Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ආපසු ඒම නොහොත් ශ‍්‍රී ලංකාවේ වත්මන් ඛේදවාචකය

ජායාරූපය: ‘‘කරුනානිධි ඉක්මනට අපායට ගිහින් උඹේ නායක රාමචන්ද්‍රන් හමුවෙයන්’’ – බුද්ධ පුත්‍රයකුගේ වෛරය
ජායාරූපය: ‘‘කරුනානිධි ඉක්මනට අපායට ගිහින් උඹේ නායක රාමචන්ද්‍රන් හමුවෙයන්’’ – බුද්ධ පුත්‍රයකුගේ වෛරය

නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත් කරගෙන ඇති සාපය කුමක් ද? කලක් ක්‍‍්‍රියාකාරීව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (මොන තරම් අඩුපාඩු මැද්දේ වුවත්) මෙවැනි දුක්ඛිත තත්වයකට පත්වුණේ කෙසේ ද?’’

මෙම සටහන් ලියනු ලැබුනේ 21 වන බදාදා අළුයම ය. පැය කිහිපයකින් මානව හිමිකම් කවුන්සිලයෙහි දී ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සාකච්ජාවට ගැනීමට නියමිතව තිබුණි. එහි අනීවාර්ය ප‍්‍රතිපලය වන්නේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත වීම යි. කෙටියෙන්, මේ වනාහී දොළොස් මසක් ඇතුළත දෙවන වතාවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව මානව හිමිකම් නොසළකන රටක් හැටියට පිළිගැනීමකි.

යුද්ධාවසානයෙන් දෙවසරක් යන තුරුම අන්තර් ජාතික වශයෙන් ශ‍්‍රී ලංකාවට මෙතරම් තෙරපුමක් එල්ල වූයේ නැත. තමිල්නාඩු ප‍්‍රාන්තයෙහි පවා මෙම උද්වේගකර තත්ත්වය ඇති වන්නට පටන් ගත්තේ වසරක තරම් කාලයක සිට ය.

හේතුව පැහැදිළි ය. එනම් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව සිව් වසරක් ගත වී තිබියදීත් අපේක්ෂිත පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා මෙන්ම සැබෑ සංහිදියාවක් කරා ගමන් නොකරන බව අන්තර් ජාතික ප‍්‍රජාව විසින් අවබෝධ කරගෙන තිබීම යි.

කවර රටකට වුව එවැනි තත්ත්වයක් ඇති වීම සතුටට කරුණක් විය නොහැක. මෙවර යෝජනාවේ පසු විපරම 2012 යෝජනාවට වඩා සංයුක්ත සහ බරපතලය. පුළුල් අර්ථයෙන් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප‍්‍රජාත්න්ත‍්‍රවාදය තහවුරු කරන්නැයි ඉල්ලා සිටි 2012 මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව නොසළකූ ලංකාණ්ඩුව කටයුතු කළේ ඊට එරෙහිව ය. අගවිනිසුරු දෝශාභියෝගය එම නිශේධාත්මක පිළිවෙතෙහි කූට ප්‍රාප්තිය බවට පත් විය. එපරිද්දෙන් ම මෙම 2013 මාර්තු යෝජනාව ද නොසළකා වත්මන් මර්දනකාරි පාලනයම තවදුරටත් පවත්වා ගෙන ගියහොත් ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ වඩාත් නරක තත්ත්වයකට ය.

ශ‍්‍රී ලංකාව ඛේදජනක තත්ත්වයකට පත්ව ඇත්තේ ජිනීවා නුවර දී පමණක් නොවේ. සමහර විට වඩාත් අහිතකර විය හැක්කේ අසල්වැසි ඉන්දියාවේ දී අප රට මුහුණ දෙමින් සිටින තත්ත්වය යි. යුද්ධයෙන් සිවිවසරක් ගතවීමෙන් පසුත් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට සිය මානව හිමිකම් භුක්ති විදීමට ඉඩක් නැතැයි යන්න දැන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පවා පිළිගෙන තිබේ. දේශපාලන විසඳුමක් ඇති කරන බවට දෙන ලද පොරොන්දු වාෂ්ප බවට පත්ව ගොසිනි. අසල්වැසි තමිල්නාඩු ප‍්‍රාන්තය ශ‍්‍රී ලංකාවේ සතුරු රාජ්‍යක තත්ත්වයට වර්ධනය වෙමින් තිබේ. 1983 දෙමළ විරෝධී කලූ ජූලියෙන් පසුව පවා තමිල්නාඩුවේ දී බෞද්ධ භික්ෂුන්ට පහර කැමට සිදු වූයේ නැත. යුද්ධාවසානයත් සමඟ හිස එසවූ සිංහල බෞද්ධ නාමයෙන් පෙනී සිටින අන්තවාදී පිරිස් අන්තර් ජාතික වශයෙන් ඇති කර ඇත්තේ සිංහල බෞද්ධයා යනු රණකාමී අන්තවාදී පිරිසෙකැයි යන මතයකි.

අද වන විට ඉන්දියාවේ සියළුම දේශපාලන පක්ෂ යුද්ධයේ අවසන් සමයේ දී සිදුවූ බවට චෝදනා කැරෙන දරුණු මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ පිළිගත හැකි සහ ස්වාධීන පරීක්ෂණයක සහ මෙරට දෙමළ ජනයාට ස්ව-පාලනයක අවශ්‍යතාවය පිළිගෙන සිටිති. තමිල්නාඩු ප‍්‍රාන්තයේ සියළුම පක්ෂ යුද්ධය දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක එකක් වී යැයි නිල වශයෙන්ම ප‍්‍රකාශ කරති. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා මහුණ දෙන විෂම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාවෙහි ගොඩනැගෙමින් පවත්නා ඒකාබද්ධ උද්ඝෝෂණය ලෙහෙසියෙන් නතර නොවනු ඇති අතර ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට කෑකෝ ගැසීමෙන් එයට මුහුණ දිය නොහැකි ය.

‘‘කරුනානිධි ඉක්මනට අපායට ගිහින් උඹේ නායක රාමචන්ද්‍රන් හමුවෙයන්’’

ඉන්දියානු තානාපති කාර්යාලය අසළ පවැති එවැනි එක් උද්ඝෝෂණයක සාමනේර හිමිනමක් රැගෙන ගිය පුවරුවේ ලියා තිබුණේ ‘‘කරුනානිධි අපායට ගිහින් උඹේ නායක රාමචන්ද්‍රන් හමුවෙයන්’’ කියා ය. එම්.ජි.ආර්. රාමචන්ද්‍රන් යනු තමිල්නාඩු ප‍්‍රාන්තයෙහි මරණයෙන් පසු අද පවා මහත් පිළිගැනීමක් ඇති දේශපාලනඥයෙකි. ඔහු අපායට ගොස් ඇතැයි මේ බෞද්ධ භික්ෂූන් තීරණය කර ඇත්තේ ඔහු දෙමළ ජාතිකයකු වීම නිසා විය යුතු ය.

යාපනයෙහි දී පසුගිය 18වනදා ආණ්ඩුවේ පිරිස් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන යෝජනාවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කළහ. එයට සහභාගි වන සේ සිරගතව සිට නිදහස ලද එල්ටීටීඊ සාමාජිකයිනට බල කරන ලද බව යාපනයේ සිට ජනමාධ්‍ය වාර්තා කළේ ය. ලංකාවෙහි බීබීසී වාර්තාකරු චාල්ස් හැව්ලන්ඞ් ටුවීට් පණිවිඩයකින් කීයේ එම උද්ඝෝෂනයේ සිංහල කතා කරන බොහෝ දෙනෙකු ද සිවිල් ඇදුමින් සැරසුන හමුදා පිරිස් ද සිටින බව ය. එහි පෙරමුණ ගත්තේ යාපන ශ‍්‍රීලනිප සංවිධායක රාමචන්ද්‍රන් අයිගයියර් ය. එම පෙළපාලියේ කෑ ගැසූ එක් සටන් පාඨයක් වුයේ ඇමෙරිකානු ජනාධිපති ‘‘ඔබාමා – ලේ උරා බොන දුෂ්ඨයා’’ කියා ය. ඊළඟ වතාවේ දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං සම්බන්ධයෙන්ද මෙවැනි අපායට යැවෙන හෝ මිනීමරුවෙකැයි කියන පිරිස් වීදී අරක් ගැනීමට හොඳටම ඉඩ තිබේ.

මේ වනාහී ඛේදවාචකයක ළකුණු නොවේ ද?

අනෙත් අතට රාජ්‍ය අනුග‍්‍රහය ලබන අන්තවාදී කල්ලි විසින් මෙරට මුස්ලිම් ජනයාට කරනු ලබන ප‍්‍රහාරයන් දැන් විවිධ ක්ෂේත‍්‍රයන්ට පැතිර යමින් තිබේ. හලාල් විරෝධි උද්ඝෝෂණය හුදෙක් පුළුල් ප‍්‍රහාරයන් වැළක නිමිත්තක් පමණක් විය. ශ‍්‍රී ලංකාවෙහි වර්ධනය වන මෙම තලේබාන්වාදී බෞද්ධ අන්තවාදය පිටුපස රාජ්‍යයේ හස්තය ඇති බව දැන් ඕනෑවටත් වඩා පැහැදිළිය.

එහි ප‍්‍රතිපලයක් ලෙස මේතාක් ශ‍්‍රී ලංකාවේ මිතුරන් ලෙස සිටි ඉස්ලාමීය රටවල් සිය ආගම ඇදහීමට මෙරට මුස්ලිම් ජනයාට ඇති නිදහස වෙනුවෙන් ඒකාබද්ධ ලිපියක් ලංකාණ්ඩුවට එවූහ. රටවල් 57ක් සහිත එම ඉස්ලාමීය සහයෝගිතාවය සඳහා වන සංවිධානය ශ‍්‍රී ලංකාවේ උත්සන්න වන වාර්ගික අවිශ්වාසයන් ගැන සිය බලවත් සංවේගය පළ කළේ ය. එපමණක් නොව මෙරට අන්තවාදී බෞද්ධ බලවේග විසින් මුස්ලිම් ජනයාට කරනු ලබන තාඩන පීඩන පිලිබඳ සාකච්ජා කැරෙන ලිපි අරාබි රටවල් බොහෝ පුවත් හි පළව තිබේ.

පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවෙහි සිදුව ඇත්තේ මෙරට වාසය කරන වාර්ගික ප‍්‍රජාවන් අතර සමගිය සහ සාමය වෙනුවට වෛරය සහ අසමගිය වර්ධනය වීමය. දිනක් පාසා අසන්නට ලැබෙන්නේ නීතිය සිය අතට ගනිමින් බලහාත්කාරය සිය ආගම බවට හරවා ගත් බල සේනාවන්හි ‘වීර ක‍්‍රියා’ ය. නැත්නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයා මත එල්ල වන විවිධ තෙරපුම් ය. රට සමස්තයක් වශයෙන් මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් සිටින්නේ බහින කලාවක ය.

අන්තර් ජාතික ක්ෂෙත‍්‍රයෙහි පශ්චාත් යුද්ධ ලංකාණ්ඩුව එන්න එන්නම ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලවේගයන්ගෙන් දුරස් වෙමින් අත්තනෝමතික පාලනයන් සමඟ සමීප වෙමින් තිබේ. ලිබියානු ආඥාදායකයා වූ මුවමර් ගාඩාපි සමඟ කරට අත දා ගත් ජනාධිපති රාජපක්ෂගේ ජායාරුපය මෙම යථාර්ථයේ අපුරු සංකේතයකි. වත්මනෙහි ජිනිවා මානව හිමිකම් කොමිසමෙහි ලංකාණ්ඩුවට සහාය පළ කරන රටවල් අතර සිම්බාබ්වේ, ඉරානය, මියන්මාරය, වෙනිසියුලාව, බෙලාරුස්, කිර්ගිස්ථානය, පකිස්ථානය වැනි මානව හිමිකම් කෙළෙසන සහ අත්තනොමතික පාලනයන් ඇති රටවල් තිබීමෙන්ම ද පෙනී යන්නේ අප රට ගමන් කරන දිශාව ය.

යුද්ධය දෙස හැරි බැලීම

අද ශ‍්‍රී ලංකාව මුහුණ දෙන මෙම ජාතික සහ අන්තර් ජාතික ඛේදවාචකය තේරුම් ගැනීමට නම් අඩුම වශයෙන් වසර හතරක් ආපස්සට යා යුතු ය. එනම් යුද්ධාවසානය යි. වත්මන් ශ‍්‍රී ලංකාව තේරුම් ගත හැක්කේ යුද්ධය, යුද්ධ ජයග‍්‍රහණය සහ පශ්චාත් යුද්ධ දේශපාලනය හරහා ය. කෙටියෙන් අද අප ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධය දෙස ය.

ශ‍්‍රී ලංකාන්ඩුව සහ එහි යුද්ධ හමුදා එල්ටීටීඊ ය පරාජය කලේ නෑසූ විරූ මහා යුද්දයකිනි. 1988 -1990 සමයේ ජවිපෙ විසින් නායකත්වය දුන් සාහසික සන්නද්ධ කැරැල්ල පරාජය කිරීමට කරන ලද ජන ඝාතනයන් අපි අපේම ඇස්වලින් දැක්කෙමු. එල්ටීටීඊ කැරැල්ල ජවිපෙ කැරැල්ලට වඩා තියුණූ සහ අතිශයින් සාහසික එකක් විය. එය පරාජය කිරීමට කොපමණ ජන ඝාතනයක් කරන්නට ඇත්දැයි අගතිගාමී නොවී කල්පනා කරන ඕනෑම ලාංකිකයකු තේරුම් ගන්නවා ඇත. එසේ නමුත් එම ජන ඝාතනයන් සම්බන්ධයෙන් මානවීය ප‍්‍රවිශ්ඨයක් ඇති කර ගැනීමට රාජපක්ෂ පාලනය සමත් වුයේ නැත. එය කලේ යුද්ධ ජයග‍්‍රහණය ඥාතිත්වය මත පදනම් වූ සිය බලය තර කර ගැනීමේ මූලොපායක් බවට හරවා ගැනීමයි.

ඒ සඳහා එය ක‍්‍රියා මාර්ග දෙකක් අනුගමනය කරයි. එකක් නම් යුද්ධමය මානසිකත්වයක් ඇති කිරීම පිනිස සමාජ ගත කරන ලද අන්තයට ගිය සිංහල බෞද්ධ දේශපේ‍්‍රමී මතවාදී ආධිපත්‍ය තව දුරටත් වර්ධනය කිරීමයි. අද හතු පිපෙන ගානට බිහිවෙන බල සේනා, රාවන බලය යනාදිය එම මතවාදයේ ප‍්‍රචන්ඩ විකෘතීන් ය.ඒ සියල්ල රාජ්‍යයේ සෙවන යටතේ හැදී වැඩෙයි. ඒවාට මානව හිමිකම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රශ්ණයක් නොවේ. දෙවැනි ක‍්‍රියා මාර්ගය නම් යුද බලය සිය ග‍්‍රහණයට ගනිමින් එය තර කිරීමත් සමාජය මත් යුදවාදී පැවැත්මක් ආරෝපනය කිරීමත් ය.

අන්තර් ජාතික ක්ෂේත‍්‍රයෙහි ලංකාණ්ඩුව මුහුණ දෙන පරාජයන් ජනිත වන්නේ මෙකී දේශීය කූටෝපායේ විපාකයක් ලෙස ය. එබැවින් විසඳුම පවතින්නේ ඔබාමා මිනිරුවෙකැයි කෑ ගැසීම හෝ එම්ජීආර් අපායට යැවීම තුල හෝ නොව ශ‍්‍රී ලංකාව මිනිසත්කමට ගරු කරන සමානත්මතාවය සහ සාධාරනත්වය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශයක් බවට පත් කිරීමෙහි ය.

ජීනීවා නුවරින් තව පැය කිහිපයක් තුළ ලැබෙන්නට නියමිත පණිවිඩය එය යි.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya