Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘‘අපි කොහෙද යන්නේ?‘‘ | වලිකාමම් ජනයා බියෙන්

8694370097_6e8b728bd0_z

වලිකාමම් උතුරේ සිට අවතැන් වී පෞද්ගලික ඉඩම්වල තාවකාලිව කඳවුරු හදාගනිමින් ජීවත් වූ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත් වී යන ලෙස එම ඉඩම්වල අයිතිකරුවන් විසින් බලකරමින් සිටින බව වාර්තා වේ. උඩුපිට්ටි ප්‍රදේශයේ එසේ පෞද්ගලික ඉඩමක ජීවත් වූ වලිකාමම් උතුරේ පවුල් කිහිපයකට ඒ ප්‍රදේශයෙන් පිටවී යන ලෙස කියා අයිතිකරුවන් විසින් පහර දී ඇති බවද උතුරේ ආරංචිමාර්ග සදහන් කරයි. ඒ සමඟ උඩුවිල් ප්‍රදේශයේ ආලඩි කඳවුර පිහිටා තිබෙන ඉඩම් කොටසට අයත් අයිතිකරුවන් කඳවුරේ සිටින ජනතාව වහම පිටවන ලෙස බලකරමින් සිටී.

එසේ තාවකාලික කඳවුරුවල ජීවත් වන ජනතාවට අයත් ඉඩම් කොටස් හමුදා විසින් අත්පත් කරගෙන තිබෙන නිසාත් තාවකාලිකව සිටින කඳවුරුවල සිට පිට වී යන ලෙස අයිතිකරුවන් බලකරන නිසාත් එම ජනතාව කලකිරීමත්, බියටත් පත් වී ඇත. වලිකාමම් උතුර තයිට්ටි, මයිලිට්ටි, මාවිට්ට පුරම් යන ප්‍රදේශයට අයත් ජනතාව 1990 දී අවතැන් වී උඩුවිල්, ආලඩි පරැ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පදිංචි වී, මනුෂ්‍යකුට ජීවත් වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම්වත් නොමැතිව එම කඳවුරේ පවුල් 12 කට අයත් 42 දෙනෙක් අවුරුදු 23ක් තිස්සේ එසේ ජීවත් වෙමින් සිටී. පසුගිය සතියේ මෙම කඳවුර පිහිටා තිබෙන ඉඩමේ සැබෑ අයිතිකරැවන් පැමිණ කඳවුරේ සිටින ජනතාව පිටවී යන ලෙස පවසා තිබෙන අතර, තමන්ට යන්න කිසිඳු ඉඩමක් නොමැති බව ඉඩම් අයිති පුද්ගලයන්ට ජනතාව පවසා තිබෙනමුත් අයිතිකරුවන් දිගින් දිගටම පිටවී යන ලෙස බලකර තිබෙනවා. මෙයින් පවුල් 4කට අයත් 15 දෙනෙකුට වහාම පිටවී යන ලෙස අයිතිකරුවන් විසින් තර්ජනය කර තිබෙන බවත් වාර්තා විය.

මේ පිළිබඳව එම ජනතාව එම ප්‍රදේශයට අයත් ග්‍රාමනිළධාරි ඔස්සේ වලිකාමම් උතුර නැවත පදිංචි කමිටුව, උඩුවිල් ප්‍රාදේශීය ලේකම්, වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාව, යාපන දිසාපති යන පිරිස දැනුවත් කර තිබෙනවා.

එසේ තමන්ට ඇති වී තිබෙන ඉරණම පිළිබඳව අදහස් දැක්වූ ජනතාව අද(11) තිනක්කුරල් පුවත්පතට මේසේ ප්‍රකාශ කර තිබේ,

‘‘අධිආරක්ෂිත කලාපය ලෙස හඳුන්වා අපේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගෙන සිටිනවා. අපිට අපේ ඉඩම් බලන්නවත් ඉඩ දෙන්නේ නැහැ. මෙහෙම තිබියදී දැන් අපි තාවකාලිකව ජීවත්වන කඳවුරුවල සිටත් පිටවී යන ලෙස කියා තිබෙනවා. අපි කොහෙද යන්නේ? අපිට වෙන කිසිඳු මාර්ගයක් නැහැ. පාරේ තමයි ඉන්න වෙන්නේ.‘‘

‘‘අපිට අයිති ඉඩමට යන්න දෙන්න. වෙන කාගෙවත් ඉඩම අපිට ඕනෑ නැහැ. අපේ දුක රජයේ නිළධාරීන්ට කියන විට ඔවුන් අපිට දොස් පවරනවා. අවුරුදු 20ක් තිස්සේ වෙනත් අයෙකුට අයත් ඉඩමක ජීවත් වූ ඔබට තමන්ගේම කියලා ඉඩමක් මිළදී ගන්නේ නැද්ද කියා අපෙන් අහනවා. අපේ ළමයින්ගේ අධ්‍යාපනය සිට ඔවුන්ගේ මගුල දක්වා තිබෙන අවශ්‍යතා ඉටු කිරීමටවත් බැරිවී තිබෙන තත්ත්වයක අපි කොහොමද ඉඩමක් මිළදී ගන්න‘‘

‘‘තවමත් වලිකාමම් උතුරේ සහ දකුණේ සිට අවතැන් වී 30,000කට අධික ජනතාව කඳවුරුවල සහ ඥාතීන් නිවස් වල ජීවත් වෙනවා. විශේෂයෙන් සුන්නාගම් ප්‍රදේශයේ තිබෙන සභාපති පිල්ෙලෙ, කන්නගි කඳවුරු, නීදවාන් කඳවුරු, අලවැට්ටි කඳවුර, උඩුවිල් කිරශයේෂ්නන් කෝවිල, පුලියඩි කඳවුර, හින්දු විදුවල් කඳවුරු, කෝණ්ඩාවිල් කාෙරෙයි කට්ටු කඳවුර, පරිත්තිතුෙරෙ කඳවුර ඇතුළු කුඩා කඳවුරු 60ක පමණ වලිකාමම් උතුරේ සහ දකුණේ සිට අවතැන් වූ ජනතාව ජීවත් වෙනවා. මේ සියලූ කඳවුරු පෞද්ගලික ඉඩම් වල පිහිටා තිබෙනවා. මෙහි ජීවත් වන ජනතාව තමන්ව කොයි මොහොතේ පිටමං කරයිද කියන බියෙන්
සිටිනවා.‘‘

මේ පිළිබද අදහස් දැක්වූ වලිකාමම් උතුර නැවත පදිංචිකිරීමේ කමිටුවේ සභාපති, කේ. සජීවන් මහතා ‘විකල්ප‘ වෙත අදහස් දක්වමින්

‘‘දැනට පුද්ගලික ඉඩම්වල අවතැන් ජනයා ජීවත්වන කදවුරැ 60ක් විතර තිබෙනවා. ඒ කදවුරැ 60 තුල පවුල් 4000කට වඩා ජීවත් වෙනවා. උඩුපිට්ටි ප්‍රදේශයේ කදවුරක පවුල් 16කට වඩා ජීවත් වෙනවා. පසුගියදා ඒ ඉඩම්වල අයිතිකරැවන් පැමිණ ඒ මිනිසුන්ට පහර දුන්නා. ඉඩම්වලින් යන්න කියලා. ඒ පිළිබදව පොලීසියේ පැමිණිල්ලකුත් කරලා තිබෙනවා. ආලඩි ප්‍රදේශයේ තිබෙන කදවුරක ඉන්න මිනිසුන්ටත් ඒ වගේම ඒ ඉඩම්වලින් යන්න කියලා තර්ජනය කරලා තිබෙනවා. දැන් මීටපෙරත් මේවගේ ප්‍රශ්ණ ආවා. ඒ වෙලාවේ රජය කිව්වා මේ මිනිසුන් නැවත ඔවුන්ගේම ඉඩම්වල පදිංචි කරනවා කියලා කිව්ව නිසා ඒ තරම් ඒ ප්‍රශ්ණ ලොකුවට ඇදිලා ගියේ නෑ. ඒත් දැන් ඒ ජනතාවගේ ඉඩම් හමුදාව ගන්නවා කියලා පෝස්ටරැත් අලවපු නිසා දැන් මේ මිනිස්සු ඉන්නේ බයෙන්. මේ පිළිබදව අපි යාපනය දිසාපතිතුමාත් එක්ක අපි සාකච්ඡා කරා. එහිදී තීරණයකට ආවා කීරිමලේ තිබෙන සිමෙන්ති කර්මාන්ත ශාලා ඉඩමක ඔවුන් පදිංචිකරන්න. ඒත් තාම ඒක ස්ථීර නෑ. හෙට තියෙන රැස්වීමේදී තමයි ඒකත් තීරණය වෙන්නේ. ඒත් අනිවාර්යෙන් ඒ මිනිසුන්ට අයිති ඉඩම්වල නැවත පදිංචි කරොත් තමයි මේ ප්‍රශ්ණය සම්පූර්ණයෙන් ම විසදෙන්නේ.‘‘