සිංහල, Badulla, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

මිලිටරි පුහුණුව -‛‛නිශාන්ති මධුෂාණිගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි’’ – සංජීව බණ්ඩාර

ආණ්ඩුව මේ රටේ නවක විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන බලහත්කාරී හිතුවක්කාරී හමුදා පුහුණුවේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට එක් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙලා ඇති බවත් මේ මරණය සඳහා ආණ්ඩුව වගකිව යුතු බවත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු සංජීව බණ්ඩාර අද(04) නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර,

“වැලිමඩ, තෙන්නකෝන්ගම නිශාන්ති මධුෂාණි තමයි මේ විදිහට ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නෙ. ඇය වාණිජ අංශයෙන් උසස්පෙළ විභාගයට ඉදිරිපත් වෙලා කැළණිය විශ්ව විද්‍යාලයට තේරුණ ශිෂ්‍යාවක්. ඇයව දෙවන අදියරේ හමුදා පුහුණුව සඳහා දියතලාව හමුදා කඳවුරට යොමුවෙනවා. එහිදි තමයි ඇගේ රෝගී තත්වය උත්සන්න වෙන්නෙ. මේ විදිහට හමුදා කඳවුරේදී ඇගේ රෝගී තත්වය උත්සන්න වීමේ ප්‍රථිපලයක් විදිහට පසුව ඇයව වැලිමඩ රෝහලටත් ඉන් අනතුරුව බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයෙදි මිය යනවා. ”

“නිශාන්ති මධුෂාණි කුඩා කල පටන්ම පීනස් අමාරුවෙන් බැට කාපු ශිෂ්‍යාවක්. සෙම් රෝගයකින් බැට කාපු ශිෂ්‍යාවක්. මෙවැනි ශිෂ්‍යාවක් කිසිසේත්ම අධික ශීතල දේශගුණයක් ඇතුළෙ නිරාවරණය වීම සුදුසු නැහැ. ඒවගේම අධික ලෙස විෂබීජ ආසාධනය වන තත්වයන්ට නිරාවරණය වීම සුදුසු නැහැ. එවැනි තත්ත්වයන්ට නිරාවරණය වීම තුළින් ඇගේ රෝගාබාධ තත්ත්වය උත්සන්න වෙලා ඇයව ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ. හමුදා කඳවුරු පුහුණුව තුළ දින 21 ක් තිස්සේ උදේ පාන්දර පහේ ඉඳලා දැඩි සීතල කාලගුණය තුළ ශාරීරික ව්‍යායාම වල නිරත වෙන්න සිද්ධ වීමත් මෙයට හේතු වී ඇති බවත්, මේ මරණයේ වගකීම බලහත්කාරී හමුදා පුහුණුවක් ලබා දුන් ආණ්ඩුව භාර ගත යුතුයි. මෙවැනි රෝගී තත්ත්වයන් නොසලකා අනෙකුත් හමුදා කඳවුරු වලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලහත්කාරී ලෙස පුහුණුවෙ යොදවනවා අපි දැක්කා. මාදුරු ඔය හමුදා කඳවුරේ ශිෂ්‍යාවක් බෑ කියද්දි ඇයව බලහත්කාරයෙන් තාප්පයකින් පැන්නුවා. ඇයගේ වළලුකර ආසන්නයේ අස්ථියක් බිඳීම නිසා මාස තුනක් රෝහලේ ගත කළා. එවැනි දෙයක් තමයි නිශාන්ති මධුෂාණිටත් සිද්ධ වුණෙ. ඉදිරියෙදි සමහර විට ආණ්ඩුව තමන්ගෙ බලය පාවිච්චි කරලා, මාධ්‍ය පාවිච්චි කරලා රටට කියයි මේක ස්වභාවික මරණයක් කියලා. මේ මරණය පිළිබඳ තොරතුර දැන ගැනීම වැලැක්වීම ආණ්ඩුව දැනටමත් මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා නිශාන්ති මධුෂාණිගෙ දෙමව්පියන් මේ පිළිබඳ තොරතුරු හෙලි කරන්න විශාල බියකින් ඉන්නවා. ” සංජීව බංඩාර වැඩිදුරටත් එහිදී පවසා සිටියේය.