සිංහල, Democracy, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Media

බර අදින්නට බැරි වූ විට තඩිබෑම

– Photo by – www.newsfirst.lk
ලක්මාල් විදුලි උපකරණ විකුණන වෙළඳ සැලක සේවය කළත් ඔහුගේ නිවසේ කිසිදු විදුලි උපකරණයක් නොමැති වීම පිළිබඳව ලක්මාල්ගේ බිරිඳ දිනපතාම මැසිවිලි නගන්නීය. ලැබෙන වැටුපෙන් විදුලි උපකරණ තියා එදා වේලවත් පිරිමසා ගන්නට නොහැකි නිසා සේවය කරන වෙළඳ සැලේ විදුලි උපකරණ කිහිපයක් සොරකම් කිරීමට ලක්මාල් තීරණය කරයි. අවසානයේ ලක්මාල් පොලීසියට හසු වෙයි. සුපුරුදු පරිදි පොලීසිය හොඳට සලකයි (තඩිබායි). එයින් නොනවතින පොලීසිය ප්‍රදේශයේ සිදු වූ වෙනත් සොරකම් කිහිපයකටද වැරදිකරු ලෙස පිළිගන්නා ලෙසට ලක්මාල්ට බල කර සිටියි. ලක්මාල් එය ප්‍රතික්ෂේප කරන කල්හි පොලීසිය ඔහුට තවදුරටත් තඩිබායි….තඩිබායි….තඩිබායි….තඩිබායි….

අපමණක් මිනිසුන් මේ මොහොත වන විටත් පොලීසියේ තඩිබෑමට ලක් වෙමින් සිටියි. දොම්පෙ ගයාන් රසාංග මෙලොව හැර යන්නේ පොලීසියේ අසාමාන්‍ය තඩිබෑම දරා ගත නොහැකිවය. සොරකම් කළ වතුර මෝටරයක් ප්‍රවාහනය කිරීමේ වරදට දඬුවම වූයේ මරණයයි. දොම්පෙ පොලීසියේ තඩිබෑමට ලක්ව ගයාන් මිය යන විටත් තඩිබෑමට ලක්ව අසාධ්‍ය තත්වයට පත් තවත් තරුණයක් දෙදෙනෙක් පොලීසියේ සිටියෝය. ඒ වතුර මෝටරය සොරකම් කළ දෙදෙනාය. සුළු සොරකමක් කළ තරුණයන් දෙදෙනෙක් මිය යාමට තරම් බරපතල තුවාල ලබද්දි ස්ත්‍රී දූෂණ, මහා පරිමාණ වංචා කරපු උන් නිදොස් කොට නිදහස් කරයි. ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන නාටකයේ ස්වභාවය මෙයයි. පොලීසිය මේ නාටකයේ ප්‍රධාන භූමිකාව වෙයි. ඔවුන්ගේ කාර්යය වන්නේ බය කිරීමයි. බය කිරීමට පොලීසිය අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේදය තඩිබෑමයි. තඩිබෑම වැඩිවුණොත් මිය යයි. එවිට නාටකයේ නළුවන් වෙන ප්‍රදේශයකට මාරු කර ඔවුන් වෙනුවට වෙනත් පිරිසක් ගෙන්වයි. වෙනත් ප්‍රදේශයක මිනිසුන්ට තඩිබාමින් සිටි මේ පිරිස අළුත් ප්‍රදේශයේ තඩිබාන්නට පටන් ගනියි. මාරුකර යැවූ පිරිස මාරුකළ ප්‍රදේශයේ තඩිබාන්නට පටන් ගනියි.

‛පොලීසියට වඩා හමුදාව හොඳයි’ – මහජනතාව

පොලීසියේ තඩිබෑම් වලට, වෙඩිතැබීම් වලට ජනතාව පිළිතුරු දෙන්නේ අදාල පොලීිසිය ගිනිතැබීමෙන්, පොලීසියට පහර දීමෙන් වැනි ක්‍රියාවලිනි. එනම් පොලීසියේ තඩිබෑමට එරෙහිව ජනතාව පොලීසිය තඩිබායි.ගැටළුව වන්නේ ජනතාව විසින් පොලීසියට තඩිබාන්නේ ඇත්තටම විරෝධය සඳහාද යන්නයි. ජනතාවගේ මෙම තඩිබෑම වූ කලි පොලීසියේ තඩිබෑම මෙන්ම එක්තරා වතාවතක් පමණි. මේ සියළු දේවල් මෙහෙයවන්නේ පොලීසිය නොව ඒ පිටුපස තිබෙන යාන්ත්‍රණයක් බව ජනතාව නොදන්නවා යනු විහිළුවකි. පොලීසීයට තඩිබෑමෙන් පසු පොලීසිය විසින් මිනිසුන් මරණ එක නොනවත්වන බව ජනතාව හොඳාකාරවම දනියි. බස්රථයක් විසින් යම් පුද්ගලයෙක්ව අනතුරකට ලක් කලහොත් බස්රථය ගිනිතැබීම සාමාන්‍ය ලාංකීය සිරිතයි. එවන් අවස්ථාවක බස්රථය ගිනිතැබීමට සහභාගී වීම ඉතාමත් ආරක්ෂාකාරීය. මන්ද එවන් අවස්ථාවක ගිනිතැබීමට සහභාගීවන කිසිවෙකුට තර්ජනයක් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන නිසාය. ඒ ආකාරයටම පොලීසිය වරදකාරී වූ විට ඊට එරෙහිව එම අවස්ථාවේදී කටයුතු කරන්නන්ට කිසිදු අනතුරක් සිදුනොවන බව ජනතාව දනියි. එබැවින් පොලීසියට ගල් ගහන කොට වෙනත් වැඩකට පාරේ යන අයද බය නැතිව ගලක් අහුලා අත දිග හැර ගැසීමෙන් වතාවතට සහභාගී වෙයි. මේ ගල් ගැසීමේ වැඩේ දුර දිග යන්නට පෙර (සමස්ත යාන්ත්‍රණයට බාධාවක් වීමට පෙර) ආණ්ඩුව විසින් පොලීසියේ ආරක්ෂාවට හමුදාව යොදවයි. මෙය එම නාටකයේම එක් කොටසකි. එවිට ජනතාව නාටකයේ පිටපතේ තිබෙන අකාරයටම පොලීසියට වඩා හමුදාව හොඳ බව පවසමින් ගල් ගැසීම නවත්වයි. පොලීසියට වඩා හමුදාව හොඳ නොවන බව ජනතාව දනියි. නමුත් හමුදාවට විරෝධය දැක්වීම වූ කලි එතරම් ඇඟට ගුණ නැති බව ඉතිහාසයෙන් ඉගෙන ඇති ජනතාව හමුදාව පොලීසියට වඩා හොඳ යන ප්‍රබන්ධයේ මුවාවෙන් විරෝධය නවත්වයි. ඉතින් අවසානයේ ජනතා විරෝධය අතිශය අදේශපාලනික තැනක මිය යයි. වැඩේ දුරදිග ගියොත් හමුදාව බේර ගන්න එන බව දන්නා පොලීසිය දිගටම තඩිබෑමේ ක්‍රියාවලිය කරගෙන යයි. ජනතාව පොලීසියට ගිනිතබා තම සමාජමය වගකීම ඉටුකරයි.

‛උද්ඝෝෂණ කිරීම තහනම්’ – ආණ්ඩුව

ජනතාව, පොලීසිය, හමුදාව තමන් තමන්ගේ දෛනික වතාවත් මෙලෙස කරගෙන යද්දී ආණ්ඩුව විසින් ඉතාමත් සූක්ෂම ලෙස සන්නද්ධ වෙයි. මෙම වතාවත් මෙලෙස සිදු වූවාට ආණ්ඩුවට කිසිදු ගැටළුවක් නැත. ගැටළුව වන්නේ මේ ගිනිතැබීම් දේශපාලනික වූ විටයි. එබඳු දේශපාලන මැදිහත් වීම් වලින් පොලීසියක් ගිනිගත්තාට වඩා පාඩුවක් වන බව ආණ්ඩුව දනියි. ඉතින් ආණ්ඩුව එම දේශපාලන ඉම පිළිබඳව සුපරික්ෂාකාරී වෙමින් තම ප්‍රතිපත්ති සකස් කරයි. කටුනායක රොෂේන්ගේ මළ ගෙදර අවසාන දිනයේ උද්ඝෝෂණ සිදුනොකරන ලෙස උසාවි නියෝගයක් එන්නේ ආණ්ඩුවේ සුපරීක්ෂාකාරීබව මනාවට විදහා දක්වමිනි. නමුත් රොෂේන්ගේ මරණය වෙනුවෙන් විරෝධතා දැක්වීමට යම් මට්ටමක ඉඩකඩක් එදා තිබුණි. එම උද්ඝෝෂණයන් හුදු ගිනිතැබීම් වලට එහා ගිය නිසා යම් ආකාරයක දේශපාලනික බලපෑමක් ආණ්ඩුවට සිදුවිය. අද ගයාන් රසාංගව පොලීසිය ඝාතනය කල කල්හි ඒ වෙනුවෙන් කිසිදු දේශපාලන විරෝධතාවයක් කිරීමට ඉඩ නොතබමින් උසාවි නියෝගයක් ගෙන ඒමෙන් වැටහෙන්නේ ආණ්ඩුව පෙරට වඩා සූක්ෂම වී ඇති බවයි. ඉදිරියේදී පොලීසිය විසින් ඕනෑම ඝාතනයක් කල කල්හි ආණ්ඩුව මුලින්ම කරනු ඇත්තේ ඊට එරෙහිව විරෝධය දැක්වීමට ඉඩ නොතබමින් උසාවි නියෝගයක් ගෙන ඒම විය හැකිය. පොලීසියේ ආරක්ෂාවට හමුදාව ගෙන්වනවා මෙන්ම ආණ්ඩුවේ ආරක්ෂාවට උසාවි නියෝගයන් ගෙන ඒමත් අනාගතයේ වතාවතක් වනු ඇත. අවසානයේ පවතින පාලනයට එරෙහිව හෝ ආණ්ඩුවේ ආයතනයකට එරෙහිව ජනතාව නැගී සිටිය හැකි ඕනෑම අවස්ථාවක එය වැලැක්වීමට උසාවි නියෝග ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. ඉදිරියේදී ලිප්ටන් වටරවුමේ පවතින උද්ඝෝෂණයක් නිසා තම දෛනික රාජකාරීන් වලට බාධා වන බැවින් එය වලක්වන ලෙස, කවුරුන් ලවා හෝ ආණ්ඩුව විසින් නඩුවක් දැම්මොත් එයට පුදුම විය යුතු නැත. අද රොෂේන්ගේ, ගයාන්ගේ මරණය තුළින් ජනතාව අත්දැකීම් ඉගෙන ගන්නවාට වඩා වැඩි වේගයකින් ආණ්ඩුව විසින් අත්දැකීම් ඉගෙන ගනිමින් සිටියි.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව පසුවදනක්

ආණ්ඩුව කොතරම් පාරම් බෑවද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය විසින් ලාංකිකයාව දැඩි අර්බුදයකට ලක් කර ඇත. ලාංකිකයන් අද ආර්ථිකය හමුවේ ආවේශ වී සිටිති. කටුනායක සේවකයන් එදා දිවිපරදුවට තබා සටන් කළේ ඔවුන්ට තවදුරටත් නැතිවන්නටත් දෙයක් නොමැති තරමට ආර්ථික අර්බුදය උඩු දුවා ඇති නිසාය. එදා ඒ විරෝධය වෙනුවෙන් ආණ්ඩුවේ පිළිතුර වූයේ පොලීසිය ලවා වෙඩි තැබීමයි. පවතින ආර්ථික ක්‍රමයට විරෝධය දැක්වීමේ ප්‍රථිපලයක් ලෙස එදා රොෂේන් මිය යයි. දොම්පෙ තරුණයන් දෙදෙනෙක් විසින් පවතින ආර්ථික ක්‍රමයට එරෙහි වීමට වඩා කෙසේ හෝ ආර්ථිකයත් සමග එකඟවීම ප්‍රායෝගික නිසා වතුර මෝටරයක් සොරකම් කරයි. අවසානයේ පොලීසිය ඒ පිළිබඳ ක්‍රමවත් ආකාරයට පරීක්ෂණ කරනවා වෙනුවට හොඳටම තඩිබායි. මේ සොරකමට වක්‍රාකාරව සම්බන්ධ වූ (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ගයාන්ට මිය යන තෙක් තඩිබායි. දැරිය නොහැකි ආර්ථික බරක් ජනතාව මතට පටවන ආණ්ඩුව, ජනතාව ඊට විරෝධය පාද්දි පොලීසිය ලවා වෙඩි තබවයි. දැරිය නොහැකි ආර්ථික බර ඇදීමට වෙනත් මාර්ග සොයන ජනතාවට පොලීසිය ලවා මැරෙන තෙක් පහර දෙවයි. මෙය ලාංකීය ආර්ථික ප්‍රතිපත්තියයි.