Colombo, Corruption, Democracy, Development, Features, Politics and Governance

අට වසරක මාෆියා ප‍්‍රගතිය

Sri Lankan government supporters line up

රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි.

අද රාජපක්ෂ ආණ්ඩුවේ ම නිලධාරීන් සහ ඇමැතිවරුන් කියන කතා ඇසෙන විට පැහැදිලිව ම වෙනසක් ඇතිව තිබෙන බව පෙනෙයි. ඒ යහ පාලනයක කරා හෝ සංහිදියාව දෙසට හෝ නොවේ. කලූ සල්ලිකාරයින්ගේ රාජධානියක් කරා ඇදී යන ගමනෙකි.

ආණ්ඩුවේ ම නිලධාරීන් සහ දේශපාලනඥයින් කොතරම් වතාවක් ආණ්ඩුවේ විවිධ අංශ පාලනය කරන්නේ මාෆියා විසිනැයි කියා ඇත්ද? ඒ එක් අවස්ථාවක දී එකී මාෆියාවන් අහෝසි කිරීමට ගන්නා ලද කවර හෝ පියවරක් වෙත් ද?

මාෆියා යනුවෙන් අදහස් කැරෙන්නේ ඉහල පෙලේ දේශපාලන සබඳතා ඇති ප‍්‍රබල නායකයකු ඇතිව, හොර මැර දූෂන වංචා සහ ප‍්‍රචන්ඩත්වය මගින් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් උපයන ලබන ඉතා තදින් එකිනෙකාට බැදුණූ රහසිගත ප‍්‍රබල ගොනුවකි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක මෙවැනි මාෆියාවක් ගැන අලූත් ම ආරංචිය අපට සපයන්නේ විටින් විට සැර කතා කියන අද සෞඛ්‍ය ඇමැතිව සිටින මෛත‍්‍රීපාල සිරිසේන ය. ටික දිනකට පෙර ඔහු ඉංග‍්‍රීසි පුවත්පතකට කියා තිබුණේ අත්‍යවශය ඔෘෂධ මිල පහළ දැමිය නොහැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අරත් ගත් මාෆියාවක් නිසා බවය. උදාහරණයක් දෙමින් ඔහු කියන්නේ රුපියල් 100ක් වටිනා ඖෂධයක් මෙම මාෆියාව නිසා විකිණෙනු ලැබෙන්නේ රුපියල් 1000- 1500කට බව ය. මෙම මාෆියාව කොතරම් බලගතු ද යත් ඔවුන් විසින් තමා මරා දමන්නට හැකි බව ද ඇමැතිවරයා පවසා තිබුණි.

මෙම උදාහරණය තුළ මාෆියාවක ලක්ෂණ ගණනාවක්ම ගැබ්ව තිබේ. එනම් මෙම සෞඛ්‍ය මාපියාවට පිටින් ඖෂධ ගෙනැවිත් අලෙවි කිරීමට ඔවුන් ඉඩ නොතබයි. රෝගීන් ගැන අඔමල් රේනුවක හෝ කැක්කුමක් නැතිව සිය එකම අරමුණ ලෙස රන්මසු පොදි ගසා ගැනීම සළකයි. ඔවුන් සෞඛ්‍ය ඇමැතිවරයා ඝාතනය කිරීමට තරම් ශක්තිමත් ය. දේශපාලන බලයක් නැත්නම් මෙවැනි භූමිකාවක් රඟපෑමට මෙකී සෞඛ්‍ය මාෆියාවට නොහැකි ය.

මෙවැනි මාෆියා කල්ලිවල බලය පෙන්වන තවත් නිදසුනක් පාර්ලිමේන්වේ දී ඊයේ පෙරේදා හෙළිදරව් විය. එය නම් මාලූ මාෆියාවයි. කොටුවේ මාලූ වෙළද පොළ අමාත්‍ය මර්ව්න් සිල්වා රජදහනක් වූ පෑළියගොඩට ගෙන යෑමෙන් පසු බලගතු මාෆියාවක් එහි අරක් ගත්තේ ය. මෙම මාෆියාවේ කප්පම් ගැනීම් පිළිබඳව කරන ලද පැමිණිළි අනුව සැකකරුවන් හත් දෙනෙකු අත් අඩංගුංවට ගන්නා ලද්දේ 2011 අප්‍රෙල් මාසයේ දී ය. නඩු පැවැරීමට උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්ථමේන්තුවට ලිපි ගොනු යොමු කිරීමෙන් අනතුරුව දෙසතියකට පසු ඔවුන් ඇප පිට නිදහස් කරන ලදී. එසේ නමුත් දෙවසරක් ගත වී තිබිය දීත් එම ලිපි ගොනු නීතිපති දෙපාර්ථමේන්තුවේ මීයන්ට ආහාර පිණිස වෙන්කර තැබීම මිස ගත් වෙනත් පියවරක් නොමැත. නඩුව බකල් ය. මේ වනාහි මාෆියා ජාලයන් සතු දේශපාලන බල මහිමය පෙන්නුම් කැරෙන අවස්ථාවෙකි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ මර්මස්ථානයක් බඳු කොටස් වෙළද පොල සම්පූර්ණයෙන්ම කලූ සල්ලිකාර මාෆියාවක් විසින් පාලනය කරන ජනමාධ්‍යට කීවේ ජනාධිපති රාජපක්ෂ විසින්ම එහි ප‍්‍රධාන විධායක නිලධරයා ලෙස පත් කරන ලද ආචාර්ය තිලක් කරුණාරත්න මහතා ය. එම මාෆියාව ආරක්ෂ ලේකම් රාජපක්ෂගේ මෙන්ම ජනාධිපති රාජපක්ෂගේ ද විශ්වසනීය කණ්ඩායම් ලෙස කටයුතු කරන බව තිලක් කරුණාරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව ඇති වූ සංවාදයේ දී දක්නට හැකි විය. මෙම මාෆියාව සිමා කරමින් කොටස් වෙළද පොළ නියාමනය කිරිමට උත්සාහ ගත් තවත් එවැනි ස්වාධීන නිලධරයන් දෙනෙකුට ම සිදු වූයේ ද පරාජය බාරගෙන ගෙදර යෑමට ය. අද මාෆියාව එහි රජ කරයි.

ශ‍්‍රී ලංකා විදුලි බල මංඩලය ඉතා බලගතු මාෆියාවක් විසින් පාලනය කරන බව ජනමාධ්‍යට කියා සිටියේ තවත් රාජපක්ෂ නිලධරයකු වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා ය. විදුලි උත්පාදනය පුද්ගලික අංශයට පවරා දීම මගින් ඇදහිය නොහැකි තරම් මුදල් ප‍්‍රමානයක් යටි මඩි ගැසීම මෙම මාෆියාවේ එක් ජාවාරමකි. විදුලි බල මංඩලය මෙම වසර සඳහා ඉල්ලා තිබූ රුපියල් බිලියන 262 ක මුදල විමසා බලා ඉන් බිලියන 40ක් අඩු කළ ද ඊට කිසිදු විරෝධයක් නොනැගීමෙන්ම මෙම දූෂනයෙන්හි තරම පෙනෙන බව ඔහු කියා තිබුණි.

පසුගිය වර්ෂයන්හි ඇදහිය නොහැකි තරමේ මුල්‍ය වංචාවන්ට ගොදුරු වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාලනය කැරෙන්නේ ක‍්‍රිකට් මාෆියාවක් විසිනැයි කීවේ වසර කිහිපයකට පෙර ක‍්‍රීඩා ඇමැතිව සිටි සී.බී. රත්නායක ය.

මෙම සියළු ප‍්‍රකාශයන්ගෙන් කියැවෙන මේ කලූ සල්ලිකාර මාෆියා පෙළෙන්තිය ගැන ඉතා බරපතල ප‍්‍රකාශයක් මෑතදී අසන්කට ලැබුණි. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ජේෂඨ ඇමැතිවරයකුගෙනි.

මෑතදී සිංහල පුවත්පතකට කතා කරමින් එම ජේ්‍ය්ෂඨ ඇමතිවර ඩිව් ගුණසේකර කියා තිබුණේ රටෙහි ඒක පුද්ගල ආදායම නිල වශයෙන් වැඩි වී තිබුණද එය ජනතාවගේ ජීවිතයේ පිළිඹිබු නොවන්නේ කලූ සල්ලි ධනපති පන්තිය නිසා බවය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ සභාපති වන ඔහුට මෙරට ආර්ථිකයේ අඳුරු පැති ගැන ද තොරතුරු ලැබෙන බවට සැකයක් නැත. ඔහු කියන්නේ අද අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් තිබන බවයි. ඔවුන් ආදායම ලබා ගන්නේ දූෂණ, වංචා, හොර ටෙන්ඩර් ගණිකා නිවාස ඇතුළු සමාජ විරෝධී මගින් බව යි. රටේ සමස්ත ජනගහණයට ම බල පෑ හැකි මේ කියන කලූ සල්ලිකාර ධනපති පංතිය වනාහී වෙන කිසිවකු නොව විවිධ ඇමැතිවරුන්ගේ කටවල් වලින් හදිසි අවස්ථාවලදී එළියට පනින මාෆියා ජාවාරම්කාර පෙලෙැන්තිය යි.

මැතදී හෙළිදරව් වු මහා රන් ජාවාරම මෙන්ම අති ලාභදායී මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ආණ්ඩුවේ ඉහළම පිරිස් සිටින බවට නිල නොවන වාර්තා අන්තර් ජාලයේ කියවිය හැකි ය. ජේ්‍ය්ෂඨ අමාත්‍ය ඩිව් ගුණසේකර විසින් ප‍්‍රකාශ කරන ජාතික මට්ටමේ කලූ සල්ලි ජාවාරම් පෙලෙන්තිය අතර පාලක දේශපාලනඥයින් සිටින බව රහසක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මත හෙළා ඇති මර්දනයේ යකුළු පහරවල් නොවේ නම් ගවේශනාත්මක ජනමාධ්‍යවේදය සඳහා මෙම වර්ධනය අපූරු අභියෝගයක් වන්නට ඉඩ තිබුණි. ඇත්ත වශයෙන්ම නම් අද සිදුවෙමින් පවතින්නේ ජනමාධ්‍ය විසින් මාෆියා ජාවාරම් ගවේශනය කිරීම නොව කැසිනෝ ජාවාරම්කරුවන් විසින් හිමිකාරකම සහ වෙනත් ක‍්‍රම මගින් ජනමාධ්‍ය පාලනය කිරීමය.

රුපියල් සියයේ ඖෂධය රුපියල් 1,500කට විකුණා ලාභ කන්දරා ගරා ගන්නා පරිදිම ජනාධිපති මන්දිරයේ කැරුණූ කටයුත්තක් සඳහා අදාළ නිලධාරීන් ලබා ගත් සන්තෝෂම් සමගින් රුපියල් එක් ලක්ෂයක වියදම අවසානයේ දී ලක්ෂ 12 දක්වා ඉහළ ගිය සැටි මෑතදි අසන්නට ලැබුනේ තතුදත් ආරංචි මාර්ගයකිනි. ශ‍්‍රී ලංකාවේ කැරෙන යම් යම් යටිතල සංවර්ධන සඳහා ඇස්තමේන්තු වන මුදල් ප‍්‍රමාණය ඇත්ත වටිනාකම මෙන් තුන්ගුණයක් බව කීවේ තවත් ඇමැතිවරයකු වන චම්පික රණවක ය. එමෙන්ම ඔහු කීවේ එක්තරා සමාගමක් තමන්ට පක්ෂපාත ලිපි ලියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 500ක් එක් ජනමාධ්‍යවේදියකුට ගෙවූ බව ය.

මෙවැනි දූෂිත සහ භිෂක ධනකුවේර පෙළෙන්තියකට රටෙහි එතරම් බලපෑමක් ලබා ගැනීමට හැකි වී ඇත්නම් එහි වරද විපක්ෂය පිට හෝ පරජය කරන ලද එල්ටීටඊ ය පිට හෝ පැටවිය නොහැක. ඇත්ත තත්ත්වය නම් එය අද වරදක් ලෙස නොදැකීමයි. අනෙක් අතට මෙවැනි ජාවාරම්කාර පෙළෙන්තියක් රාජ්‍ය අනුග‍්‍රහය නැතිව බිහිවන්නේ ද පවතින්නේ ද නැත. රාජපක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරුන් පවසන පරිදි ජාවාරම්කාර පෙළෙැන්තියක් විසින් සමාන්තර කලූ ආර්ථිකයක් එනම් දූෂිත, වංචනික්, භිෂක සහ දුරාචාර ආර්ථිකයක් පවත්වා ගෙන යමින් රටට කරන බලපෑම සහමුලින්ම රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන වර්ධනයකි. වසර අටක් තමන් විසින් රට පාලනය කිරීමෙන් අනතුරුව ගොඩ නැගී ඇත්තේ නොපෙනෙන මාෆියා ආර්ථිකයක් සහ දේශපාලනයක් තහවුරු වීම නම් රාජපක්ෂ ආන්ඩුව ඊට දෙන පිළිතුර කුමක්වනු ඇත් ද?

[Image Credit: www.jdslanka.blogspot.com]

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Desapriya