Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

පේ‍්‍රමකුමාර් ඉස්සීම නොහොත් පුහුල් හොරා කරින් දැනේ කතාව


සොරකම් කරන ලද අද ව්‍යවහාරයෙන් නම් පැහැර ගන්නා ලද අළු පුහුල සොයා ගැමියෝ හතර අත විපරමක් දියත් කළහ. කොලූ ගැටව් දැළි අඟුරු වලින් ගම පුරා බිත්ති වල මෙවැනි පැහැර ගැනීම් ගැන දනන් තුඩ තුඩ පැවැති සැක සංකා මතු කරමින් සටන් පාඨ ලීවෝ ය. ‘‘මේ පුහුලත් ඉස්සුවේ වෙන කව්රුවත් නොවෙයි’’ යන්න වැඩිම ජනප‍්‍රිය සටන් පාඨය බවට වුයේ අළු පුහුල් උස්සන්නේ කව්රුන් විසින්දැයි මේ වන විට ගැමියන් දැන සිටි නිසා ය. ගොවි සමිති විශාල ප‍්‍රමාණයක් එක් රුස්ව එක් වී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් දිගින් දිගටම සිදුවන මෙවැනි පැහැර ගැනීම් නතර කනු වස් එකා සේ එක් වන ලෙස ආයාචනයක් කළෝ ය. නහයට නොඅසන කොලූ ගැටව් කීප දෙනෙක් ‘අළු පුහුලත් රාජකීය වැඩක්’ යැයි ලියූ පාට පාට බැලූම් තොගයක් අහසට යවා තිබුනේ හැමෝටම පෙනෙන්නට ය. හැම ගොවි ගෙදරකම කියැවුනේ ‘වෙන කව්රුවත් නොවෙයි’ කියන කතාවය. සොර දෙටුවාගේ නම කිවොත් තොපටත් අළු පුහුලට වූදේ ම වෙනු ඇතැයි කියමින් අවතාර වැනි රාජ සේවකයින් සෑම රැයකම ගම බියවද්දවා තිබුනි.

මේ අතර වාරයේ අළු පුහුල සඟවා තබා රාජකීය හොර ගමනේ යමින් සිටි සොර දෙටුවා මං නම් ඕවාට නැතැයි කියා අළු පුහුල ගෙනා සිය උරහිසෙහි තවමත් අළු ඇත්දැයි බැලීමට කර අතගා බැලීය. එසැණින් ගැමියෝ සොරා හදුණා ගත්හ. නමුත් සොරා ළඟ අළු පුහුල තිබුණේ නැත. ‘ඉදින් තොපි මා සොරෙක් ලෙස හදුන්වන්නේ මන්දැ’යි රාජ සොර දෙටුවා ගෝරනාඩුවක් දැම්මේ ය. එවැනි අළු පුහුලක් තිබූ බව පෙන්වන්නට ජායාරූපමය සාක්ෂි ගෙනෙවිත් පෙන්නපල්ලා යැයි අභියෝගාත්මක ප‍්‍රකාශයක් ද කළේ ය. පොටෝ තිබුනේ නැත. පොටෝ නැත්නම් අළු පුහුලක් නැති වුණේ කෙසේදැයි රාජ සොර දෙටුවා තර්කයක් දැම්මේ ය. කර කියා ගන්නට දෙයක් නොතිබූ ගැමියෝ ‘පුහුල් හොරා කරින් දැනේ’ යැයි සටන් පාඨ කියමින් ආපසු ගියෝ ය. පුදුමයකට මෙන් එළෙස ආපසු යන අතරවාරයේ දී අළු පුහුල අල්ලපු වත්තේ තිබෙනු ඔවුහු දුටුවෝ ය. රාජ සොරා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගැමියන් විසින් ම අළු පුහුළ සඟවා තැබුවේ බාල ප‍්‍රචාරයක් මගින් අළු පුහුල් ජනප‍්‍රිය කරවා මිල ඉහළ යැවීමට බව ය. සොරා දෙටුවාගේ දංකුඩ කන කස්ටියක් කියා සිටියේ ජාතික වීරයෙක් වන සිය රාජ සොරා දෙටුවාට අවමන් කිරීමට මෙම අළු පුහුල් කතාව ගොතන ලද බව යි.

ඒ වනාහී පුරාවෘත්ත ගත පුහුල් හොරාගේ කතාවේ පශ්චාත් යුද්ධ අනුවර්ථනයකි. එය ලියා තිබුණේ සිය දරුවා අතුරුදහන් වීමෙන් පසු සිහි විකල් වූ පියෙකු විසිනැයි කියනු ලැබේ.

දැන් අපි ඇත්ත කතාවට යමු.

වාම දේශපාලන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පසුගිය 06 දා රාත‍්‍රියේ දී අතුරුදහන් විය. ඔවුහු පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් හැදින්වෙන ජවිපෙන් ඉවත් වූ දේශපාලන ප‍්‍රවණතාවයේ ප‍්‍රමුඛයින් දෙපලක් වූහ. එබැවින් මෙම අතුරුදහන්වීම/පැහැර ගැනීම වත්මන් ශ‍්‍රී ලංකාවෙහි දරුණුතම මානව හිමිකම් කෙළෙසීමක් බවට පත්ව තිබෙන පැහැර ගැනීමේ/ අතුරුදහන් කිරීමේ සංස්කෘතියෙහි උච්චතම ස්ථානයක් බවට පත් වීමට ඉරණම් ලබා තිබුණි. එනයින්ම මෙම පැහැර ගැනීම කේන්ද්‍ර කොට ගෙන නොනැවත කෙරීගෙන යන අතුරුදහන්වීම් පිලිබඳ දේශීය සහ ජාත්‍යන්තර අවධානය ඉහළ නංවා ගැනීමට මානව හිමිකම් ක‍්‍රියාකාරිනට මහඟු අවස්ථාවක් ද උදා විය.

ඔවුන් දෙදෙනා ගේ ජිවිත බේරා ගැනීම පිණිස දියත් වූ ව්‍යාපාරය මැත කාලීන ශ‍්‍රී ලංකාවේහි පෙර නොවී විරූ පුළුල් සිවිල් සහ දේශපාලන එකතුවක් බවට පත් විය. නිල සහ නොනිල වශයෙන් කැමැත්තෙන් මෙන් අකමැත්තෙන් ද රාජපක්ෂ පාලනයේ ප‍්‍රචාරකයින් බවට පත්ව සිටින ප‍්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය විය යුතු පරිදි එම පුළුල් පෙළ ගැස්මට නිසි අවධානයක් හෝ ප‍්‍රචාරයක් හෝ දුන්නේ නැත. එතැන ගත්තේ අන්තර් ජාල වෙබ් මාධ්‍ය යි. පැයෙන් පැයට එකී අතුරුදහන්වීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාවේ වත්මන් මර්දනකාරී තත්ත්වයට මුහුණ දෙන ‘විරුද්ධකම් පෑමේ ජනමාධ්‍ය’ ලෙස හැදින්විය හැකි අන්තර් ජාලය මත පදනම් වූ ඊ මේල්, බ්ලොග් අඩවි, මුහුණු පොත සහ වෙබ් අඩවි යනාදියෙන් සැදුම් ලත් පුළුල් ව්‍යාපාරයක් ද ඉබේම ගොඩ නැගුණි.

පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු ජාතිකත්වය ද ලබා තිබූ බැවින් මෙම අතුරුදහන්වීම පිළිබඳ එරට ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් විමසන ලදුව එවැන්නකු ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණ ඇත්නම් එම දින වකවානු තමන්ට ලබා දෙන්නැයි තමන් අභියෝග කළ බව කියා සිටියේ අන් කවරකුවක් නොව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. එසේ නමුත් ප්‍රෙමකුමාර් ගුණරත්නම් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේ නොයල් මුදලිගේ නමින් බව ඒ වන විට ශ‍්‍රී ලංකාණ්ඩුවේ ආරක්ෂක අංශ මෙන්ම ආරක්ෂක ලේකම් ද නොදැන සිටින්නට හේතුවක් නැත. මන්ද යත් ඔහු එනමින් 2002 ජවිපෙ – ශ‍්‍රීලනිප පරිවාස ආණ්ඩු කාලයේ ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් කළ බව මේ වන විට රහසක් නොවූ නිසා ය. රාජපක්ෂ මහතාගේ හිතවකු වන අමාත්‍ය වීරවංශ මහතා මේ තොරතුර දැන සිටි අතර ඔහුට සම්බන්ධ වෙබ් අඩවියක මෙම නම ද පළ කර තිබූණි.

රාජපක්ෂ මහතා ඕස්ටේ‍්‍රලියාවෙන් ඇසූ බව කියන ප‍්‍රශ්ණය පුහුල් හොරා ඇසූ ප‍්‍රශ්නක් වැනිය.

ඒ අතරවාරයේ ම එවැන්නකු ලංකාවට පැමිණ ඇති බව පිළිගනිමින් රාජපක්ෂ මහතා කියා සිටියේ ඕස්ටේ‍්‍රලියානුවෙක් මෙහි පැමිණ පිස්සු නටන්නේ මන්ද, ආපහු යන එකයි ඇත්තේ කියා ය. (ඔහු මෙන්ම අමාත්‍ය බැසිල් රාජපක්ෂද ඇමෙරිකානු අර්ධ – පුරවැසියන් යැයි කියන කතාව මෙතැනට අදාළ නැත. එමෙන්ම ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිනිය ස්විස් ජාතිකත්වය ලබා තිබීමත් එකසත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන ඕස්ටේ‍්‍රලියානු ජාතිකත්වය ලබා තිබීමත් අනවශ්‍ය කරුණු ය. එමෙන්ම කේ.පී.ගේ නිල ජාතිකත්වය ශ‍්‍රී ලාංකික නොවීමත් ප‍්‍රශ්ණයක් නොවේ.)

මේ වනාහී ද පුහුල් සොරකුගේ හැසිරීම සිහි ගැන්වීමකි.

එපමණක් නොවේ. පරිසර අමාත්‍යාංශයේ සිංහල ජාතික ප‍්‍රධානියකු යැයි සඳහන් ශ‍්‍රී ලංකාණ්ඩුවේ නිල රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයකින් බි‍්‍රතාන්‍යට ගොස් අසුවී හිරබත් කෑ අමාත්‍ය කරුණා අම්මාන් තමාට එම ගමන් බලපත‍්‍රය ලබා ගැනීමට උදව් කළේ ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා යැයි එරට පොලීසියට කී බව ලසන්ත වික‍්‍රමතුංග සිය පුවත්පතෙහි වාර්තා කළේ ය. එම කතාවද මෙතැනට අදාළ නැත.

ඉක්මනින්ම අවසාන ජවනිකාව උදා විය.

ආණ්ඩුවේ මඩ දේශපාලන නාලිකාව වන අයි. ටී.එන්. හි අප්‍රෙල් 08 වැනි ඉරුදින දොරමඩලාව වැඩ සටහනට පැමිනීමට නියමිතව සිටියේ ආචාර්‍ය අත්තනායක එම්. හේරත් ය. දොරමඩලාව දේශපාලන සංවාද වැඩ සටහනක් නොවේ. එනමුත් රාත‍්‍රි 8.00ට එදින එම වැඩ සටහනට ජාතිත වීරයින් ගැන කතා කිරීමට ආරක්ෂක ලේකම් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පැමිණෙන බව දන්වන ලදී. මේ දෙදෙනාට හදිසියේ එවැනි වැඩ සටහනකට පැමිණිමට අවශ්‍ය වූ බව පෙනෙන කිසිදු හේතුවක් නැත.

වැඩ සටහන රාත‍්‍රී 10.00ට ඇරඹුනි. ඉන් විනාඩි ගණනාවක් ඇතුළත පේ‍්‍රමකුමාර් දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට බැස්සවූ ඝාතක කල්ලිය පොලීසිය ඇතුළට දිව යන ලෙස ඔහුට තර්ජනය කළහ. එය නිල වශයෙන් පේ‍්‍රමකුමාර් පොලීසියට බාර වීමකි. ඉන් පැයකට පමුණ පසු වැඩසටහනෙහි අරමුණ වූ ප‍්‍රකාශය ආරක්ෂක ලේකම්වරයා විසින් කරන ලදී. එනම් පැහැර ගෙන යන ලැදැයි වාර්තා වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට බාර වී ඇති බවයි !! ඒ අවස්ථාවේ දීම රාජපක්ෂ මහතා පුහුල් අළු ඇත්දැයි සැක සිතී සිය කර අතගා බැලීම හා සමාන කතා ගණනාවක් ද කීවේ ය.

මෙම වැඩසටහන නැරඹු සිහි මොළය ඇති ඕනෑම අයෙකුට තේරුම් යන දෙයක් නම් විශේෂයෙන්ම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඊට පැමිණ සිටියේ කිසිදු සූදානමකින් තොරව හදිසියේ බව ය. ඒ කොතෙක් ද යත් පාතුගීසීන් ලංකාවට පැමිණයේ 1905 දී බව කී ඔහු තවත් දොස් සහිත ප‍්‍රකාශ කළේ ය. දේශපාලනඥයින් දෙදෙනෙකු සිය වැඩ සටහනට හදිසියේ ම ගෙන්වීම සාධාරණ කිරීමට තැටමූ වැඩ සටහන මෙහෙයවන හසන්ත ශ‍්‍රී ලාල් මේ විදිහට සමහර විට විපක්ෂ නායකතුමාවත් දොරමඩලාවට එන්න පුලූවන් යැයි කීවේ ය. මේ සියළු කරුණු එක්තැන් කර බලන විට ආරක්ෂක ලේකම් හදිසියේම දොරමඩලාවට පැමිණියේ පේ‍්‍රමකුමාර් නොමරා අතහැරීම වෙනත් ආකාරයකින් රටට සහ ලෝකයට දැනුම් දීමට යැයි සිතීමෙහි වරදක් නැත. එනයින් ඔහු මේ පැහැර ගැනීමෙහි කොටස්කරුවකු යැයි සැක කිරීම ද සාධාරණ ය.

රටෙහි සිදුවන අතුරුදහන්වීම් බොහොමයක් පිටුපස සිටින්නේ රජයේ යම් යම් අංශයන්හි අනුග‍්‍රහය ඇතිව ඉල්ලක ලබා ගන්නා ඝාතක කල්ලි බවට පසුගිය කාලයෙහි සාක්ෂි ගණනාවක්ම ලැබුණි. කොලොන්නාව ප‍්‍රදේශීය සභාපති පැහැර ගැනීමට පැමිණ අත් අඩංඟුවට ගන්නා ලද්දේ හමුදාවේ විශේෂ සෙබළ කණ්ඩායමකි. අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ මස්සිනා පැහැර ගැනීමෙන් පසු පැය ගණනාවක් ඇතුළත ඔහු නිදහස් කැරුනේ ජනාධිපති රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් රාජපක්ෂට අයාචනා කිරීමෙන් පසුව ය. එවැනි කතා තවත් තිබේ.

දේශපාලන පැහැර ගැනීම් ‘දැන් ඉතිං අවශ්‍ය නෑනේ’ යැයි බිබීසී සන්දේශයට කීවේ ද ආරක්ෂක ලේකම් යටතේ සිටින මාධ්‍ය ප‍්‍රකාශකයෙකි. ‘ඒ කියන්නේ ඉස්සර පැහැර ගත්තාද’යැයි ඇසූ කල ගෝලයා කීවේ ‘ඔව් ජේ.ආර්. කාලෙ, පේ‍්‍රමදාස කාලේ චන්ද්‍රිකා කාලේ තිබුණා’ කියා ය.

ඇත්ත තමයි! දැන් පැහැර ගැනීම් වෙන්නේ නැත. මිනිස්සු කැමැත්තෙන්ම අතුරුදහන් වෙති. පුහුල් හොරා කීවේත් එහෙම ය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]