Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 04යි. ඝාතකයින් නිදැල්ලේ…?

Remembering-Lasantha-2012-590 copy
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව ඔහු මෙලොවින් සදහටම සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdered ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද ලසන්ත, සිවරාම් ඇතුලු මාධ්‍යවේදීන්ද , ප්‍රගීත් වැනි අතුරැදහන් කරන ලද මෙන්ම, පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන් ගේ ඝාතකයින් සහ ප්‍රහාරකයින් වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතුය.

පහතින් දැක්වෙන්නේ ලසන්ත ඝාතනය කර සිව්වසරක් ඉක්ම යන මොහොතේ ඒ පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.

ලසන්ත ඝාතනයට සිව් වසරයි, ඝාතන සංස්කෘතිය රජයයි

සන්ඬේ ලීඩර් පුවත් පතෙහි කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට අදට සිව් වසරක් පිරෙයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ අවස්ථාවේ දී ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු ඝාතනය කරන ලද අප සහෝදර සියළු ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් බැති බරව සිහිපත් කරන්නෙමු. එමෙන්ම ඝාතකයින් හදා වඩා රැුක බලා ගන්නා ඝාතක දේශපාලනය ද ඝාතකයින් නිදැල්ලේ බේරා හරින දුර්විපාක නොලැබීමේ සංස්කාතිය ද අහෝසි කිරීමට පෙරමුණ ගන්නා ලෙස සිවිල් සහ දේශපාලන බලවේගයන්ට නැවත නැවතත් ආයාචනය කරන්නෙමු.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මුදා හරින ලද පෙර නොවී විරූ භීෂණයේ සංකේතනීය උච්චස්ථානය විය. ලසන්ත වික‍්‍රමතුංග වෙත එල්ල වූ නාදුනන තුවක්කුකරුවාගේ’ වෙඩි පහර ලසන්තගේ හිස පමණක් නොව මාධ්‍ය නිදහසේ හදවත ද පසාරු කළේ ය. නිදහස් ජනමාධ්‍යට මැඩලීමේ අරමුණින්ම කරන ලද එම බියගුළු ඝාතනයට සිව්වසරක් ගතවී තිබුන ද ඔහුගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ අප අතර සැරි සරයි. ඔහු බිලිගත් ඝාතන සංස්කෘතිය අද යළිත් වරක් සමාජය භීතියෙන් මුසපත් කරමින් තිබේ. රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වා ගැනෙන දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතකයන් පමණක් නොව තවත් එවැනි ඝාතකයින් සිය ගණනින් අප සමාජයෙහි නිදැල්ලේ හැර තිබේ.

ජනමාධ්‍යවේදීන් ඇතුලූ විවිධ ක්ෂෙත‍්‍රයන්හි මානව හිමිකම් ක‍්‍රියාධරයින් ඝාතනය කළ මිනීමරුවන් නිදැල්ලේ සැරි සරන එකී ඝාතන සංස්කෘතිය පෝෂණය වන සමාජයක විසංවාදයට, දේශපාලන විවේචනයට ස්ථානයක් නැත. අප අද අත්විදිමින් සිටින්නේ එම බියකරු යථාර්තය යි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ සිව්වන අනුස්මරණය සිදු කැරෙන මේ අවස්ථාවෙහි දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීමේ වැදගත්කම යළි අවධාරනය කරන්නේ එම නිසා ය.

පසුගිය සති කිහිපය තුළ විජේදාස රාජපක්ෂ සහ ගුණරත්න වන්නිනායක යන ජේෂ්ඨ නීතිවේදීන් දෙදෙනා හඹා ගිය මෙම ‘නාදුනන තුවක්කුකරු’ හසිත මඩවල යන ප‍්‍රදේශීය දේශපාලනඥයා බිලි ගත්තේ ය. එයට පෙර අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වූ මංජුල තිලකරත්නට පිස්තෝල ප‍්‍රහාරයක් එල්ල කළ ‘නාදුනන තුවක්කුකරු’ යාපනයේ උදයන් පුවත්පතෙහි පුවත් කතුවර ඥනසුන්දරම් කුගනයගම්ම මරාන්තික ප‍්‍රහාරයක් එල්ල කළේය. විනිසුරු විනිසුරුවරුන් පසුපස පවා හඹා යන තරමට අද මෙම ‘නාදුනන තුවක්කුකරුවා‘ බලවන්ත වී සිටින අතර ‘නාදුනන තුවක්කුකරු’ කිසි විටෙක අත් අඩංඟවට හසු නොවන්නේ මන්දැයි යන්න මෙරට ජනයාට රහසක් නොවේ. එය ඇත්ත වශයෙන්ම රාජ්‍ය රහසකි.

ජනමාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග කරා නාදුනන තුවක්කුකරු පැමිණයේ භිෂනය දූෂනය මෙන්ම ඝාතන දේශපාලනය ද නොබියව නොපැකිළව හෙළිදරව් කළ නිසා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සටහන් කිරීමට කැමැතිය. ඔහු සටන් කළේ අද අප හැම අපේක්‍ෂා කරන නිදහස රැක ගැනීම වෙනුවෙනි. ජනමාධ්‍ය නිදහස නැති සමාජයකට ස්වකීය අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමද රැක ගැනීමද දුෂ්කර වෙයි. අධිකරන නිදහස වේවා, සිරකරු ඝාතනය වේවා, යාපනයේ සරසවි සිසු අයිතීන් වේවා කුමන අයිතියක් සම්බන්ධයෙන් වුවද අද අප මුහණ දී සිටින අභාග්‍යය සහ අභියෝගය එය යි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ සිව්වන අනුස්මරණයේ දී යළිත් වරක් මෙරට ඝාතනයට ලක් වු සියළු ජනමාධ්‍යවේදීන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අහෝසි කොට ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම උදෙසා එක්ව නැගී සිටින ලෙස යි.

සුනිල් ජයසේකර | ශ්‍යාමිනි බොයෙල්
ලේකම් | කැඳවුම්කරු