Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Media and Communications, Politics and Governance

අතුරැදහන්කිරීම ‘විහිලුවට’ ගැනීම | මාධ්‍ය ඇමති සහ ප්‍රගීත්

ප්‍රගීත් අතුරැදහන් කර වසර 3ක් ඉක්ම ගිය තැන ප්‍රගීත් ඉල්ලා නිහඩ විරෝධයක යෙදෙන ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා එක්නැළිගොඩ | Vikalpa File
ප්‍රගීත් අතුරැදහන් කර වසර 3ක් ඉක්ම ගිය තැන ප්‍රගීත් ඉල්ලා නිහඩ විරෝධයක යෙදෙන ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා එක්නැළිගොඩ | Vikalpa File
| Image Credit: Vikalpa

රාජපක්ෂ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මංත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් පසුගිය 5වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අතුරැදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවය.

ඒ සම්බන්ධයෙන් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා තිබුණේ, “ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කරනු ලැබූ මෙම ප්‍රකාශය ඉතාම බරපතළ බැවින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කළ යුතු බවත්, ඒ පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතුව ඇති බවත්, අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර සිටීනම් අවම වශයෙන් ඔහුගේ බිරිඳටවත් ඔහුව මුණගැස්විය යුතු බවය.“

DSCF3123[Image Credit: passionparade.blogspot.com | “1000 Days, Where is Prageeth?”; “Give Our Prageeth to Us”]

එසේම ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණේ,”නෑ මට කියලා නෑ. සමහරක් විට එතුමා කියන්න ඕන ආයතනවලට කියලා ඇති. එහෙම නැතිනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමට කියලා ඇති. එහෙම මට දැන ගන්න අවශ්‍යතාවයක් නෑ.‘‘ යනුවෙන් බවත් පවසා තිබූ අතර, එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් අසා තිබුණේ, එම ප්‍රකාශය ආණ්ඩුවේ ප්‍රකාශයක්ද යන්නයි. ‘‘මම කිව්වේ නෑනේ ආණ්ඩුවේ ප්‍රකාශයක් නොවෙයි කියලා“ යැයි ජනමාධ්‍ය ඇමතිරයා ප්‍රකාශ කර තිබිණි.(බීබීසී, 06 ජූනි 2013) කෙසේ නමුත් ජනමාධ්‍ය ඇමතිවරයා විසින්, මාධ්‍යවේදියෙකු අතුරැදහන්වීම සම්බන්ධයෙන් මෙසේ ලිස්සා යාමෙන් මතු වන්නේ මේවා තවදුරටත් ‘රාජපක්ෂ ජෝක්‘ එකක් වී ඇති තරමය.

ඔහු පවසන අන්දමට එය ආණ්ඩුවේ ප්‍රකාශයක් ය. එබැවින් දැන් රාජපක්ෂ ආණ්ඩුවේ පරීක්ෂණ අංශ සිදුකල යුත්තේ මංත්‍රීවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමය. අනෙක් අතට ප්‍රගීත් අතුරැදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙනවා යැයි පවසන ආණ්ඩුව, එසේ පරීක්ෂන සිදුකරන ආයතනවලට මෙම අරැන්දික මංත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් පරීක්ෂණ කිරීමට උපදෙස් දීමය. නමුත් ජනමාධ්‍ය ඇමතිවරයා හිනා වෙමින්, කිසිදු ආකාරයේ බරතැබීමකින් තොරව සිදුකරන ‘ජෝක්‘ පන්නයේ පිළිතුරැත්, මේ දක්වා ආණ්ඩුව ඒ පිළිබදව සිය නිල ස්ථාවරය ප්‍රකාශ නොකිරීමෙනුත් වැටහී යන්නේ ඔව්නට ‘එය‘ වැදගත් නොවන බවයි.

මෙවැනිම කතාවස්තුවක් මීට පෙර වත්මන් අගවිනිසුරැ මොහාන් පීරිස් විසින්, ජිනීවා සමුළුවකදී පවසා සිටියේ ද ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක වෙසෙන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අධිකරණයට ගොස් මොහාන් පීරිස් විසින් සිදුකර ඇති ප්‍රකාශය පිළිබදව පරීක‍ෂණයක් කරන්නැයි ඉල්ලා සිටියා ය. ඉන්පසු මොහාන් පීරිස් අධිකරණයට කැඳවා ඔහු කළ ප්‍රකාශය ගැන විමසූ විට ඔහු අධිකරණයට පවසා තිබුණේ ‘ප්‍රගීත් ඉන්නා තැන දෙයියෝ තමයි දන්නේ‘ යනුවෙනි.

නමුත් නැවතත් එවැනිම ප්‍රකාශයක් වත්මන් ආණ්ඩුවේ මංත්‍රීවරයෙක් වන පුත්තලම දිස්ත්‍රීක් අරුන්දික ප්‍රනාන්දු පැවසූවත් ඒ පිළිබද ව කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොවන සේයකි. එය ඔහුගේ මංත්‍රී වරප්‍රසාද නිසා වන්නට පිළිවන. නමුත් ‘අපි මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා‘ යැයි පුන පුනා පවසන ආණ්ඩුව දැන් කළ යුතු වන්නේ කතානායකවරයාගේ අවසරය මත හෝ අනුරැද්ධික ප්‍රනාන්දු මංත්‍රීවරයාගෙන් ප්‍රශ්ණ කර මෙයට යුක්තිය ඉෂ්ඪ කිරීමය.

නමුත් ප්‍රගීත් සෙවීම දෙවියන්ට භාර දී ඇති පාලකයන් වැජබෙන රාජ්‍යක එවන් දේ සිදුවීම පිළිබදව විශ්වාසයක් වත් තැබිය නොහැකි වන්නේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි ශිෂ්ඨ සමාජයකට අත්‍යවශ්‍ය ක්‍රමවේදයන් වත්මන් පාලකයන් විසින් කුඩුපට්ටම් කරමින් ස්වකීය පවුල් පාලනය තර කරගැනීමේ මුග්ධ උත්සහයන් වත්මනෙහි මෙන්ම පසුගිය වසර කීහිපයෙහිම හොදීන් අත්දැක/අත්දැකිමින් ඇති නිසාවෙනි.