Colombo, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance

ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!

යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි.

එජාප රජය හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් පණවා ජනමාධ්‍ය මර්දනය කර තිබු වකවානුක ඇත්ත පුවත්පතෙහි කප්පාදු කරන ලද පුවත් නිසා හිස්ව ගිය ඉඩෙහි ‘බල්ලො කෑවා’ යනුවෙන් සදහන් කිරීමට පියවර ගැනුනේ ද කතුවර සිරිවර්ධන යටතේ ය. එසේ පුවත් වාරණය කරන ලද්දේ නිසි බලධාරියා විසිනි. අනෙක් පුවත්පත් එවැනි වාරණයන් සඳහන් කළේ ‘නිසි බලධාරියා විසින් වාරණය කරන ලදී’ කියා ය. මෙම ‘බල්ලො කෑවා’ යන යෙදුම නිසා නිසි බලධාරියා බල්ලකු හා සමාන කර ඇතැයි ඇත්ත පුවත්පතට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් විය. කතුවර සිරිවර්ධන තර්ක කළේ බල්ලන්ගේ කාරිය බලා ගැනීම බැවින් යනු බල්ලො කෑවා යන්න ‘බලන්නන් විසින් කා දමන ලදී’ ලෙස ද අර්ථ දැක්විය හැකි බවයි.

ගවයා යනු හරකා බැවින් ද හරක් වැඩ යනු ගොන් නොහොත් මෝඩ වැඩ යැයි සැළකෙන නිසා ද ගව ඝාතන නතර කරනු යන්නෙන් මෝඩ වැඩ ඝාතනය නොකළ යුතු යැයි අදහස් වන්නේ යැයි අපට කතුවර සිරිවර්ධන අනුව යමින් තර්ක කළ හැකිය. මන්ද යත් මෙම ශීර්ෂ පාඨයෙන් ව්‍යංගයෙන් කියැවෙන්නේ අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ හරක් නොහොත් මෝඩ කතා බව නිසා ය. හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි යන කියමනෙහි ද හරකා යනුවෙන් අදහස් වන්නේ මෝඩ මිනිසෙකි.

ඡායාරෑපය, අරුන්දික ප්‍රනාන්දු සිරස රෑපවාහිනිය සමග ප්‍රගීත් ගැන කරන ලද සකච්ඡාවේ වීඩියෝවෙන් ලබාගත් Screen Shot එකකි.
ඡායාරෑපය, අරුන්දික ප්‍රනාන්දු සිරස රෑපවාහිනිය සමග ප්‍රගීත් ගැන කරන ලද සකච්ඡාවේ වීඩියෝවෙන් ලබාගත් Screen Shot එකකි.

අරුන්දික ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයක් පට්ටපල් බොරුවක් වුවද එය මෝඩ කතාවක් යැයි කීවොත් ශ‍්‍රී ලංකාවේ පවත්නා කැකිල්ලේ නීතිය අනුව අප දඟගෙට යැවිය යුතු යැයි දශ ලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට වුවද බැරි නැත. එබැවින් ආරම්භයේ දීම කියා සිටිය යුත්තේ මෙහිලා මෝඩ කතාවක් ලෙස සඳහන් කැරෙන්නේ පාර්ලිමේන්තුවේදී කළ කතාව නොව වෙනත් ජනමාධ්‍ය හමුවෙහි අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ගොන් කතා බව ය. පාර්ලිමේන්තුවෙහි දී කළ ඒ රටක් වටිනා කතාව ආරක්ෂා කිරීම කතානායක රාජපක්ෂට බාර කරමු.

අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ‘සුනන්ද දේශප‍්‍රිය ජිනීවා හි ශ‍්‍රී ලංකා දේශප්‍රෙමී උද්ඝෝෂණයක් කඩා කප්පල් කිරීමට’ තලප්පාවක් බැඳගෙන ආ බවය. 2009 වසරේදී ශ‍්‍රී ලංකාවෙන් පිටවී මෙහි පැමිණීමෙන් පසු මා කවදාකවත් තලප්පාවක් බැඳ නැත. එම ප‍්‍රකාශය බොරුවක් පමණක් නොව ගොන් කතාවකි. ගොන් කතාවක් වන්නේ තමන්ට සනාථ කිරීමට නොහැකි කතාවක් වන නිසා ය. සිංහල උපහැරණයෙන් කියන්නේ නම් උම්බෑ කීමකි. මෙම කියන සිදුවීමෙහි දී ගන්නා ලද මගේ ජායාරුප ශ‍්‍රී ලංකාවේ පුවත් පතක පළ විය. (එම සිදුවීම පිලිබඳව මා විසින් පවරන ලද නඩු විභාගයක් ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර නොලියමි) එම ජායාරූප සැළකිල්ලෙන් බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ මා පැළද සිටන්නේ සීතලට පළදින හිස් වැස්මක් මිස තලප්පාවක් නොවන බවය. තලප්පාවක් සහ හිස්වැස්මක වෙනස නොදන්නා මිනාසකුට කිව හැකි විශේෂනය කුමක්දැයි තීරණය කිරීම පාඨකයිනට පවරමි.

එම සිදුවීම සම්බන්ධයෙන්ම අරුන්දික ප‍්‍රනාන්දු තවත් අඥාන නොහොත් ගොන් ප‍්‍රකාශයක් කරයි. එනම් එම අවස්ථාවේදී මා සමඟ හිස බූ ගෑ නූස් පුද්ගලයකු සිටි බවත් ඒ අතුරුදහන්ව සිටින ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ බවත් ය. යළිත් වතාවක් පෙර කී ජායාරුප විමසා බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ එහි මා සිටින්නේ තනිවම බව ය. එහි දී එල්ල වූ තර්ජන නිසා ජිනීවා පොලීසිය ආරක්ෂාව පිණිස මා ඉවතට කැඳවා යන ජායාරුප ද ඒ අතර වේ. එම ජායාරූපයන්හි මා සිටින්නේ ද තනිව ම ය. මෙම සිදුවීම රජයේ රූපවාහිනී ආයතන විසින් ද ප‍්‍රචාරය කරන ලද නමුත් ඒ කිසිම අවස්ථාවක අරුන්දික ප‍්‍රනාන්දු කියන නූස් හිස බූ ගෑ අද්භූත පුද්ගලයා ගැන චවනයක්වත් කියැවුනේ නැත. දැන් හදිසියේ ම අරුන්දික ප‍්‍රනාන්දු මෙම පුද්ගලයා මා සමඟ සිටි බව සොයා ගෙන තිබෙන්නේ කෙසේ ද? හීනයක්වත් දැකලා ද? මේ වනාහී හරක් කතා නොවේ නම් බූරු කතා විය යුතු ය.

එපමණක් නොවේ. අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ප‍්‍රගීත් එක්නැළිගොඩ සැඟවී රහසේ යුරෝපයේ ජීවත්වන බවය. එවැනි රහසේ ජීවත්වන පුද්ගලයකු රාජපාක්ෂික පිරිස් විසින් පවත්වන උද්ඝෝෂනයක් ඉදිරිපිටට එනු ඇතැයි කල්පනා කරන්නේ මොන මෝඩයා ද? එපමණක් නොව මෙවැනි උද්ඝෝෂණයන්ට එන බොහෝ දෙනෙකු ලෙහෙසියෙන් හඳුනා ගන්නා මා වැනි අයකු සමඟ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටට ප‍්‍රගීත් එක්නැළිගොඩ හිස බූ ගා ගෙන එනු ඇතැයි සිතිය හැක්කේ මෝඩයෙකුට හැර වෙන කවරකුට ද? මෙම සිදුවීම ඇති වූ 2012 මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ජා වාර්තාකරණය පිණිස සියයකට ආසන්න රාජපාක්ෂික ජනාමාධ්‍යකරුවන් ද කැඳවා තිබණි. එවැනි පිරිසක් සැරි සරන ජිනීවා වැනි කුඩා නගරයකට සැඟවී ජීවත්වන ජනමාධ්‍යවේදියකු පැමිණෙනු ඇත් ද? හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි සිංහලයෙන් කියන්නේ මෙවැනි කතා වලට ය.

මෝඩකමට සීමාවක් නැත. අරුන්දික ප‍්‍රනාන්දු පෙන්වන්නේ ඒ කියමනේ ඇති ඇත්ත ය. මෙළෙස මා සමඟ ප‍්‍රගීත් එක්නැළිගොඩ ජිනීවා හි දුටුවේ යැයි එම සිදුවීමෙන් මාස 14කට පසුව ඇදබාන අරුන්දික ප‍්‍රනාන්දුට එක කරුණක් අමතක වී තිබේ. එනම් එම මාර්තු මාසයේ දී අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා ද ජිනීවා හි සිටි බව ය. ඇය මානව හිමිකම් කවුන්සිලයේ එම 19 වන සැසිවාරයේ පැවැති සමාන්තර රැස්වීමක කතා කළා ය. ඇයගේ කතාව සිංහලට පරිවර්ථනය කරන ලද්දේ මා විසිනි. මේ කරුණූ දැන සිටියා නම් බේගලය තවත් රවුම් කිරීමට අරුන්දික ප‍්‍රනාන්දුට හැකි වන්නට තිබුණි. නමුත් ඔහු එවැනි කිසිවක් කීවේ නැත.

මා හැදි වැඩුනු අම්බලන්ගොඩ පචවිලි මාමා යැයි ජනප‍්‍රවාද ගත බේගල් කතාකරුවකු සිටී. ඔහු බේගල් ඇද බෑවේ කෛරාටිකමට නොව හාස්‍යට ය. බේගල්කරුවකුගේ ලක්ෂණය නම් එක් බොරුවක් වැසීමට තවත් බොරුවක් කීම යි. දේශපාලන පචවිලි මාමා කෙනෙකු වන අරුන්දික ප‍්‍රනාන්දු ද එසේ ය. ඔහු කියන තවත් ගල් පැලෙන බොරුවක් නම් අතුරුදහන් වූ බව කියන තවත් ජනමාධ්‍යවේදීන් මෙළෙස සැඟවී යුරෝපයේ ජීවත්වන බව යි. ඒ ඔහුගේ පවය ලොකු කිරීමට ය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් කී දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වී තිබේ දැයි මෙම පචවිලි මාමා දන්නේ නැත. ප‍්‍රගීත් හැරුණු විට පසුගිය කාලයෙහි අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත්තේ එක් ජනමාධ්‍යවේදියකු පමණි. ඒ 2007 වර්ශයේ පෙබරවාරි 15 දින යාපනයේ දී අරුදහන් වූ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් ය. ප‍්‍රශ්ණ කිරීමට යුද හමුදා මුර පොළක රඳවා ගත් බවට වාර්තා වීමෙන් පසු ඔහු යළි දකින්නට ලැබුණේ නැත. එළෙස තිබිය දී අතුරුදහන් වූ බව කියන ජනමාධ්‍යවේදින් ගණනාවක් යුරෝපයේ සැඟවී ජිවත් වන බව කීම පචයක් ද? මෝඩ කතාවක් ද? බූරු කමක් ද?

මංජුල වෙඩිවර්ධන සමඟ ප‍්‍රගීත් තමා හමුවට ආවේ යැයි කියන අරුන්දික බේගලයට මංජුල සජීවීවම පිළිතුරු දී දුන්නේ අරුන්දික ප‍්‍රනාන්දු අභියස ම ය. ඊට පිළිතුරු වශයෙන් පචවිලි මාමා තවත් බේගලයක් අතේ රෝල් කළේ ය. එනම් මංජුල ප‍්‍රංශයේ ජීවත් වන්නේ රහසේ බැවින් ඔහුට මෙය පිළිගැනීමට දුෂ්කර යැයි කියා ය. එළෙස රහසින් ජීවත්වන අයකු කවි ලියා පළ කරනු ඇත් ද? ප‍්‍රසිද්ධියේ දේශපාලන ක‍්‍රියාකාරීන් සමඟ සාකච්ජා කොට ලිපි ලියනු ඇති ද? අප කිසිවකු ජීවත්වන්නේ රහසේ නොවේ.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ එක් දර්ශකයක් වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම සහ ජනමාධ්‍ය ආයතනයන්ට ප‍්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳ පරීක්ෂනයන් පවත්වා වරදකරුවන්ට දඩුවම් කිරීම ය. ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම ඒ අතර එක් සිදුවීමක් පමණි. අරුන්දික වර්ගයේ බේගල්කරුවන් ලවා සනාථ කළ නොහැකි අතේ රෝල් බව බැලූ බැල්මටම පෙනී යන මුසාවාද තෙපලවීමෙන් මාධ්‍ය මර්දනයේ යතාර්ථය වසන් කළ නොහැක.

අවසාන වශයෙන් ද කිව යුත්තේ හරක් වුනාට උම්බෑ ගාන්න එපා කියා ය.

(මෙම ලිපියෙන් ගවයිනට අපහාස කිරීමට අදහස් නොකළ බව සළකන්න)

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya