Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘‘උන්’’ මා වෙත එනබව මම දනිමි.

[දේශප‍්‍රත්‍යාවර්ථනයේ හරස්කඩක්…..
]

බෙන් ඩෝර්ටි විසිනි

[ශ‍්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් පෙරළා සියරට එවීමේ බෝට්ටු නවතා ඇතත් මෙළෙස බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරක පවතින බවයි.]

Megaraj Suresh, onthe beach in Batticaloa, says trying to come to Australia was his worst mistake. Photo: Ben Doherty Read more: http://www.smh.com.au/world/i-know-they-will-come-for-me-20130320-2gfoj.html#ixzz2PxK89XyK
Megaraj Suresh, onthe beach in Batticaloa, says trying to come to Australia was his worst mistake. Photo: Ben Doherty
Read more: http://www.smh.com.au/world/i-know-they-will-come-for-me-20130320-2gfoj.html#ixzz2PxK89XyK

යම් තාක් පැකිලීමකින් ඉක්බිති, පිළිසකර කෙරෙමින් පවතින හින්දු දෙවොලක පිටත්තර හමුවන්නට මෙගාරාජ් සුරේෂ් එකඟ විය. ඉදින් අපි, කිසිවකු හෝ පැමිණෙන්නේ නම් පෙනෙන පරිදි පිටතට දෑස් යොමුකර, වැලි තලාවේ කෙළවරක වූ නුග රුක් සෙවනැල්ල යට, එහි කඳට පිට දී ඉඳගනිමු.

සුපරීක්ෂාකාරී ඔහු යතුරුපැදි හෙල්මටය නො ගලවයි. ‘ඈත ඉඳල බැලූවට ඒ මං කියල උන්ට පේන්නෑ.’

ගෙවී යන මොහොතේ, ඔහුගේ අතිමහත් කනස්සල්ල ‘‘උන්’’ වන මුත් ‘‘උන්’’ කවුරුන්දැයි ටක්කෙටම කීමටවත් ‘‘උන්’’ ඔහු වෙත එළඹෙන්නේ කවර මොහොතකදැයි කීමටවත් ඔහු නො දනී. ‘‘මේ බය හින්ද ම රෑට නින්ද යන්නෑ: මං දන්නවා උන් එනවා: ඒක සුදු වෑන් එකක් වෙන්න පුළුවන්: ආණ්ඩුවෙ මිනිස්සු නැත්තං පැරා-මිලිටරි : මං දන්නෑ කවුද කියල: නමුත් මං අතුරුදහන් වෙන්නයි යන්නෙ: කිසිදාක මගේ සිරුරවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ.’’

සුරේෂ්, ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනිදා , ස්ව අකමැත්තෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ සිට පෙරළා ශ‍්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු තරයේ ම කියා සිටින්නේ, දේශපාලන රැකවරණය වෙනුවෙන් ඔහු කරන ලද ඉල්ලීමට නිසියාකාර ලෙස ඇහුම්කන් නුදුන් බවත්, ඒ සදහා ඔහු මුහුණදුන් එකම සම්මුඛ පරීක්ෂණයේදී ඔහුගේ දේශපාලන පසුබිම මුළුමනින් ම නො සළකා හැරි බවත් ය. තමන් දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නේ, විපක්ෂයේ දේශපාලන පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් තමන්ගේ ජීවිතයට එල්ලවුණු තර්ජන මඟහැරීමට බව තමා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට කියා සිටි බව ඔහු පවසයි.

මඩකලපුව නම් වන දෙමළ බහුතරයකින් යුත්, දුප්පත්, නැගෙණහිර වෙරළාසන්න නගරයට ඔහුගේ පුනරාගමනය සිදුවී දැන් තුන් මසකි. ඕස්ටේ‍්‍රලියාවට ගොඩබසිනු පිණිස ගොඩගැසූ අතිමහත් ණය කන්දරාව ගෙවා ගන්නට රස්සාවක් සොයාගනු නොහැකිව සිටිය ද, මෙම යාත‍්‍රා ගමන පිළියෙල කළ ඒජන්තයා සල්ලි ඉල්ලා ඔහුට බලපෑම් කරයි.

සිය නික්මයාමට පෙර ඔහුට රස්සාවක් තිබුණද, දේශපාගන රැකවරණ පැතූ ‘‘අසමර්ථයකු’’ බවට පත්වීමේ හංවඩුව හේතුවෙන් දැන් කුලියක් මලියක් වත් නොලැබේ. ඔහුගේ දරුවෝ පවා පාසලේදී හිරිහැර විඳිති.

එහෙත් සියල්ලටම ඉහළින් පවතින්නේ, සිය ජීවිතය පැහැර ගන්නට ‘‘උන්’’ තමන් කරා එළඹෙනු ඇති බවට පවතින භීතියයි. යළි පැමිණී දා සිට සුරේෂ්, මිතුරන්ගේ නිවෙස්වල නවතිමින්, ඥාතීන් හා රැඳෙමින් හෝ කෝවිල්වල නිදා ගනිමින් නම වතාවක් තැනින් තැන ගොස් ඇතත් කිසිවිටෙක ඒ එක තැනක දෙතුන් දවසකට වඩා ගතකර නැත. ඔහු සිය දුරකථනයට ප‍්‍රතිචාර දක්වන්නේ හෝ රෑට තනිවම එළියට බසින්නේ නැත.

‘‘මං දන්නවා, උන් මාව කම්මුතු කරනවා. ඒත් මගේ බිරිඳයි, දරුවොයි කරදරයක් නැතුව ජීවත් විය යුතුයි. මං හින්දා ඒගොල්ලන්ටත් ආරක්ෂාවක් නෑ.’’

පශ්චාත් යුද කාලීන ශ‍්‍රී ලංකාව තුළ පැහැර ගනු ලැබීම වනාහී සුලබ ව පවතින භීතියකි. අංක තහඩු රහිත සුදුවෑන් රථ විසින් ආණ්ඩුවේ දේශපාලන එදිරිවාදීන් මහමඟදී ඩැහැගනු ලැබෙන ‘‘සුදුවෑන්’’ අතුරුදහන්වීම්වලට රට අතිශයින් කුප‍්‍රකට ය.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ම කොටසක් වන ‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’ පුරවැසි ජනමාධ්‍යය ආයතනය, 2012 මුල් භාගයේ පමණක්, ප‍්‍රසිද්ධියේ වාර්තාවුණු අතුරුදහන් කිරීම් 57ක් ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරයි. මෙම පැහැරගැනීම් වලට ලක්වූවන්ගෙන් අති බහුතරය නැවත දකින්නට ලැබුණේ නැත.

මෙම බිල්ලන් වනාහී නිල ඇඳුම් විරහිත සොල්දාදුවන් බව පොලීසිය විසින් අවම වශයෙන් එක් සිද්ධියකදීවත් තහවුරු කළ ද, එයද නො සළකමින් ශ‍්‍රී ලංකා රජය මෙහි වගකීම ප‍්‍රතික්ෂේප කරයි. අන්තර්ජාතික ප‍්‍රජාව, රජයේ මෙම ප‍්‍රතික්ෂේප කිරීම් ඒත්තු ගනු ලැබුවේ ද, පිළිගනු ලබන්නේ ද නැත. ‘‘අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම්, සාපරාධී ඝාතනයන් ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් නො නැවතීම සිදුවන්නේ යැ’’ යි ඉකුත් වසරේ එක්සත් ජනපදය පැවසී ය.

‘‘පොලීසිය හා ආරක්ෂක හමුදා විසින් සිදුකරනු ලබන අපයෝජන, වධහිංසා හෝ අනිසි ක‍්‍රියාවන්ට අදාල සියලූම සිදුවීම්….(හා)…පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම්වලට අදාල සියලූ සිදුවීම්….. අවම කිරීම හා තුරන් කිරීම සදහා වහාම පියවර ගත යුතු බව’’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉතා විධිමත්ව ශ‍්‍රී ලංකාවට පැවසූ බව දැක්වූ ඕස්ටේ‍්‍රලියාව, ශ‍්‍රී ලංකාවේ පවතින ‘‘දේශපාලනිකව පොළඹවන හිංසාවන්ගේ බරපතල අවදානම’’ ගැන තම පුරවැසියන්ට අනතුරු ඇඟවීය.

ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයට මෙගාරාජ් මුලින් ම හමුවූයේ ඉකුත් වසරේ දෙසැම්බරයේ මුල, යළි හරවා එවනු ලදුව, සිව්දිනක් රඳවා ගැනුණු මීගමුව බන්ධනාගාරයෙන් ඔහු මුදාහැරුණු පසුව ය.

දේශපාලන රැකවරණ ඉල්ලීමෙන් අනතුරුව, ඔවුන් චෝදනා කරන පරිදි එය නිසියාකාරව තක්සේරු නොකොට, අභියාචනය පිණිසවත් නිසියාකාර මඟක් නැති එක ම එක කෙටි සම්මුඛ පරීක්ෂණයක් පමණක් බලහත්කාරීව පිටුවහල් කිරීමට පෙර දෙනු ලැබ, දෙරටෙහි ම බරපතල අවධානයක් ඇතිකරමින් ඕස්ටේ‍්‍රලියවේ සිට අකමැත්තෙන් හැරී ආපසු ඒමට සිදුවූ 50දෙනකු – 38ක් වූ ද්‍රවිඩයන් සහ 12ක් වූ සිංහලයන් – අතර ඔහු ද සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ඒ අවස්ථාවේ පෙරළා සියරට යැවීමේ ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රතිපත්තිය ගැන පැවසූයේ : ‘‘අප ඕස්ටේ‍්‍රලියානු ආණ්ඩුව හමුවේ මතුකළ අන්දමට ම, පවත්නා ක‍්‍රියාපටිපාටිය, සාධාරණත්වය හා නිරවද්‍යතාව යන විෂයයන් දෙකටම බරපතල ප‍්‍රශ්න මතුකරන්නේ ය’’ යනුවෙනි.

යළි හරී ආ ද්‍රවිඩයන් 38 දෙනාගෙන් අඩකට වඩා පිරිස මඩකලපුවාසීන් ය. යළි හරවා එවන ලද්දවුන් හය දෙනෙකු සමග වෙන් වෙන් ව කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකින් ඉක්බිති ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයට දැනගන්නට ලැබුණේ මෙසේ හරවා එවූ මඩකලපුවාසීන්ගෙන් වැඩිදෙනා ඉකුත් වසරේ පැවති පළාත්සභා මැතිවරණය අතරතුර විපක්ෂ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් ලෙස කටයුතු කළ බවයි.

ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය අඩුවී තිබියදීත් ඒ සැප්තැම්බරයේ, ශ‍්‍රී ලංකාවේ මධ්‍යම ආණ්ඩුව හසුරුවන, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන සභාගය පැරදවූ එකම දිස්ත‍්‍රික්කය වූ මඩකලපුවේ ආසන 11න් 6ක් දිනා ගැනීමට දෙමළ ජාතික සංන්ධානයට හැකිවිය. මේ ප‍්‍රතිඵලයේ අරුත වූයේ නැගෙණහිර පළාත් සභාවේ පාලන බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි වීම යි.

ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට සහ ක‍්‍රියාකාරීන්ට ස්ථිර ලෙසම තර්ජනය කරනු ලැබීම් ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනයන් සහ මැතිවරණයට සම්බන්ද ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබද 300කට අධික පැමිණිලි, ඡන්ද සමය තුළ විය. ‘‘අවි ආයුද අතැතිව මහ රෑ උන් ඇවිත් මට කිව්වා, ටීඑන්ඒ එකට වැඩ කරන එක නවත්තල දාපන් කියලා; ඒක නවත්තන්නෙ නැත්නම් මාව අතුරුදහන්වීමට ඉඩ තියෙන බව උන් කිව්වා.’’ යළි හරවා එවන ලද්දකු වන මතී කියයි. ‘‘උන් මගෙ ජීවිතයටත්, මගේ පවුලෙ උදවියටත් තර්ජනය කළා.’’

පක්ෂයට කළ සේවය පිළිබඳව, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ සවිස්තරාත්මක ලියුම් අතැතිව ඕස්ටේ‍්‍රලියාවට ගොස් තිබුණ මතී සහ අනෙක් අය ස්ථිර ලෙසම කියා සිටින්නේ, ඕස්ටේ‍්‍රලියාවට යන බෝට්ටු වලට තමන් ගොඩවූයේ දේශපාලන හිංසාවන්ගෙන් බේරී පළායාමට මිස ආර්ථික වරප‍්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවයි.

‘‘ඔවුන් පිටුවහල් කර එවූ සමහර කෙනෙක් තමන්ගෙ පවුල් සඳහා සල්ලි හම්බකරන්න රස්සාවල් වලට ගියාට, අපි වැඩිදෙනෙක් රටින් පිටවුණේ අපේ ආරක්ෂාවට, අපේ ජීවිත බේරගන්න.’’ හරවා එවන ලද්දකු වන කූගන් කියයි.


‘‘වෙන හේතුවක් නෑ – මං ගියේ මගේ ජීවිතයට තර්ජන තිබුණු හින්දා. මං තාමත් ඉන්නෙ හරිම තිගැස්මකින්.’’
මතී පවසයි.

ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයට කතා කළ සියල්ලන්ම පැවසූයේ හරවා එවීමෙන් පසු, වැඩිදුර විමර්ෂණ සඳහා ශ‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තමන් සොයා පැමිණි බව ය. එපමණක් නොව හඳුනා නොගත්තවුන් විසින් රාත‍්‍රියේ ඔවුන්ගේ නිවෙස් වලට බලහත්කාරයෙන් ඇතුළුව ඔවුන්ට තර්ජනය කළ බවත්, දේශපාලන ක‍්‍රියාකරකම්වල දිගටම නියැලූණහොත් ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට කරදරවලට මුහුණපාන්නට සිදුවනු ඇතිබව එම සන්නද්ධ පිරිස් පැවසූ බවත් ඔවුහු කීහ.

මඩකලපුවේ පුද්ගලයන් බන්ධනාගාරයෙන් පිටවී ඇත්තේ පුද්ගලික ඇප මත වන අතර, දෙ මසක් ඇතුළත පැවැත්වීමට නියමිත මීළග නඩුවාරයේදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොවුණහොත් ඒ වෙනුවට එම පවුල් සාමාජිකයා සිරගත කිරීමේ හැකියාවක් පවතී.

මඩකලපුවෙන් වෙනත් නගරයකට ගොස් සිටින විසිහත් හැවිරිදි රාජේෂ්, ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයට පැවසූයේ, ඔහුගේ මෙම නඩුව නොවන්නට, ඔහු මේ වන විටත් අනිවාර්යයෙන් ම නැවත වතාවක් ශ‍්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවයි.


‘‘මගේ පුද්ගලික ඇපකාරයා මගේ තාත්තා නොවුණනම්, මං මේ වෙනකොටත් ගිහිල්ලා. මේ නඩුව ඉවර වුණු ගමන් ම, මං ආයෙ යන්න බලනවා, පුළුවං ඕන විදිහකට, ඕන රටකට, මොකද මට මෙහෙ ජීවත් වෙන් බෑ.’’
ඔහු කියයි.

විශේෂයෙන්ම ආණ්ඩුවට විරුද්ධවූවන් වුවත්, දේශපාලන රැකවරණ පතා ගොස් යළි සිය රට ඒමට සිදුවූවන්ට, කුමන හෝ හිංසාවකට මුහුණදීමට සිදුවෙතැයි යන්න ශ‍්‍රී ලංකා ආණ්ඩුව තරයේ ප‍්‍රතික්ෂේප කරයි.

බියගැන්වීම් ඇති බවට නැගෙන චෝදනා දේශපාලන අභිමතාර්ථ උදෙසා ගොඩනැංවී ඇති බවත්, නීතිවිරෝධී සංක‍්‍රමණයන්ට අදාල චෝදනා අධිකරණය විසින් ක‍්‍රමාණුකූලව ඉවත්කරමින් යන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

‘‘ආපහු එන අය කිසිම ප‍්‍රශ්නෙකට මුහුණ දෙන්නේ නෑ. ප‍්‍රතිවිපාක කිසිවක් නෑ’’ ඔහු කියයි. ‘‘නීත්‍යානුකූල නොවන ලෙස රටින් පිටවන අය සදහා ඇතැම් නෛතික ප්‍රතිවිපාක පවතින බව ව්‍යවස්ථාවෙන් කියැවෙන නමුත් අපි ඒව බොහෝදුරට ලිහිල් කරල තියෙන්නෙ. හැමෝම මහේස්ත‍්‍රාත්වරයෙක් හමුවේ පෙනී සිටිය යුතු වන නමුත් බොහෝ අයට සමාව ලැබෙනවා; මෙය දෙරට අතර පවතින එකඟතාවක්.’’

ඕස්ටේ‍්‍රලියාව පවා පවසන්නේ හරවා යවන ලද සියල්ලන්, තම තමන්ගේ රටවල නිරුපද්‍රිතව සිටින බවයි. ආගමන දෙපාර්තුමේන්තුවේ ප‍්‍රකාශකයකු පවසන්නේ කොයි ආකාරයක හෝ හිංසාවක් සිදුවී තිබෙන බවට විශ්වාසයක් ඇත්නම් කිසිවකු යළි හරවා යවන්නේ නැති බවයි.


‘‘කොළඹ, ඕස්ටේ‍්‍රලියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් පෙන්වා දෙන්නේ, ආපසු හරවා එවන ලද්දන් ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හිංසාවන්ට ලක්වන බවට සාක්ෂි නොමැති බවයි.’’

ඔවුන්ට ඕස්ටේ‍්‍රලියාවේ රැකවරණය අත්‍යවශ්‍ය වන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීම සදහා ඕස්ටේ‍්‍රලියාවට කෙරෙන, සියලූ ‘‘වෙරළබඩ අවිධිමත් සම්ප‍්‍රාප්තීන්’’ තනි තනි පරීක්ෂාවට ලක්කෙරෙයි.

පළමු සම්මුඛ පරීක්ෂණයෙන් නිර්ණය කෙරෙන්නේ, දේශපාලන රැකවරණ පතන්නාගේ අනන්‍යතාවත්, ඉපදුණු රටෙන් පිටවීයාමට ඇති හේතුවත්, ඕස්ටේ‍්‍රලියාවටම ඒමට හේතුවත් ය. මෙම සම්මුඛ පරීක්ෂණය පදනම් කර ගනිමින්, ඉදිරි රැකවරණ ක‍්‍රියාවලියට ‘‘ඇතුළත්’’ හෝ ‘‘ඇතුළත් නොවේ’’ යන්න ප‍්‍රකාශයට පත් කෙරෙයි.

දැනට, ශ‍්‍රී ලංකාවෙන් බෝට්ටු පිටවීයාම නතර වී ඇත. ගිය වසරේ ශ‍්‍රී ලාංකිකයන් 6428 දෙනෙක් දේශපාලන රැකවරණ පතා ඕස්ටේ‍්‍රලියානු වෙරළ තීරයට ගොඩ බැස ඇත්තාහ. මේ වසරේ මෙතෙක් සිටින්නේ 45 දෙනෙකු පමණි.

ඕස්ටේ‍්‍රලියානු රජය විසින් ශ‍්‍රී ලංකාව හරහා ක‍්‍රියාත්මක කරන අතිවිශාල මහජන දැනුවත් කිරීමේ ප‍්‍රයත්නය පළදරා ඇති බව පෙනී යයි.

ඉංගී‍්‍රසි, සිංහල, හා ද්‍රවිඩ භාෂීය පුවත්පත්වල ආවරණයන් ඇදගත් ඇමැතිවරුන්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ සංචාර විසිනුත්, පුන පුනා අනතුරු අඟවමින් තිබුණු ‘‘ගොඩබසින විටම හිමිවන වීසා නැත…. වේගවත් ප‍්‍රතිඵල නැත….. සහ විශේෂ සංග‍්‍රහ නැත….’’ වැනි පාඨ ඇතුළත් වේගවත් ප‍්‍රතිඵල අත්පත් කර දෙන ප‍්‍රචාරක වැඩපිළිවලත්, අවසානයේ බලපෑමක් ඇතිකර තිබෙන බව පෙනේ.

නමුත් කාලගුණය බඳු අනෙකුත් සාධකද මීට බලපා ඇත. ශ‍්‍රී ලංකාවෙන් එපිටට හමායන සුළඟ දැන් බෝට්ටු දියත් කිරීම අතිෂයින් දුෂ්කර කරවන අතර, ක‍්‍රිස්මස් දූපතින් ඉවතට ඇදී එන මෝසම් ’’රළ පහරින්‘‘ මූදු ගමනේ අනෙක් අන්තය, විශේෂයෙන් ම භයංකර කරයි.

මිනිස් ජාවාරමේ යෙදෙන කූඨ ව්‍යාපාරික ලොක්කන් අත් අඩංගුවට ගැනීම හා උත්සන්න වූ නාවුක තහනම නිසා ”ඔවුන්ගේ නීතිවිරෝධී වෙළඳාමේ” කොඳු නාරටිය බිඳ ඇති බව ශ‍්‍රී ලංකා රජය විශ්වාස කරයි.

”මිනිස්සු ඉතා කඩිනමින් හරවා එවීම සඳහා ඕස්ටේ‍්‍රලියාව ඉතා නිවැරදි තීන්දුවක් ගෙන තිබෙනවා. ඔවුන්ව පිළිගැනීම විසින් සිදුවෙන්නෙ වැරදි පණිවුඩයක් නිකුත්කිරීම හා මෙවන් අවදානම් සහගත ගමනක් යාමට ජනයා උනන්දු කරවීම යි.’’ රඹුක්වැල්ල පවසයි.

එහෙත් ධෛර්යසම්පන්නව ඕස්ටේ‍්‍රලියානු ගමනේ යෙදී, යන්තම් සති කිහිපයක් ඇවෑමෙන් ආපසු ශ‍්‍රී ලංකාවට සේන්දු වෙමින් සිටින්නන්, තුමූ ම ඇතැම්විට මහා අධෛර්යය කිරීම ලෙස හැසිරෙනවා වන්නට ද පුළුවන.

අගෝස්තුවේදී, අක්වෙරළ ක‍්‍රියාපටිපාටිය යළි ඇරඹීමෙන් ඉක්බිති නැවත පදිංචිකිරීමේ පිහිටාධාරයකින් තොරවම, 936ක් දෙනෙක් ශ‍්‍රී ලංකාවට යළි හරවා එවනු ලැබ තිබේ. ඉන් 735ක් ස්ව කැමැත්තට විරුද්ධව හරවා එව්වෝ වෙති.

හැරී ආපසු පැමිණි දේශපාලන රැකවරණ පැතූවන් පවසන්නේ, ඔවුන්ගේ ප‍්‍රජාවන්, ඔවුන්ගේම පවුල්වල අය විසින් පවා, ඔවුන් ‘‘කිසි කමකට නැති එවුන්’’ලෙස සළකා මගහරින බව යි.

ප්‍රෝඩාකාරීත්වය පිළිබඳ චෝදනාවල සිට නිර්දය පසමිතුරුකම් පෑම් වලට පාත්‍රවන ඔවුහු පිටව යාමට තිබූ අවස්ථාව නාස්ති කොට ණය කන්දක් ඉතිරි කළ බවටත් ගැරහුම් ලබති.

දෙවොල් බිමේ සිට ප‍්‍රතිවිරුද්ධ දිශාවන් කරා ඇවිද යන්නට, සමුගැන්ම පිණිස නැගිටගන්නා කල්හි, ඕස්ටේ‍්‍රලියානු දේශපාලන රැකවරණය පතා ශ‍්‍රී ලංකාවෙන් නික්ම යාම, ඔහුගේ ජීවිතයේ ‘‘ඉතා ම නරක අත්වැරැද්ද’’ බව සුරේෂ් පවසයි.

‘‘මං ඉන්නෙ හැමදේම නැතිකරගෙන, මට රස්සාවක් නෑ, මං ණයයි, මගේ ප‍්‍රශ්න ඉවරවෙලා නෑ. කලින් මං හිතුවා, ආයෙ මගේ ජීවිතේ නරක අතට හැරෙන එකක් නෑ කියලා. නමුත් දැන් වෙලා තියෙන්නෙ ඒක.’’


*අනන්‍යතා රැකගැනීමට ඇතැම් නම් වෙනස් කර ඇත.

__________________________________________________________________________________________

ඕස්ටේ‍්‍රලියාවේ WA Today වෙබ් අඩවියට බෙන් ඩෝර්ටි විසින් I know they will come for me මැයෙන් ලියන ලද ලිපියේ සිංහල අනුවාදයකි.