Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව

Geneva HumanRightsCouncil 590
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය බාරගත් වහාම ඔහු විසින් කරන ලද එක් කාර්්‍යයක් වූයේ ඒ තාක් දුරට අධිරාජ්‍යවාදී අතකොළු යැයි ලංකාණ්ඩුව විසින් පහර දෙමින් තිබූ අන්තර් ජාතික මානව හිමකම් සංවිධාන සමඟ නිල සාකච්ජා මාලාවක් පැවැත්වීමයි. ඇමෙනෙස්ටි ඉන්ටර් නැෂනල්, හියුමන් රයිට්ස් වොච් යනාදී ආයතන සමඟ එළෙස පැවැත් වූ සාකච්ජාවන්හිදී ඔවුන් විසින් මතු කරන ලද එක් කරුණක් වූයේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වීම පිනිස පැමිණෙන ශ‍්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින්ට දිගින් දිගටම රජයේ පිරිස් වෙතින් එල්ල වෙමින් තිබූ තර්ජන ගර්ජන ය සහ අවලාද ය. තානාපතිවරයා කියා සිටියේ එවැනි සිදුවීම් දැන් අවසන් බවත් පසුගිය දේ අමතක කර ඉදිරියට යෑම සිය අපේක්ෂාව බවත් ය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙන්ම කවුන්සිලයේ සභාපතිනියට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කරමින් මැදිහත් විය යුතු තරමට එම මාර්තු මාසයේ ශ‍්‍රී ලංකාණ්ඩුවේ සමහර පිරිස් ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි හැසිරුණේ මැරවරයින් ලෙස ය. හිටපු තානාපති දයාන් ජයතිලක මෑතදී කියා සිටි පරිදි ඔවුන් ජිනීවා හි හැසිරීමට දැන සිටියේ නැත. බිය ගැන්වීම සහ අවලාද ප‍්‍රචාර මගින් ශ‍්‍රී ලංකාව පිළිබඳ කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ යෝජනාව පරාජය කළ හැකියැයි ලංකාණ්ඩුව සිතා සිටි සෙයක් පෙනුනි. අප දන්නා පරිදි ඒ කූටෝපාය පාරා වළල්ලක් බවට පැමුනුනි. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට මැදහත්ව ප‍්‍රතිචාරයක් දක්වනු වෙනුවට ශ‍්‍රී ලංකාණ්ඩුව කළේ වළං කඩයට පැනගත් ගොනකු සේ හතර අතට ඇන ගෙන ඇන ගෙන යාම ය.

නව තානාපතිවරයා දුර්වර්ණ වී තිබූ එම ප‍්‍රතිරූපය පිළියම් කිරීමට දැරූ තැත සාර්ථව වන සෙයක් පසුගිය 2012 සැප්තැම්බරයේ පැවැති සැසිවාරයේ දී පෙනන්නට තිබුණි. ඔහුගේ ආක‍්‍රමණික නමුත් සුහද ආකල්පය විසින් ශ‍්‍රී ලංකාවට නව මිතුරන් ඇති කරනු ඇතැයි රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රයේ කසු කසුකුසු ඇසෙන්නට තිබුණි. නමුත් දැන් පෙනෙන්නේ වෙනසක් කිරීමට අවශ්‍ය ප‍්‍රයෝගික තත්ත්වයන් ශ‍්‍රී ලංකාවෙහි ඇති කරනු වෙනුවට අන්තර් ජාතික තලයෙහි පරාජය වීමට කැමැත්තෙන් ක‍්‍රීඩා කරන කණ්ඩායමක් බවට ශ‍්‍රී ලංකාණ්ඩුව පත්ව තිබීමය. මෙවර මානව හිමිකම් කවුන්සිලයට එවනු ලබන්නේ ද බී මට්ටමේ කණ්ඩායමක් බව කියනු ලැබේ.

2012 මාර්තුවේ දී මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද යෝජනාවෙන් පසු රාජපක්ෂ ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය පෙන්වන්නේ එම යෝජනාව ගැන අබමල් රේනුවක හෝ තැකීමක් රිජිමය නොපෙන්වන බවයි. බොහෝ විද්වත් ලිපි ලේඛන විසින් පෙන්වා දී ඇති පරිදි ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට දැනෙන පියවර කිසිවක් ගත්තේ නැත. ඒ වෙනුවට එය විසින් ලෝකයටම පෙනෙන ලෙස එම නිර්දේශ කෙළෙසීමට පටන් ගත්තා ය.

දෙමළ ජනයාට ශෝක වීමේ දිනයක් ප‍්‍රකාශයට පත් කරන සේ කරන ලද සරළ යෝජනාව පවා ආපස්සට යවමින් එය කළේ සිය මියගිය ඥාතීන් සහ සගයින් අනුස්මරණය කළ යාපන සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව වෙත දැවැන්ත මර්දනයක් මුදා හැරීම ය. නීතියේ පාලනය පිහිටුවා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු වෙනුවට රය කලේ අගවිනිසුරුවරිය පළවා හැර ආණ්ඩුවේ දේශපාලන හිතවතකු එතැනට පත් කිරීම ය. යුද හමුදා විසින් කරන ලදැයි කියන මානව හිමිකම් කෙළෙසීම් ගැන ස්වාධීන පරීක්ෂන පවත්වනු වෙනුවට එය කළේ එම පරීක්ෂන යුද හමුදාවට ම බාර දී එවැනි කිසිවක් සිදුව නැතැයි කියා පමණක් නොව ඔවුන්ට අයත් නැති නිර්දේශයක් වූ පොලිස් සේවය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කල යුතුය යන යෝජනාව ද නිශ්ප‍්‍රභා කිරීම ය. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත ඉදිරිපත්ව ඇති ලිපි ලේඛන මෙවැනි උදාහරණවලින් පිරී තිබේ.

පසුගිය වසරෙහි ලංකාණ්ඩුව වෙනුවෙන් කණ්ඩායමක් ලෙස ජන්දය ප‍්‍රකාශ කළේ මැද පෙරදිග මුස්ලිම් සාමාජික රටවල් පමනි. ඇමෙරිකානු ගැති සවුදි අරාබිය සහ ක්වේටය වැනි රටවල් පවා ලංකාණ්ඩුවට පක්ෂව ජනදය දුන්නේ ය. ඊට එක් හේතුවක් වූයේ ප‍්‍රබල මුස්ලිම් නියෝජිත පිරිසක් ජීනීවා කරා රැගෙන විත් එම රටවල් හමුවට යැවීමයි. එම පිරිස අතර සවුදි අරාබියේ හිටපු තානාපති, ජාතික උලමාවරුන්ගේ සංගමයේ සභාපති සහ අමාත්‍ය රවුප් හකිම් විය. මේ වන විට උලමාවරුන්ගේ සංගමය ආණ්ඩුවේ, ආශිර්වාදය ලබන බොදු බල සේනාවේ තර්ජනය හමුවේ අන්දුන් කුන්දුන්ව සිටින අතර සමස්ත මුස්ලිම් ප‍්‍රජාවම සිටින්නේ එක්තරා බියකිනි. මැද පෙරදිග රටවල් මෙම තත්ත්වය සිය සැළකිල්ලට ගනු නොඅනුමාන ය. රිසානා ඝාතන සිදුවීමෙන් පසු සවුදි අරාබිය සහ ශ‍්‍රී ලංකාව එකටෙක කිරීමක් වශයෙන් සිය තානාපතිවරු ආපසු කැඳවා ගත්තෝය. රාජපක්ෂ ආණ්ඩුවේ ගජ මිතුරකු වන ඉරානයට එරෙහිව පසුගිය අගහරුවාදා කොළඹ දී බෞද්ධ පිරිස් උද්ඝෝෂනයක් පැවැත් වූහ. මැද පෙරදිග අරාබි රටවල් සමඟ පැවැති උපායික සන්ධානය අද ඇත්තේ මරණ මංචකයේ ය.

එමෙන්ම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සමඟ ශ‍්‍රි ලංකාවේ සම්බන්ධතා ද පසුගිය වසර පුරාම පිරිහී ගියේ ය. මෑත ලියූ ලිපියක් මගින් ස්වාධීන ආර්ථික විශ්ලේෂකයකු වන මුතුක‍්‍රිශ්නන් සරවානන්දන් පෙන්වා දි තිබුණේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කොයිතරම් දුරට බටහිර රටවල් සමඟ සම්බන්ධ ද යන්නයි. නිදසුනක් ගන්නේ නම් ශ‍්‍රි ලංකාවෙන් චීනයට කැරෙන අපනයනය සමස්තයෙන් සියයට 01ක් පමණි. බටහිර රටවලට කැරෙන අපනයන අනුපාතය සියයට 50ට වැඩි ය. සංචාරකයින්ගෙන් සියයට 50ක් පැමිණෙන්නේ ද බටහිරිනි. චීනයෙන් එන්නේ සියයට එකකි. එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතූළු බටහිර රටවල් සමඟ උපායික ආර්ථික සම්බන්ධතාවයක ඇති වැදගත් කමයි. ආසියානු රටවල් අතරින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන්නේ ඉන්දියාව පමණක් බව ඔහු පෙන්වා දෙන තවත් කරුණකි. චීනය ඉදිරියෙන් සිටින්නේ ණය ලබා දී ම අතින් පමණක් වන අතර ඊට ගෙවිය යුතු පොලිය අනෙක් රටවලට ගෙවිය යුතු පොලියට වඩා බොහෝ වැඩි ය.

චීන වන්දනාවේ යෙදී සිටින රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව සමඟ වන සබඳතා දියුණු කර ගැනීමට අවශ්‍ය සාධකය වන දේශපාලන විසඳුමක් ඇති කිරීමට පියවර ගත්තේම නැති අතර දැන් ජනාධිපති රාජපක්ෂට සාකජ්චා කිරීමට සිදුව ඇත්තේ පසුගිය දා වාර්තා වූ පරිදි එරට දේශපාලන නායකයින් සමඟ නොව එරට බුද්ධි අංශ ප‍්‍රධානියා සමඟ ය.

මෙම කරුණු දෙක විසින් පෙන්නුම් කරන්නේ ලංකාව වැනි කුඩා රටක් ලෝක ආර්ථික දේශපාලන සයුර තරණය කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කිසිදු යථාර්තවාදී අවබෝධයකින් තොරව රාජපක්ෂ පාලනය කටයුතු කරන සැටි ය. ඊට හේතුව නම් එය බලයෙන් සහ වාර්ගික අගතීන්ගෙන් අන්ධ වී සිටීම යි. යුද්ධ ජයග‍්‍රහණයෙන් ගිනිකණ වැටි සිටීම යි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ගතිකත්වය අවබෝධ කර ගැනීමට හැකියාවක් අද රාජපක්ෂ පාලනය පෙන්වන්නේ නැත. එබැවින් ම දීර්ඝ කාලීන වශයෙන් මෙම හුදකලාවීම නිසා ඇතිවිය හැකි විපාක එය තේරුම් ගන්නේ ද නැත. යුද්ධ කාලයෙහි එය කටයුතු කලේ අන්තර් ජාතික ප‍්‍රජාව යනු මිත්‍යවකි යන හෙළ උරුමයේ න්‍යාය අනුව ය. ඇත්ත වශයෙන්ම නම් සිදු වූයේ එල්ටීටීඊය පරාජය වනු දැකීමට කැමැත්තෙන් සිටි බටහිර සහ ඉන්දියාව යුද්ධයට එරෙහිව තීරණාත්මක බලපෑමක් නොකිරීම ය. යුද්ද කාලයෙහි දී මෙන් වත්මනෙහි ද අන්තර් ජාතික ප‍්‍රජාව පයිසෙට දමා තමන්ට වංසෙට කොඩිය දැමිය හැකි යැයි රාජපක්ෂ පාලනය සිතා සිටින සෙයකි.

නමුත් එය එසේ නොවේ. ඊට උදාහරණයක් නම් දැන් දැන් වාර්තා වන පරිදි යුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය අත හැරීමේ විපාකයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ගොඩ ඒමට බැරි අර්බූදයකට හසු වෙමින් සිටීම යි. නිදහස් වෙළද කලාප කම්කරු නායකයකු වන ඇන්ටනි මාර්කස් පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණේ දැනටමත් ජි. එස්. පී. සහනය නොලැබීම නිසා ඇගළුම් කර්මාන්ත ශාලා 164ක් වසා දැමා ඇති බවත් ලක්ෂයක පමණ රුකියා අහෝසි වී ඇති බවත් ය. මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව යුරෝපා සංගමය සමඟ සමඟ ජි.එස්.පී. බදු සහනය සම්බන්ධයෙන් සම්මුතිකාමී එකඟතාවයකට යනු වෙනුවට එදා ශ‍්‍රී ලංකාණ්ඩුව හැසිරුණේ ‘බම්බු ගහ ගනිල්ලා’ යන ආකල්පයෙනි. ඒ කොතෙක් ද යත් යුරෝපීය සංගමයේ පරීක්ෂණ කොමිසමට ශ‍්‍රී ලංකාවට ඒමටවත් එදා ඉඩ දුන්නේ නැත. නමුත් දැන් විපාක දැනෙන්නට පටන් ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ මට්ටමෙහි හුදකලාවන ලංකාණ්ඩුව රට තුළ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනසකට මඟ පාදනු ඇති තීරණාත්මක වෙනස්කම් ඇති නොකළ හොත් එම ඉරණමම අනෙක් අන්තර් ජාතික තලයන්හිදී ද අත්වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් බවට පමණකි.

ඇමෙරිකානුවන් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ඒමට නියමිත යෝජනාව 2012 මාර්තු මාසයෙහි සම්මත කරන ලද යෝජනාව හා සමානය. නමුත් එය විසින් වඩා ඍජු ඉල්ලීම් ඉදිරිපත් කරයි. 2012 වසරේ යෝජනාව ලද ජන්ද ප‍්‍රමාණයට වැඩි ජන්ද ප‍්‍රමාණයක් මෙවර එය ලබා ගන්නවා ඇත. තමන් ශ‍්‍රී ලංකාවෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන ඇති කරන බවට දුන් පොරොන්දු පිලිගෙන ශ‍්‍රී ලංකාවට පක්ෂව ජනදය දුන් සමහර රටවල් දැන් කල්පනා කරන්නේ එමගින් තමන් කඬේ යැවුවා කියා ය.

බිය ජනක කරුණ නම් රාජපක්ෂ පාලනයේ අභ්‍යන්තර ගතිකත්වයන් විසින් අන්තර් ජාතික තලයන්හිදී ඉල්ලා සිටින කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරනයක් ඇති කිරීමට ඉඩක් ලබා නොදීමයි. ප‍්‍රතිසංස්කරන එයට නයාට අඳුකොළ වැන්න. ඇත්ත ව්‍යසනය ඇත්තේ රට තුලය. අන්තර් ජාතික තලයෙහි එහි දෝංකාරය යි. එනමුත් දැන් එම දෝංකාරය කුණාටුවක විභවය ඇති එකකි. එම කුණාටුව කුපිත කැරෙන්නේ රට අභ්‍යන්තරයේ හට ගන්නා ගින්දරෙනි.

මෙවර මානව හිමිකම් කවුන්සලයෙහි දැන් සිටම ලියා තැබිය හැකි ප‍්‍රතිපලය එය යි.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya