Colombo, Democracy, Economic issues, Features, Governance

ආදරණීය අජිත් නිවාඞ් කබ්රාල්තුමා වෙත ලියමි,

1202721(1)[Photo Credit:www.ft.lk]
මේවන විට ඔබතුමා ලංකාවේ ඉහළ පෙලේ සුවච කීකරු ප‍්‍රභූවරයෙකි. ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ දෝශාභියෝගයෙන් පසු, අතිගරු ජනාධිපතිතුමාගේ සෙවණැල්ලේ සිටින ඔබතුමාලා වැනි සුවච කීකරු ප‍්‍රභුවරයන්ගේ අනාගතය පිළිබඳ නැවතත් සිතිය යුතු කාලය එළඹ ඇත. කොතරම් බැලමෙහෙවරකම් කළත් ජනාධිපතිතුමා කිපුණු සැණින් ආචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා හැර අන් සියල්ලෝම දොට්ට දමන බවට දැන් නැවතත් ප‍්‍රත්‍යක්ෂය. ඒ තියරියට ෆර්ඩිනෑන්ඩස් නම් කියන්නේ කොන්ඩම් තියරිය කියාය.

නහුතේට බැලමෙහෙවරකම් කර ජනාධිපති කම ලබාගැනීමට රාජපක්ෂ මැතිතුමාට මඟ විවර කළ මංගල සමරවීරලාට ශ‍්‍රීපති සූරියආරච්චිලාට ඒ තියරිය ක‍්‍රියාත්මක වුණි. පක්ෂය පිටින් අපරිමාණ කැපකිරීම් කළ ජවිපෙට ලැබුණෙද ඒ තියරියමය. කොටින්ගෙන් තොර ශ‍්‍රී ලංකාවක් තනාදීමට බොහො සෙයින් වෙහෙසුණු ෆොන්සේකාතුමාටද කොන්ඩම් තියරියත් සමග ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්කමක් ලැබුණි. නමුත් ශිරාණි බණ්ඩාරණායකතුමියට නම් ලැබුණේ කොන්ඩම් තියරිය පමණි.

මෙසේ බැලූ කළ ඉදිරි කාලයේදී ඔබතුමාටත් කොන්ඩම් තියරිය ලැබෙන්ට හොඳින්ම ඉඩකඩ ඇත. ඇතැම් විට මටත් වඩා හොඳින් ඔබතුමා ඒ ගැන දන්නවා වන්නට පුළුවන. දැනගෙන දන්නෑ වගේ ඉන්නවා වන්නටද පුළුවන. කමක් නැත. මම මෙම ලියුම ලියන්නේ ඔබතුමන් වැනි ප‍්‍රභූවරයෙකුගේ සුබ අනාගතයට ඇති ඒ අවධානම් තත්ත්වය ගැන පහදා දීමට පමණි. මන්ද ශිරණි බණ්ඩාරනායක මැතිණියට කොන්ඩම් තියරිය ලැබුණු ග‍්‍රහාචාරය, ඔබතුමාගේ ප‍්‍රභූපත‍්‍රයේද ලියවී ඇති බැවිනි. ඒ මෙසේය.

ශිරාණි මැතිණයට සේම ඔබතුමාටත් කොන්ඩම් තියරිය ලබාදීමට වින කළ හැකි ප‍්‍රධාන ග‍්‍රහයෙකු වන්නේ දිවිනැගුමයි. දිවිනැගුම පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධි නෑ කිවුවා නම් තාමත් ශිරාණි මැතිණිය අගවිනිසුරු පුටුවේ ඉන්නවාය. කෙසේ හෝ දැන් දිවිනැගුම සම්මතය. දිවිනැගුම බැංකුව ද අනුමතය. ලංකාවේ සියලූම බැංකු හා මූල්‍ය ආයතන ඔබතුමා ප‍්‍රධානත්වය දරණ මහා බැංකුවේ නියාමනයට හා අධීක්ෂණයට අයත් වුවද දිවිනැගුම බැංකුවට එය අදාළ නැත. මන්ද බැසිල් ඇමතිතුමා කියන විදියට එය ක්ෂුද්‍ර මූල බැංකුවකි. දිවිනැගුම බැංකුවේද ජනතාවගේ මූල්‍ය තැන්පත් සහ ණය කටයුතු ඒ අයුරින්ම සිදුවන්නේය. ඔබතුමාට හෝ මහා බැංකුවට ඇඟිලි ගසන්නට බැරි අයුරින් ස්ථාපනය වන නිසා සියල්ල බැසිල් ඇමතිතුමාගේ හිතේ හැටියට කිරීමට පුළුවන. හැබැයි ඉතිං කෙළවුනොත් කෙළවුණාමය. සක්විති පරාදය. සක්විතිගේ මූල්‍ය වංචාවේ මෙන් කර ඇරීමට ඔබතුමාට හෝ ඔබතුමාගේ මහා බැංකුවට ද නොහැකිය. ගේෙදාර ඉඩකඩං හෝ විකුණා දමා ජනතාවගේ සල්ලි ආපසු ලබාදිය යුතුයි. නැත්නම් ජනතාව රාජපක්ෂ පවුලට ඡන්දය දෙන්නේ නැත. යම් හෙයකින් ජනතාවගේ එම සල්ලි පිළිබඳ මහා බැංකුවට වගකීමක් නැතැයි කියා ඔබ කීවොත්, ඒ මොහොතේම ඔබතුමාට කොන්ඩම් තියරිය ක‍්‍රියාත්මක වනු ඇත.

ෆෙඩරල්වාදය ශිරාණි මැතිණියට වින කළා සේම ඔබතුමාටද වින කළ හැක. විමල් වීරවංශ, ගුණදාස අමරසේකර, නලීන් ද සිල්වා වැනි ලාංකීය මහා බුද්ධිමතුන් මෙය හඳුන්වන්නේ බෙදුම්වාදය ලෙසයි. දේශපාලන විද්‍යාවේ ප‍්‍රධානතම මාතෘකාවක් වන ෆෙඩරල් යන වචනය ලංකාවට අකැපමය. එය කොතරම්ද කිවතොත් ශිරාණි මැතිණිය තම උපාධි නිබන්ධනයක් සඳහා ෆෙඩරල් ක‍්‍රමය ගැන ලිවීම පවා උක්ත බුද්ධිමතුන්ට අනුව සහගහන අපරාධයකි. රට බෙදීමට උඩගෙඩි දීමකි. ”ඉස්සර ඔබතුමාද ලංකාවට උචිත ෆෙඩරල් ක‍්‍රමයක්” යැයි කියු හැටි අපට තාමත් මතකය. පත්තරවලට දුන් ඔබ සම්මුඛ සාකච්ඡාවල කොතෙකුත් ඒ ගැන කියා ඇත. 2004 වසරේදී ලක්බිම පත්තරයට මා සමග කළ සාකච්ඡාවකදීත් ඔබතුමා ඒ ගැන දිර්ඝව විස්තර කළේය. ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් ඒ කාලයේ ජී. ඇල්. පීරිස්තුමාලා ලෝකේ පුරා සංචාරය කළේය. ඉන්දුනිසීයාවේ අචේ ගරිල්ලලාට මෙන් ලංකාවේ එල්ටීටියටද ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු බවට රාජිත ඇමතිතුමා ඇස්පිල්ලම් ගසමින් රූපවාහිනි සංවාදවල මොර දුන්නේය. උන්නැහෙලාටනම් ප‍්‍රශ්නයක් නැත. මන්ද එතුමන්ලා ඕන ආණ්ඩුවක නිත්‍ය ඇමතිවරුන්ය. ඡන්දයක් තිබ්බොත් දිනන්න පුළුවන් උං ය. නමුත් ඔබතුමා නම් එහෙම නැත. ඡන්දයකට දැම්මොත් ගියපාර මෙන්ම කපෝති වන්නේය. ඒ නිසා ඔබතුමා දැරූ ෆෙඩරල් අදහස් හරිම භයානකය.

නාමල් බබාට දැක්වන අසීමිත දරු සෙනෙහසද යම් දිනක ඔබට නරකට හිටීමට පුළුවන. ඒ කාලයේ ශිරාණි මැතිණිය නාමල් බබාට හරිම ආදරේය. නාමල් බබා දන්න දහංග ගැට සියල්ල දාමා නිතිඥයතු ලෙස දිවුරුම් දුන් දා, ඈ නව සම්ප‍්‍රදායක් තනමින් නාමල් බබා සහ ජනාධිපති පවුල සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය. ඈ නාමල් බබාට දැක්වුයේ එතරම්ම ආදරයකි. ඔබතුමාද ඒ බබාට එතරම්ම ආදරේ බවට මුළු රටම දනී. ලොකු පන්තියේ ගෙවල්වල සිටින මෙහෙකරුවන් තමන්ගේ හාම්පුතාට මෙන්ම මාස දෙකේ තුනේ කිරි සප්පයින්ටත් චුටි හාමු, පුංචි හාමු යනාදි ගෞරව වචනයෙන් අමතයි. ඔබතුමාද නාමල් බබාගේ තාත්තාට මෙන්ම ඒ බබාටත් සර් කියා අමතයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උත්සවය වැනි බබාගේ හුරතල් ආසවන් සන්තර්පනය කිරීමට රට රටවල් ගානේ ඇවිදිමින් අතේ පත්තුවන කෙප්ප ඇඳ බායි. ශිරාණි මැතිණියට මෙන්ම මෙම ඔබතුමාටද මෙම ලක්ෂණය නරකට හිටීමටම පුළුවන.

අතිගරු ජනාධිපතිතුමාගේ කොන්ඩම් තියරියට හසුවූ සැමට කොටි ලේබල් එක ඇලවීමද අද දවසේ නියතියකි. කොන්ඩම් තියරිය ක‍්‍රියාත්මක නොවුනත් රාජපක්ෂ ආණ්ඩුව කියන පරිදි, ආණ්ඩු විරෝධීන් සියල්ලෝම කොටින්ය. ශිරාණි මැතිණියට කොටි ලේබලය ඇලවුණේ ඈ ෆෙඩරල් වාදය පිළිබඳව විෂයානූකූලව හැදෑරීම නිසා සහ ඇය වටා සිටියවුන්ට කොටි ලේබල් ඇලවී තිබීම නිසාය. දෝශාභියෝගයේදී ඇය වෙනුවෙන් පෙනී සිටී ආචාර්ය වික‍්‍රමබාහු, ආචාර්ය පාක්‍යසෝති, නීතිඥ වැලිඅමුණ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් යනාදි අය පමණක් නොව, ආණ්ඩුවේ බුද්ධිමතුන්ට අනුව ජනතා විමුක්ති පෙරමුණද අමුම අමු කොටින්ය. ඒ නිසා එම බුද්ධිමතුන් ශිරාණි මැතිණියද කොටි දෙනක කළාය.

ඔබතුමාද ඔබතුමා වටා සිටින්නන් ගැන දැන් සිටම කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන්ම ඔබමතුමාගේ ආයතනයේ සේවය කරන අශෝක හඳගම නම් සිනමාකරුවා පිළිබඳ විශේෂයෙන්ම සැළකිලිමත්විය යුතුය. මන්ද ඒ මහතාව හිතේ හැටියට කොටියෙක් කළ හැක. ඒ මහතාව කොටියෙක් කර ඔබතුමාවද කොටියෙක් කළ හැක. හඳගම මහතාගේ මේ මගේ සඳයි, අක්ෂරය වැනි චිත‍්‍රපට පමණක් නොව අවශ්‍ය නම් විදු ළමා චිත‍්‍රපටයද කොටි ත‍්‍රස්තවාදයට උඩගෙඩි සපයන සිනමා නිර්මාණ බවට ආණ්ඩු පක්ෂයේ බුද්ධිමතුන් ලවා කියවා ගැනීමට පුළුවන. මොකක්දෝ කරුමයකට විදු චිත‍්‍රපටය එළිදක්වනදා ඔබතුමාද ගොස් තිබුණි. ඉතිං එය ත‍්‍රස්තවාදය සඳහා අනුබලදීමක් විය නොහැකිද? දෝශභියෝග ක‍්‍රියාවලිය පිළිබඳ කණස්සල්ල පළකරමින් කැනඩාවේ අගමැතිතුමා ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන්නේ නැතිබවට පවසා ඇත. හඳගම මහතාගේ ”ඉනියවන්” දෙමළ චිත‍්‍රපටය කැනඩාවේ පෙන්වා ඇත. ඔබතුමාහට කොන්ඩම් තියරිය ක‍්‍රියාත්මක වූ දිනෙක ”කැනඩාවේ අගමැතිතුමා ලංකාවට නාවේ කබ්රාල්/හඳගම කොටි නඩයේ උවමනාවකට” යැයි කියමින් මඩවදින්නට පුළුවන.

අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන්ම තිබෙන වෙලාවක ශිරාණි මැතිණිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා ලවා මාධ්‍ය නිවේදනයක් කරවා ඇත. පසුව එය පට්ටම පට්ට ද්‍රෝහි ක‍්‍රියාවක් බවටත්, රට අස්ථාවර කිරීමට දැරු ප‍්‍රයත්නයක් ලෙසටත් ආණ්ඩු පක්ෂයේ බුද්ධිමතුන් පැවසීය. ඔබතුමාත් ලංකාවේ නිදහස උපරිමයටත් වඩා උපරිමයෙන් තිබෙන මොහොතක, හඳගම මහතා ලවා නිදහස් දින දේශනය කර ඇත. ඔබතුමාට කොන්ඩම් තියරිය ක‍්‍රියාත්මක වූ දිනෙක, මේ දේශනයද හරහට හිටිනු ඇත.

කොන්ඩම් තියරිය වදින විට මඩ වැදීමද අනිවර්යයෙන්ම සිදුවන්නකි. සරත් ෆොන්සේකා මැතිතුමාට සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණියට ඒ මඩ වැදුණි. ඔබතුමාට වැදිය හැකි මඩ ගැන මා මේ ලිපියේ නොලියමි. කල්පනාවෙන් වැඩකටයුතු කිරීම ඇඟට හොඳය.

ජීවත්වන සෑම මිනිසකුටම මරණය පොදුවනවා මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෙවණැල්ලෙන් ජීවත්වන හැමෝටම කොන්ඩම් තියරියද පොදුවෙනවා නියතය. ඉන් ගැලවීමක් නැත. කළ හැක්කේ එක දෙයකි. ඒ කොන්ඩම් තියරිය ලැබුණුදාට කරන්නේ මොකක්ද කියා දැන් සිටම සැළසුම් කර ගැනීමය. ඒ සැළසුම සකසා ගෙන හැකිතාක් කාලයක් කොන්ඩම් තියරියට හසුනොවි ආයු වැළදීමට, ඔබතුමාට ශක්තිය ධෛර්ය හා වාසනාව ලැබේවා කියා මම ප‍්‍රර්ථනා කරමින් මා ලිපිය අවසන් කරමි. ඔබතුමාට දෙයියන්ගේම පිහිටය.

මීට

ළහිරු සමරසිංහ