Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?


මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයකු ලෙස මා හට වැටහී ගිය මූලික කරුණ වූයේ, ජිනීවා මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය හෝ මානව හිමිකම් පිළිබඳව හෝ අන්තර් ජාතික නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එතරම් හෝ කිසිඳු දැනීමකින් තොරව, මෙම සාකච්ඡාව සමාජය තුළ දිග හැරෙමින් තිබෙන බවයි. මේ බව ප්‍රත්‍යක්‍ෂ කිරීමට මා සමාජයේ දැනුවත් යයි සැළකිය හැකි පුරවැසියන් කීප පලකින්ම ඒ පිළිබඳව විමසුවෙමි. එසේ විමසීමට මා යොදා ගත්තේ සරල ප්‍රශ්ණ කීපයකි.

ඒවා මෙසේය. මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් යනුවෙන් පද දෙකක් අප භාවිතා කරති. ඒවායේ පවතින වෙනස ඔබ දන්නවාද යන්න මූලික ප්‍රශ්ණය විය. එසේම අන්තර් ජාතික නීතිය හා අප රටේ පවතින නීතිය ඇත්තේ කුමන ආකාරයේ සමානකමක් ද නැතහොත් අසමාන කමක් ද යන්න දෙවැන්නයි. ජිනීවා වලදී අපගේ ප්‍රශ්ණ සාකච්ඡා කරන සංවිධානයක් ද යන්න තුන්වැන්නයි. මෙකී ප්‍රශ්ණ 3 ටම මා වෙත විවිධාකාර පිළිතුරු ලබාදුන් මොවුන් අවසානයේ දී පැවසුවේ, මේ පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් කිරීමට තරම් තමනට උනන්දුවක්, වේලාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවය. මෙසේ පිළිතුරු දෙන ලද්දේ රටේ යමක් කමක් දන්නා උගත් හෝ වෘත්තික මට්ටමේ පුද්ගලයන්ය. ඔවුන් ඒ පිළිබඳ දරන මතය එසේ නම්, සාමාන්‍ය ජනතාව පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ වගකීම ජනමාධ්‍ය ද පැහැර හැර ඇති බව අපගේ වැටහීමයි. එසේම දේශපාලනඥයන්ට ද මේ පිළිබඳව ඇත්තේ සාමාන්‍ය දැනුමක් බව දැන් දැන් වැටහේ. එය ජිනීවා ගිය රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් 52 දෙදෙනා දෙස බැලු කළද, රජයේ විදේශ ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වන විපක්‍ෂය දෙස බැලු විට ද මනා කොට පෙන්වති. එසේ නොවන්නට, තමත් රෝම සම්මුතියට අත්සන් නොකිරීම නිසා, වර්තමාන රජයේ නායකයන්ට යුධ අපරාධ සම්බන්ධ වගකීම පැවරීමට හැකි නොවන්නේ යයි මහත් ආඩම්බරයෙන් පැවසීමට විපක්‍ෂ නායකවරයාට හැකි වන්නේ නැත. එසේම ජිනීවා හි සිදුවන දෙය එක් දින ක්‍රිකට් තරඟයකට සමාන කරමින් ප්‍රවෘත්ති පළ කිරීමට ජනමාධ්‍ය පෙළඹෙන්නේ නැත. එසේම මෙය රටවල් අතර සිදු කෙරෙන යුද්ධයකට සමාන කරමින්, ජිනීවා හි සතුරන්ට මෙරට සිට අභියෝග කරන්නේ නැත. ජාත්‍යන්තර නීතිය, දේශීය නීතියට සමාන කරමින් කටයුතු කිරීම ප්‍රඥාවන්ත උත්සාහයක් නොවේ.

රටේ නීතිය, පාර්ලිමේන්තුවක් මගින් නිෂ්පාදනය කරති. එය උල්ලංඝණය කරනු ලැබුවහොත්, පොලීසිය මගින් පරීක්‍ෂණ පවත්වා නඩු පවරති. අධිකරණය එකී පරීක්‍ෂණ වාර්තා මත නඩු අසා නීතිය උල්ලංඝණය කරන්නවුන්ට දඬුවම් පවරති. ජාත්‍යන්තර නීතියට පොලීසියක්, අධිකරණයක් හෝ දඬුවම් පැමිණ වීමක් නැත. එසේම පාර්ලිමේන්තුවක් ද නැත. ජාත්‍යන්තර නීතිය ගොඩ නැඟෙන්නේ පාර්ලිමේන්තුවක් වැනි නියෝජිත අනෝන්‍යය එකඟත්වය මත පදනම් වන සාකච්ඡා තුළිනි. එසේ සාකච්ඡා වලින් ඇතිවන ප්‍රතිඵලය, ප්‍රඥප්තියක් හෝ සම්මුතියක් ලෙස එළි දැක්වෙති. ඉන්පසුව කැමති රටවල් එයට අත්සන් තබති. එසේ අත්සන් තැබු පමණින් ඇතැම් රටවල් දේශීය නීතියට අන්තර් ජාතික නීතිය ඇතුල් වෙති. තවත් රටවල එය පාර්ලිමේන්තු පනතක් තුළින් රටේ නීතිය තුළට ඇතුළත් කරගත යුතුව තිබේ. ලංකාව ඇතුළත් වන්නේ මෙකී දෙවන ඝණයටය. බොහෝ යුරෝපීය රටවල, අන්තර් ජාතික නීතිය කෙළින්ම ජාතික නීතිය බවට පත්වේ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන්නේ අප රට අනුගමනය කරන ක්‍රමවේදයයි. අන්තර් ජාතික නීතිය උල්ලංඝණය කළ විට දඬුවම් නොලැබේ. තමන්ම එකඟව, සාකච්ඡා කොට, ගොඩනඟා ගත් සහ සම්මත කරනු ලැබු නීතියක් තමන් විසින්ම උල්ලංඝණය කළ කල්හි, අදාල රටට ගෙවන්නට වන වන්දිය වන්නේ, එසේ උල්ලංඝණය කරනු ලැබුවකු ලෙස නම් කිරීම හා ඒ පිළිබඳව ලැජ්ජා කිරීමයි. (එය ඉංග්‍රීසියෙන් Naming and Shaming ලෙස හඳුන්වනු ලබයි.)

II ලෝක යුද්ධයේ දී ඇතිවු මහා විනාශය, නැවත මෙලොව ඇතිවීම වළක්වා ගනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගනු ලැබුහ. ලෝක සාමය පවත්වා ගැනීම එහි ප්‍රධාන අරමුණ වී තිබුණි. එලෙස සාමය පවත්වා ගැනීමට ඉවහල් වන මූලික පදනම වන්නේ මානව හිමිකම් සුරැකීම බව එකල ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කළහ. මිනිසකු කෑම, බීම, හුස්ම ගැනීම තුළින් ජීවය පවත්වා ගන්නේ යම් සේද, එකී ජීවියාට මානව අභිමානය නැමති දෙයක් පවතින බව ද එය මිනිස් ජීවය හා සමානව බැඳී ඇති බව ද, එකී මානව අභිමානය තුළින් උපදින සියළු අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙසද හැඳින්වීමට ලෝක ප්‍රජාව උත්සුක වූහ. නිදහස, සමානාත්මතාව, භාෂණයේ අයිතිය යනාදී නන් වැදෑරුම්, අයිතිවාසිකම් මෙලෙස මනාව අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලැබුහ. පළමුවරට මේවා ජාත්‍යන්තර නීතියක් ලෙස කල එළි දකින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය ලෙස 1948 දෙසැම්බර් 10 වැනි දිනදීය. ශ්‍රී ලංකාව ද මෙකී ප්‍රඥප්තියට සාකච්ඡා කොට අත්සන් තබන ලද්දේය. ඉන්පසුව 1966 දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය එළි දැක්වෙති. එකී සම්මුති දෙක ද අප සාකච්ඡා කොට අත්සන් තබා තිබේ. ඉන්පසුව අන්තර් ජාතික ප්‍රජාව හමුවේ පැවති අභියෝගය වූයේ මෙකී එකඟතා ක්‍රියාත්මක කිරීම හා විමර්ශණය කිරීම කවුරුන් විසින් කළ යුතුද යන්න පිළිබඳව එකඟතාවයක් ඇතිකර ගැනීමයි. ඒ අනුව 1946 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම පිහිටු වීමට මහා මණ්ඩලය හා ඒ තුළින් ගොඩ නැඟුණු ආර්ථික හා සමාජීය කවුන්සිලය තීරණය කරන ලදි. නමුත් එකී කොමිසමේ පැවති ආවේනික දුර්වලතා හේතු කොට ගෙන වර්ෂ 2006 දී මහා මණ්ඩලයේ ඒකමතික සම්මතයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය පිහිටුවනු ලැබීය. එකී කවුන්සිලය තමන්ගේ ක්‍රියාකාරකම් ජිනීවා නුවර සිට මෙහෙයවනු ලබති. එකී කවුන්සිලයේ සාමාජිකත්වය අප්‍රිකානු රටවල් 13 කටද, ආසියානු රටවල් 13 කටද, නැගෙනහිර යුරෝපියානු රටවල් 6 කට ද, බටහිර යුරෝපියානු සහ වෙනත් රටවල් 7 කට ද, ලතින් අප්‍රිකානු හා කැරිබියානු රටවල් 8 කට හිමිවෙති.

මෙකී සෑම රටක්ම වසර 3 ක් සඳහා පත් කරනු ලබති. ඇමරිකා එක්සත් ජනපදය මෙවර පත්ව සිටින්නේ බටහිර යුරෝපියානු කාණ්ඩයෙනි. ඒ අනුව රටවල් 47 ක් එ.ජා. මහා මණ්ඩලය මගින් මානව හිමිකම් කවුන්සිලයට පත් කරනු ලබති. මෙලෙස පත්වනු රටවල් මානව හිමිකම් පිළිබඳව කාලීන විමර්ශණයක් පවත්වනු ලබන අතර, එකී විමර්ශණයන් තුළින් මානව හිමිකම් උල්ලංඝණයන් ඉස්මතු වන්නේ නම් කවුන්සිල සාමාජිකත්වය අත්හිටුවීමේ බලය මහා මණ්ඩලය සතුවේ. මෙම කවුන්සිලය යටතේ පැමිණිලි කිරීමේ ක්‍රියා පටිපාටියක් පිළිබඳව හඳුන්වා දී තිබේ. ඒ යටතේ ලෝකයේ ඕනෑම උල්ලංඝණයක් පිළිබඳව පැමිණිලි කිරීමේ අයිතිය සාමාජික රටවල පවතී. මෙකී පැමිණිලි සලකා බැලීම සඳහා මහාද්වීප 5 න් තෝරා ගනු ලබන විද්වතුන් 5 දෙනෙකු ගෙන් සමන්විත කමිටු 2 ක් ක්‍රියාත්මක වේ.

පළමු කමිටුව විසින් උල්ලංඝණයක් සිදුවී ඇතිදැයි සොයා බලන අතර, එය එසේ නම් දෙවැනි කමිටුව නිසි පරීක්‍ෂණයක් සඳහා යොමු කරනු ලබයි. මෙකී කමිටුව වසරකට දෙවරක් මුණ ගැසේ. ඔවුන් අදාල පරීක්‍ෂණ හමාර කොට සිය නිගමන හා නිර්දේශ සහිත වාර්තාවක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබයි. එය එසේ නම් දැන් අපට තිබෙන ප්‍රශ්ණය වන්නේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ ගෙන එනු ලබන්නේ යයි කියන යෝජනාව පවතින්නේ කවුන්සිල ක්‍රියාදාමයේ කුමන ස්ථානයක ද යන්නය. ඒ පිළිබඳ කිසිඳු පැහැදිලි කිරීමක් මෙතෙක් රජය ජනතාවට පැහැදිළි කොට නැත. ඒ බව නොදැන අප කුපිත වී සිටිති.

නීතිඥ ශිරාල් ලක්තිලක[Shiral Lakthilaka]
[email protected]