Colombo, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields – වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ සමඟ

‛‛අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම් දීමෙන් අදහස් වුණේ ඔවුන්ට ඉවත් වෙන්න සිද්ධ වෙනවා ය කියන එක බව පොදුවේ අවබෝධ කර ගත්තා. ඒක හොඳට ම පැහැදිලියි. ඒත් ඉවත් වෙන්න යැයි ඉල්ලා සිටීමේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙලඹුණේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණෙන් නොවන බවත් කවර හෝ ආකාරයකින් එක්සත් ජාතීන් සාක්ෂිකරුවන් බවට පත් වීම වැළැක්වීමේ වුවමනාවෙන් බවත් මා කතාබහේ යෙදුණු එක්සත් ජාතීන්ගේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ සහ දැනුවත් සාමාජිකයන්ට හොඳින් ම පැහැදිලි වෙලා තිබුණා.’’ –
කැලම් මැක්රේ

චැනල් ෆෝ නාළිකාව නිෂ්පාදනය කළ Sri Lanka's Killing Fields නමැති ආන්දොලනාත්මක වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සමග නිව්යෝක් හීදී ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත පල කරමු.

‛‛චැනල් ෆෝ නාළිකාව නිෂ්පාදනය කළ Sri Lanka's Killing Fields නමැති වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සමග සම්මුඛ සාකච්ඡාවක නියැළීමට Groundviews වෙබ් අඩවියට හැකි වූයේ ඉහළින් ම මතභේදකාරී සහ අතිශයින් ම කැලඹුම්කාරී මෙම චිත්‍රපටය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය සහ වෙනත් අය උදෙසා තිරගත කිරීමට නියමිතව තිබුණු දිනට කලින් දා නිව් යෝකයේ දී ය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට දී කැලම් අප හා එක් වූයේ චැනල් ෆෝ නාළිකාවේ ප්‍රචාරක කළමනාකාරිනිය වන මේරියන් බෙන්ට්ලි ද සමගිනි.’’ – Groundviews

සංජන –

චැනල් ෆෝ නාළිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතක දී නිපදවපු ඉහළින් ම මතභේදාත්මක සහ අතිශයින් ම කැලඹුම්කාරී චිත්‍රපටයේ, “කිලිං ෆීල්ඩ්ස්” චිත්‍රපටයේ නිෂ්පාදකයා සමග. කැලම්, මා කැමතියි මෙහෙම පටන් ගන්න. මේ ප්‍රශ්න මූලික වශයෙන් ගලා එමින් තියෙන්නේ බොහෝ පාඨකයන් වෙබ් අඩවිය තුළ සටහන් කර තබා යන විවරණවලින්. ඒ වගේ ම, චැනල් ෆෝ නාළිකාව අවුරුදු 3කට කලින් ජුලි මාසයේ දී පළමුව වීඩියෝ පටය විකාශනය කරපු වේලාවේ නොලියපු, ඔබ ඉතා මෑතක දී බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ රූපවාහිනියෙහි වඩා විශාල සහ වඩා දිගු පිටපතක් පළමු වරට විකාශනය කළාට පසුව ලියාපු කතුවරුන් වෙබ් අඩවියෙහි සටහන් කළ විවරණවලින්.

මා සතුව ප්‍රශ්න 20ක් පමණ තිබෙනවා. ඒවා සකස් කර ගත්තේ, විවරණත් වෙබ් අඩවිය තුළ පිළිබිඹු වෙමින් පවතින දේත් පදනම් කරගෙන.

මා හිතන විදියට මහජනයා සැබවින් ම අහන්නෙ, චැනල් 4 නාලිකාව ඇයි දැන්, ඇත්තට ම යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගත වුණාට පස්සෙ මේ වීඩියෝ පටය නිශ්පාදනය කළේ කියන එක. අපි දන්නවා, චිත්‍රපටය ආවේ මාස කීපයක් පහු වෙලා. මං හිතන්නෙ අපට දැන ගන්න ඕන කරන්නේ, ඔබ මේ අවුරුද්දේ වීඩියෝ පටය නිකුත් කරද්දී ඒකට කාලය නියම කර ගැනීම සඳහා කිසි යම් විධික්‍රමයක් අනුගමනය කළා ද කියන එක.

කැලම් –

නැහැ, කාලය නියම කර ගැනීමේ කිසි ම වැදගත්කමක් තිබුණේ නැහැ. මා විශ්වාස කරන විදියට චැනල් ෆෝ නිව්ස් වැඩ සටහන ප්‍රවෘත්තිය ආවරණය කර ගෙන ඇවිත් තියෙන්නේ කරුණු ලැබෙන විදියට. කාලයක් තිස්සේ නොකඩවා සාක්ෂි ලැබෙමින් තිබෙනවා. විවිධ ස්ථානවල දී පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කරන ආකාරය පෙන්නුම් කරන අතිශය කැලඹුම්කාරී ඡායාරූපවලින් සහිත, ඝාතන පිළිබඳ අලුත් චිත්‍රපටය උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. මේක මහජනයා විභාග කර බැලිය යුතු තවත් දැවැන්ත සිද්ධියක්. ඇත්තට ම ඒක ලැබුණේ සති දෙකකට හෝ තුනකට කලින්.

මේ විදියට ගත්තාම, චැනල් ෆෝ නිව්ස් වැඩ සටහන වැඩ කරපු අවුරුදු දෙකක කාලය සමස්තයක් විදියට අර ගෙන බලන්න ඔබ කැමති නම් ඔබට පෙනේවි චිත්‍රපටය ඒ කාලය පුරා ලැබුණු සාක්ෂිත් අලුත් සාක්ෂිත් එකට එකතු කරපු බව. කාලය නියම කර ගැනීමක් කළා ය කියන කාරණාවේ වැදගත්කමක් නැහැ.

සංජන –

නිරතුරුව උනන්දුව පළ වන, කල්පනා කරන අනෙක් කාරණය නැත් නම් නිරීක්ෂණය තමයි, – මේකත් ඔබට අලුත් දෙයක් නොවන බව මට සහතිකයි – චැනල් ෆෝ නාළිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන උනන්දුවට සමාන උනන්දුවක් ඇෆ්ඝනිස්ථානයේ දී සහ ඉරාකය වගේ තැන්වල දී තමන්ගේ ම ආණ්ඩු කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් නාළිකාව කරන හෙළිදරව් කිරීම්වලින් සැබවින් ම පිළිබිඹු වෙන්නේ නැහැ කියන එක. මේ ඒ කාරණය නිසා මතු වුණු ප්‍රශ්න දෙකක්: ඇයි ශ්‍රී ලංකාව ගැන උනන්දු? වෙනත් තැන්වල දී සිදු වුණු මීට සමාන හානි පිළිබඳව කිසි ම වීඩියෝ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වී නැත්තේ ඇයි? උදාහරණයක් විදියට කිව්වොත්, බ්‍රිතාන්‍ය සහ නේටෝ හමුදා ගැන?

කැලම් –

මීට කලිනුත් මගෙන් මේ ප්‍රශ්නය අසා තිබෙනවා. මට කියන්න තියෙන්නේ ඒක පිළිතුරු දෙන්න අතිශයින් ම පහසු ප්‍රශ්නයක් ය කියන එක යි. මාධ්‍යවේදියෙකු විදියට මගේ කාර්යය වෙන්නේ නිති විරෝධී ක්‍රියාවන් විමර්ශනය කරන එක. නීති විරෝධී ලෙස වධබන්ධන පමුණුවා ඝාතනය කිරීම පිළිබඳ අතිවිශේෂිත උදාහරණ විමර්ශනය කරමින් තමයි මගේ වෘත්තීය ජීවිතයේ විශාල කාලයක් ගත කරලා තියෙන්නේ. මේ දක්වා විමර්ශනය කරපු ඒ හැම සිදුවීමක දී ම, මා විමර්ශනයට ලක් කර තිබෙන වධබන්ධන පැමිණවීම් සහ නීති විරෝධී ඝාතන සහ ඒවා පිළිබඳව කෙරුණු චෝදනා ඉරාකය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන්ට සහ ඇමරිකානුවන්ට එරෙහිව එල්ල වුණු චෝදනා.

මීට කලින් මා නිර්මාණය කළ සුවිශේෂ චිත්‍රපට දෙකේ දී ම මා අතිවිශේෂ වශයෙන් විමර්ශනයට ලක් කළේ ඉරාක සිරකරුවන් ඝාතනය කිරීම සහ ඉරාක සිරකරුවන්ට වධබන්ධන පැමිණවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදාවලට චෝදනා එල්ල වුණු – මා වැඩිපුර කතා කරන්න කැමැත්තක් දක්වන – සිදුවීම් පිළිබඳව.
ඔව්, මේ වර්ගයේ අපරාධ සම්බන්ධයෙන් මා කළ දුක්මුසු චිත්‍රපට සමුච්චය නිර්මාණය කිරීමේ දී මා විශාල වේදනාවක් වින්දා. හැබැයි, ඒ වර්ගයේ අපරාධ තවමත් නිරතුරුව සිදු වෙනවා. ඇත්ත ම කිව්වොත් ඒවා කරන්නේ බටහිර ආණ්ඩු. ඒත් මා ඒ කරුණ සැලකිල්ලට ගන්නේ නැහැ. මගේ කාර්යය වෙන්නේ ඒ අපරාධ විමර්ශනය කරන එක. ඝාතන හෝ වධබන්ධන පැමිණවීම් ගැන කවුරුන් හෝ චෝදනා කරනව නම්, ඒ චෝදනා එල්ල වෙන්නේ බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන්, එල්ටීටීඊය හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් වුණත්, මට ඒවා පිළිබඳව විමර්ශනය කරන්න වුවමනායි. මා උනන්දු වන්නේ අපරාධ පිළිබඳවයි. ඒවා කළේ කවුරුන් ද කියන එකෙන් වත් චෝදනාවට ලක් වෙන්නේ කවුරුන් ද කියන එකෙන් වත් මා කිසි සේත් පෙලඹෙන්නේ නැහැ.

සංජන –

කැලම්, ඔබ දැන් මොහොතකට කලින් කී දේ සිත් ගන්නාසුලුයි. මන්ද, ඒක ඊළඟ ප්‍රශ්නයට මග පාදනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නෙවෙයි – ඒත් ඇතැම් විට ශ්‍රී ලංකාව ගැන විශේෂයෙන් පරීක්ෂා කරමින් – ඔබ ඉටු කර තිබෙන සමස්ත කාර්යයේ දී ඔබගේ වගවීම වුණේ කුමක් ද, ඔබ වගවීම අවබෝධ කර ගන්නේ කොයි විදියට ද, ඔබගේ මේ මෑත චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ වගවීම සම්බන්ධයෙන් දායක වේ ය කියා ඔබ ඔබ හිතන්නේ කොහොම ද?

ඇත්තට ම, ඔබ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ කුමක් සඳහා ද?

කැලම් –

ඔබ අදහස් කරන්නේ මගේ වගවීම ගැන ද නැත් නම්…

සංජන –

චිත්‍රපටය තුළ පෙන්නුම් කෙරෙන ක්‍රියාවන් සම්බන්ධයෙන් වගවීම කියන එකෙන්, මා කියන්නේ අපරාධකාරයන් සම්බන්ධයෙන් ඔබට වැටහෙන්නේ කුමක් ද?

කැලම් –

අපි විමසා බලමින් සිටි දේ සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව තුළ සිදු වුණු දේ සම්බන්ධයෙන් ගත්තා ම, අපි අපට හැකිතාක් දුරට විමර්ශනය කළා. මට පෙනී ගිය හැටියට මෙම යුද්ධයේ සන්දර්භය හැටියට පැවතුණේ යුද්ධයේ අවසන් අදියරවල්. ඒ වගේම යුද්ධය දිගු කාලයක් තිස්සේ කෙරී ගෙන ගොස් තිබුණා. එල්ටීටීඊයත් ආණ්ඩුවත් භයානක අපරාධ සිදු කර තිබුණා.

අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම් දීමෙන් අදහස් වුණේ ඔවුන්ට ඉවත් වෙන්න සිද්ධ වෙනවා ය කියන එක බව පොදුවේ අවබෝධ කර ගත්තා. ඒක හොඳට ම පැහැදිලියි. ඒත් ඉවත් වෙන්න යැයි ඉල්ලා සිටීමේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙලඹුණේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණෙන් නොවන බවත් කවර හෝ ආකාරයකින් එක්සත් ජාතීන් සාක්ෂිකරුවන් බවට පත් වීම වැළැක්වීමේ වුවමනාවෙන් බවත් මා කතාබහේ යෙදුණු එක්සත් ජාතීන්ගේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ සහ දැනුවත් සාමාජිකයන්ට හොඳින් ම පැහැදිලි වෙලා තිබුණා.
එලෙසම, වගවීමට කැමැත්තක් නැති නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හිතාමතා ප්‍රයත්නයක් දැරුවා සිදු වුණු දේට වගවීමට තිබෙන ඉඩකඩ ඉවත් කරන්න. ඒ අදහසින්ම, කිසිම ජාත්‍යන්තර මාධ්‍යයකට ප්‍රදේශයට ඇතුළු වෙන්න අවසර දුන්නේ නැහැ; ඒ අදහසින් ම, ශ්‍රී ලංකාවේ දේශීය මාධ්‍ය සහ දේශීය විචාරකයන් දරුණු ලෙස පාලනය කළා, මර්දනය කළා. බිය ගැන්වූවා; ඇත්තටම ආණ්ඩුව විවේචනය කළ බොහෝ විචාරකයන් නොදන්නා පුද්ගලයන් අතින් මරණයට පත් වුණා. එසේ වුණේ ඔවුන් ආණ්ඩුව විවේචනය කරන්න නැඹුරු වුණු නිසා.
මේ තත්ත්වය තුළ දී, ඔවුන් සාක්ෂිකරුවන් බවට පත්වීම වළක්වන්න කල්තියා සූදානම් කරගත් සැලැස්මක්, ප්‍රයත්නයක් තිබුණු බවට සැක කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඇඟවෙන්නේ – මේක කියන්නම වෙනවා – අපරාධ සිදු කිරීමේ අරමුණක් ඇතැම් විට තිබෙන්න ඇති කියන එකයි.

ඔය විදියට, වගවීම මග හරින්න ප්‍රයත්නයක් තිබුණා. ඒ අර්ථයෙන් ගත්තාම, මට හිතෙන හැටියට මේ යුද්ධය පිළිබඳව සිදු වුණු අසාමාන්‍ය දේ තමයි ඒක චිත්‍රපටයට නැගුවා ය කියන එක. මා සිතන පරිදි, ඊට කලින් කවදාවත් යුද්ධයක් චිත්‍රපටගත නොකළ ආකාරයෙන් එය චිත්‍රපටගත කෙරුණා – කුඩා දේශීය කැමරා සහ ජංගම දුරකථන යොදා ගෙන මහජනයා විසින්, ජංගම දුරකථන යොදා ගෙන ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින්; ඒ වගේ ම දෙමළ කොටි කැමරාකරුවන් විසින් – හැබැයි කිසිම සැකයක් නැහැ ඔවුන් අපේක්ෂා කරන්න සහ බලාපොරොත්තු වෙන්න ඇත්තේ දෙමළ සටන්කරුවන්ගේ විජයග්‍රාහී වීර ක්‍රියා චිත්‍රපටගත කර ගන්න. ඒත් ඇත්තටම මේ චිත්‍රපටගත කිරීම අවසන් වුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ බෝම්බ ප්‍රහාරවලින් සහ මානව පලිහවල් යොදා ගත්ත දෙමළ කොටින්ගේ බෝම්බ ප්‍රහාරවලිනුත් සිවිල් වැසියන්ට අත් වුණු භයානක ප්‍රතිවිපාක චිත්‍රපටගත වීමෙන්.

සංජන –

ඔබගේ මූලික ප්‍රේක්ෂක පිරිස කවුරුන් ද, ඔබට වුවමනා කරන්නේ කවුරුන් මේ චිත්‍රපටය නැරඹීම ද?

කැලම් –

මට වුවමනා කරන්නේ හැම දෙනාම මේ චිත්‍රපටය බලන එක. මා කියන්නේ, මට වුවමනා කරන්නේ මහජනයා මේ චිත්‍රපටය බලන එක. මගේ කාර්යය, සහ අපගේ කාර්යය වෙන්නේ සත්‍යය ස්ථාපනය කිරීමයි, සිදු වුණු දේ පිළිබඳව සත්‍ය විස්තරයක් තහවුරු කිරීමයි.

සංජන –

ඔබ කියන මහජනයා විශාල වශයෙන් හෝ බහුල වශයෙන් ඉන්නේ එක්සත් රාජධානියේ ද, නැත් නම් ශ්‍රී ලංකාව තුළත් සිටිනවා යැයි ඔබ සිතනවා ද?

කැලම් –

වැඩ සටහන නිර්මාණය කළ අපි ජාත්‍යන්තර නාළිකාවක්. සමාවෙන්න, නාළිකාව මූලික වශයෙන්ම වැඩ සටහන විකාශනය කළේ දේශීය බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂක පිරිසකට. මොක ද, ඒක බ්‍රිතාන්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයක්. ඒත් ලෝකය පුරා පවතින මාධ්‍ය හරහා ප්‍රේක්ෂක පිරිස පැහැදිලිවම ජාත්‍යන්තර එකක් බවට පත් වුණා. අන්තර්ජාලය හරහා ලොවව ඕනෑම තැනක සිටින කෙනෙකුට වැඩසටහන ලබා ගත හැකි වුණා.

සංජන –

ඔබ සතුව කවර හෝ සංඛ්‍යා ලේඛනයක් තිබෙනවා ද. මා හිතන්නේ, ඇතැම් වෙබ් සංඛ්‍යා ලේඛනවලින් කියැවුණා වැඩසටහන විකාශනය වුණු වේලවේම ප්‍රේක්ෂකයන් 700,000ක් එය නැරඹූ බව. ඒ වගේ ම තවත් 100,000ක් පැයකට පස්සේ එය නැරඹූ බව.

මේරියන් බෙන්ට්ලි

හරි, ඒත් අපට පෙනෙනවා අඩු ගණනේ වීඩියෝ පටය නැරඹූ ප්‍රේක්ෂකයන් මිලියනයක් මෙහි අන්තර්ගතය උකහා ගත්තා.

කැලම් –

මා හිතන්නේ, මිලියනයකට ආසන්න ය කියා ඔබ හිතන එක යථාර්ථවාදීයි. ඒ වගේ රාත්‍රී වේලාවක විකාශනය වුණු වැඩසටහනක් සම්බන්ධයෙන් ගත්තාම මේක ඉතා ම අසාමාන්‍ය තත්ත්වයක්.

සංජන –

ඔව්, එංගලන්තය තුළ.

කැලම් –

චිත්‍රපටයේ අතිශය කැලඹුම්කාරී ස්වභාවය නිසා ඒක විකාශනය වුණේ රෑ එකොළහට. ඒත් ඇත්තටම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව, ඒ කාල පරාසය තුළ දී රූපවාහිනිය නරඹන සංඛ්‍යාවේ සාමාන්‍යය වන සියයට 64ට වඩා ඉහළ අගයක්. සියයට 64 වඩා කියල කියන්නේ, අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ වේලාවේ වැඩසටහන බැලුවා කියන එක.

සංජන –

කැලම්ට වගේ ම මටත් දැනුණ – බලන්න වීඩියෝ පටය දිහා – ඒක මුළුමනින් ම පීඩාකාරීයි. මට ආගන්තුක වුණේ නැහැ ඔබගේ චිත්‍රපටය වාර්තා කරන්නෙ මොන රට ගැන ද කියලා. යථාර්ථය දැන ගෙන හිටියේ නැත් නම්, කෙනෙකුට මවා ගන්න පුළුවන් මේ යුද්ධයේ, නැත් නම් ඇත්තටම ඕනෑම යුද්ධයක දුෂ්ට යථාර්ථය. විශේෂයෙන්ම මෙම චිත්‍රපටය අපවෙත ආවේ මුළුමනින්ම කම්පනකාරී දෙයක් විදියට. බොහෝ දෙනෙකුට ඕක්කාරෙට ඇවිත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙම වීඩියෝ පටය තිරගත වුනු වේලාවේ ජිනීවාහි රාජ්‍ය තාන්ත්‍රිකයන් දැක්වූ ප්‍රතික්‍රියාවන් පවා අපි දන්නවා. මං උනන්දු වෙන කාරණේ තමයි, ඒක උසුලා සිටින බැරි, ජය ගන්න බැරි තත්ත්වයක් ය, ඒ සම්බන්ධයෙන් ඔබට කිසි දෙයක් කරන්න බැහැ යි කියන හැඟීමක් ඇති වෙන එක. මේ නිසා ඇත්තටම මේ විදියෙ ප්‍රශ්නයක් මතු වෙනවා: මේ චිත්‍රපටය නරඹන අය යම් දෙයක් කරන්න පෙලඹෙන එක ඔබට වුවමනා කළා ද, එහෙම නම් ඒ මොන වගේ දෙයක් ද? ඔබට දැනෙනව ද, වීඩියෝ පටයේ පෙන්වන තත්ත්වය අපිට ජය ගන්න බැරි තරමේ එකක් නිසා, ඒ හේතුවෙන් ඔවුන් යමක් කරන එක නතර වෙන බව.

කැලම් –

ඔබ ප්‍රශ්න තුනක් ඇහුවා. අපි ඔබ අහපු පළමු ප්‍රශ්නය ගනිමු – ඒක පෙන්වන්න බැරි තරම් භයංකර එකක් වුණා ද කියන දේ. ඒක බැරෑරුම් ලෙස සහ බලවත් පරෙස්සමකින් සලකා බැලූ ප්‍රශ්නයක් බව මට කියන්න වෙනවා. චැනල් ෆෝ ආයතනයට සහ බ්‍රිතාන්‍ය මාධ්‍යයට ක්‍රියාත්මක වෙන්න සිදු වෙලා තියෙන්නේ දැඩි නීතිරීති මත – රුචිකත්වය සහ විනීත භාවය පාලනය කර ගනිමින්. අද දවසේ, මහජනයා අයිතිවාසිකම් සම්බන්ධයෙන් හැම දෙයක් ම කරනවා. ඒ නිසා සරලව සලකා ගෙන මේ වගේ දෙයක් කරන්න බැහැ. අපි ඒ පිළිබඳව ඉතාම පරෙස්සමින් සිතා බැලුවා.

සත්‍යය නම්, ඔව් අපි හිටියේ ඒ තත්ත්වය තුළ දී එල්ටීටීඊය සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විවිධාකාරයෙන් කරපු අතිදරුණු යුද අපරාධ පිළිබඳ තොරතුරු ලෝකයට පෙන්වීමට උත්සාහ දරන වාතාවරණයක. සිදු වුණු දෙය පෙන්නුම් කිරීමට නම් ඔබට සිද්ධ වෙනවා සාක්ෂි පෙන්වන්න. කාරණය වෙන්නේ, චිත්‍රපටය විකාශනය කොට එය පුරා පැතිරී තිබෙන යුක්ති සහගත භාවය ගලා එන්නේ ප්‍රතිඵලවලින් ඒවායින් ඇති වුණු බලපෑම්වලින්.
දෙපාර්ශ්වයෙන් ම සිදු වුණු එම යුද අපරාධ සහ දෙපාර්ශ්වයම වගවීමේ අවශ්‍යතාව සහ දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු කර දීමේ අවශ්‍යතාව යන මේ සමස්ත ප්‍රශ්නය තමයි මේ වැඩසටහන සම්ප්‍රේෂණය කිරීමත් සමග හුවා දැක්වුණු ප්‍රධාන කාරණය. මේ වැඩ සටහන බලපෑමක් ඇති කළා. මා හිතන්නේ නැහැ කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ය කියා මේ වැඩ සටහන විස්මිත බලපෑමක් ඇති කළා ය කියන කරුණ. ඒක න්‍යාය පත්‍රය මේසය මත තැබුවා. අපි මේ ඡායාරූප නිකුත් කරපු එක හරි ද? ඔව්, ඇත්තටම චිත්‍රපටය තුළ ගැබ් වුණු ප්‍රතිඵලයන් සහ බලපෑම්වලින් පෙන්නුම් කෙරුණා ඒක කොතරම් වේදනාකාරී ද කියන එක. අපි ගත් තීරණය නිවැරදියි. එහෙම කියන ගමන්ම අපි ඒක විකාශනය කළේ බොහොම රෑ වෙලා. චිත්‍රපටය පුරාම, යුද්ධයේ සෑම අදියරක දීම, මේ වර්ගයේ ඡායාරූප මේ ඡායාරූප එළියට දාන්න කලින් ඒ බව පැහැදිලි කර දීමට අපි බෙහෙවින් පරෙස්සම් වුණා.

සංජන –

ඔබට වුවමනා කළා ද චිත්‍රපටය බැලුවට පස්සේ මහජනයා යමක් කරන එක. කවර හෝ දෙයක්? ඔබ කිව්වා චිත්‍රපටය පුළුල් මහජනතාව අතරට ගිය බව.

කැලම් –

සිද්ධ විය යුත්තේ මොකක් ද කියන එක මගේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය වෙන්නේ එළිදරව් කළේ සිද්ධ වුණු දේ බව පැවසීම. සිද්ධ වෙලා තිබෙන දෙයින් ගලා එන නොවැළැක්විය හැකි නිගමනය තමයි යමක් කළ යුතු ය කියන එක. මා හිතන්නේ, දැන් ප්‍රබල ලෙස පැහැදිලි වෙන දේ තමයි චිත්‍රපටය තුළ දී අපි යුද අපරාධ පිළිබඳ මූලික මට්ටමේ සාක්ෂි ඉදිරිපත් කරනවා, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ මූලික මට්ටමේ සාක්ෂි ඉදිරිපත් කරනවා. අපි ඒවා ඉදිරිපත් කරන්නේ, ‛ඔව්, භයානක දෙයක් සිදු වී තිබෙනවා තමයි, යුක්තිය ඉටු විය යුතුයි’ කියා විතරක් මහජනයාට ඉන්න බැරි වෙන විදියට. ඒ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගියාට පස්සේ, ඊළඟට කළ යුත්තේ කුමක් ද කියන එක මගේ කාර්යය නෙවෙයි. මේ අපරාධ පැහැදිලිව ම සිදු වී තිබෙනවා ය, යුක්තිය ඉටු කළ යුතු ය කියන තීරණය ගත යුත්තේ ජාත්‍යන්තර ලෝක බලවතුන්, එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව. මොක ද, මේවා පාපිස්ස යටට තල්ලු කරලා දාන්න බැහැ. ඒක කරන්නේ කොහොම ද කියන එක මගේ කාර්යයක් නෙවෙයි, මා මාධ්‍යවේදියා පමණයි.

සංජන –

ඔබේ අදහසේ හැටියට රට තුළ දී බිම් මට්ටමේ දී ගැටුමේ බලපෑමට ඍජුව ගොදුරු වුණු අයට වීඩියෝ පටය උදව් වේවි ද? නැත් නම් චිත්‍රපටය ඉලක්ක කර ගත් ජාත්‍යන්තර මතය ඇති කිරීම සම්බන්ධයෙන් ඉදිරි අවුරුදුවල දී බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ වඩා පුළුල් මහජනතාවට ද?

කැලම් –

මා හිතන විදියට, මා කලින් ප්‍රශ්නයේ දී සඳහන් කළා වගේ, වැඩසටහන සැලසුම් කෙරුවේ කරුණු පැහැදිලි වෙන ආකාරයට; සත්‍යය ළඟා කර ගැනීමට උත්සාහ කිරීමක් හැටියට, සත්‍යය වුණේ මොකක් ද කියලා පැහැදිලි කරන්න. මා හිතන්නේ, අපි ඒක බොහෝ දුරට කළා. මා හිතන්නේ නැහැ මාධ්‍යවේදියෙකු වශයෙන් මට තිබෙන සීමාවෙන් ඔබ්බට යනව ය කියා. මා බලාපොරොත්තු වෙනවා මෙම වැඩ සටහනේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රශ්න අසාවි: මේ අපරාධ කරපු පුද්ගලයන් අධිකරණය හමුවට ගෙනාවා ද? කිසි යම් විසඳුමක් තිබෙනවා ද? බිම් මට්ටමේ සිටින ජනයාට, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනයාට – දෙමළ වේවා, සිංහල වේවා, වෙන කවුරුන් හෝ වේවා – උදව් වීම සම්බන්ධයෙන් ගත්තා ම, ඔව් මා බලාපොරොත්තු වෙනවා යම් දෙයක් අධිකරණය හමුවට රැගෙන ඒම, යම් දෙයක් හෙළිදරව් වීම, යම් ආකාරයක සමගිසන්ධානයකට මග පෑදීම නිසැක වශයෙන් ම ශ්‍රී ලංකාව තුළ වෙසෙන මුළු ප්‍රජාවටම ලැබෙන ප්‍රතිලාභයක් ය කියා. ඒ වගේ ම, සුසංවාදී බව සහ සාමය ගොඩ නැගීමට උදව් වනවා කියා. මා ආඩම්බරයෙන් කියනවා, මෙම වැඩසටහන දුෂ්කරතාව සහ බෙදීම අඩු කළ බව. ඒක සත්‍යයක් නොවෙන්න බැහැ. ලෝක ඉතිහාසය අපට කියන්නේ ගැටුම අවසන් කරන්න නම් සමගිසන්ධානය, යුක්තිය, විනිවිදභාවය සහ සත්‍යය අවශ්‍ය කරන බව යි. ඒක ඓතිහාසික සත්‍යයක්. මේ වැඩසටහනට ඒ සඳහා උදව් විය හැකි නම් – මා බලාපොරොත්තු වෙනවා මෙම වැඩසටහන ඒකට උදව්වක් වේවි ය කියා – ඒක යහපත් දෙයක්.

සංජන –

වැඩසටහන විකාශනය වුණාට පස්සේ සහ ඔබ ශ්‍රී ලංකාව තුළ වෙසෙන කවුරුන් සමග හෝ කතාබහ කර තිබෙනවා ද? කතා කළා නම්, ලැබුණු ප්‍රතික්‍රියාව මොන වගේ ද?

කැලම් –

ඔව්, ශ්‍රී ලංකාව තුළ ඉන්න පුද්ගලයන් කීහිප දෙනෙකුට කතා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්න ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුටත් කතා කළා.

සංජන –

ප්‍රතික්‍රියාව මොන වගේ ද?

කැලම් –

බොහෝ දෙනා ඒ පිළිබඳව දැරුවේ ධනාත්මක අදහසක්. ඉතා ම වැදගත් දේ තමයි, තමන් හිතන හැටියට මේක බොහොම කම්පනකාරී දෙයක් බව සිංහල පුද්ගලයන් ගණනාවක් මට පැවසීම; යම් දෙයක් කළ යුතු ය, ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ය කියා පැවසීම. මා හිතන විදියට දෙමළ ජනයා අතර තිබෙන හැඟීම තමයි – ඔවුන් දැන ගෙන හිටියා මේක සිදු වෙමින් පවතින බව – ඔවුන් බොහොම සතුටට පත් වෙනවා අඩු ගණනේ දැන් තොරතුරු හෙළිදරව් වෙන එක ගැන.

ඒක බලාපොරොත්තු වුණාට වඩා බොහොම ධනාත්මක තත්ත්වයක්. ශ්‍රී ලාංකික ප්‍රජාවේ හැම පාර්ශ්වයක ම ජනයා සමග කතා කළාට පසුව පෙනී යනවා වැඩසටහන පිළිබඳව කෙරෙන චෝදනාවලට සවන් දීමෙන් ඇති වන්නේ නොමග යවන සුලු හැඟීමක් බව.

සංජන –

උදාහරණයක් විදියට, ඒකෙන් චෝදනා යටපත් වෙලා ද, නැත් නම් චැනල් ෆෝ නාළිකාවට එරෙහිව එල්ල වෙලා ද?

කැලම් –

ශ්‍රී ලාංකික මාධ්‍යය හරහා නගන චෝදනා අසා තිබෙනවා. මා වෙන දෙයක් අසා නැහැ. මාධ්‍යයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බ්‍රිතාන්‍යය තුළ දී අපිට පැහැදිලි යන්ත්‍රණයන් තිබෙනවා. ඒ ආකාරයෙන් අපි මුළුමනින් ම වග වෙනවා.

සංජන –

මේ ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දක්වන ප්‍රතිචාර. මා ග්‍රවුන්ඩ්වීව්ස්වලින් ඒවා ආවරණය කළා. ඒත් ඒවායින් ස්ථාවර අදහසක් කියැවෙන්නේ නැහැ, විවිධයි, අඛණ්ඩව ඉදිරිපත් වෙනවා. වීඩියෝ පටය සහ එය විකාශනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාර පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

කැලම් –

ආණ්ඩුවට පුළුවන් තමන්ගේ පැත්තෙන් අපට චෝදනා කරන්න සහ අප විවේචනය කරන්න. ඒ සම්බන්ධයෙන් ගත්තා ම, මා ඒවාට ඉතා පැහැදිලිව පිළිතුරු දෙන බව කිව යුතුයි. මේ චිත්‍රපටය නිවැරදි වූවක්. මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ පරෙස්සම් සහගත පර්යේෂණ කටයුතුවලින් පසුව. මේ චිත්‍රපටය යුද්ධය සම්බන්ධයෙන් පැත්තක් ගත්තේ නැහැ. අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වගේ ම එල්ටීටීඊයත් විවේචනය කළා. අපි අපක්ෂපාතීයි. එය නිවැරදි චිත්‍රපටයක්. මා එම චිත්‍රපටය වෙනුවෙන් මුළුමනින් ම පෙනී සිටිනවා. ඝාතන රූපාවලියේ දී අපට පෙනෙනවා එය විද්‍යාඥයන් කණ්ඩායමක්, වීඩියෝ විද්‍යාඥයන් කණ්ඩායමක් ස්වාධීනව ඉතාම මැනවින් තක්සේරු කළ එකක් බව. ඒ වගේම මිතුරන් සහ ශාස්ත්‍රඥයනුත් තක්සේරු කළා. පළමුව වතාවක් අපි ඔවුන් සේවයෙහි යෙදුවා. වතාවක් ඇත්තට ම එක්සත් ජාතීන් ඔවුන් සේවයෙහි යෙදුවා. ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙකු ඉදිරිපත් කළ නොඑකඟතාව හැරුණු කොට ඒ අය අතර පූර්ණ ඒකමතිකත්වයක් තිබුණා. වෛද්‍ය සහ වීඩියෝ විශේෂඥයන් සහ විද්‍යාඥයන් සියලු දෙනා අතර පූර්ණ ඒකමතිකත්වයක් තිබුණා. වීඩියෝ පටය ව්‍යාජ එකක් යැයි කියන්න කිසි ම පදනමක් තිබුණේ නැහැ. ඔවුන් පාලනයකට නතු වුණු බවක් ඇඟවුණු කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. ව්‍යාජ ඝාතනයක් යැයි විශ්වාස කිරීමට කිසිම හේතුවක් තිබුණේ නැහැ.

සංජන –

මා හිතන්නේ, ඔබ සඳහන් කළේ එංගලන්තයේ ජීවත් වන පුද්ගලයන් සම්බන්ධයෙන්; ඩයස්පෝරා ප්‍රජාවන් සම්බන්ධයෙන්. මා හිතනවා සිංහල සහ දෙමළ අය වෙන්නැති.

කැලම් –

සත්තකින් ම.

සංජන –

ඔබ කලින් කී ප්‍රතිචාර ලැබුණේ ඔවුන්ගෙන් ද? ඔබට සම්බන්ධ කර ගැනීමට හැකි වුණු රට තුළ සිටින අයගේ ප්‍රතිචාර සහ මොවුන්ගේ ප්‍රතිචාර අතර කිසි යම් වෙනසක් තිබෙනවා ද?

ඒ විතරක් නෙවි, සමහර විට ඔබට සම්බන්ධකම් තිබුණු එක්සත් ජනපදයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සහ තවත් තැන්වල ඉන්න ඩයස්පෝරා ප්‍රජාවනුත් සම්බන්ධ කර ගන්න පුළුවන් වෙන්න ඇති.

කැලම් –

අවංකවම කිව්වොත් මගේ, අපේ ප්‍රධාන තොරතුරු මූලාශ්‍රය වී තිබෙන්නේ මුල් පිටපත් විමසා බැලීම; රූපාවලි විමසා බැලීම, ලේඛනාගාරය විමසා බැලීම. අපි හැකිතාක් ස්වාධීනව ඒවායේ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කරනවා. අපිට බැරි නම්, අපිට මුළුමනින් ම පැහැදිලි කර ගන්න බැරි නම් – උදාහරණයක් විදියට, අර රූපාවලිවලින් සමහර එකක තිබුණා බිම ඉන්න මිනිසුන් මතට බෝම්බ හෙළන දර්ශන. අපිට ප්‍රබලව කියන්න පුළුවන් මේවා ඇතැම් විට මේවා දේශීය කැමරාවලින්, ඇතැම් විට ජංගම කැමරාවලින් ගත්තා වෙන්නැති; ඇතැම් විට සිවිල් වැසියන් රූගත කරන්න ඇති, ඇතැම් විට දෙමළ කොටි කැමරාකරුවන් රූගත කරන්න ඇති. අපි දන්නේ නැහැ. මේක එක්තරා ආකාරයකට, වෙඩි තිබ්බේ කවුද කියලා තර්ක කිරීමක්. ඒක තේරුමක් නැති වැඩක්. කාරණය වෙන්නේ ඒවායින් පෙන්වනු ලබන්නේ මොනවා ද කියන එක. ඒවායින් නිවැරදිව පෙන්වනු ලබන්නේ මොනවා ද කියන එක. කණගාටුවෙන් වුණත් මේ ටික කියන්න වෙනවා.

සංජන –

අපි කතා කරමින් ඉන්නේ නිව්යෝක්වල. ඔබට මෙහි එන්න වුණු කාරණය?

කැලම් –

අපි මෙහි ආවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට සහ මාධ්‍යයට චිත්‍රපටය පළමු වරට තිරගත කිරීම සඳහා.

සංජන –

මේක දෙවන තිරගත කිරීම විය යුතුයි. ඔබ මේක ජීනීවාවල පෙන්නුවා.

කැලම් –

ඔව්, අපි පෙන්නුවා.

සංජන –

මානව හිමිකම් කවුන්සිලයේ දී.

කැලම් –

ඔව්, මානව හිමිකම් කවුන්සිලයේ දී අපි තිරගත කිරීමක් කළා. රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් ඇවිත් හිටියා. භාරදූර සහ බලපෑම් සහගත පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට චිත්‍රපට පෙන්වීමේ ඒ වගේ අත්දැකීමක් මට කවදා වත් ලැබිලා නැහැ. භාරදූර සහ බලපෑම් සහගත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් පැමිණීම, ඇත්තට ම තනි තනිව ඇවිත් මා වෙතට නැඹුරු වෙලා බුද්ධිමත් ප්‍රශ්න අහන එක හරිම වැදගත්. සැබවින්ම ඔවුන් තමන් දුටු ඒ දේ නැරඹීමට ඉතාම සුදුසු පුද්ගලයන්. හෙට දිනය ගැන විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ. ජිනීවාහි දී පැවැත්වුණු රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ නියෝජිතයන් පැමිණිලා කතා කළා, ඔවුන් සිතන දේ පැහැදිලි කළා. මා හිතන්නේ සියලු අංග ඉතා ප්‍රයෝජනවත් ක්‍රියා දාමයක්. මා බලාපොරොත්තු වෙනවා, ඊළඟ අදියර තමයි, චිත්‍රපටය තුළින් තමන් දුටු දේට අකැමැති අය සරලවම කියාවි ඒක ව්‍යාජයක් ය කියලා. කියන්න කණගාටුයි, කිසිම සාක්ෂියකින් ඔවුන් සෑහීමකට පත් වෙන එකක් නැහැ; සත්තකින්ම, චිත්‍රපටයෙන් මතු කෙරෙන අතිශය බැරෑරුම් කාරණාවලට විරුද්ධව කතා කරන්න පටන් ගනීවි.

සංජන –

ලෝකයේ තවත් තැන්වල චිත්‍රපටය පෙන්වන්න චැනල් ෆෝ නාළිකාව අදහස් කර ගෙන ඉන්නව ද?

කැලම් –

ඔව්, ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. ඒත් චිත්‍රපටය තවම තිබෙන්නේ අභ්‍යන්තර මට්ටමේ. ඒත් ඉදිරියේ දී ලබා ගත හැකියි.


සංජන –

අපි දැන් සාමාන්‍යයේ සිට සුවිශේෂය කරා යනවා. වීඩියෝ පටය ගැන කතාබහට යනවා. නැවතත් මේ තියෙන්නේ, වීඩියෝ පටය නරඹා තිබෙන – නිසැකව ම… සමහර විට… වීඩියෝ පටය දෙවතාවක් හෝ තෙවතාවක් නරඹා තිබෙන – අපේ පාඨක ප්‍රජාවෙන් ලැබුණු ප්‍රශ්න කීපයක්.

පළමු ප්‍රශ්නය තමයි – ඇයි සියලු රූපාවලීන්ගෙන් යුද්ධයේ ප්‍රතිවිපාක ම පෙන්වන්න හදන්නේ? ඇත්තටම සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන එල්ල වන හමුදා ෂෙල් වෙඩි ප්‍රහාරයක හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයක එක රූප රාමුවක් වත් නැත් ද?

කැලම් –

වෙන්න බැහැ, මා හිතන්නේ නැහැ එය සත්‍යයක් ය කියා. අපි ආපහු චිත්‍රපටය වෙත යනවා නම්, මට මතක් කරන්න පුළුවන් මුල්ලිවයික්කාල්හි රෝහලකට බෝම්බ දමන සහ ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවක ඡායාරූප, පුදුකුඩිඉරිප්පුහි රෝහලකට බෝම්බ දමන සහ ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවක ඡායාරූප. මට ක්ෂණිකව ම මේ උදාහරණ දෙක මතක් කර ගන්න පුළුවන්. මා කියන්නේ, සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන එල්ල කරන තැති ගන්වනසුලු අයුරින් වන ප්‍රහාර එහි තිබෙනවා. එම චිත්‍රපටයෙන් පෙන්වන්නේ පවතින සාක්ෂිවලින් සමහර ඒවා විතරයි. ඒවා තිබෙනවා, ඒවා චිත්‍රපටය තුළ තිබෙනවා. සාක්ෂි නැහැයි මහජනයා හිතන්නේ මොක ද කියා මට හරියට ම හිතා ගන්න බැහැ. චිත්‍රපටය සම්බන්ධයෙන් මට නිතර නිතර අත්දුටු දෙයක් තමයි, මහජනයා නිතර නිතර ඇහුවා ‛ඇයි ඔබ එල්ටීටීඊය ගැන සඳහන් කළේ නැත්තේ?’, නැත් නම්, ‛ඇයි ඔබ එල්ටීටීඊය විවේචනය කළේ නැත්තේ?’ කියා. අපි චිත්‍රපටය පුරා එල්ටීටීඊය විවේචනය කළා. අපි චිත්‍රපටය පුරා පාර්ශ්ව දෙක ම කළ අපරාධ ගැන කතා කළා. මා මේ සම්මුඛ සාකච්ඡාව පුරා පාර්ශ්ව දෙක ම කළ අපරාධ ගැන කතා කළා. ඇතැම් විට ඔබට දැන ගන්න ලැබේවි, මෙය චෝදනා කරන සහ මා මේ චෝදනා නගන පුද්ගලයන්ගේ අවංක භාවය ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

සංජන –

අනෙක් දේ තමයි – මේක ආචාර ධර්ම පැත්තට නැඹුරු වීමක් වගේ වේවි – ප්‍රශ්නයක් තිබුණා, ඇයි චැනල් ෆෝ නාළිකාව අත් බැඳපු නිරුවත් ස්ත්‍රී මළ සිරුරුවල රූපාවලියක් පමණක් පෙන්නුවේ, ඇයි එක පිරිමියෙකු වත් නොපෙන්නුවේ, දර්ශණ තෝරා ගැනීමේ විනිශ්චයක් පැවතුණා ද කියා.

කැලම් –

නැහැ. තෝරාගැනීමක් තිබුනේ නැහැ. ඔව්, අපි පෙන්නුවා, නිරුවත් මළ සිරුරු එහි තිබුණා. අපි පෙන්නුවා. ඒවා පෙන්වන එක භයංකරයි, නැද්ද?

සංජන –

පිරිමින්ට වඩා ස්ත්‍රීන් පෙන්වපු එක…

කැලම් –

මා හිතන විදියට, ඇතැම් විට මේකත් ඉතා වැදගත් ආස්ථානයක්. ඔබ ගණන් කළොත් – කිසි කෙනෙකු ඒක කරන්න බලාපොරොත්තු වෙන එකක් නැහැ – පළමු ඝාතන රූපාවලිය තුළ තිබෙන නිරුවත් පිරිමි මළ සිරුරු.

සංජන –

නවයයි…

කැලම් –

අනතුරුව ඒක දෙවන රූපාවලියේ තිබෙන නිරුවත් ස්ත්‍රී මළ සිරුරු සංඛ්‍යාව සමග සංසන්දනය කළොත්, බොහෝ විට එතැන නිරුවත් ස්ත්‍රී මළ සිරුරුවලට වඩා නිරුවත් පිරිමි මළ සිරුරු තියෙන්න ඇති. ඒත් කාරණය වෙන්නේ, මා හිතන විදියට වැදගත් කරුණ වෙන්නේ, නිරුවත් ස්ත්‍රී මළ සිරුරුවල රූපාවලිය තුළ දී ඔබ නිරතුරුව ම වගේ දකීවි පිරිමි මළසිරුරු තිබෙන්නේ සම්පූර්ණ ඇඳුමින් යුතුව බව. කැලඹුම්කාරී ප්‍රශ්න මතු වෙන්නේ ඒ නිසයි. ඔබට මේ රූපාවලිය තුළ නිරුවත් ස්ත්‍රී මළ සිරුරු සහ ඔවුන් පසෙකින් ඇඳුම් හැඳ සිටින පිරිමි මළ සිරුරු දකින්න ලැබෙනවා නම්, ඒක කළේ අපි නෙවි. ඒ රූපාවලිය තුළ තිබෙන දේ. එහෙනම් ප්‍රශ්නය අහන්න වෙනවා: ඇයි ඒක සිද්ධ වුණේ?

සංජන –

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තිබුණු එක් ප්‍රතිචාරයක දී ආණ්ඩුව ප්‍රකාශ කලා පෙන්වන එක් ස්ත්‍රී සිරුරක් සප්‍රියා නම් තැනැත්තියකගේ බව. සිවිල් වැසියන් ලෙස හඳුනා ගත් අය එල්ටීටීඊ ක්‍රියාකාරීන් ලෙස හඳුනා ගන්නවා. මේක තමයි දැන් අප වටා සිද්ධ වෙමින් පවතින දේ.

කැලම් –

අපට හැම විටම පැහැදිලියි, හොඳටම පැහැදිලියි, අපි චිත්‍රපටයේ ආරම්භයේ දීම සප්‍රියා පෙන්නුවා. ඇය එල්ටීටීඊ පාලනය යටතේ පැවති මිලිටරි රාජ්‍යය සඳහා වැඩ කළා. ඇය රූපවාහිනී මධ්‍යස්ථානය සඳහා වැඩ කළා. නැවතත්, ඇතැම් විට මා කැමතියි තර්ක කරන්න එහෙම නැත් නම් චිත්‍රපටයෙන් කියැවුණා සප්‍රියා දෙමළ කොටින් වෙනුවෙන් වැඩ කළ එල්ටීටීඊ මාධ්‍යවේදිනියක් බව; පැහැදිලිව ම, මුළුමනින් ම, සියයට සියයක් ම එල්ටීටීඊ සාමාජිකාවක් බව. අපි ඒක කිව්වා. ඇයි මහජනයා අපට කියන්නේ අපි කිව්වද ඇය සිවිල් වැසියෙක් කියා. ඇත්තටම සමහර විට මට දැනෙනවා ඉදිරිපත් කරන අනෙක් කරුණු සම්බන්ධයෙන් තර්ක කරන්න අසීරු බවක්.

සංජන –

අපෙන් ප්‍රශ්න අසා තිබෙනවා, යුද්ධය අවසන් වුණු වහාම රට තුළ පවතින මාධ්‍යවල වාර්තා වුණු පරිදි – කැලම් ඔබ දන්නවා මැණික්ෆාම්වල ප්‍රහාරය – ඒ පළමු දින කීපය තුළ දී ඔබ සතු වුණා බෙහෙවින් සැලකිය යුතු දූෂණ ප්‍රමාණයක්. එම කඳවුරුවල හිටපු අයගෙන් බොහෝ දෙනෙක් මුදල් ගෙවා පලා යාම් සිදු වුණා. සැබවින් ම, බොහෝ දුරට වාර්තා වුණේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එල්ටීටීඊ දැඩි මතධාරීන් බව. ඒ නිසා ඇත්තට ම දැන් ඔවුන් ඉන්නවා ඇත්තේ ඩයස්පෝරාව තුළ. එල්ටීටීඊයේ සාමාජිකයන් ඇත්තට ම දැන් ඉන්නවා ඇත්තේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල, ඩයස්පෝරා සාමාජිකයන් අතර, විවිධ වේශයෙන් සිටින ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙන් පසු වන්නන් ලෙස. මොවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ප්‍රජාවන් වෙත ගෙන යාමේ තිබෙන අර්ථය චැනල් ෆෝ නාළිකාව හඳුනා ගත්තා ද? මොක ද, ඒක චිත්‍රපටය තුළ ඇතුළත් වෙලා තිබුණේ නැහැ.

කැලම් –

ඔබ අදහස් කරන්නේ, විශේෂයෙන් ම එල්ටීටීඊයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන්…

සංජන –

ඔව්, සමහර විට ඔවුන් බිම් මට්ටමේ ඉන්න ඇති, ඔවුන් දුටු දේවල්, ඔවුන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා.

කැලම් –

අපට කිසි කෙනෙකු සොයා ගන්න බැරි වුණු එක සත්‍යයක්. අපි බොහොම කැමතියි විශ්වසනීය ආකාරයෙන් එල්ටීටීඊයේ නියෝජිතයන් සොයා ගන්න ලැබුණා නම්. මොක ද, අපිට තිබුණා ඉතා මත් බැරෑරුම් ප්‍රශ්න ඔවුන් වෙත ඉදිරිපත් කරන්න. ඇත්තට ම අපි එක්තරා ආකාරයකට එල්ටීටීඊයට එරෙහිව බැරෑරුම් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා. එල්ටීටීඊ සංවිධානයක් පවතිනවා නම් ඔවුන්ට යුක්ති සහගත අයිතියක් තිබෙනවා ඊට විරුද්ධව පැමිණිලි කරන්න. අපි ඔවුන් වෙත ගිහින් පිළිතුරු දෙන්න ඔවුන්ට තිබෙන අයිතිය ගැන ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඔබ මතු කළ කරුණ ගැන මට එතරම් විශ්වාසයක් නැහැ. මා සැකයි මහජනයා අසාවි ද කියා ඇයි අපි එල්ටීටීඊ බලකාය මුණ ගැසෙන්න නොගියේ කියලා. ඒත් අපට නිරවද්‍යතාව සනාථ කළ හැකි විශ්වසනීය සංවිධානයක් නැහැ. එහෙම එකක් තිබෙනවා නම් අපි හරි ම කැමැතියි ඒක කරන්න.

සංජන –

මගේ ඊළඟ ප්‍රශ්න හමුදාව ගැන. හමුදාවෙන් හෝ හමුදාවට අයත් කෙනෙකුගෙන් හෝ රට තුළ දී ඔබට කවර හෝ බාධා කිරීමක් සිදු වුණා ද වීඩියෝ පටය නිෂ්පාදනය කිරීමේ කටයුතු අතරතුර දී?

කැලම් –

අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ හමුදාව පිළිබඳව ඉදිරිපත් වෙලා තිබුණු සියලු කරුණුවල, සියලු චෝදනාවල, සියලු විවේචනවල බෙහෙවින් සම්පූර්ණ ලැයිස්තුවක් සූදානම් කළා.

සංජන –

ඔබට ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණා ද?

කැලම් –

අපි ඒවා ඇතුළත් කරලා ලිපියක් යැව්වා. ලැබුණු ප්‍රතිචාරය වැඩසටහන තුළ තිබෙනවා. ප්‍රතිචාරයේ එක ඡේදයකින් කියැවෙනවා, ‛‛ඔවුන් බලාපොරොත්තු නොවන බව ප්‍රතිචාර දැක්වීමට.’’

සංජන –

ඒක තමයි ඔබට ලැබුණු එක ම ප්‍රතිචාරය…?

කැලම් –

ඒක තමයි අපට ලැබුණු එක ම ප්‍රතිචාරය. අපි ඔවුන් අතිශය උපරිම අවස්ථාවක් දුන්නා හැම තනි තනි කරුණකට ම විස්තරාත්මක පිළිතුරු සපයන්න. ඔවුන් එය කිරීම ප්‍රතික්ෂේප කළා.

සංජන –

මේ ප්‍රශ්නය, අපේ වෙබ් අඩවිය තුළ නිතිපතා විවරණ ලියන, ඇත්තට ම හමුදා අත්දැකීමක් තිබෙන කෙනෙකුගෙන්. ඇත්ත වශයෙන් ම මේ ප්‍රශ්නවලින් බොහොමයක් ලැබුණේ අපේ වෙබ් අඩවිය පිළිබඳව විශේෂ අද්විතීය අදහසක් දරන එම පුද්ගලයාගෙන්. ඔහු කියනවා විරුද්ධත්වය පළ කරන හෝ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් අදහස් පළ කරන කිසිවෙකු නැහැ කියා? නීති විශ්ලේෂකයන්, දේශපාලන අටුවාකරුවන්, මිලිටරි ඉතිහාසඥයන් ඇත්තට ම වැඩසටහන තුළ ඇතුළත් වෙනවා. ඒ නිසා එක්තරා ආකාරයකින් එය ඒකපාර්ශ්වීය එකක්. චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ප්‍රශ්නයට බඳුන් කළ කිසි ම කතා වස්තුවක් චිත්‍රපටය තුළ නැහැ.

කැලම් –


මා හිතන්නේ, අපි නිසැක වශයෙන් ම බලාපොරොත්තු වුණේ ඇත්තට ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අපේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වා සිය ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කිරීම සහ අපි අහන අතිශය බැරෑරුම් ප්‍රශ්නවලට පිළිතුරු දීමයි. ඔවුන් එය කළේ නැහැ. අපි කටයුතු කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් එක්ක. නිසැක වශයෙන් ම ඒක ගැටලුවක් වුණා. අපි හැම තනි තනි කරුණක් ම ඔවුන්ට ඉදිරිපත් කළා. මා හිතන්නේ නැහැ, අප සමග කතා කරන්න වුවමනාවක් නැහැයි කියැවුණු ඡේදයක් හැරුණු විට වෙන කිසි දෙයක් අපට ලබා දෙන්න ඔවුන් අසමත් වුණා. අප වෙත දෝෂාරෝපණය කරන්න බැහැ.

සංජන –

සැලකිලිමත් වුණු තවත් කාරණයක් තමයි, උදාහරණයක් ලෙස, වීඩියෝ පටයේ ගෝර්ඩන් වයිස් කතා කරනවා, 11 වන රථ සමූහය පිළිබඳ සිදුවීම ගැන. භයංකර සිදුවීමක්. පොත තුළ අතිශය පැහැදිලි විස්තරයක් තිබෙනවා. ඇත්තට ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ උපදේශක කමිටුවේ වාර්තාව තුළත් එය සවිස්තරාත්මක ලෙස පිළිබිඹු වෙනවා. අප්‍රේල්වල දී එය නිකුත් වුණා. මතු කෙරුණු කාරණය තමයි, වැඩසටහන තුළ කිසි ම විශේෂඥයෙක් හෝ මිලිටරි උපායන් සම්බන්ධ අත්දැකීම් සහිත කෙනෙකු, යුද්ධයට යාමට හේතු වුණේ මොකක් නිසා දැයි කල්පනා කළ හැකි, ඉහළ ආඥාපතිවරුන් කොතරම් නිරතුරුව තීන්දු ගත්තා ද පහළ ආඥාපතිවරුන් වෙත ඒවා කොතරම් නිවැරදිව ළඟා වුණා ද කියා කල්පනා කළ හැකි කෙනෙකු සිටියේ නැහැ කියන එක. කරුණාකාර ඔබට ඒ පිළිබඳව සිතා බලන්න පුළුවන් ද?

කැලම් –

මා හිතන විදියට අපි ඉතා ම පැහැදිලිව සලකා බැලූ දේ තමයි වගකීම පැවරිලා තිබුණේ කාට ද කියන එක. අපි සම්මුඛ සාකච්ඡාවට ලක් කළා මහාචාර්ය විලියම් ෂෙපාර්ස්. ඔහු මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ, ඉතා ම ඉහළ පෙළේ නීතිඥයන්ගෙන් කෙනෙක්. අපි ඔහු සමග සාකච්ඡා කළා, ඇත්තට ම වැඩසටහන තුළ දී ඔහු පැවසුවා, වගකීම පැවරී තිබෙන්නේ කාට ද, ඒ වගේ ම, උදාහරණයක් හැටියට, සාමාන්‍ය සොල්දාදුවෙකු සහ ආඥාවකින් තොරව ම්ලේච්ඡ ක්‍රියාවන් කරන සොල්දාදුවෙකු එකිනෙකාගෙන් වෙන් කර ගන්නේ කෙසේ ද යන කාරණා.

මෙැතන දී තමයි ක්‍රමානුකූල සහ සුවිශේෂී දෙයක් බවට පත් වෙන්නේ ඒවා නිවැරදි කිරීම කාගේ වගකීම ද කියන ප්‍රශ්නය. යථාර්ථය නම්, මේ චිත්‍රපටයෙන් අපි දැන ගත්තා එය ඤමෙම ක්‍රියාවන්% සැලකිය යුතු පරිමාණයකින් සිදු වුණු බව. එය නිසැකව ම පැහැදිලියි. ඒ වගේ ම අපි දන්නවා එය සිදු වුණු බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් පවතින බව. ඔබ අප පෙන්වූ මුළු චිත්‍රපටය ම විමසිල්ලෙන් බලනවා නම්, චිත්‍රපටය පුරා ඔබට පෙනේවි සොල්දාදුවන් බොහෝ සංඛ්‍යාවක් තමන්ගේ ජංගම දුරකථන යොදා ගෙන රූගත කරන ආකාරය. මේ සාක්ෂිය එහි තිබෙනවා – ඒවා (සාක්ෂි) නිසි ලෙස රැස් කර ගත් බවත් එය කොතරම් ක්‍රමානුකූල වූවා ද යන්නත් එය කොතරම් පුළුල්ව පැතිර තිබුණා ද යන්නත් පෙන්නුම් කරන මේ සාක්ෂිය එහි තිබෙනවා. ඉතා ම ක්ෂණිකව සහ ඉතාම විවෘතව සහ ඉතාම විනිවිද භාවයෙන් යුතුව එය සොයා ගත හැකි තත්ත්වයක සිටින එක සංවිධානයයි පවතින්නේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ හමුදාව. ඒත් කාරණය වෙලා තියෙන්නේ, එම තොරතුරු රැස් කිරීමට, එම සොල්දාදුවන් හඳුනා ගැනීමට, තමන්ගේ ම චිත්‍රපටය නිර්මාණය කර ගැනීම සඳහා රූගත කිරීම්වල යෙදුණු සොල්දාදුවන් හඳුනා ගැනීමට, තම ආඥාව යටතේ සිටි සොල්දාදුවන් කරමින් සිටි දේ පිළිබඳව අව්‍යාජ සහ අවංක පූර්ණ පරිමාණ පරීක්ෂණයක් සූදානම් කිරීමට මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුදාව අසමත් වෙලා තිබෙනවා – අප දන්නා තරමට, විනිවිද භාවයෙන් යුතුව එය ඉටු කිරීමට නිශ්චිත වශයෙන් ම අසමත් වෙලා තිබෙනවා. ඔවුන් එය කර නැති තත්ත්වය තුළ, අවංක පුද්ගලයන් නොවැළැක්විය හැකි ලෙස ම යොමු වෙනවා ‛ඒ ඇයි?’ කියා විස්මයෙන් යුතුව ප්‍රශ්න කිරීමට; සමහර විට ප්‍රමාණවත් තරම් දැඩි බවක් නැතිව ඇතැයි සිතා මවිතයට පත් වීමට, සිදු වුණු දේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන දැඩි බව ප්‍රමාණවත් තරම් නැත්තේ ඇයි කියා පුදුමයෙන් යුතුව විමසා සිටීමට.

සංජන –

කැලම්, මා සමාව ඉල්ලිය යුතුයි, ඔබ කලින් කී දේවල් සැලකිල්ලට නොගෙන මා අසන ඊළඟ ප්‍රශ්නයෙන් ඔබ තුළ කළකිරීමක් ඇති වේවි යැයි මට හිතෙනවා. මොක ද, මේ සම්මුඛ සාකච්ඡාව පුරා සහ පැයක වැඩ සටහන පුරා ඔබ එල්ටීටීඊය පිළිබඳවත් විවේචනාත්මක වුණා. වැටහීමක් පවතින බව පේනවා – මා හිතන්නේ ඊළඟ ප්‍රශ්නය තුළින් එය පිළිබිඹු වෙනවා – උදාහරණයක් හැටියට, වැඩ සටහන තුළ දී අභ්‍යන්තර අවතැන් වූවන් අතිවිශාල පරිමාණයෙන් පෙන්වන කොට ඔවුන් අහන්න පටන් ගත්තා, බලාත්කාරයෙන් ළමයින් හමුදාවට බඳවා ගැනීම, මානව පලිහවල් යොදා ගැනීම, කොටින් වෙතින් පලා යාමට උත්සාහ දැරීම යනාදි කාරණාවල දී – මේවා එක්සත් ජාතීන්ගේ උපදේශක කමිටු වාර්තාවේත් සටහන් වෙලා තිබෙනවා – එල්ටීටීඊය කළේ මොනවා ද කියලා. මේක වැටහීමක් පිළිබඳ ප්‍රශ්නයක් ද, නැත් නම් අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නයක් ද?

කැලම් –

නිසැකව ම ඒක වැටහීමක් වත් අන්තර්ගතය වත් නෙවි. අපි හිටපු එල්ටීටීඊ සටන්කරුවෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා, අවුරුදු දහසයේ දී බලෙන් හමුදාවට බඳවා ගැනුණු බව මැනවින් පැහැදිලි කර ගත්තා. ඔහු ළමා සොල්දාදුවෙක් බවට පත් වුණා. ඒක අපරාධයක්. මා හිතන්නේ, අපි පෙන්වපු තොරතුර – එල්ටීටීඊයේ මරා ගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කෙරුණු දෙමළ දරුවෙකු සොල්දාදුවන් සිය දෑතට ගන්නා දර්ශනය – චිත්‍රපටය තුළ තිබුණු භයානක ම ඡායාරූපවලින් එකක් වෙන්න පුළුවන්. මේ චිත්‍රපටය තුළ දී, එල්ටීටීඊය කළ අපරාධ පැහැදිලි කෙරුණා, එල්ටීටීඊය කළ අපරාධ පැහැදිලිව විස්තර කෙරුණා, පෙන්වා දුන්නා. ඒත් සත්‍යය යැයි අපට හැඟුණු දෙය සාධාරණ වුණේ නැහැ. චිත්‍රපටය නරඹමින් සිටි අයගේ මුහුණුවල එය ඒ තරම් ම පරිපූර්ණ ලෙස සටහන්ව තිබුණා. නැවතත් මා පුදුම වෙනවා, චිත්‍රපටයෙන් මතු කෙරෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා වෙනුවට මේ තරම් ම වැරදියට චිත්‍රපටය විස්තර කරමින් කතා කරන්න මහජනයාට සිද්ධ වෙන්නේ ඇයි?.

සංජන –

කැලම්, මට වැටහෙනවා, අපේ පාඨකයන්ට සමහර විට හැඟේවි මේ කතාබහ ඕනෑවට වඩා තරමක් දිගයි කියා. ඒත් මා හිතන විදියට මේවා අතිශය වැදගත් ප්‍රශ්න, රට තුළ දී වැඩ සටහන පිළිගන්නා ආකාරයටත් සම්බන්ධ ප්‍රශ්න. ජෝන්ස් පසුබිමේ සිට කරන විස්තර ප්‍රකාශය ගැන කතා කරනවා නම්, වීඩියෝ පටය තුළ දකින්න තිබෙන සමහර දර්ශන සලකා බැලීමේ දී දකින දෙයත් විස්තර ප්‍රකාශයෙන් කියැවෙන දෙයත් අතර සම්බන්ධයක් නැති බවක් පෙනී යනවා. උදාහරණ දෙකක් ගෙන හැර පා තිබුණා. එකක් තමයි – දැකිය හැකි සාක්ෂි කිසිවක් නැති වුවත් – නිරුවත් මළ සිරුරු ලිංගික දූෂණයට ලක් කර තිබුණා ය කියන එක. ඒ තැනැත්තා ම අහනවා, අවස්ථා ගණනාවක දී ඔවුන් ලිංගික දූෂණයට ලක් කර තිබුණු බව ඔබ දැන ගත්තේ කොහොම ද කියා – මොක ද, දර්ශන ඛණ්ඩ තුළින් කිසි ම දැකිය හැකි සාක්ෂියක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

කැලම් –

ඔබට පුළුවන් ද මුලින් ඊට පිළිතුරු දීමට මට ඉඩ දෙන්න?

සංජන –

ඔව්.

කැලම් –

මා හිතන විදියට නැවතත් අපට තිබෙන්නේ එක ම ගැටලුව. ඇතැම් විට විස්තර ප්‍රකාශය බෙහෙවින් පැහැදිලිව කියනවා ඇති – මා හිතන්නේ නැහැ ඒ වාක්‍ය හරියට ම කිව යුතුයි කියා – තමන් පෙන්වන්නේ ලිංගික දූෂණය හෝ ලිංගික අපයෝජනය ඇඟවෙන සාක්ෂි බව. උදාහරණයක් හැටියට, එක් සුවිශේෂ මළ සිරුරක් පෙන්වා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් පැවසුවා, අපි මේක කියන්නේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරිපත් කළ උදාහරණයක උදව්වෙන්, රූපාවලිය පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විශේෂඥයින් – මෙය අඩන්තේට්ටම් කිරීමෙන් හෝ ලිංගික දූෂණයෙන් සිදු කළ ලිංගික අපයෝජනයක් පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරනවා විය යුතු බව. මෙය සිදු කරන්නේ ඇඳුම් තිබෙන පිළිවෙළ ආදිය සැලකිල්ලට ගෙනයි. ඇත්තට ම අපි කිව්වේ එහි ලිංගික අපයෝජනයක් හෝ අඩන්තේට්ටම් කිරීමක් හෝ ලිංගික දූෂණයක් පිළිබඳ ඉඟියක් තිබෙන බවයි. නිසැකව ම ඒක අපි සහාය දෙන විදියේ දෙයක්. ඇතැම් ඒවා ලිංගික දූෂණයට හෝ අඩන්තේට්ටම්වලට ලක් කොට අනතුරුව මරා දැමුණු බව පෙනෙන්නට තිබුණා. ඇත්තට ම එය සිදු වුණු දෙය පිළිබඳ මුළුමනින් ම නිරවද්‍ය විස්තර කිරීමක්. ඒක නිකම් ම නිකම් කළ හුවා දැක්වීමක් නෙවි. එය අධිකරණ වෛද්‍ය විශේෂඥයින් මේ රූපාවලිය විශ්ලේෂණය කළාට පසුව කළ හුවා දැක්වීමක්.

සංජන –

අනෙක් විශාල ම ප්‍රශ්නය තමයි – මෙය ඔබට ආගන්තුක නැහැ, මෙය විශාලතම ප්‍රශ්නවලින් එකක්, සංවාද සහ ප්‍රතිචාර ඒ තරම් ම ප්‍රමාණයක් මත මෙය ආධිපත්‍යය දැරුවා – ඝාතන සිදු කළ අය කවුද කියන බවට, ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාව බවට කිසි ම දැකිය හැකි සලකුණක් නැහැ, කිසි ම නිල ලාංඡනයක් නැහැ, ඉඟියක් පළ කළ හැකි කිසි ම දෙයක් නැහැ. උදාහරණයක් විදියට, අදහස් දැක්වීම් හැම විට ම සිදු වුණේ බොහෝ විට වීඩියෝ පටය ගෙතුවේ එල්ටීටීඊ ක්‍රියාකාරීන් විය හැකි යැයි සලකා ගෙනයි. ඇත්තට ම, මගේ මතකය නිවැරදි නම්, වීඩියෝ පටය නිර්මාණය කර තිබෙන්නේ තමිල් නාඩුවෙහි යැයි කියන්නට තරම් දුර ගිය එක පුද්ගලයෙකු වත් හිටියා. ඒ සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය කුමක් ද?

කැලම් –

මේ ශ්‍රී ලාංකික සොල්දාදුවන් නො වේ යැයි, වෙන කවුරුන් හෝ යැයි විශ්වාස කිරීමට කුමන හෝ හේතුවක් නැහැ. ඔවුන් හැඳ සිටින්නේ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ නිල ඇඳුම්, ඔවුන් සිංහල භාෂාව කතා කරනවා. අප්‍රකාශිත පරිවර්තකයන් පස් දෙනෙක් ඔවුන් කතා කරන ආකාරය, ඔවුන්ගේ භාෂා විලාසය විශ්ලේෂණය කළා. එය ශ්‍රී ලංකාවේ සොල්දාදුවන් කතා කරන සැබෑ භාෂාව, කතා කරන්නට ඉඩ තිබෙන සැබෑ භාෂා විලාසය. අඩු ගණනේ, පැහැදිලිව ම රිදවනසුලු එක සැඳහුමක් වත් තිබුණා – මහජනයා ඔහුගේ නම පිළිබඳව උනන්දු විය යුතුයි. වෙන කිසි සේත් ම හේතුවක් නැහැ. මෙය – කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා – ශ්‍රී ලාංකික සොල්දාදුවන් අපයෝජනයන් සහ නීති විරෝධී ඝාතන සිදු කිරීම පිළිබඳ අව්‍යාජ වීඩියෝ පටයක් යැයි විශේෂඥයන් තහවුරු කර තිබෙනවා.

සංජන –

තව එක අවසන් ප්‍රශ්නයක්. මේකත් විශාල ප්‍රශ්නයක්. අඩු ගණනේ වෙබ් අඩවිය තුළ වත් මේ පිළිබඳව ලියැවුණු ලිපියක් තිබුණා, එම ලිපිය පිළිබඳව අදහස් පළ කළ විවරණ ගණනාවක් තිබුණා – වෙබ් අඩවියෙහි වෙනත් තැන්වලත්. මතක තියා ගන්න, ඒක ලියා තිබුණේ වීඩියෝ පටය සම්බන්ධයෙන් නෙවි. ඒක ලියා තිබුණෙත් නිතිපතා ලියන කෙනෙක් සම්බන්ධයෙන්. ඔහු ලියා තිබුණා, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ඉන්ටර්නැෂල් ක්‍රයිසිස් ගෲප් වෙබ් අඩවිත් ඇත්තට ම අපගේ වෙබ් අඩවිය මත් උපදේශක කමිටුවේ වාර්තාව වාර්තා කළ ආකාරය. අවසානයේ දී එය මෙවැනි දෙයක් කියනවා: හැඳින්වීමේ දී ජෝන් ස්නෝ කියා සිටිනවා එක්සත් ජාතීන්ගේ කමිටුව සතුව – එහි වාර්තාව තුළ – සාක්ෂි තිබෙන බව, වාර්තාව කියනවා විශ්වසනීය චෝදනා තිබෙන බව. ප්‍රශ්නය තමයි, විශ්වසනීය චෝදනා සාක්ෂි සමග මුසු කිරීමට තරම් ඒවා නිරවද්‍ය ද කියන එක.

කැලම් –

නැවතත් මට වැඩ සටහන තුළ තිබෙන ජෝන් ස්නෝගේ විස්තර ප්‍රකාශය උපුටා දක්වන්න ඉඩ දෙන්න. ඔහු කියනවා, යුද්ධයේ අවසන් මොහොතවල දී සිදු වුණු දේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ කමිටුව සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් අන් කිසි දෙයකින් සිදු නොවුණු ආකාරයට එය තහවුරු වුණු බව, ඒක විනාශකාරී දෙයක් වුණු බව, අපගේ පරීක්ෂණයෙන් එළිදරව් කෙරුණු බොහෝ දේ තහවුරු වුණු බව. ඔහු කිව්වා, තිරගත කිරීමත් සමග ලැබුණු දුරකථන ඇමතුම්වලින් යුද අපරාධවලට, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට එරෙහි විශ්වසනීය චෝදනා යන වචන කියැවුණු බව. මීට අමතරව කිව යුතු කරුණ තමයි, කමිටු වාර්තාව පැහැදිලි ලෙස කියා සිටිනවා යුද අපරාධවලට සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබෙන බව; සිදු වෙමින් තිබුණු දේ ජ්‍යෙෂ්ඨ ආඥාපතිවරුන් දැන සිටි බවට විශ්වසනීය සාක්ෂි තිබෙන බව, වෙනත් විදියකට කියනවා නම්, එයත් එහි සඳහන් වෙනවා.

මෙලෙස, ඔවුන් අසත්‍යයක් යැයි කියන දේ සත්‍යයක්. අපි ඉතා මත් පැහැදිලිව කියා සිටිනවා, ඔවුන් කළ දේ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විශ්වසනීය චෝදනා ඉදිරිපත් වෙන බව. ඇත්තට ම ඔබ මුළු වාර්තාව සැලකිල්ලට ගන්නවා නම්, එයිනුත් සමස්තයක් ලෙස නිරූපණය වන්නේ එම විශ්වසනීය චෝදනාවන් බව සත්‍යයක්.

සංජන –

අවසන් ප්‍රශ්නය කැලම්. ශ්‍රී ලාංකිකයන් ලෙස මෙය නැරඹීම දුෂ්කරයි. ඔබට අමුත්තක් නෙවි, අපගේ සම්මුඛ සාකච්ඡාව ආරම්භයේ දී ඔබ කිව්වා, මේ වර්ගයේ අතිශය බිහිසුණු අන්තර්ගතයක් වාර්තා කිරීම ගැන. එය නිර්මාණය කළාට පස්සේ, නැත් නම් එය විකාශනය කළාට පස්සේ ඔබට හැඟුණේ මොනවා ද? එංගලන්තයේ ප්‍රසිද්ධ රූපවාහිනියක කිසි කලෙක විකාශනය නොකළ යුතු යැයි බොහෝ කණ්ඩායම් නිතර හඳුන්වන ඡායාරූප විකාශනය කළාට පස්සේ ඔබට හැඟුණේ මොනවා ද, ඔබගේ සිත තුළ බලපැවැත්වූ හැඟීම් මොනවා ද? එය ශ්‍රී ලංකාව තුළ සිටින අප එදා මෙදා තුර දුටු අතිශය භයංකර චිත්‍රපටවලින් එකක් බවට මට නිසැකව ඔබට සහතික වෙන්න පුළුවන්. වැඩ පටත් ගත් මුල් ම මොහොතේ ඔබගේ සිත තුළ දැඩි ලෙස ඇති වුණු හැඟීම් මොනවා ද?

කැලම් –

මට කියන්න වෙනවා, චිත්‍රපටය නිර්මාණය කිරීම තරමක් භයංකර අත්දැකීමක් බව. ඒත් ඔබ පැය ගණනක් තිස්සේ පරීක්ෂාවෙන් එම චිත්‍රපටය බලන විට කරුණු පිළිබඳව ඔබ මැනවින් දැනුවත් වෙනවා. අප කළ යුතු වන්නේ ඒ දෙස බලා සිටීම පමණයි. ඔබ බලා සිටින්නේ එය අත්දකින මිනිසුන් දෙස. යම් ආකාරයක සංයමයක්, විනයක් පවත්වා ගන්න ඔබට සිද්ධ වෙනවා. මා මනසෙහි රඳවා තබා හැකි තරමට එම දර්ශන අතිශය සංවේදීයි. දර්ශන ඛණ්ඩ නැවත නැවතත් නැවත නැවතත් බලන්න වුවමනා වෙන්නේ නැහැ. මට බලන්න බැරි දර්ශන ඛණ්ඩ පහු වෙන කොට මට නොඉවසිය හැකි බවක් දැනෙනවා. මා දකින එක ම දෙය නම්, මිනිසුන් පණ තිබෙන මිනිසුන් අත හැර දමා යනවා, මව ඝාතනය වුණු ගැහැණු ළමයින් සම්බන්ධ සිදුවීම්, මහජනයා ශෝකයෙන් හඬා වැළපීම. අතිශය සංවේදීයි. ඒත් ඒවා එක දිගට බලා ගෙන යන කොට තමයි ඉවසා සිටිය නොහැකි තරමට දුෂ්කර වෙන්නේ. එහෙම කියන ගමන් මා ආපසු එනවා ඝාතන රූපාවලියේ ගැබ් වන අන්ත බියකරු බවට සහ ඒ වගේ කරුණුවලට. ඒක සම්පූර්ණයෙන් ම භයංකරයි, ඒ වගේ දෙයක් අපි රූපවාහිනියෙහි පෙන්වීමට අපට සිද්ධ නොවිය යුතුයි. කාරණය වෙන්නේ, මේ වැඩසටහන ඒ තරම්ම බලපෑමක් ඇති කරලා තිබෙනවා. කලින් සිටියාට වෙනස්ව මහජනයා දැන් යුක්තිය ඉල්ලා සිටිනවා. මෙය ඒක කොතරම් භයංකර වුණත් අපි කළ දේ හරි බව සනාථ කරන සාක්ෂියක්.

සංජන –

ඔබ හෝ ඔබගෙන් කවුරුන් හරි හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙනවා ද? කවදා හෝ?

කැලම් –

මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවට ප්‍රකෘති තත්ත්වයට පත් විය හැකි ය කියා, බෙදීම්වලට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සොයා ගත හැකි වේ ය කියා, ගැටුම තුළ පවතින වෙනස්කම් කිරීම් අවසන් කළ හැකි වේ ය කියා. මා බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටය තුළ තර්ක කෙරෙන දේට ශ්‍රී ලංකාව මුහුණ දේ ය කියා, ඒත් මේ භයංකර කාල පරිච්ඡේදය අවසානයකට ගෙන ආ හැක්කේ කිසි යම් ආකාරයක ක්‍රමානුකූල ක්‍රියාදාමයක් ආරම්භ වෙලා, අව්‍යාජ විනිවිද භාවයෙන්, සාධාරණත්වයෙන් සහ සමගි සන්ධානයෙන් යුතුව කටයුතු කිරීමෙන් ය කියා.

සංජන –

කැලම්, ඔබට බෙහෙවින් ම ස්තුතියි.

කැලම් –

ඔබටත් ස්තුතියි.