Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය

අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ‍ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය.

Khuram Shaik, who died in an attack in Sri Lanka on Christmas Day 2011.
Khuram Shaik, who died in an attack in Sri Lanka on Christmas Day 2011.

එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ පහළම මාලය විය. මගේ ඡන්දකොට්ඨාශයේ වැසියෙකු වූ කුරාම් ෂායික් ව 2011 නත්තල් දිනයේදී බියගුළු ලෙස පහර දී මරා දමන ලද ආකාරය මා දැනගත්තේ එහිදීය. එය මධ්‍යහ්නය වුව ද ජනෙල් වසා දමා තිබුණි. අපරාධය සිදු වූ ආකාරය විස්තර කළ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් කණ්ඩායමකට අපි සවන් දෙමින් සිටියෙමු. කුරාම්ට සහ ඔහුගේ මිතුරියට එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ගැටුමකට තුඩුදෙන ආකාරයේ කිසිදු කුපිතකාරී හේතුවක් ඔවුන් විසින් නිර්මාණය කිරීමකින් තොරවම ය. මෙම බියගුළු සහ පිළිකුළ් සහගත ප්‍රහාරයේ විස්තර දැනගත් පසු මට ඔක්කාරයට එන සෙයක් දැනිනි. කුරාම් මරා දමා තිබුණේ පුද්ගලික සාදයක් වූ එම අවස්ථාවට බලෙන් කඩා වැදුනු බීමත් මැරයන් පිරිසක් විසින් සිය මිතුරියට ප්‍රචණ්ඩ බලාහත්කාරයක් කිරීම වැළැක්වීමට දැරූ අසාර්ථක උත්සාහයේදී ය.

සැමිටි පහරවල් මෙන් පිටත අංගනයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවට සවන් දෙමින් අපි මොහොතක් නිහඬව වාඩි වී සිටියෙමු.

මම කුරාම් ගේ සොහොයුරා සමග පැය 24කට පෙර මෙහි පැමිණියේ, සියලු දෙනාගේ ආදරයට ලක් වූ රොච්ඩේල්හි රතු කුරුස ක්‍රියාකාරිකයා නිවාඩුවක් ගතකරමින් සිටියදී මරණයට පත් වූ ආකාරය ගැනත් ඒ පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග කිසිදු ප්‍රගතියක් නොමැතිව ඇණහිට තිබීම ගැනත් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයා ගැනීම සඳහාය. දෙවෙනි කරුණට අදාළව සළකතොත්, ඝාතනයේ ප්‍රධාන චුදිතයා වූ සම්පත් චන්ද්‍රපුෂ්ප ප්‍රාදේශීය දේශපාලකයෙකු වීමත්, ඔහුට ජනාධිපතිවරයා සමග කිට්ටු සම්බන්ධකම් පැවතීමත් යන කරුණ මා තුළ ජනිත ඇති කළ සැකය සුළු පටු නොවේ.

අප හමු වී කතා බහ කළ සෑම දෙනෙකුම කියා සිටියේ අපරාධයක් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බවය.

“මෙහේ දේශපාලනඥයන් ඕනෑම දෙයක් කරලා බේරිලා යනවා. ඔවුන්ව කොහෙත්ම අල්ලන්න නොහැකියැ” යි යන්න මා හට නැවත නැවතත් අසන්නට ලැබුණු ආකල්පයයි. ඔවුහු පාලනයෙන් තොර බව නිගමනය නොකර සිටීම අසීරු ය. මා එහි නැවතී සිටි පැය 24 තුළ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු රෝහල් ගත කෙරිණි. ඒ තවත් දේශපාලනඥයෙකු විසින් කළ පහරදීමක් නිසාය. ලෝකයේ සැම දෙසින් පැමිණෙන සංචාරකයන් ලිංගික අතවරවලට ලක්වන ආකාරය ගැන කම්පා කරවන සුළු පුවත් මට අසන්නට ලැබිණි. දේශිය පුවත්පතක “දේශපාලන මැරයන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්” සිය ආදරණීයයන් අහිමි වූ සිය ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල් ගැන කාටුනයක් පලවී තිබිණි. බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු වරෙක රිය පැදවූ වේගය ගැන බොරු කීවේය යන චෝදනාවට සිර දඩුවම් විඳි බව මම ජනමාධ්‍යවේදියෙකුට පැවසූ විට ඔහු මහා හඬින් සිනහසෙන්නට වූයේ මා විහිළුවක් කළ බවට උපකල්පනය කරමිනි.

ශ්‍රි ලංකාව එහි මානව හිමිකම් උල්ලංඝණයන් සහ නීතියේ පාලනය නොතකා හැරීම පිළිබඳව වර්ධනය වෙන ජාත්‍යන්තර විමර්ශනයන්ට ලක්වෙමින් පවතින රටක් වීම හේතුවෙන් කුරාම් ගේ ඝාතනය පිලිබඳ සිදුවීමට දැවැන්ත සංකේතාත්මක වටිනාකමක් හිමිව තිබේ. අපට ශ්‍රී ලංකාව තුළදී හිමි වූ මාධ්‍ය අවධානයේ මට්ටම – අප පැමිණිම මුල් පිටුවේ පුවතක් වීම – ‍හෝ ශ්‍රී ලංකාවේ ජනතාව වෙතින් අප ලද සහයෝගය මවිසින් අපේක්ෂා නොකළ දෙයක් විය. ඔවුහු කුරාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපහසුවටත් ලජ්ජාවටත් පත්ව සිටි අතර දේශපාලනඥයන් සම්බන්ධ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේදී සිදුවන ප්‍රමාදයන් ගැන ඉදිරිපත්වන කෙළවරක් නැති නිදහසට කාරණා ගැන ඔවුහු වෙහෙසට පත්ව සිටියහ.

ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ ස්ථාවරයන් දැඩිවන්නට හේතූවක් වූ, මේ වසරේ මුලදී අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය නිමාකිරීමට රජයට අවශ්‍ය වූයේ සති කිහිපයක් පමණි. එහෙත් කුරාම්ගේ ඝාතනයෙන් මාස 15ක් ගතවන විට දැන් එහි සැකකරුවන් 8 දෙනාම ඇප මත නිදහස් වී සිටිති. නිදහස් වූ දේශපාලනඥයා නැවතත් පාලක පක්ෂයේ දේශපාලනය සිදු කරමින් සිටින අතර නැවත නඩු දිනයක් ගැන අප වෙත සහතික කිරීමක් හෝ නොවීය.

කෙසේ හෝ දැනගැනීමට ඇති එක් වැදගත් දිනයක් නම්, මේ නොවැම්බරයේදී සිදුවීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව පැවැත්වෙන දිනයයි. මෙම හමුව වෙනත් රටක පවත්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් මතුවන ඉල්ලීම්වල වර්ධනයත් සමග එවැනි හමුවක් පැවැත්වීමට සිය රට කොතෙක් දුරට සුදුසුදැයි යන්න ගැන ආත්ම ගවේශණයක නිරතවීමට, කුරාම්ගේ ඝාතනය බොහෝ ශ්‍රි ලාංකිකයන්හට හේතු වී තිබේ.

“ශ්‍රි ලංකාව තුළ තවමත් නීතියට ගරුකිරීමක් පවතී යන්න ඔප්පු කිරීමට ප්‍රබල උදාහරණ සැපයීමේ අවශ්‍යතාවක් ඇතැයි” ‘ඩේලි එෆ්.ටී'(Daily FT) පුවත්පත සිය කතුවැකියෙන් පවසයි. “කුරාම් ඝාතන නඩුව පිලිබඳ ක්‍රියාවලිය කඩිනම් කිරීමෙන් ” විශාල බලපෑමක් සිදුවනු ඇතැයි එය වැඩිදුරටත් පවසයි.

“මෙකී සිදුවීමේ සැළකිල්ලට ගත යුතු කරුණ වන්නේ මේ අවිචාරී, වගකීම් විරහිත, අශික්ෂිත දේශපාලනීකරණය වූ මිනීමැරුම්වලින් රටේ ප්‍රතිරූපයට සහ සංචාරක කර්මාන්තයට හානි සිදුවීම පමණක් නොව, එය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පවා බලපා තීබීම” යැයි ලංකාවේ පළවන දිනපතා පුවත්පතක් වන ‘ඩේලි’මිරර්’ සිය කතුවැකියෙන් කියා සිටී. බටහිර සිටින ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ව නොකඩවා හෙළා දකිමින් සිටීම වෙනුවට “නරකම සතුරන් සිටිනුයේ තමන්ගේ වහල යටම බව” ආණ්ඩුව දැනගත යුතු යැයිද එහි සඳහන්වේ.

තම අගමැතිවරයා ලබන නොවැම්බරයේ කොළඹ දී පැවැත්වෙන සමුළුවට සහභාගිවන්නේ ද යන්න ගැන බ්‍රිතාන්‍ය තවමත් තීරණය කර නැත. රැජින එයට සහභාගිවන්නේ නම් එය “විකාර සහගත“ දෙයක් වනු ඇතැයි ඩේවිඩ් මිලිබෑන්ඩ් පවසා ඇත. එහෙත් මම එතැනින් ද මදක් එහාට ගොස් පවසන්නේ රැජින ඊට සහභාගිවන්නේ නම් බ්‍රිතාන්‍ය සංචාරක කුරාම් ෂයික් ඝාතනයේ සැකකාර දේශපාලකයන්ව මුහුණට මුහුණ හමුවීමට ඇයට හැකිවනු ඇති බවය.

එවැනි දර්ශනයක් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සරදමට ලක් කරනු ඇති අතර සහ එහි 60 වසරක ප්‍රගතිය බිඳ දමනු ඇත.

සයිමන් ඩන්ෂුක් | Simon Danczuk

__________________________________________________________________________________________

සයිමන් ඩන්ෂුක් බ්‍රිතාන්‍යයේ රොච්ඩේල් ප්‍රදේශය නියෝජනය කරන, ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. මෙය, ‘The Rochdale Red Cross worker who continues to haunt Sri Lanka‘ මැයෙන් ඔහු විසින් ‘ලියන ලදුව මාර්තු 19 වෙනිදා ‘නිව් ස්ටේට්ස්මන්’ වෙබ් අඩවියෙහි පළ වූ ලිපියේ සිංහල අනුවාදයකි.