iMAGE: Getty Images 
“අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස් නම් ස්ත්‍රිය දුෂ්ට බිල් හට මෙම තාක්ෂණික පහර එල්ල කරයි. මෙහිදී සිදු වන්නේ අත්ලෙහි ඇඟිලි පහෙන් සතුරාගේ සිරුරේ මාරාන්තික නිල පහක් එක වර තෙරපීමයි.  පහර කෑමට ලක් වන පුද්ගලයා පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට ඔහුගේ හදවත පුපුරා ගොස් ඔහු මරණයට පත් වේ.
ස්ලේවෝයී ශිෂෙක් කොරෝනා වෛරසයේ ප්‍රහාරයට ලක් වූ ගෝලීය ධනවාදය තේරුම් කිරීමට මේ ප්‍රහාරය නිදසුන් කොට දක්වයි. පහර කෑමට ලක් වූ තැනැත්තා සන්සුන්ව එක තැනකට වී හිඳ සිටින තාක් කල් ඔහුට සාමාන්‍ය පරිදි ජීවත් විය හැකිය. “Kill Bill” චිත්‍රපටයේ දැක්වෙන පරිදි ප්‍රහාරයෙන් පසුව බිල් තම අනෙකා සමඟ  සුහද පිළිසඳරක නිරත වී ඇයට සමු දෙයි. නමුත්, ඔහුගේ හදවත පුපුරන්නේ ඔහු පියවර පහක් ඇවිද යාමත් සමඟ ය.
කොරෝනා වෛරස් වසංගතය හමුවේ මෙතෙක් කල් අපි එක තැනකට වී සිටියෙමු. ලොව බොහෝ රටවල් අගුළු ලා තිබිණ. බහුතරයක් මධ්‍යම පන්තිකයෝ පිටතින් ආහාර ඇණවුම් කළහ. අප මිතුරු මිතුරියන් මුණ ගැසුණේ සමාජ මාධ්‍ය ඔස්සේය. රාජ්‍යයේ සෞඛ්‍ය උපදෙස් බොහෝ විට රූපවාහිනිය ඔස්සේ අපට ලැබිණ. අපි ඒ උපදෙස් පිළිපදිමින් වසංගතයේ අඳුරු කාල පරිච්ජේදය අවසන් වී යළිත් සුපුරුදු සාමාන්‍ය ජීවිතය කරා යන්නට බලාපොරොත්තුවෙන් සිටියෙමු. එලෙස ගත වූයේ හදවත පිපිරවීමේ පහරට ගොදුරු වූ අප සන්සුන්ව අනෙකා සමඟ  පිළිසඳරක යෙදෙමින් සිටි කාල පරිච්ජේදයයි.
දැන් ලොක් ඩවුන් යුගය අවසන් වෙමින් පවතී. චීනය, නවසීලන්තය වැනි රටවල් තමන් දැනටමත් වසංගතය ජය ගත් බව නිවේදනය කරමින් රට විවෘත කිරීම ඇරඹීය. එක්සත් ජනපදය, ඉන්දියාව වැනි රටවල් වසංගතය පැවතියදීම විවෘතකරණය දෙසට යමින් සිටී. අපි දැන් ඇවිදින්නට පටන් ගෙන ඇත්තෙමු. නිරෝධායනයෙන් නැගිට ගත් ලෝකය තවමත් ඉදිරියට තබා ඇත්තේ එක් පියවරක් පමණි. ඒ තනි පියවර තුළ අපට දක්නට ලැබෙන්නේ කවරාකාර දසුන්ද?
“දෙවන තුෂ්ණි යුද්ධය” දැනටමත් ප්‍රකාශයට පත් වී තිබේ. හිමාලය කඳු යායේ ලඩක් අඩවියේ ඉන්දීය යුද භටයින් විසි දෙනෙකු ඝාතනය කෙරිණ. තමන් සාමය ප්‍රිය කළද තමන්ව ප්‍රකෝප කරනු ලැබුවහොත් එයට නිසි ප්‍රතිචාර දක්වන බව අග්‍රාමාත්‍ය මෝඩි නිවේදනය කළේය. පසුගියදා චීන යුද ගුවන් යානයක් තායිවානයේ ගුවන් සීමාවට ප්‍රවේශ වූ බව වාර්තා විය. දකුණු චීන මුහුදේ යුද ආතතිය ඉහළ නගිමින් පවතී. හොං කොං දේශය චීන ජාතික ආරක්ෂක නීතියට එරෙහි උද්ඝෝෂණවලින් කැළඹී යයි. එක්සත් රාජධානිය හොං කොං වැසියන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිරිනැමීමට සූදානම් බව පවසමින් ගැටුමට අවතීර්ණ වෙයි. එක්සත් ජනපදය හොං කොං සඳහා ලබාදෙමින් තිබූ විශේෂ වෙළඳ තත්ත්වය ඉවත් කිරීමට යයි. චීනයේ ෂින්ජියෑන් පෙදෙසේ මුස්ලිම් ප්‍රජාවට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වර්ධනය වී ඇත. චීනයේ හුවාවෙයි සමාගමට එරෙහි එක්සත් ජනපද වර්ජනය ව්‍යාප්ත වෙමින් යයි. චීනය තුළ ඇති තම කර්මාන්ත ඉවත් කර ගැනීමේ ව්‍යාපාරයට ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඇතැම් යුරෝපා රටවල් එක්වෙමින් තිබේ. එම කර්මාන්ත තම රටවලට හරවා ගන්නට ඉන්දියාව සහ වියට්නාමය ඇතුළු ඇතැම් ආසියාතික රටවල් ප්‍රයත්න දරමින් සිටියි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේ නව ගෝලීය හැඩ ගැසීම් ඉදිරියේ වික්ෂිප්තභාවයට පත් වෙමින් තිබේ. මහා බලවතුන් සහ කලාපීය බලවතුන් එකිනෙකා ඇණ කොටා ගන්නා තැනකට යමින් සිටියදී ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය සමග ඇරඹුණු වර්ගවාදයට එරෙහි ජනතා ව්‍යාපාර විකල්ප ගෝලීය සහයෝගීතාවක් ගොඩ නගන්නට ප්‍රයත්න දරයි.
මීට සමාන්තරව වසංගතයේ වඩාත් දරුණු දෙවන රැල්ලක් ගැනත් අනාගත දුර්භික්ෂ සමයක් ගැනත්  විද්‍යාඥයෝ අනතුරු හඟවති. ගෝලීය උණුසුමේ සහ කාලගුණ විපර්යාසයේ අනතුර පැවතියදීම ඒ පිළිබඳ අවධානය ඉවතට හරවනු ලැබ තිබේ. දරිද්‍රතාවයේ සහ සාගතයේ ව්‍යාප්තිය කොතරම්දැයි කිසිවෙකුත් නොදනී. අනාගත මහජන විරෝධයන්ට සූදානම් වෙමින් තුර්කිය, හංගේරියාව, බ්‍රසීලය, ශ්‍රී ලංකාව වැනි රටවල අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ආණ්ඩු මිලිටරිකරණය දෙසට වේගයෙන් ගමන් කරමින් සිටී.
“දෙව් ලොව යට සියල්ල පවතින්නේ මහා අවුලක” යැයි මාවෝ සේතුං වරක් පැවසීය. ඒ සමගම “මේ කදිම වාතාවරණයක්” යයි ඔහු එයට එකතු කළේය. නමුත්, අප මාවෝගේ ප්‍රකාශය කියැවිය යුත්තේ සංදර්භීය ලෙසය. මේ මහා වියවුල කදිම වාතාවරණයක් වන්නේ නව පර්යායක් ගොඩ නැගීමට සමත් විප්ලවීය ව්‍යාපාරයක් පවතින්නේ නම් පමණි. මාවෝගේ කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් අනුප්‍රාප්තිකයා වන ෂී ජින්පින් දැනට සති කිහිපයකට ඉහතදී ෂියැන් ජියවෝටොන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින් අමතා පැවසුවේ “මහා ඓතිහාසික වර්ධනයන් සිදුවන්නේ නිතරම මහා ව්‍යසනයන්ට පසුව” බවයි. ඉතිහාසයේ අත්දැකීම් අනුව ගත් කල, ෂී ජින්පින් නිවැරදිය. නමුත්, ඔහු අදහස් කරන ඓතිහාසික වර්ධනය අන් කිසිවක් නොව චීනයේ අධිකාරීවාදී ධනවාදය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමයි. ආසියාවේ ඊනියා මධ්‍යම රාජධානිය නැවත හිස එසවීම යනු එයයි. අපට අනාගතයේ ජීවත් වන්නට සිදු වන්නේ චීන මාදිලියේ ධනවාදයක් තුළද? චීනය අපගේ අනාගතයද? එසේ වන්නේ නම් අපට කරන්නට සිදු වන්නේ කුමක්ද?
ඉහත ප්‍රශ්නයට තම පිළිතුර ස්ලේවෝයී ශිෂෙක් මෑතකදී දකුණු කොරියානු චැනලයක් සමග කළ සම්මුඛ සාකච්ජාවකදී සරදම්ජනක ස්වරයෙන් මෙලෙස ගොණු කළේය. “චීන හෙජමොනික ව්‍යාපෘතිය සාර්ථක වුව හොත්, මම ඉතාම කදිම හෝටල් කාමරයකට ගොස් සිය දිවි නසා ගන්නෙමි.” එය එතරම්ම අඳුරු ඩිස්ටෝපියාවකි.
සුමිත් චාමින්ද| Sumith Chaminda