”නඩුවක් නැතිව බැහැ මුන්ට
මිනියක් පවා වලලන්ට
සොෆොකිලස් සොෆොකිලස්
එවාපන් ඇන්ටිගනී
අවසන් ගෞරවය දක්වන්ට
ඊ ළඟට අවජාතක මරණයට”
ක්‍රෙයෝන් විසින් පොලීනියස්ගේ මෘත දේහයට ගෞරවනීය අවසානයක් සිදු කිරීමට තීබයේ වැසියන්ට තහනම් කළේය. තීබයේම වැසියෙක් වූ පොලීනියස් තීබයට එරෙහිව පිටස්තර හමුදාවක් සමග පැමිණ පහර දීමේ වාඩුව ගන්නට ක්‍රෙයෝන් උත්සාහ කළේ එසේය. නමුත් නිමලරූබන් පිටස්තර සේනාවක් සමග පැමිණ ලංකාව ආක‍්‍රමණය කරන්නට උත්සාහ කළේ නැත. ඔහු මිය ගියේ රාජ්‍යට විරුද්ධ සටනකදී ද නොවේ. ඔහු මිය ගියේ බන්ධනාගාරයක, ආණ්ඩුවේ කුලියෙන් බඩ වියත රැුකගන්නවුනගේ පා පහර, බැටන් පහර, දස වධ දරා ගැනීමට නොහැකිවය. සතුරෙකුගේ මරණය සම්බන්ධයෙන් ගෞරවනීය අවසානයක් පිළිබඳව සොෆොකිලස් ඇන්ටිගනී කාව්‍ය තුළින් සාකච්ඡුා කරන්නේ මීට අවුරුදු 2000ටත් පෙරදීය. එවන් සාකච්ඡුාවක් ඇති වූ ලොවක් තුළ ඊට බෙහෝ කාලයකට පසුත් අහිංසක වැසියෙක්ගේ මරණයක ගෞරවනීය අවසානය ගැන තීරණයක් ගැනීමට නඩු වාර බොහෝ ගණනක් පසු කරන්නට සිදු විය. අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනීසිටීමට ප‍්‍රථම සමාජය පෙලන මිලේච්ඡුත්වය පලවා හැරීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇත.
පාලක පුත‍්‍රයන්ගේ ජීවිත රමණය වටා පමණක්ම භ‍්‍රමණය වෙද්දී, නෙලූකුලම් හි රාජේෂ්වරීගේ පුත‍්‍රයාගේ ජීවිතය භ‍්‍රමණය වූයේ මරණය කේනද්‍රකරගෙනය. අන්ත දුගී පහළ පාන්තික ජීවිතයක් ගත කිරීමේ වරදට දඬුවම වූයේ මරණයයි. ඝාතනයට ලක් වූ මිනිසාම ඔහුගේ මරණයට වග කිව යුතු බවට ගිජු ලිහිණියන් තර්ක කළේ මරණයට පවා දඬුවමක් ලබා දීමේ අරමුණෙනි. අවසානයේ රාජේශ්වරීගේ උණුසුම විඳින්නට පුත‍්‍රයාගේ දේහය නිදහස් කළේ සති ගණනාවක් ශීත කිරීමෙන් අනතුරුවය. නමුත් එය උදම් ඇනීමට තරම් සුදුසු ජයග‍්‍රහණයක් නොවීය. මන්ද ජයග‍්‍රහණයේ ගීතිකා ගයමින් ගෙන යන්නට ඔවුන්ට ඉතුරු වූයේ මළ මිනියක් පමණක් බැවිනි. අවසානයේ ජයග‍්‍රහණය පවා ගෙන ආවේ තවත් දරාගත නොහැකි ශෝකයකි. ගිජු ලිහිණියන් දිනුවේ නම්, ඇන්ටිගනී තම සොහොයුරා වෙනුවෙන් සිදු කළ දේවත් සිදු කිරීමට රාජේශ්වරීට ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉඩ නොලැබෙනු ඇත. මිනිසාගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරන, මළ මිනියකට වැලලෙන්න පවා ඇති අයිතිය අහිමි කිරීමට තැත් කරන ජාතික ආරාක්ෂාවක් තිබෙන්නේ ‘මොන ඉලව්වක්’ ආරක්ෂා කරන්නටද?
මිනීමරුවන් තමන් මරා දැමූ මිනිසාගේ මළ ගෙදර ගත කරන්නේ තමන් පිළිබඳව සැකයක් ඇති නොවීමටය. නිමලරූබන් මැරූ වුන්ද මෙසේ නිමලරූබන්ගේ මළ ගෙය අවට ගැවසුනේය. දේහය වැලලීමට වල පවා කපා දුන්නේය. එසේ හැසිරුනේ තමන් පිළිබඳව සැකයක් ඇති නොවීමට නම් නොවේ. තමන්ව සැකකරන වුන් කවුදැයි සෝදිසි කරන්නටය. ඉතින් කිසිවෙක් ‘මේ ඉන්නේ මිනීමරුවන්’ යැයි පැවසීමට ඉදිරිපත් නොවුයේය. ඒ ඔවුන් මිනීමරුවන් බව කිසිවෙක් නොදන්නා නිසා නොවේ. තමාගේ ජීවිතයට ද ඝාතකයෙක් නොමැති අවජාතක මරණයක් ලඟා කර ගැනීමට අකමැති වූ නිසාය.
[Photo by – www.vikalpa.org]