Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

එරෙහි උනොත් බන්ධනාගාරය, සමග සිටියොත් සිංගප්පූරුව


වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට පවසන්නේ, ළමයි ඇතුළත් කර ගැනීමට මැලිවන පාසැල් වලට, පාතාලයේ කිහිපදෙනෙක් සමග පැන, විදුහල්පති වරුන්ට හතර අතේ නෙලිය යුතු බව විය හැකිය. නැතිනම් ඉසෙඞ් ස්කෝර් ප‍්‍රශ්නය දිගින් දිගටම අදින නිළධාරීන්ව සහ ගුරු සංගම් වල නියෝජිතයන්ව ගස් බැඳිය යුතු බව විය හැකිය. ලංකාවේ අධ්‍යාපන කේෂත‍්‍රයේ පවතින ගැටළු විසඳීමට මහින්ද චින්තනය විසින් දකින, වඩාත් හරවත්ම චින්තනය මර්වින් චින්තනය විය හැකිය.

ජනාධිපතිතුමාණෝ විසින් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රශ්න විසඳීමට එවන් වූ චින්තනයක් සිහිනෙන් දකිද්දී, එතුමාගේ ඇමතිවරුන්ද දකින්නේ එවන් වූ සිහිනමය(ගහේ කටු උල් කළ යුතු නැත* මෙයට හොඳම උදාහරණය අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ පුරාණ සාමාජික, එස්.බී උතුමාණන්ය. එතුමාට අනුව අද ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින ප‍්‍රධාන ප‍්‍රශ්න තුනකි. එකක් නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ය. දෙවැන්න වන්නේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ය. තෙවැන්න වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. මේ තුන් ගොල්ලන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කළ විට ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ‘සුභ අනාගතයක්’ හිමි වන බව එස්.බී තුමාණෝ පරසක්වල ගසමින් පවසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉවත් කළහොත්, උගන්වන්න අය නොමැති වන නිසා දැනට ඒ අය ගැන උනන්දුවෙන් සිටින්නට ආරක්ෂක අමාත්‍යාංශය පොරොන්දු වී ඇත. අනධ්‍යන සේවකයෝ ඉවත් කළ හොත් විශ්ව විද්‍යාල වල වතුර මෝටරය දාන්න කවුරුත් නොමැති නිසා එම ගැටළුවටත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විසඳුමක් ලැබෙන තුරු, ඔවුන්ට කාල වකවානු පොරොන්දු වෙමින් සිටීමට උතුමාණෝ තීරණය කර ඇත.

නමුත් ‘අන්තරය’ නම් විශ්ව විද්‍යාලයට අවශ්‍ය නැත. මන්ද අන්තරයේ කටයුත්ත කිරීමට නායකත්ව පුහුණුවේ නාමයෙන් ආරක්ෂක හමුදාව සිටින හෙයිනි. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට එරෙහිව අන්තරය කෑ ගැසුවත්, ආරක්ෂක හමුදාව එසේ නොකරන නිසා අන්තරයට වඩා හමුදාව හොඳ බවට එස්.බී චින්තනයට වැටහී ඇත. එබැවින් දැන් දැන් එස්.බී උතුමාණෙෘ් උත්සාහ කරන්නේ අන්තරය ඉවත් කිරීමටය. ඒ සඳහා එස්.බීට ඇති හොඳම තුරුම්පුව නවක වධයයි. ඉතින් අද එස්.බී ගේ ප‍්‍රධාන කාර්යය වී ඇත්තේ විශ්ව විද්‍යාල වල වැසිකිලි වල, අහුමුළු යමින් නවක වධය සිදු වෙනවා දැයි සොයා බැලීමය. මෙසේ යන විට මේ මෑතකදී ඔහුට රුහුණු විශ්ව විද්‍යාලයේදී නවක වධය හමු වී ඇත. වත්සලා කුමුදිනී නැමැති ශිෂ්‍යාවක්ට නවක වධය දී ඇති බවට එස්.බී උතුමාණෝ දැන ගෙන ඇත. එයට වරදකාරී වූ රුහුණු විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යාවන් දෙදෙනෙක් බන්ධනාගාර ගත කොට ඇත.

නමුත් ඇත්තටම නවක වධය දී ඇත්තේ අන්තරය නොව නායකත්ව පුහුණුවේදී හමුදාව විසින්ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන සංජීව බණ්ඩාර පවසන්නේ, වත්සලා කුමුදිනී රෝගී තත්ත්වයට පත් වූයේ බූවැලිකඩ කඳවුරේ නායකත්ව පුහුණුවේදී බවයි. තමන් නායකත්ව පුහුණුවේදී සරඹ පවත්වන අවස්ථාවේ උඩ පනින විට විලූඹ ආශි‍්‍රතව අසාධ්‍ය වූ බව වත්සලා කුමුදිනී පවා පවසයි. එහිදී ස්නායු ආබාධයට ලක් වී සතියකුත් දවස් තුනක් මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලැබූ බව කුමුදීනි පවසයි. කුමුදිනීගේ දෙමව්පියන් පවසන්නේ ඉන් අනතුරුව ඇයට මාස තුනක් ආයුර්වේද ප‍්‍රතිකාර කළ බවයි. ඉතින් නවක වධය දී ඇත්තේ හමුදාව විසිනි. නමුත් අවසානයේ බන්ධනාගාර ගත වන්නේ වෙනත් ශිෂ්‍යාවන් දෙදෙනෙකි. එස්.බී උතුමාණන් අන්තරය බන්ධනාගාර ගත කිරීම සඳහා කුමුදිනීගේ රෝගය භාවිතා කරමින් සිටියි. වෙනත් ලෙසකට පවසනවා නම් එස්.බී උතුමාණන් සැරසෙන්නේ තමන් විසින්ම රෝගියෙක් බවට පත් කළ ශිෂ්‍යාවක් අන්තරය තහනම් කිරීම සඳහා භාවිතා කිරීමටය. එයින් එතුමාට සිදුවන වාසි දෙකකි. එකක් නම් තමන්ගේ වැරැුද්ද අසාධාරණයේ වැලිතලාවට යට වීමයි. අනෙක අන්තරය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය තවත් සාක්ෂියක් ගොඩ නැගීමයි.

අසාධ්‍ය රෝගියෙක්ට නවක වධය දීමට කවුරුන් හෝ පෙළඹීට අප අනුමත නොකරමු. රුහුණු සරසවියේදී එවන් සිදු වීමක් සිදු වූවා නම් එය හෙලා දැකිය යුතුය. නමුත් ආරංචි මාර්ග හුවා දක්වන ආකාරයට පොලීසිය විසින් නවක වධය දීම සම්බන්ධයෙන් සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනා බලවත් ලෙස අපහසුතාවයට පත් කරන බවයි. වරදට දඬුවම් දීමට එහා ගියා තත්ත්වයකට මේ ශිෂ්‍යාවන් දෙදෙනා මුහුණ දෙන බව වාර්තා වේ. මෙම නවක වධ සිදුවීම සිදුවන්නේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මසය. නමුත් පොලීසිය ක‍්‍රියාත්මක වීම ආරම්භ වන්නේ මේ අවුරුද්දේ ජුනි මසය. හදිසියේම මෙම සිදුවීම පොලීසියට විමර්ශනය කිරීමට උනන්දුවක් ඇති වීම පුදුම සහගතය. එමෙන්ම සැකකාර ශිෂ්‍යාව කට උත්තරයක් සඳහා පොලීසියට පැමිණි විට එක්වරම අත්අඩංගුවට ගැනීමත් ඉන් අනතුරුව බන්ධානාගාර ගත කිරීමත් අසාධාරණ බව රැුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

එස්.බී උතුමාණෝ විසින් මාතර පොලීසියත් සමග මේ නටන්නට හදන්නේ අමුතු සෙල්ලමකි. මෙහි ප‍්‍රධාන අරමුණ අන්තරයට සීල් තැබීමයි. අප‍්‍රධාන අරමුණ විශ්ව විද්‍යාල තුළ තමන්ට අවශ්‍ය පරිසරයක් ගොඩ නැගීම සඳහා පිඹුරුපත් සැකසීමයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හමුදාවට භාර දී, තමන්ගේ යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල ටිකක් ආරම්භ කිරීමට එස්.බී.උතුමාණෝ සිහින දකිනවා ඇත. එය එස්.බී නැමැති රූකඩයේ නූල් අතැති අයගේද අවශ්‍යතාවය වනවා ඇත.

දුමින්ද සිල්වා විසින් කොලොන්නාවේ මිනිසුන්ට වධ දුන්නේ එලිපිටදීය. නමුත් පොලිසියත්, ආණ්ඩුවත් ඒ වධයන් සම්බන්ධයෙන් දක්වන්්නේ, විශ්ව විද්‍යාලයේ නවක වධයට වඩා අඩු අවධානයකි. අවස්ථාවාදී ආණ්ඩුවක් යටතේ සිටිනවා නම් සිටිය යුත්තේ ආණ්ඩුව සමග මිස එරෙහිව නොවේ. එරෙහි වුවහොත් බන්ධනාගාර ගත වීමට නියමිතය. සමග සිටියොත් සිංගප්පූරු යාමට නියමිතය.

[Photo by – www.vikalpa.org]