල් දිනයකට සුභ පැතුමක් යවන්නා සේ දේශපාලන බෝම්බයක් බඩේ බැඳගෙන ගෝඨාභය රාජපක්ෂ පැන්නේ ද මේ විපත මැදටය. විපත සහ ඉදිරිය ගැන කතා කරනු වෙනුවට ඔහු විදෙස් මාධ්‍ය ආයතනයක් ලවා ලියවා ගත්තේ තමා රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයා බවයි. තව ද තමාගේ ප්‍රධාන කාර්යක් වන්නේ ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම බවත් ඔහු එහිදී කියා තිබුණි.

ඔහු ගායනා කරන්නේ ද සිරිසේනගේ ම බුද්ධි අංශ දුර්වල කිරීමේ තනුව ය. දැනටමත් පෙන්වා දී ඇති පරිදි දස දහසක් සිටින බුද්ධි අංශයේ දහයක් පහලොවක් අත් අඩංඟුවට පත් වූ විට එය අකර්මන්‍ය වන්නේ නම් එහි හිටපු ප්‍රධානියා වන ගෝඨාභයත් දැන් නායකයා වන සිරිසේනත් ඊට වගකිව යුතු නැත්ද?

කෙසේ වෙතත් අවමඟුල් දිනෙක සුභ පැතුමක් රැගෙන එනවාට වඩා අමාරු කාරියක් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙහි තිබේ. එනම් පාස්කු ඉරිදා ඝාතකයකු ඇතුළ තව්හික් ජමාද් සංවිධානයේ 26 දෙනෙකුට තමා විසින් වැටුප් ගෙවන ලද්දේ ද නැත් ද යන්න රටට කියා සිටීම යි. එමෙන්ම තව්හික් ජමාද් සංවිධානයට කොළඹ 10, සදහම් මාවතෙහි 241/A ලිපිනයෙහි මූලස්ථානයක් ගොඩ නැගීම පිනිස තමා විසින් ඉඩමක් ලබා දුන්නේ ද නැත්ද යන්න එරට කියා සිටීම යි.

සිරිසේන සහ ගෝඨාභය මෙන් නොව මෙම අවස්ථාවෙහි දී පටු දේශපාලන වාසි ලබා ගැනීමට අගමැති වික්‍රමසිංහ උත්සාහ කළේ නැත. එසේ නමුත් ඔහුගේ නිදන්ගත උකටලී දේශපාලනය නිසා අවශ්‍ය අවස්ථාවෙහිදී නිර්භීත නායකත්වයක් දීමට ඔහු අසමත් විය. මෙැවැනි සමුළ ඝාතන ත්‍රස්ත ප්‍රහාර හමුවෙහි වෙනත් රටවල දේශපාලන නායක නායිකාවන් පෙන්වා ඇති දිරිමත්, යුග නිර්මානක නායකත්වයක් මෙරට මතු නොවීම අප සැමගේ අභ්‍යාගයකි.

දැන් අප මුහුණ දී සිටින්නේ තනිකරම දේශීය වූ අන්තවාදයකට නොවේ. මේ වනාහී අතිශය අමානුශික එමෙන්ම අතිශය භයානක ත්‍රස්තවාදී අනතුරකට ය. එහි මූලය අන්තර්ජාතික බැවින් එය කපා දැමීමට ශ්‍රී ලංකාවට නොහැකි ය. නැවත නැවත මෙරටින් අනුගාමිකයින් බිහි කර ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමත් වනු ඇත‍. මෙම අනතුර සමඟ සටන් කිරීමට අපට ඇති ප්‍රධානතම සාධකය නම් මෙරට සාම ලැදි මුස්ලිම් ප්‍රජාවයි. එය තේරුම් ගැනීමටත් ඒ් අනුව ක්‍රියා කිරිමටත් අප අසමත් වුවහොත් දේශපාලන බෝම්බකරුවන් දෙදරුම් කරන ත්‍රස්ත බෝම්බ යළි මතු වීමට ඇති ඉඩ භයානක ලෙස මහත් ය.

නිවරදි කිරීමක්: මා ලියූ පසුගිය ලිපියෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදය යනුවෙන් මවිසින් පාවිච්චි කරන ලද යෙදුම වැරදි බව මට පෙන්වා දුන් සැමට තුති. මවිසින් පාවිච්චි කළ යුතුව තිබුණේ ඉස්ලාමීය අ්න්තවාදය යන වචනය යි. එම වරද ගැන කමන්න.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya