සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘තත්ත්වය තව තවත් නරක අතට හැරෙනවා.’- ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්


”මම ජූලි කලබල ඇහින් දැකපු සාක්ෂි කරුවෙක් ඒ වගේම ඒකෙ ගොදුරක්. ඒකෙ ගොදුරක් වුණ ආකාරය කතා කරන්න මම කැමතියි. මට ඒක සෑහෙන නරක විදිහට බලපෑවා. මම වැඩකරන කාර්යාලයට දෙමළ අය හොයන්න පිරිසක් ආවා. වාසනාවට මම ඒ අවස්ථාවේ කාර්යාලයේ සිටියේ නැහැ. ඒ නිසා ආපු පිරිසටට තරහ ගිහිල්ලා කාර්යාලයට හානි කලා. මම ඒ දවස්වල ජීවත් වුණේ දෙහිවල. නමුත් දෙහිවල භයානක නිසා අපි වැල්ලවත්තට ගියා. දෙහිවල අපේ ගෙවල්, අපේ වාහන ගිනි තියලා කියලා මම පස්සෙ දැන ගත්තා. ඒකත් එක්ක අපිට මානසිකව සහ භෞතිකව විශාල අහිමි වීමක් සිදු වුණා.”

”මම ආපසු ගෙදරට එනකොට මගෙ පොත් ඉරලා වීසි කරලා තිබුණ එක මට දරා ගන්න බැරිවුණා. ඒ අය පොත් අරගෙන ගිහින් තිබුනෙ නැහැ. නමුත් කාපට් එක, කුසිසියෙ බඩු, ටීවි එක අරගෙන ගිහිල්ලා තිබුණා. මගෙ අධ්‍යයන කාමරය තුළ තිබුනෙ කඩදාසි ගොඩක් විතරයි. මා ලග තිබුණ වටිනා විරල පොත් සහ විරල ඡුායාරූප ඔක්කොම නැති වුණා. නේරු සහ ඉන්ධිරා ගාන්ධි ලංකාවට ආපු වෙලාවෙ ගත්ත ඡුායාරූපයක් ඒ අතර තිබුණා. එම ඡුායාරූපයේ නේරු අත්සන් කරලා තිබුණා. ඒක ඉරලා තිබුණා. තාත්තා මට දීපු පොත් ඉරලා තිබුණා. ඒවා මට නැවත පියවන්න බැහැ. මට ටීවි එකක්, කාපට් එකක් නම් නැවත ගන්න පුළුවන්.”

”ඒ වගේම මගෙ දුව ලේ සහ ප‍්‍රචණ්ඩත්වය ඇස් දෙකෙන් දැකලා මානසිකව අවුලට පත්වුණා. කලබල වෙලාවේ අපි හතළිස් දෙනෙක් පමණ දෙමළ අය එක නිවසක හිටියෙ. දවසක් මැරයො පිරිසක් අපිට පහර දෙන්න ආවා. ඒ අවස්ථාවෙදි දෙමළ අය පණ බේරගන්න සිංහල ගෙදරකට දිව්වා. එවිට එම නිවසෙ හිටපු මහත්තයා අපිට එන්න එපා කියලා, මැරයො ලගට ගිහිල්ලා කිව්වා මෙහෙ ඉන්නේ දෙමළ අය නෙවේයි මුස්ලිම් අය කියලා කිව්වා. එවිට මැරයො ආපසු ගියා. ඒ මහත්තයා කරපු දේ නිසා අපේ ජීවිත බේරුණා. පස්සෙ අපිව අපේ සිංහල මිත‍්‍රයො බේරගත්තා. ඊට පස්සෙ අපි හිටියෙ සිංහල මිත‍්‍රයන්ගෙ ගෙවල් වල.”

”පසුව මම නෙදර්ලන්තයට ගියා. මම ගියෙ කෝලාහල හින්දා නෙමෙයි. ඒ වෙනෙ කොට මගෙ එම්.ඒ එක කරන්න තිබුණ නිසා. ඒ වගේම මගෙ මානසිකත්වය හොඳ අතට හැරෙන්නත් ඒක හේතු වුණා. අවුරුදු 9ක් වයස මගෙ දුවවත් මම අරගෙන ගියා. දුව හුඟක් මානසිකව බලපෑමට ලක්වෙලා කියලා එහෙට ගියාට පස්සෙ මට තේරුනා. අදටත් එයා ලංකාවට එන්න බැහැ කියලා කියනවා. ඒකෙ ප‍්‍රතිපලයක් විදිහට මට මගේ දුවව ලංකාවට ගෙන්න ගන්න බැරි වුණා. මගෙ දුව එක්ක ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. මම ලංකාවට කැමතියි. මට ලංකාවට ජීවත් වෙන්න ඕනෙ. නමුත් ලංකාවේ ඉන්නෙ දරුණු මිනිස්සු කියලා මගෙ දුව කියනවා. අපි මොකටද ඒ වගේ රටක ඉන්නෙ කියලා එයා මගෙන් අහනවා.”

”මට 83 අමතක කරනන් ඕනෙ. අලූත් විදිහට ජීවිතය දිහා බලන්න ඕනෙ. නමුත් ඒ විදිහට ලෝකෙ දිහා බලන්න පුලූවන් තත්තවයක් තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. 83 කෝලාහලය මම දකින්නෙ රාජ්‍ය විසින් මෙහෙයවපු එකක් කියලා. ඒකට සිංහල අය සම්බන්ධ වුණේ කිහිපදෙනයි. සමස්ත සිංහල අය සම්බන්ධ වුණේ නැහැ. ඒක ආණ්ඩුවෙ කිහිපදෙනෙක් විසින් හොදින් සැලසුම් කරලා කරපු දෙයක්.”

”නමුත් දැන් මම හිතන්නෙ සිංහල ජාතිකවාදය උපරිමයට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවට ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන්නවත් දැන් ඉඩක් නැහැ. ආණ්ඩුවට ප‍්‍රතිසංන්ධානය අවශ්‍ය වුණත් ඒකට බාධා කරන්න සිංහල සමාජයේම අය ඉන්නවා. ඔවුන් බලය බෙදීමට විරුද්ධයි. 13 සංශෝධනයට විරුද්ධයි. මට පේන විදිහට දැන් තත්ත්වය 83ට වඩා වෙනස්. මේ තත්ත්වය තව තවත් නරක අතට හැරෙනවා. ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්. 80 දශකයෙ වමේ පක්ෂ ගැන බලාපොරොත්තුවක් මට තිබුණා. වමේ දේශපාලන පක්ෂ ජාතික ප‍්‍රශ්නය ගැන දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන වෙනස් ආකාරයකට කතා කළා. ඒත් දැන් ඒ වාමාංශිකායො ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. 13ට විරුද්ධ වෙන, ප‍්‍රතිසංධානයක් පිළිබඳ අදහසක් නැති ආණ්ඩුවත් එක්ක ඒ අය එකතු වෙලා ඉන්නවා. ඒ අය ආණ්ඩුවෙ මතවාදයේ හොඳටම එල්බිලා ඉන්නවා. පෞද්ගලිකව වාමාංශික ව්‍යාපාරය පිළිබඳව මම කැමැත්තෙන හිටියා. නමුත් දැන් ඒ අය ගැන මම හොඳටම කලකිරිලා ඉන්නෙ.”

ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්

(සාකච්ඡාවක් ඇසුරෙනි)

මේ එම සාකච්ඡාවේ වීඩි‍යෝ සටහනයි
[youtube]http://www.youtube.com/watch?v=hP-6O-la6Sk&feature=plcp[/youtube]