සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

“මේක ආණ්ඩුව විසින් කරපු වැඩක් ” – එස්. ශ්‍රීධරන්, ටී.එන්.ඒ

“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන් පුවත්පතට බොහෝ මාධ්‍යවේදීන් අහිමි වුණා. මෑතකදි උදයන් පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘ කුගනාදන්ට මැර ප්‍රහාරයක් එල්ල වුණා. මෙයින් දෙමළ ජනතාවගේ හඬ මැඩලන්න උත්සාහ ගන්නවා. දෙමළ ජනතාවෙගේ විතරක් නෙමෙයි ලසන්ත වික්‍රමතුංග, රිචඩ් ද සොයිසා වැන්නන් ඝාතනය කිරීම සහ ලංකා ඊ නිව්ස්ට ප්‍රහාරයන් එල්ල කිරීම ආදී කටයුතු වලින් සිංහල ජනතාවගෙත් ප්‍රකාශනයේ නිදහස මැඩලන්න උත්සාහ කරලා තියෙනවා.”

උදයන් ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් විසින් පසුගියදා (16) යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී පැවති උද්ඝෝෂණයට සහභාගී වූ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා යාපනයේ ක්‍රියාත්මක වන මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් ‛විකල්ප’ සමඟ මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ එස්. ශ්‍රීධරන් මහතා,

“ලෝකයේ හිටපු දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළා කියන ආණ්ඩුවට කුගනාදන්ට පහර දීපු අයව අත් අඩංගුවට ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. අපිනම් කියන්නෙ මේක ආණ්ඩුව විසින් කරපු ප්‍රහාරයක් කියලයි. ආණ්ඩුව විසින් සැලසුම් කරලා මාධ්‍යවේදීන්ට පහර දෙන තත්ත්වයක් යටතේ මේ ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ල ගන්නෙ කොහොමද? උදයන් ප්‍රහාරය, තිනකුරල් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම, පුවත්පත් ආයතන වලට හමුදා ඇඳුමෙන් සෙබළුන් සහ බුද්ධි අංශයෙන් ඇතුළු වී තර්ජනය කිරීම් ආදියෙන් යාපනයේ මධ්‍ය නිදහස නැති වෙලා තියෙනවා. කුගනාදන්ට පහර දීපු ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තියෙනවා. එම ප්‍රහාරයට එරෙහිව දකුණේ මාධ්‍යවේදීන් උතුරේ මාධ්‍යවේදීන් එක්ක කරපු උද්ඝෝෂණය නවත්වන්න කරපු වැඩක් තමයි ඒක.”

“කුගනාදන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට හේතු දෙකක් තියෙනවා. එකක් මැතිවරණයේ ආණ්ඩුව ලබපු පරාජය. දෙමළ ජනතාව අපේ ප්‍රදේශය ආරක්ෂාවන ආකාරයට ඡන්දය දිය යුත්තේ කෙසේද? දෙමළ ජනතාව, දෙමළ ජනතාවගේ පක්ෂය මැතිවරණයේදී ජයග්‍රහණය කරවීමෙන් ලෝකයට පණිවිඩයක් දිය යුතු බව වැනි අදහස් උදයන් පුවත් පත ප්‍රකාශ කරලා තියෙනවා. මෙවැනි පුවත් ජනතාව වෙත ගිය නිසාත්, දෙමළ ජනතාවගේ හැඟීම් වලට ප්‍රධාන තැනක් දෙන නිසාත්, යාපනයේ තිබෙන ආණ්ඩුවට පක්ෂපාති පුවත්පත් වල ප්‍රවෘත්ති ප්‍රබල නැති නිසාත් උදයන් පුවත් පත මෙම ප්‍රහාරයට ලක් වී තිබෙන බව මම හිතනවා.”

“යාපනයේ සිටින රජයේ අමාත්‍යවරයෙක් පුවත් පතක් නඩත්තු කරනවා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “ඉදයි විනයි” කියන සේවය කරන්න එම ඇමතිවරයාට අනුමැතිය ලැබී තිබෙනවා. එම සේවය මගින් දෙමළ ජාතිය වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීන්ව මාධ්‍ය ආචාරධර්ම කඩකරමින් දරුණු ලෙස විවේචනය කරන බව අපි දන්නවා. මෙවැනි පහසුකමක් දෙමළ පක්ෂයකට ලබාදීමෙන් රජය ඉතාම පහත් වැඩක් කරලා තියෙනවා. මේ පිරිස නඩත්තු කරන පුවත්පතේ කොහේවත් නොසිදුවුණු ප්‍රවෘත්ති පවා ප්‍රකාශයට පත් කරනවා. මේ වගේ වැඩකරන අය විසින් ඇත්ත, ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන ජනමාධ්‍යවේදීන්ව රටින් පිටකරන්න උත්සාහ කරනවා, නැත්නම් මරලා දානවා. මෙවැනි කටයුතු පිටුපස පෙර කී අමාත්‍යවරයාත්, එයාගෙ පිරිසත් ඉන්න බව පිළිගත යුතුයි.”
2011-08-16