සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ගොළුමඩම : ‘අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.’

[……………සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන් යුතුව යුද්ධයේ බිහිසුණුකම් උත්කර්ෂයට නඟන බැව් මගේ අදහස විය. එහෙත් සැබැවින්ම එය එසේ නොවීය. ඒ කවියා දුටු අහස, ඒ තාරකා මෙන්ම ඒ සඳ ද එකී තර්ජනයට ලක්වන අයුරු දෑසින්ම දැක ගන්නට තරම් මම ද අභාග්‍යසම්පන්න වීමි….. ]

ඔය කාලෙම තමයි සිංහල රණවිරුවො එකසිය ගාණට දෙමළ මිනිස්සු මර මර උන්නෙ. අයි ටී එන් ලදරමේ, සෙරෙප්පු සුප් විපරම ඉවර වුණා විතරයි පටන් ගත්තා ආයු රක්ඛන්තු ආවඩා. 
[youtube]http://www.youtube.com/watch?v=mG1MXJ89_EY[/youtube]

බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛත්තු ආවඩා

රට රකින ජීවිත රකින අබිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මව්බිමට මගෙ වාසනා

මෙන්න මෙහෙමයි මේ රණ ගීය ඇරඹෙන්නෙ. බැලූ බැල්මට ඇල්ලේ ගුණවංශ ගීතාවලියෙන් උපුට ගත්ත එකක් වගේ පෙනුනත් ඒක ලියල තිබුණෙ රත්න ශ්‍රී විජේසිංහ. ඔව්, ඔව් ඒ රත්න ශ්‍රී ම තමයි. මේ සින්දුව ඉවර වෙන්නෙ මෙහෙමයි. අහන්න.

පවුරු බැඳ සිවුදිගින් වට කළ සමුදුරේ ගොස පරදවා
ඔබ නඟන ජය ගොසින් මව්බිම සිනාසෙන්නී රෑ දිවා
චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛත්තු ආවඩා

මේ ගීයට සමාන්තරව සිංහල දේශප්‍රේමින් ටී වී ඉස්සරහ උන්නෙ කිලෝ මීටර් කීයක් අල්ලලද, කොටි කීයක් මරලද කියන ත්‍රිල් එකේ. නමුත් දෛනිකව නිරපරාදෙ මරා දාපු නිරායුද දෙමළ මිනිස්සු ගැන හාංකවිසියක් නෑ. වගේ වගක් නෑ.
(නැවත මතකයට. බලන්න..)
[youtube]http://www.youtube.com/watch?v=jZpahrPFq6Q[/youtube]

රත්න ශ්‍රී විජේසිංහ කියන හිටපු මානව හිතවාදියා ගැන යමක් ලිවිය යුතු යැයි චන්දරේට මෙනෙහි වුණේ කාරණා දෙකක් හින්දා. එක, ජනරළේ විශේෂාංග කර්තෘ ප්‍රියන්ත ලියනගේ එක්ක කරල තිබ්බ ඇල්මැරුණ සංලාපය. පළමු දේ, ඔය වගේ පිටුපුරවන සංවාද කරන්න නම් විශේෂාංග කතුවරයෙක් ඕනෙ නෑ, ගාල්ලෙ පත්තර ලෑල්ලක කොල්ලෙක්ට කිව්ව නම්, මිනිහ ඔයිට වඩා හොඳට වැඩේ කරනවා. සංවාදයක් නම් අඩුගාණෙ, අර ජනරළ පත්තරේ කර්තෘ චන්දන සිරිමල්වත්ත, ඉරිදා ලක්බිමට මානිගෙ තීරුව ලියන ඒ පත්තරේ කර්තෘ විදිහට සැළකෙන සුන්දර නිහතමානිව ඉන්ටර්වීව් කළා වගේවත් වෙන්න ඕනෙ. නැත්තං කියවන එක ෆුල්ම ඩල්, බෝරිං වැඩක් වෙනවා. චන්දන කරාපු වැඩේ ලංකාව ඇතුළෙ සංධර්භගත කළේ මීට විසිවසරකටත් එහා, රෝහිත භාෂණ විසින්. ඒ භාෂණගෙ ප්‍රසිද්ධ පත්තරකාර ජීවිතේ පටන්ගත්ත කාළෙ ලක්දිව පත්තරේට බව චන්දරේට තාමත් මතකයි. පොඩි අතුල ගාන්ධිවාදියෙක් බව ප්‍රසිද්ධියෙ පිළිගත්තෙ ඒ සංලාපයකදි. අවුරුදු විස්සකට පස්සෙ හරි භාෂණව මතක් වෙලා චන්දන ඒ වැඩේ දිගටම කරයි කියලා චන්දරේල හිතුවත් වැඩේ නැවතුණා. වැඩ වැඩි ඇති. පක්ෂෙ වැඩත් තියෙනවනෙ.

දැං ආයෙ රත්න ශ්‍රී දිහා බලමු. ප්‍රියන්තත් එක්ක කරපු සංලාපයෙ ඔහු මෙන්න මෙහෙම කියනවා.

‛‛ඕනැම අවස්ථාවක හමුදාව කියන්නෙ පීඩක ආයතනයක් කියන එක අපිට බැහැර කරන්න බෑ. ඒක මං දන්නවා. ’’

ඉතාම පැහැදිලියි. ඔහු ඒ ස්ථාවරයම තමයි ඉතිහාසය පුරා දැරුවෙත්. ඒ රත්නශ්‍රී දෙමළ මිනිස්සු ගැන ලියපු ලියවිලි වලින් නෙමෙයි. ඔහු සොල්දාදුවා යන දේශපාලනික සංඥාව තම කවිය තුළ ස්ථානගත කළ ආකාරය ඔබම විමසා බලන්න. කවියෙ මාතෘකාව අරුණෝදය.

සුබ උදෑසනක් වේවා!
ළමා ළපටි සොල්දාදුව
පුර දොරකඩ
ගොම ගොඩ ළඟ
නිල නියමෙන් මුරගල වුණ.

දැන් පැහැදිලියි නේද ඔහුගේ ස්ථාවරය. ඒ කවියෙම අවසානයෙ ඔහු මෙහෙම තර්කයකුත් ගොඩ නඟනවා. එය ඉතාම ශක්තිමත් දේශපාලනික කියවීමක්. බලන්න.

සුදු සිනහව මැදගත් විට
කිරිදත් වුව
මාංශ භක්ෂක රදනක.
රෑ අඳුරම වෙයි නීතිය
පිළීගඳ ගසයි බණ පද
තිත්තයි කට.

ළමා ළපටි සොල්දාදුව
නුඹට හැකිද
බිමට වැටුණු කුරුල්ලෙකුට
පවන් සලන්නට හෙමිහිට?
පිනි බිඳුවක් අත්ලට ගෙන
අතැඟිල්ලෙන් නිසල කුරුලු තුඩ තියන්න?

දැන් අපි මේ කවියයි, ජනරළට කරපු හමුදාව පිළිබඳ ප්‍රකාශයයි අතරමැද්දෙ ලියපු ආයුරක්ඛත්තු ආවඩාව තේරුම් ගන්නෙ කොහොමද? සමුද්‍ර ගෝෂෙ පරාජය කරල නිදහස් කවියට ප්‍රාණය පිඹල, කවියේ වූ අතිමහත් අර්ථ සෞන්දර්යය, ගීත ව්‍යාපාරයට ආයෝජනය කරපු රත්න ශ්‍රී හිතන විදිහට, 40000කට වැඩි අහිංසක දෙමළ ප්‍රජාවක් නිර්දය විදිහට ඝාතනය කර දාන සිංහල රණවිරුවා නඟන ජයගෝෂාවට මව්බිම හිනාවෙනවා. හිතන්න, කොයිතරම් අධම මව් බිමක් වෙන්න ඕනෙද, තමන්ගෙම දරුවන්ගෙ මළ කඳන් තමන්ගෙම උර මත්තෙකඳු ගහද්දි දිවා රෑ හිනාවෙන්න පුළුවන් කියන්නෙ. ඒක එහෙම නෙවෙයි නම්, දෙමළ මිනිස්සු, රත්න ශ්‍රී මේ කියන මව්බිමේ කොටසක් වෙන්න විදිහක් නෑ. රත්න ශ්‍රීගේ ආදරණීය රණවිරුවො විසින් මරල දාපු දෙමළ සටන්කාමීන් රත්න ශ්‍රීගෙ මවිබිමෙන් නිදහස්වෙලා, තමන්ගෙම කියන මව් බිමක ජීවත් වෙන්න, තමන්ගෙම නිදහසක් වෙනුවෙන් සටන් කරපු එක අනුමත කරන එක තමයි අවසාන වශයෙන් ව්‍යංගාර්ථයෙන් ඔහු ඔප්පු කරල තියෙන්නෙ.

නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ වෙන දෙයක් කියලයි ඩාන්ස්කෝ එක ඇතුළෙ ඇහුණ අතීත ඇල්කොහොල් මේසෙදි කියවුණේ. සංගීතඥයා මෙන්න මෙහෙම කියනවා. ‛‛අරූ රත්නෙත් එක්ක බොනව. හුඟක් උන්ට තියන ලෙඩක්නෙ ඕක. යමක් කමක් ලියා ගන්න පුළුවන් එකෙක් අල්ලගෙන බෝතලයක් අරන් බලන්න යන එක. රත්නෙ ඕක ලියල තියෙන්නෙ කරටි කැඩෙන්න ගහපු වෙලාවක. මිනිහට ඉතින් සිංහලත් එක්ක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්නෙ.’’

එතනින් එහාට ඒ සංවාදය අසල ඉන්න බෑ. මගේ නහරවල් වලත් ඇල්කොහොල්. මං, මගෙත් එක්ක හිටපු යාළුවට කිව්ව ‛යමං’ කියල. අපි නැගිටලා ගියා. මේ අප්‍රකට හුදෙකලා අද්දැකීම මතක් වුණේ මාත් එක්ක එදා බිබී හිටපු යාළුවා මට කෝල් කරල අන්න රත්න ශ්‍රී අර සිංදුව ගැන එයාගෙ විසංවාදෙ ගැන ජනරළට පාපොච්චාරණය කරල කියල කියද්දි. මං උගෙන් ඇහුවා ජනරළ ත් ඒ සිංදුව ගැන තමන්ට තියෙන විසංවාදෙ රත්න ශ්‍රී ට කියලද කියල. මේ චන්දරේ බොට ඕනෙ නම් ආටිකල් එක කියෝල බලපං, මට අපේ අලුත් පක්ෂෙ හදන එකේ වැඩ තියෙනව’ කියල කෝල් එක කට් කළා. මං හන්දියට ආවා. දහම් මාවතේ කොට ගාමිණිය ජන අරගලකාරයා. මනුස්සයගෙ ආටා එකේ අනිවාර්යෙන්ම ජනරළේ හෝ හෝ ගානවා.

ඒත් ගාමිණිය හිටියෙ නෑ. ඒකෙන් ඒ පාර ලියන එක මඟ හැරුණ. දෙවැනි පාර ආයෙ රත්න ශ්‍රී මතක් වුණේ, ළඟකදි බූන්දියෙ දාලා තිබ්බ රත්න ශ්‍රී ගේ කොළමක් දැකලා. එය උපුටාගෙන තිබුණේ ලස්සනම අහස සහ මතක සිතිවිලි කෘතියෙන්. ඒක පටන් ගන්නෙ මෙහෙමයි. දෙමළ කිවියර සොලෛක්කිලිගෙ කවියකින්.

පුපුරයි!
බෝම්බ තව තවත් පුපුරයි!
තාරකාවෝ මියයත්
තුවක්කු වෙඩි උණ්ඩයෙන්,
අහස් ගැබ සිදුරුව
වෙඩි උණ්ඩ වර්ෂාවෙන්
වැරහැලිව එල්ලෙයි
හඳත් සමහර විට….
ඔව්…. අද හෙටම….

දැන් රත්න ශ්‍රී මෙන්න මෙහෙම ඒ ගැන තමන්ගෙ අදහස ලියනවා.

සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන් යුතුව යුද්ධයේ බිහිසුණුකම් උත්කර්ෂයට නඟන බැව් මගේ අදහස විය. එහෙත් සැබැවින්ම එය එසේ නොවීය. ඒ කවියා දුටු අහස, ඒ තාරකා මෙන්ම ඒ සඳ ද එකී තර්ජනයට ලක්වන අයුරු දෑසින්ම දැක ගන්නට තරම් මම ද අභාග්‍යසම්පන්න වීමි…..

ඔහොම ලියැවෙන කෙටි සටහන අවසන් කරමින් රත්න ශ්‍රී ‛‛සියළු දේ ගින්නට බිළිවෙමින් තිබේ. දවසම රාත්‍රිය බවට පත්වෙයි. ඒ රැය කවීන්ට පවා නොතේරෙයි.’’ කියල ලියලා, ජයගරන් කියන දෙමළ කවියව උපුටලා දක්වනවා. ජයගරන් තමන්ගෙ කවියෙ මෙහෙම කියනවා.

රැයේදී සියළු දේ සිදුවෙයි
අරුණෝදයේ දිස්වෙයි.

ඔය කියන අරුණෝදය ගැන රත්න ශ්‍රී ලියන්න පටන් ගන්නෙ ‛‛සුබ උදෑසනක් වේවා, ළමා ළපටි සොල්දාදුවා’’ කියලා. තමන් විසින්ම කලාව තුළ විශද කරපු දේශපාලනික ආස්ථානය බිඳ දාපු රත්න ශ්‍රී දෙමළ කවීන්වත් සාක්කියට අරන් තවදුරටත් මානුෂිය වෙන්න හැදුවට අවසානයේ ඔහු අහිංසක නිරායුධ දෙමළ මිනිස්සු 40’000 කට එහා මරල දාපු ළමා ළපටීන්ට කියනවා ආයු රක්ඛත්තු ආවඩා කියලා. ඕකට කියන්නෙ තමන් තුළ පවතින දේශපාලන විසංවාදය කියලා නෙමෙයි, තමන් තුළ පවතින අවස්ථාවාදී කුහකකම කියලා.

ප්‍රගිතිශීලීත්වයට වෙනත් උදාහණ දෙකක්

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලු ගැන, සිංහල සිංදු කියන කිරිල්ලි කියල හිටපු කොටි පොලිස්පති බිරිඳ ගැන, ශාන්තිනීලා ෆාතිමාලා ගැන කවි ගීත ලියවෙච්ච ඔබ අතින් කොහොමද චිරං ජයතු කියලා හෝ ආයුරක්ඛත්තු ආවඩා කියලා යුද්ධයට ආවඩන ගීත ලියවෙන්නෙ?

බැලූ බැල්මට ප්‍රශ්නෙ හරි හැඩයි. මේ ප්‍රශ්නෙ නඟන්නෙ අර චන්දරේ කියාපු ජනරළේ ප්‍රියන්ත ලියනගේ.

රත්න ශ්‍රීගේ මුළු උත්තරේම නෙවෙයි ඒකෙ ආරම්භය කියෙව්වත් ඇති. මොකද එතනින් එහාට හරස් ප්‍රශ්න අහන්න තරම් හෘදය සාක්ෂියක් ජවිපෙ විසින් ප්‍රියන්තලට ඉතුරු කරල නැති හින්දා. රත්න ශ්‍රී ගෙ උත්තරේ පටන් ගන්නෙම මෙහෙමයි.

මගේ ඇතුළෙ තියෙන ප්‍රතිරෝධය තමයි ඒක. මම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මම දේශපාලනය ගැන උනන්දු වුණාට බරපතල විදිහෙ න්‍යායිකව එක පක්ෂයකට බැඳිච්ච දේශපාලනයක් මගේ’තිබුණෙ නෑ. මම බොහොම නිදහස් මිනිහෙක් නමුත් මම දැනුවත්ව නම් ප්‍රතිගාමී කඳවුරු වල ලැගල ඒවට සේවය කරලා නෑ.

එතකොට දොඩංගොඩත් එක්ක වැඩ කරපු එක ප්‍රගිතිශීලිද? රාවය පත්තරේ කර්තෘ වික්ටර් අයිවන් චන්ද්‍රීකාට චෞර රැජින කියද්දි, රාවය පත්තරේ ම කවි පිටුව කරපු රත්න ශ්‍රී, ජනාධිපති චන්ද්‍රීකාවන්ට මෙහෙම ලියනවා.

ගරු ජනපතිනි දිනේවා
ලැබ කිත් යසස් නොහිම්
ජය ජයතු මංගලම්

දැන් මේවා ලියල තියෙන්නෙ ප්‍රතිගාමී කඳවුරු වල ලැගල නෙමෙයි, ගාල්ලෙ කොටුවෙ, ලේන් බාන් වීදියෙ තමන්ගෙ දුප්පත් පැළට වෙලා ඉදිමින් ප්‍රගිතිශීලි කඳවුරකට සේවය කිරීම වෙනුවෙන් කියලද ඔහු අපිට කියන්නෙ.

ආයු රක්කත්තු ආවඩාවත් නෙවෙයි ජය ජයතු මංගලමත් නෙවෙයි, තව එකම එක උදාහරණයක් විතරක් පෙන්නන්නම් රත්න ශ්‍රී ගේ ප්‍රගතිශීලී කඳවුරු වල ලැගිල්ලේ. ඒ සමස්ථ සිංදුවම ලියා පළ කරන එක කියවන ඔබට වැදගත් වේවි. මෙන්න සිංදුව,

සතර දිගින් ආ ගොරතර
විතර නොහිම් වූ අණසක
බිඳැර නැණසරව
නිදහස පතා මව් බිමේ
පෙරටු කර මහා සඟ ගණ
කෙසර වෙසින් නැඟ නොබියව
ඔබයි පාඨලී චම්පික
නියමුවා වුණේ

නිල්ල දිළෙන මේ දෙරනත
දෙන්න දරුවන්ගෙ දෝතට
දියඹ වාතලය මේ බිම
නොවන්නට ඉතින් දූෂිත
ඔබයි පෙරමුණේ

කොල්ල කෑ උන්ට රිසි ලෙස
මහඟු ජාතියේ සම්පත
පාඩුවෙන් මුදා සරුකර
නඟා සිටුවමින් පින්කෙත
ඔබයි පෙරමුණේ

(වැඩිදුර කියවීමට- http://www.champikaranawaka.com/si/home.html)

විදුලිබල ඇමති චම්පිකගෙ නිල වෙබ් අඩවිය ඇරුණ ගමන් ඕනම ගණ අන්ධකාරයකදි වුණත් මේ ප්‍රගිතිශීලී සිංදුව ඇහෙන්න ගන්නවා. දැන් ඉතින් අපි හිතන්න ඕනෙද මෙව්වත් බීල ලියපුව කියලා. ඒකයි චන්දරේ කියන්නෙ මේක තමන් තුළ පවතින දේශපාලන විසංවාදය නෙමෙයි, තමන් තුළ පවතින අවස්ථාවාදී කුහකකම කියලා.

අවසාන වශයෙන් චන්දරේ මෙන්න මෙහෙම ලියනවා. මනුස්සයෙක්ට තමන් දැරූ ආස්ථානය වෙනස් කරල නිවැරදි වෙන්න අයිතියක් තියෙනවා. නමුත් අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.

චන්දරේ