Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි

Burka - V

මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී.

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප‍්‍රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක‍්‍රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප‍්‍රකට ව ප‍්‍රචාරය කැරෙයි.

හලාල් සහතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පුළුල් ව කරුණු සොයාබැලීම සඳහා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු හා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් අතර මෑතක දී නාගරික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ඒ එච්. එම්. ෆවුසි විසින් කැඳවන ලද රැස්වීමක දී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුවූ බව දැනගන්නට තිබේ.

අබායා

මුස්ලිම් ප‍්‍රජාව වඩාත් ම කලබලයට පත්කරන්නේ රට තුළ අබායා ඇඳුම හැඳි මුස්ලිම් කාන්තාවන් අරබයා වන සිදුවීම්වල ඉහළ යාමේ තත්ත්වය යි.

මුස්ලිම් ස්ත‍්‍රී ඇඳුම් විලාසයන් අතර ‘හිජාබ්’ නමින් හැඳින්වෙන හිස ආවරණය වන පරිදි පළඳින හිස් රෙදිකඩත්, ‘නිකාබ්’ නමින් හැඳින්වෙන මුහුණ ආවරණය කැරෙන වේලයත්, අරාබි භාෂාවෙන් ‘අබායා’ නමින් ද, උර්දු බසින් ‘බුර්කා’ නමින් ද, පර්ෂියන් බසින් ‘පර්දා’ නමින් ද හැඳින්වෙන මුළු සිරුර ම ආවරණය වන පරිදි පළඳින ලෝගුවත් වෙයි.

සිය සමස්ත මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ කොටසක් වශයෙන්, මේ ආකාරයෙන් සැරසී සිටින බොහෝ මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කරගන්නා ‘‘වර්ගාගමික ෆැසිස්ට්’’ බොදුබල සේනා සංවිධානය ඇතුළු බොහෝ දෙනකු විසින් මෙම ඇඳුම්වල නාමකරණයන් බොහෝවිට ව්‍යාකූල කරගැනීම හෝ එකිනෙක පටලවා ගැනීම සිදුකරනු ලබයි.

මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින අබායා හෝ බුර්කා ඇඳුම්වලට එරෙහිව විෂ සහිත අදහස් ඉදිරිපත් කිරීම, බොදුබල සේනාවේ සභාපති, කිරම විමලජෝති හිමියන්, මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු එහි නායකයන් ගේ ප‍්‍රසිද්ධ කතාවල නිතර එන අංගයකි.

ගෝනිබිල්ලා

මෙවැනි ඇඳුම් අඳින මුස්ලිම් කාන්තාවන්ට මෙලෙස දුෂ්ට ලෙස ප‍්‍රහාර එල්ලකිරීමෙන් විමලජෝති හා ඥානසාර යන හිමිවරු දෙනම ම සිය විනය මූලධර්ම අවඥාවට ලක් කරති. බොදු බල සේනා වේදිකාවල නිරන්තරයෙන් වරනැෙඟන එක් හැඳින්වීමක් වන්නේ ‘ගෝනි බිල්ලා’ යන්න යි. අබායා ඇඳුම ස්ත‍්‍රියක ගේ සම්පූර්ණ ශරීරය ආවරණය කරන බැවින් පොදු ජනයා ගේ පහත් රුචිකත්වයට ආමන්ත‍්‍රණය කිරීමක් ලෙස බොදු බල සේනා කථිකයෝ එය ‘ගෝනිබිල්ලා’ ලෙස හඳුන්වති.

මෙම අපහාසාත්මක කතා, ඇතැම් නොමඟ ගිය සිංහල තරුණයන් මත බලපෑම් ඇතිකිරීම දැනටමත් අරඹා ඇත. අබායා ඇඳුමෙන් පමණක් නොව හිජාබයෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් පවා ඉලක්ක කරගත් ඇනුම්පද සහ ප‍්‍රහාරාත්මක ප‍්‍රකාශයන් සිදුකිරීම පිළිබඳ විසිරුණු සිදුවීම් තිබේ. වීදිවල සරන ගැටවුන් විසින් මෙලෙස සැරසුණු කාන්තාවන් ගේ ඇඳුම් ඔසවා බැලීමට කරන ලද උත්සාහයන් ද ඇතැම් තැන්වල විය. වඩා බරපතල සිදුවීම් ද මෑත කාලයේ ප‍්‍රමාණාත්මක ව වැඩිවීමට පටන්ගෙන ඇත.

මනම්පිටිය

මීට අදාළ ආසන්නතම සිදුවීම, පසුගිය පෙබරවාරියේ සිට වැඩ බාරගත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මනම්පිටිය ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික තැපැල් ස්ථානාධිපතිවරියකට අදාළ ව සිදුවී තිබේ. මාර්තු 16 වැනිදා, සෙනසුරාදා ඇය සේවය නිමවා තැපැල් කන්තෝරුවෙන් පිටවෙමින් සිටින විට ඇය වෙතට ගිය තරුණයන් පිරිසක්, නැවත ‘හිජාබ්’ ඇඳුම නො අඳින ලෙස ඇගෙන් ඉල්ලා තිබේ. ඇය නිරායාසයෙන් ඔවුන් නොතකා හැරියා ය.

මාර්තු 18 වැනිදා, සඳුදා, උදෑසන යතුරු පැදි දෙකකින් පැමිණි තරුණයෝ, ඇගේ හිජාබය ඇදුම ගලවා දැමීමට තැත්කරන විට, තැපැල් ස්ථානාධිපතිවරිය සිටියේ මනම්පිටිය ප‍්‍රධාන මාර්ගය ඔස්සේ තැපැල් කන්තෝරුව වෙත යමිනි. කෙසේ වෙතත් තැපැල් ස්ථානාධිපතිවරිය සිය ඇඟලූම තරයේ අල්වාගෙන සිටියා ය. අවට සිටි ජනතාව එතැනට රැස්වන විට තරුණයින් පලාගොස් තිබේ.

මුස්ලිම් ජාතික තැපැල් ස්ථානාධිපතිවරිය සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ සිටි බැවින් සිය හිජාබය ඇද දැමීමට තැත්කළ තරුණයන්ගේ මුහුණු දැකගත නොහැකි වූ බව ඇය පවසා ඇත.

කොටුව දුම්රිය ස්ථානය

මාර්තු 15 වැනි දා, සිකුරාදා, කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී තවත් සිදුවීමක් සිදුවිය. නීති ශිෂ්‍යාවන් වූ මුස්ලිම් තරුණියන් සිව් දෙනෙක් දුම්රිය ස්ථාන වේදිකාවේ ඇවිදගෙන යමින් සිටිය දී, ඔවුන් වෙත පැමිණි තරුණ දාමරිකයෝ පිරිසක් ඔවුන් වටකොට ගනිමින් සමච්චල් කරන්නට පටන්ගත්හ. ඔවුහු තරුණියන් සියලූ දෙනා හැඳ සිටි අබායා ඇඳුම්වලින් අදින්නට වූහ. සිදුවෙමින් තිබෙන දේ දුටු අවට සිටි අනුකම්පා හිතැති පිරිසක් සිසුවියන් හිරිහැරයෙන් මුදවාගැනීම පිණිස ඉදිරිපත් වූහ.

එක්රැස් වූ පිරිසේ බැන වැදීම් මධ්‍යයේ දාමරිකයෝ ඉක්මනින් පසුබැස ගියහ. දාමරිකයන් පලවාහැරීමට ඉදිරිපත් වූ වැඩිදෙනා මුස්ලිම් නොවන පුද්ගලයන් බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

දික්වැල්ල

මෙයින් සති කිහිපයකට පෙර මාතර දිස්ත‍්‍රික්කයේ සිදු වූ සිදුවීමක දී, මාතර නගරය ආසන්නයේ, මහානාම පාලම අසළ දී, දික්වැල්ලේ පදිංචි පාසල් සිසුවියෝ තිදෙනෙක් ප‍්‍රහාරයට ලක්වූහ. අබායා ඇඳුම්වලින් සැරසී සිටි ශිෂ්‍යාවෝ තිදෙන, මධ්‍යාහ්නයේ මාතර නූපේ ප‍්‍රදේශයේ පැවැති ඒ. ඒ. ටී. පන්තියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියහ. විශාල මුගුරක් ද අතැතිව ඔවුන් ඉදිරියට පැමිණි හොඳින් වැඩුණු හැඩිදැඩි පුද්ගලයෙක්, ඔවුන්ට ‘ගෝනිබිල්ලන්’ය යි කියමින් හිරිහැර කරන්නට පටන්ගත්තේ ය. ඒ සමඟ ම ඔහු සිය අත වූ මුගුරෙන් එක් දැරියක ගේ හිසට පහර දෙන්නට උත්සාහ කළත්, දැරිය වහා ඉවතට පැනීම නිසා පොළු පහර ඇගේ සිරුරේ යන්තම් වැදීමෙන් පමණක් බේරීමට ඇය සමත්වූවා ය. එවර ඔහු වෙනත් දැරිවියක ගේ ඇඳුමෙන් අල්ලා ගැනීමටත්, ඇයට පහර දීමටත් උත්සාහ කළේ ය. ඇය ද සිය හිසේ සුළු තුවාලයක් පමණක් ඇතිව ඔහු ගේ ප‍්‍රහාරය මඟහැරීමට සමත් වූවා ය. තෙවැනි දැරිය ඔහු ගේ ග‍්‍රහණයට හසු නොවී පළාගියා ය.

දැරියන් ගේ කෑ ගෑම හා පැන දිවීම මධ්‍යයේ අවට සිටියෝ එහි එක්රැස් වන්නට වූහ. එක් සිංහල කාන්තාවක් ප‍්‍රහාරකයාට හඬනඟා බැනවදින්නට පටන්ගත්තා ය. මුගුර අතැති මැරයා එතැනින් මඟහැර ගියේ ය. බියට පත් දැරියන් අස්වැසූ සිංහල කාන්තාව, පොලීසියට පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සමඟ එන මෙන් ඔවුන්ට කීවා ය. කෙසේ වෙතත් අනවශ්‍ය ප‍්‍රශ්නවලට මැදිහත්වන්නේය යි ඇයට තරවටු කළ ඇගේ සැමියා ඇය ඉවතට කැඳවාගෙන ගියේ ය.

පැමිණිල්ල

දැරියන් තිදෙනා සිය නිවෙස් බලා ගියත් සිදු වූ දේ ඔවුන්ගේ දෙමාපියන්ට නොපැවසූහ. එනමුදු ඒ පිළිබඳ පුවත ප‍්‍රදේශය පුරා පැතිරගිය අතර, සවස් වනවිට ඔවුන්ගේ දෙමාපියෝ ද ඒ ගැන දැනගත්හ. ඒ පිළිබඳ සැළකිලිමත් වූ පවුලේ අය සිදුවීම පිළිබඳ පොලීසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

සිද්ධිය සිදුවූ ස්ථානයට පොලීසිය පැමිණියේය. මානසික ආබාධයක් සහිත, දුර්වල පෙනුමැති පුද්ගලයෙක් කෝටුවක් අතැතිව එම ස්ථානයේ ගැවසෙමින් සිටිනු දක්නා ලදී. එවිට පොලීසිය ව්‍යංගයෙන් කියා සිටියේ දැරියන්ට පහරදුන්නේ මේ ‘‘උන්මත්තක’’ මිනිසා බව ය. එහෙත් අදාළ පුද්ගලයා මොහු නොවන බව කියා සිටි හිරිහැරයට පත් දැරියන් තිදෙනා පෙන්වා දුන්නේ තමන්ට පහරදුන් පුද්ගලයා කෝටුවක් නොව මුගුරක් අතින් ගත් මනාව වැඩුණු හැඩිදැඩි මිනිසකු බව ය.

එවර පොලීසිය, ප‍්‍රහාරය දුටුවේදැ’යි අවට සිටි ජනයාගෙන් විමසා සිටියේ ය. එවැනි ප‍්‍රහාරයක් නොදුටු බව කී ඔවුහු සියලූ දෙනා, දැරියන් පවසන්නේ සත්‍යයක්දැ යි සැක පහළ කළහ. වර්ගබේදවාදී ඇගවුම් සහිත ප‍්‍රකාශයන්ද එල්ල විණ. ඇසින් දුටු සාක්කිකරුවන් ඉදිරිපත් වී ප‍්‍රහාරකයා හඳුනාගන්නේ නැතිනම් තමන්ට කළහැකි කිසිවක් නැතැයි ඒ අවස්ථාවේ දී පැවසූ පොලීසිය එතැනින් ඉවත් විය.

බොරැල්ල

බොරැල්ලේ රෝහලක දී සිදු වූ සිදුවීමක දී, සිංහල තරුණයෙක් අබායා ඇඳුමකින් සැරසී සිටි මුස්ලිම් කාන්තාවක ගේ පසුපස පෙදෙසට හදිසි පා පහරක් එල්ල කළේ ය. තිගැස්සුණු කාන්තාව තමන්ට පහර දුන්නේ ඇයිදැ’යි ඇසූ කළ, තරුණයා පරුෂ වචන සහිතව වාදයට එළැඹුණේ ය. ඔහු පොදුවේ මුස්ලිම් ජාතිකයන්ටත්, විශේෂයෙන් ‘‘ගෝනිබිල්ලා’’ඇඳුමෙන් සැරසුණු මුස්ලිම් ස්ත‍්‍රීන්ටත් පරිභව කරන්නට විය. කිසිදු ප‍්‍රකෝප කිරීමකින් තොරව ම සිදු වූ මේ ප‍්‍රහාරයෙන්, ඊට මුහුණ පෑ කාන්තාව තෝන්තු වී සිටින අතර (මුස්ලිම් නොවූ) සෙස්සෝ තරුණයාට විරෝධය පාන්නට වූහ. ඔහු එතැනින් ඉවත්ව ගියේ ය.

දෙහිවල

දෙහිවල ප‍්‍රදේශයේ බස් නැවතුමක දී, ‘නිකාබ්’ මුහුණු ආවරණ වේලයක් හැඳි මුස්ලිම් කාන්තාවක් සෙසු මගීන් සමග නවතා තිබූ බසයකට නැඟුණා ය. සිය දරුවා ද සමඟ ඒ වනවිටත් බසයේ අසුන් ගෙන සිටි සිංහල කාන්තාවක් ‘ගෝනිබිල්ලා’ යි කියමින් මුස්ලිම් කාන්තාව වෙතට කෑගසන්නට පටන්ගත්තා ය. එසේ ම ඇය බසයේ කොන්දොස්තරවරයාට කියා සිටියේ, සිය දරුවා ‘ගෝනිබිල්ලාට’ බිය බැවින් තමන්ට මුස්ලිම් කාන්තාවත් සමඟ එක ම බසයේ ගමන් කරන්නට නොහැකි බව යි.

එවර කොන්දොස්තරවරයා මුස්ලිම් කාන්තාවට කියා සිටියේ ඇය සිය මුහුණු ආවරණය ඉවත් නොකරන්නේ නම් ඇයට ටිකට් පතක් නිකුත් නොකරන බව යි. එසේ කිරීම මුස්ලිම් කාන්තාව ප‍්‍රතික්ෂේප කළවිට, ඇයට වෙනත් බසයක නැඟීයන්නැ’යි දැන්විණි. සෙසු බොහෝ මගීන් ද ඇයට එදිරිව සිටිනු පෙනිණි. එබැවින් බසයෙන් බැසගත් මුස්ලිම් කාන්තාව ත‍්‍රී රෝද රියකට නැඟුණා ය.

තිහාරිය

යම් තරමකින් මෙයට සමාන, එහෙත් වඩා සෝපහාසය මුසු සිද්ධියක දී, අබායා ඇඳුම්වලින් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ තිදෙනෙක් තිහාරියේ දී බසයකට නැඟුණාහ. එවිට බසයේ සිටි මගීන් පිරිසක් ‘‘මේක හරාම් බසයක්. ඇයි හලාල් බසයකින් නොයන්නේ’’ය යි කියමින් ඔවුන්ට විහිළු තහලූ කරන්නට වූහ. සැළකිය යුතු වේලාවක් මුස්ලිම් කාන්තාවෝ යම් දරුණු නොවූ මෙබඳු විහිළු තහළුවලට ඉලක්ක වූහ. එහෙත් අවම වශයෙන් දෙහිවල දී සිදු වුණාක් මෙන් ඔවුන්ට මුහුණු ආවරණ ඉවත්කරන්නට හෝ බසයෙන් බැසයන්නට හෝ බලකැරුණේ නැත.

කොටහේන

කොටහේනේ දී සිදුවූ සිදුවීමක දී, අබායා ඇඳුමකින් සැරසුණු මුස්ලිම් තරුණියක පදික වේදිකාවේ ගමන් කරමින් සිටිය දී, යතුරුපැදියකින් පැමිණි අයෙක් ඇය අසල යතුරුපැදිය නවතා ඇගේ ඇඟට කෙල ගැසී ය. ඊළඟට අසභ්‍ය වදනින් කෑගැසූ ඔහු, තිගැස්සී සිටි තරුණිය ගේ ඇඟට යළිත් කෙල ගැසුවේ ය. අනතුරුව ඔහු වේගයෙන් ඉවත ඇදිණි. තරුණිය ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලනඥයකුගේ ලේලිය යි. ඇය මේ කෙල ගැසීමේ සිද්ධියට මුහුණ පෑවේ ඒ ඥාතීත්වය හේතුවෙන් නොව, අබායා ඇඳුමින් සැරසී සිටි බැවිනි.

ස්වයංසිද්ධ සිදුවීම්

මේ මුස්ලිම් කාන්තාවන් සම්බන්ධ සිදුවීම්වලින් කිහිපයක් පමණි. අබායා ඇඳුමින් සැරසුණු හෝ හිජාබ් හෝ නිකාබ් පළඳින මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන්ගේ බියජනක තත්ත්වය වන්නේ, මේ ප‍්‍රහාරයන්ගෙන් බොහොමයක් කලින් සැලසුම්කර හෝ පූර්ව සූදානමක් සහිතව සිදුකරන ඒවා නොව හදිසි පෙළඹවීම් මත සිදුවන ඒවා බව පෙනී යාම යි. අපරාධකරුවෝ කිසිදු සංවිධානයක නියෝග මත නොව, තමන් විසින් ම ස්වාධීන ව කි‍්‍රයාත්මක වන්නෝ බව පෙනෙන්නට තිබේ.

බොහෝවිට නීතිගරුක, ඉවසිලිවන්ත, විනීත පුරවැසියන් වන සාමාන්‍ය මිනිසුන්, අබායා වස්ත‍්‍ර ඇඳි මුස්ලිම් කාන්තාවන්ට එරෙහි එදිරිවාදී ප‍්‍රහාරයන්ට එම කාන්තාවන්ගේ කිසිදු ප‍්‍රකෝපකිරීමකින් තොරවම හදිසියේ සම්බන්ධවෙමින් සිටිති. අබායා ඇඳුමක් ඇඳි මුස්ලිම් කාන්තාවක හෝ තරුණියකගේ දසුන පවා, ගොන් පොර සටනේ දී ගවයාට රතු රෙදිකඩ මෙන් සමහරුන්ට කුපිත කිරීමේ නිමිත්තක් වී ඇතිබව පෙනේ.

මොළ සේදිල්ල

අබායා ඇඳුම් හැඳි මුස්ලිම් කාන්තාවන් අරබයා බොදු බල සේනා භික්ෂූන් විසින් දිගින් දිගට ම යොදන ‘‘ගෝනි බිල්ලා’’ නම් පරිභවාත්මක යෙදුම ක‍්‍රම ක‍්‍රමයෙන් සිංහල සමාජයේ බහුවිධ ස්ථරයන් තුළ බලපෑම් ඇතිකරමින් තිබේ. අබායා වස්ත‍්‍රයෙන් සැදි මුස්ලිම් කාන්තාවන් යම්කිසි නපුරක් හා භයානක දෙයක් ලෙසට දැනවීම උදෙසා, පහසුවෙන් බලපෑමට ලක්කළ හැකි මනස් ‘‘මොල සේදීමකට’’ ලක්කැරෙමින් තිබේ.

බොදු බල සේනා තමන් ‘‘අවිහිංසාවාදී’’ ව්‍යාපාරයක් බවට කියාපානු ඇති නමුත්, ඔවුන් සිය කතාවලින් හා ලියවිලිවලින් විදහා දක්වන වෛරී සහගත බව මහා පරිමානයෙන් ප‍්‍රචණ්ඩත්වය නැඟී ආ හැකි තැන්වල දී එදිරිවාදී වාතාවරණයක් ප‍්‍රවර්ධනය කරයි.

‘‘හලාල්’’ ‘‘හරාම්’’
ලෙස

ජාතික හෙළ උරුමයත් ඇතුළත් බොදු බල සේනාවේ හා එහි සහචරයන් ගේ දුෂ්ට මුස්ලිම් විරෝධී ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව තුළ අනිසි මුස්ලිම් විරෝධී පරිසරයක් ඇතිකිරීමට උදව් කරයි. ‘‘හලාල්’’ සහතික ක‍්‍රියාවලිය පිළිබඳ විකෘති කිරීම් සහ සිතාමතා කරන ලද වැරදි අර්ථ කථනයන්, හලාල් රකුසකු නිර්මාණය කරන ලදී. ‘‘දේශපාලන බුදුදහම’’ විසින් ‘‘හලාල්’’ නම් වදන නිෂේධ අරුත් ගැන්වීමක් ඇති එකක් ලෙස නිරූපනය කරමින් තිබීම කෲර සරදමකි. ‘‘හලාල්’’ යන්න ‘‘හරාම්’’ දෙයක් ලෙස පහසුවෙන් රැවටිය හැකි ශ‍්‍රාවක ගණයාට පැහැදිළිකර දී ඇත.

බහුතර ප‍්‍රජාව අතර මේ මොහොතේ පැතිරෙමින් පවත්නා හලාල් හෙලාදැකීමේ මානසිකත්වය විදහා දැක්වීමට මෑතකාලීන සිදුවීම් දෙකක් උදව් වනවා ඇත.

කල්එළිය

කල්එළියේ තරුණ කණ්ඩායමක් මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන යන පාවහන් වෙළෙඳසලකට ගියහ. එහි විකිණීමට තබා ඇති සපත්තු සෙරෙප්පු ‘‘හලාල්’’ නිෂ්පාදනදැ’යි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. පැය ගණනක් තිස්සේ මහත් කලකෝලහාලයක් නිර්මාණය විය. සියල්ල ‘‘හලාල්’’ භූතයා නිසාවෙනි.

කොළඹ 7

දෙවැනි සිද්ධියේ දී කොළඹ හතේ නමගිය ප‍්‍රාථමික පාසලක සිසුවෙක් සිය මුස්ලිම් පන්ති සගයකුගෙන් වතුර ඉල්ලා සිටියේ ය. මුස්ලිම් මිතුරා වහා සිය වතුර බෝතලය ඔහුට දුන්නේ ය. සිංහල සිසුවා වතුර බීමට හදන විට ම ඔහු ගේ වෙනත් සිංහල පන්ති සගයෙක් මෙසේ කීවේ ය.

‘‘බොන්න එපා ඒක හලාල් වතුර’’

පන්ති සගයන් තිදෙනා ම 8 – 9 වයස් කාණ්ඩවල ය.

ඝට්ටනය

සිංහල සිසුන් බහුතරය ද, මුස්ලිම් සිසුන් සුළුතරය ද වන ග‍්‍රාමීය හා අර්ධ නාගරික පාසල්වල මෙවැනි ඝට්ටනයන්ට අදාළ සිදුවීම් කොතෙකුත් තිබේ. කණගාටුදායක ලෙස මුස්ලිම් කි‍්‍රයාපිළිවෙත්වල හා විශ්වාසයන් හි අක්ෂාවේසය පිළිබඳ බොදු බල සේනාව විසින් දැඩිව හසුරුවන ලද පූර්ව විනිශ්චයන් නිසා ඇතැම් ගුරුවරු පවා මෙම ඝට්ටනයන්ට දායක වෙති.

නොදැක්කා සේ සිටීමේ හා බලය දීමේ සිය ක‍්‍රියාවන් ඔස්සේ රාජපක්ෂ රෙජීමය ප‍්‍රසිද්ධියේත්, අප‍්‍රසිද්ධියේත් බොදු බල සේනා ධෛර්යමත් කරමින් සිටී. යම් හේතූන් මත ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය මුස්ලිම් විරෝධී සිද්ධීන් පිළිබඳ වාර්තාවන් පොදුවේ නොතකා හරිමින් සිටී. අවම වශයෙන් පාරාදීස දූපතේ සියල්ල යහපත්ය’යි ප‍්‍රක්ෂේපනය කොට පෙන්වීමේ උත්සාහයන් තිබියදීත් බාහිර මුහුණතට යටින් ආතතීන් කැකෑරෙයි.

ෆැසිස්ට්වාදය

සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවයේ ම අතිමහත් බහුතරය බොදු බල සේනා ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් අසතුටින්ද, ඒවා ගැන අනුමැතියක් නැතිවද සිටිති. එහෙත් විවිධාකාර හේතූන් නිසා තවමත් ඔවුහු සරුව වැඞී එන ෆැසිස්ට්වාදය හමුවේ නිහඬව සිටිති.

පරීක්ෂාකාරී නොවුණහොත් හා මුළිනුපුටා නොදැමුවහොත් නිසැකව ම ශ‍්‍රී ලංකාව අවුල් ජාලයක හා විනාශයක ගිල්වන, උග‍්‍ර විෂසහිත වර්ගාගමික ෆැසිස්ට්වාදී රාක්ෂයාගේ වර්ධනයට, සිය නිශ්ශබ්දතාව හා නිශ්ක‍්‍රියත්වය මඟින් ඔවුහු වක‍්‍ර අනුමැතිය දෙමින් සිටිති.

ඩී.බී.එස්. ජෙයරාජ් | D.B.S.jeyaraj
__________________________________________________________________________________________

ඩීබීඑස් ජයරාජ් විසින් 2013 මාර්තු 21 වෙනිදා dbsjeyaraj.com වෙබ් අඩවියට “Goni Billa” Hate Speeches of Bodhu Bala Sena Cause Rise in Attacks on Muslim Women in “Abaya” Attire මැයෙන් ලද ලිපියේ සිංහල අනුවාදයයි.

[Image Credit: http://www.asianews.it/news-en/Muslim-women-can-move-forwards-wearing-the-veil-17797.html]