Colombo, end of the War, Featured Articles, Features

ලංඩන් පසු බැසීමේ දේශපාලන අරුත

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

‘‘මෙම තත්ත්වයන් යටතේ සිය ලිමොසීන් රථය අත හැර නාගරික පොලීසියට අයත් හඳුනාගත නොහැකි රථයකින් මාල්බොරෝ නිවසට (පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය) යැමට ජනාධිපති රාජපක්ෂ එකඟ විය. ජනාධිපතිවරයා සහ ආර්යාව මාල්බොරෝ නිවසට ලඟා වුයේ VX 12 CYY රේන්ජ් රෝවර් රථයෙනි. පැහැදිළි හේතූන් මත රථයෙහි සිංහ කොඩිය සවි කොට තිබුණේ නැත.

‘‘දහස් ගණනාවක් දෙමළ විරෝධාතාකරුවෝ විශේෂයෙන්ම එංගලන්තය, ස්කොට්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය යනාදී රටවලින් පැමිණි තරුණ දෙමළ පිරිස් මාල්බොරෝ නිවෙස ඉදිරිපිට රැස්ව ජනාධිපති රාජපක්ෂට එරෙහිව සටන්පාඨ කෑ ගසමින් සිටියහ. බෙල්ලෙන් එල්ලන ලද ජනාධිපතිවරයාගේ පඹයකු එහා මෙහා ඇඳ ගෙන ගිය අතර එය පසුව පුළුස්සා දමන ලදී.

‘‘ඔවුන් බොහෝ කොටම කෑ ගැසුවේ ‘ශ‍්‍රී ලංකා ජනාධිපති යුද අපරාධකරුවෙක්’ යැයි කියා ය. ආරාධිත අමුත්තන් 70 – 75ක් පමණ නිවසට ඇතුළ්වෙත් දී එම හඬ ශාලාව හරහා දෝංකාර දුන්නේ ය…’’ ඞී.බී.එස්. ජෙයරාජ්
[Photo by – lankastandard.com]
ඞී.බී.එස්. ජෙයරාජ් යනු ලංකාණ්ඩුවට සමඟ යුද වැද සිටින දෙමළ ඩයස්පොරාවේ නියෝජිතයකු නොව සැම පාර්ශවයක් සමඟම ගනු දෙනු කරන කැනඩාවේ ජීවත්වන ජනමාධ්‍යවේදියෙකි. ඔහු විසින් සටහන් කරන ලද එම සිදුවීම වෙනත් බොහෝ ජනමාධ්‍ය විසින් ද කරන ලද වාර්තාකරණයන්ට සමානය.

‘‘එමෙන්ම රාජපක්ෂ අපේ රජා’’ යැයි සටන් පාඨ කියූ සිය ගණනාවක පිරිසක් ද එතුමා නතර වී සිටි හෝටලය අසළ උද්ඝෝෂණයක යෙදුණි.

දෙමළ විරෝධතාකරුවන් හමුයෙහි බි‍්‍රතාන්‍ය මහ රුජිනියගේ ජුබිලි උළෙලට ජනාධිපති රාජපක්ෂට රහසිගත රථයකින් ගමන් කිරීමත් සිදු වීමත් අනතුරුව ඊට අදාළව පැවැත්වූ සමුළුවක ජනාධිපති රාජපක්ෂට ආරාධනා කර තිබූ දේශණය අවලංගු කිරීමත් දෙස් විදෙස් ජනමාධ්‍යයන්හි ආකර්ෂණිය පුවතක් බවට පත් විය. අනෙත් අතට බොහෝ ජනමාධ්‍ය මෙම සිදුවීම ජනාධිපති රාජපක්ෂ පරදවා අන්තර් ජාතික දෙමළ ප‍්‍රජාව ලද ජයක් සේ හුවා දක්වන ලදී.

ජනාධිපති රාජපක්ෂගේ එංගලන්ත සංචාරය හා සමපාත වන සේ එරට ප‍්‍රධාන පෙළේ පුවත්පතක් වන ගාර්ඩියන් හි රුපියල් දශ ලක්ෂ ගනනාවක වියදමින් පිටු ගණනාවක විශේෂ අතිරේකයක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කරවා තිබුණි. එනමුත් එදිනම එම ගාර්ඩියන් පුවත්පතම ශ‍්‍රී ලංකාවට එංගලන්තයෙන් ආපසු යවන ලද දෙමළ සරණාගතයකු හට ශ‍්‍රී ලංකා පොලීසිය වධහිංසා පමුණුවා ඇති අන්දම පෙන්නුම් කැරෙන ජායාරූප සහිත පුවතක් පළ කළේ ය. වඩා ප‍්‍රචාරයක් ලැබුණේ එම පුවතට ය.
[Photo by – www.jdslanka.org]
කවර ජනාධිපතිවරයකුට වුව සිය ධජය සඟවාගෙන පොලිස් වාහනයකින් රහසේ කිසිවකුට නොපෙනෙන පරිදි රාජ්‍ය උත්සවයකට යෑමට සිදුවීමක් අසන්නට ලැබෙනනේ ඉතාම කළාතුරකින් වන අතර රාවය ඇතුළු බෙහෝ ජනමාධ්‍ය විසින් පෙන්වා දී තිබූ පරිදි එය අවමානයකට හේතුවක් වේ. නමුත් දේශපාලනයේ දී ජනාධිපති රාජපක්ෂට පමණක් නොව ඕනෑම ජගතෙකුට වුව මෙවැනි තත්ත්වයන්ට මුහුණ දිමට සිදුවිය හැකි ය.

ශ‍්‍රී ලංකාවේම නිදසුනක් නම් යුද්ධයෙහි තීරණාත්මක වූ පාබල හමුදාවට නායකත්වය දුන් ජෙනරල් පොන්සේකා ඔහු යටතේ සිටි නිලධාරියකු විසින්ම විසින්ම බලයෙන් කුදලා ගෙන ගොස් සිර කූඩුවේ දැමූ අන්දමයි. කාන්තාරයේ සිංහයා යැයි කියූ ලිබියානු නායක ගඩාෆි ඝාතනය කරන ලද්දේ ඇයි මේ ඇයි මේ යනුවෙන් බැගැපත්වෙත්දී ය. ඊජිප්තුව දශක ගණනාවක් පාලනය කළ හුස්නි මුබාරඛ් සාමකාමී පෙළපාලිකරුවන්ට වෙඩි තැබිමට අණ දීමේ වරදට අද ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් විදිමින් සිර ගෙදර ය. සෙනසුරු අපලය පැමිණි විට රජුන්ටත් බටකොළ කෑමට සිදු වන්නේ යැයි කතාවක් අපේ ජනවහරේ ද තිබේ.

නමුත් වෙනස නම් මහින්ද රාජපක්ෂ මෙම දේශපාලන අකරතැබ්බයට මුහුණ දුන්නේ සිය ප‍්‍රජාව අතර ජනප‍්‍රියත්වයක් ඇති ජනාධිපතිවරයකු වශයෙන් සිටින අතරතුරදී වීමය. ඔහුට ශ‍්‍රී ලංකාවේ දී එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නැති නමුත් දැන් මෙම සිදුවීම විසින් යළිත් වරක් අපට පෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ඍජු බලපෑමක් සහිත වෙනත් දේශපාලනය තලයක පැවැත්මයි. එය නිර්මාණය කරන්නේ විවිධ වෙනස්කම් සහිත වුවද රාජපක්ෂ පාලනය කෙරෙහි දෘඩ වෛරයකින් පසුවන අන්තර් ජාතික දෙමළ ප‍්‍රජාව විසිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ගොනු වන අන්තර් ජාතික රාජ්‍ය ප‍්‍රජාව මෙන් නොව මෙම අන්තර් ජාතික දෙමළ ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවෙහි දෙමළ ප‍්‍රජාව සමඟ ඵෙන්ද්‍රීය සම්බන්ධතාවයකින් යුතු ය. ඔව්හු දිනපතාම විවිධ ක‍්‍රම මගින් විශේෂයෙන්ම අන්තර් ජාලය මත පදනම්ව මෙම දේශීය දෙමළ ප‍්‍රජාව සමඟ ඍජු සංනිවේදන පවත්වා ගනිති. එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ඇතිවන ශ‍්‍රී ලංකාව සම්බන්ධ සාකච්ජා යනාදිය මෙන් නොව එංගලන්තයේදී ඔවුන් ජනාධිපති රාජපක්ෂ පරදවා ලබා ගන්නා ජයග‍්‍රහණ යනාදිය එක එල්ලේම දේශීය දෙමළ ප‍්‍රජාව වෙත සංනිවේදනය වෙයි.
[Photo by Adam Gasson /Commonwealth Secretariat]
ශ‍්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවද ඇතුළත් වන ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් උන්න්දුවක් දක්වන අන්තර් ජාතික තලයෙහි ක‍්‍රියාත්මක ප‍්‍රධාන බල කේන්ද්‍රයන් හතරක් තිබේ.

ප‍්‍රථමයෙන් පෙර සඳහන් කළ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මූලිකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලින් ප‍්‍රකාශයට පත් වන අන්තර් ජාතික රාජ්‍ය ප‍්‍රජාව තිබේ. දැනටමත් ඔව්හු ශ‍්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මත සිය බලපෑම පෙන්නුම් කර තිබේ.

දෙවනුව තමිල්නාඩුව මුල් කර ගනිමින් ඉන්දීය ජාතික තලයෙහි වර්ධනය වන ශ‍්‍රී ලංකාවෙහි ජනවාර්ගික ප‍්‍රශ්ණයට ඉක්මන් සහ කල්පවත්නා දේශපාලන විසදුමක් අපේක්ෂා කැරෙන එන්න එන්නම තීව්ර වන දේශපාලන ගතිකත්වයන් ය. තමිල්නාඩුවෙහි මෙන්ම ජාතික මට්ටමෙහි සියළු සියළුම දේශපාලන පක්ෂ එම මතය දරති.

තෙවනුව ක්ෂමා සංවිධානය, හියමන් රයිට්ස් වොච් සහ අන්තර් ජාතික අර්බූද කණ්ඩායම යනාදිය විසින් මූලිකත්වය දෙන සංවිධානයන්ගෙන් සැදුම් ලත් පුළුල් බලපෑමක් සහිත අන්තර් ජාතික මානව හිමිකම් ප‍්‍රජාවය. ගවේශනාත්මක වාර්තා නිතිපතා ප‍්‍රකාශයට පත් කිරීම මගින් අන්තර් ජාතික රාජ්‍ය ප‍්‍රජාව වෙත බලපෑම් කිරීම කරනුයේ ඔවුන් ය.

දෙමළ ඩයස්පොරාව යනුවෙන් හැදින්වෙන ලක්ෂ ගණනාවක් පුද්ගලයින්ගෙන් සැදුම් ලත් සහ ප‍්‍රබල ප‍්‍රචාරක හැකියාවක් සහිත අන්තර් ජාතික ශ‍්‍රී ලංකික දෙමළ ප‍්‍රජාව හතරවැනි බල කේන්ද්‍රය වේ. පෙළපාලි, උපවාස, රුස්වීම් සහ ප‍්‍රචාර ඔවුන්ගේ මුලොපායට අයත් ය.

එංගලන්තයෙහි දී ජනාධිපති රාජපක්ෂ මුහුණ දුන් දේශපාලන අභාග්‍ය අප තේරුම් ගත යුත්තේ මෙම සියළු සාධක සහිත සමස්ත චිත‍්‍රය තුළය.

යුද්ධාවසානයෙන් ගත වු තෙවසර තුළ මෙරට ජනවාර්ගික ප‍්‍රශ්ණයට සාධාරණ සහ කල් පවත්නා විසඳුමක් සෙවීමට (බොරු පොරොන්දු දීම හැරුණ විට) රාජපක්ෂ රජය කිසිදු අභිලාෂයක් පෙන්වා නැති බව දැන් අවිවාදිත කරුණකි. ජනවාර්ගික ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ මූලෝපාය වන්නේ යුදකරණය සමඟ බැදුණූ යටතල පහසුකම් සංවර්ධනයක් මගින් දෙමළ ජාතිකත්වය මොට්ට කිරීමය. මෙරට දෙමළ ජනයා යටත් කරන ලද ජන වර්ගයක් ලෙස පවත්වා ගැනීම මිස යුක්ති සහගත දේශපාලන විසඳුමක් සැපයීම එහි අභිලාශය නොවේ. එවැනි අභිලාෂයක් තිබුනේ නම් එය විසින්ම පත් කළ සර්ව පාක්ෂික සම්මේලන යෝජනා කුණු කූඩයට දමා කාලය කා දමන ව්‍යාජ පාර්ලිමේන්තු කාරක සභා පත් කරන්නේ නැත.

මෙම දේශපාලන චිත‍්‍රයට එක් කළ යුතු අනෙක් සාධකය නම් බහුතර ජනවර්ගය වන සිංහලයින් අතුරින් ජනවාර්ගික ප‍්‍රශ්ණයට දේශපාලන විසදුමක් සැපයිය යුතු බවට කැරෙන තීරණාත්මක සහ ප‍්‍රබල මැදිහත්වීමක් නැත යන කාරණය යි. එම හේතුව මත රාජපක්ෂ පාලනයේ පිළිවෙත සිංහල ප‍්‍රජාවේ බහුතර කැමැත්ත ලෙස පිළිගැනීමකට ලක්වේ.

දේශීය දෙමළ ප‍්‍රජාවගේ ප‍්‍රධාන දේශපාලන නියෝජිතයා වන දෙමළ සංධානයේ ද පිළිවෙත බවට දැන් පත්ව ඇති ශ‍්‍රී ලාංකික ජනවාර්ගික ප‍්‍රශ්ණයට අන්තර් ජාතික තලය තුළ විසදුමක් සෙවීම යන ආස්ථානය අප විසින් ස්ථාන ගත කල යුත්තේ මෙම වර්ධනයන් තුළ ය. ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සාධාරණ දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ ය යන පිළිගැනීමය. දැන් අපට පෙනී යන්නේ මෙරට මෙන්ම අන්තර් ජාතික දෙමළ ප‍්‍රජාවද එම නිගමනය කරා එළඹ සිටින බවයි. ආර්. සම්පන්දන්ගේ මඩකළපු දේශනාවෙන් තහවුරු කල පරිදි මෙරට ආණ්ඩු ගැති නොවන දෙමළ දේශපාලනයේ මූලෝපාය නම් ඉවසීමෙන් යුතුව ශ‍්‍රී ලංකාවේ යථාර්තය අන්තර් ජාතික වශයෙන් ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමය.

දැන් අප හමුවේ ඇති සමස්ත චිත‍්‍රය දෙස බලමු. රාජපක්ෂ පාලනය විසින් සංඛේතවත් කැරෙන බහුතර සිංහල දේශපාලනය ජනවාර්ගික ප‍්‍රශ්ණයට නිසි විසඳුමක් දීමට සූදානම් නැත. ඉහත දැක් වූ ප‍්‍රබල අන්තර් ජාතික බල කේන්ද්‍ර හතර ඒ අරමුණ ඉටු කර ලීම පිණිස මෙරට දෙමළ ජනයා සමඟ එක්ව සිටිති.

එනයින් දැන් ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්ණයට දේශපාලන විසදුමක් සැපයීම මෙරට දෙමළ ජනයාගේ සහ අන්තර් ජාතික බලවේගයන්ගේ සාමූහික අභිලාශයක් බවට පත්ව තිබේ.
[Photo by – courtesy of Peter Biles/ BBC]
මෙම යථාර්තය විසින් ඉදිරිපත් කරන අනාගත දැක්ම බිය ජනකය. එය රාජපක්ෂවාදී දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක දකින්නේ මෙසේ ය: ‘‘උතුරෙහි පලාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් දෙමළ සන්ධානය ජය ලබනවා ඇත. එවැනි තත්ත්වයක් යටතේ එම පළාත් සභාව සිය ස්වයං තීරණ අයිතිය ක‍්‍රියාත්මක කිරීම පිනිස අන්තර් ජාතික සහාය ඉල්ලා සිටින්නට ඉඩ තිබේ එබැවින් උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්විය යුතු ය. හුදෙක් අන්තර වාර මණඩලයක් පමණක් පත් කළ යුතු ය. ’’ පය බරවායට පිටිකර බෙහෙත් බැදීමක් වැනි මෙම යෝජනාවෙන් පෙනෙන්නේ අප ඉහත සාකච්ජා කළ දේශීය සහ අන්තර් ජාතික වර්ධනයන් විසින් රාජපක්ෂ පාලනය තල්ලූ කරමින් ඇති අර්බූදය යි.

ශ‍්‍රී ලංකාවට අතිශය අවාසි සහගත, ඉන්දීය ඇතුළු අන්තර් ජාතික වර්ධනයන් හමූයේ උතුරු පළාත දෙමළ සන්ධානය යටතට පත්වීමට ඉඩ දීමට රාජපක්ෂ පාලනයට නොහැකිය. නමුත් අනෙක් අතට ඊට විසදුම වශයෙන් බහුතර දෙමළ ජනයාගේ කැමැත්තට ඉඩ නොදී සිය හෙංචයියන්ට එහි පාලනය බාර දීමට දැරෙන ඹ්නෑම තැතක් විසින් තත්ත්වය තවත් උග‍්‍ර කරනු මිස සමහන් කරන්නේ නැත. යළි ශ‍්‍රී ලංකාව හුදෙක් දේශීය නොවන ගැටුමකට තල්ලූ වන විශම චක‍්‍රයක් එවැනි පිළිවෙතක් විසින් මුදා හරිනවා ඇත.

මෙම අර්බූදය මඟ හරවා ගැනීමට ඇත්තේ එකම මඟකි. එනම් යුදවාදයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා ගමන් කිරීමත් එමගින් මෙරට ජනවාර්ගික ප‍්‍රශ්ණයට සාධාරණ සහ කල් පවත්නා විසඳුමක් සැපයීමත් ය.

ලංඩන් අවමානයේ දෝංකාරය වඩ වඩා දෙදරවීම වැළැක්වීමට නම් රාජපක්ෂ පාලනය සිය පිළිවෙත්හි සුසමාදර්ශි වෙනසක් ඇති කර ගත යුතු වන්නේ ලංඩන් අවමානයෙන් සංඛේතවත් වූ මෙන්න මේ දේශපාලන පසුබිම තුළය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshpriya]