Colombo, Democracy, Development, Economy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඔන්න හදලා දුන්නා, දැන් ඉතිං අපි කියන විදියට නිදහසේ හිටපල්ලා

11[Image Credit: exploresrilanka.lk]

ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා.

බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ ලස්සන පරිශ‍්‍රයට අපි ඇතුල් වුණේ උද්දාමයෙන්. දෙපැත්තේ ලස්සන හුරුබුහුටි ගස් වවලා. ව්‍යායාමෙට හැල්මෙ ඇවිදින අයට රෝස පාට ගල් අල්ලපු වෙනම පේව්මන්ට් එකක්. චිල්රන්ස් ප්ලේ ඒරියා එකේ පාර පුරා චිත‍්‍ර ඇඳලා. අමුතු ලස්සනක්. පාර දෙපැත්තේ වාඩි වෙන්න හදපු ගෝලාකාර සිමෙන්ති කුට්ටි. ඒවා පතුලෙ ලයිට්. තැන දැකලා පොඩි එකාට ඉහිලූම් නැති වුණා. ඒකා ඇඟයි හිතයි මුදා හැරියා. දුවන්න ගත්තා.
කොහෙන්දෝ කන් කීරී ගස්සන විසිල් පාරක් වැදුණා.

’‘තණකොළ පාගන්න එපා….අයින් වෙන්ඩ…අයින් වෙන්ඩ ’’ …ඈතින් සෙකුරිටි කෙනෙක් අපේ දිහාට කෑ ගහනවා…මම පොඩි එකා කොහෙද බැලූවා. ඒකගෙ එක කකුලක් රෝස පාට ගල් අල්ලපු පේව්මන්ට් එකේ, අනිත් කකුල තණකොළ බිස්සෙ.

’‘පොඩි ළමයින්ට කියන්න තණකොළ පාගන්ඩ එපා කියලා’’ සෙකුරිටි අපිට සැර දැම්මා.

තව ටික වෙලාවකින් එක පාරටම තවත් විසිල් පාරක් වැදුණා. ඒ වෙන සෙකුරිටි කෙනෙක්. ඈතින් හිටපු වෙන ළමයි ටිකකට. පාරෙ අයිනෙ තියෙන ගලක් උඩ පොඩි එකෙක් නැගලා. ‘‘ගල් උඩ නගින්ඩ බෑ….ගල් උඩ නගින්ඩ බෑ…’’

අපි ටිකක් තක්කු මුක්කු වෙලා හිටියෙ. තැන වැරදිලා ආවදවත් කියලා. එහෙන් මෙහෙන් විසිල් පාරවල් එක දිගටම වදිනවා…‘‘කපල්ස්වලට මෙහේ එන්න බෑ….අර පැත්තෙ විතරයි….මේ පැත්ත තියෙන්නෙ එක්සයිස් කරන අයට’’ තව ටික වෙලාවකින් අපේ පොඩි එකාට ගැහැණු සෙකුරිටි කෙනෙක්ගෙන් දරුණු විසිල් පාරක්. ‘‘ඔය ගල් අහුලන්න එපා…වතුරට ගල් විසි කරන්න තහනං’’

මට තවත් ඉවසගන්ඩ බැරිම තැන කෙළින්ම සෙකුරිටි කෙනෙක් ගාවට ගියා.

‘‘මෙතන මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ’’

‘‘ව්‍යායාමෙට ඇවිදින අයට මේ පේව්මන්ට් එකේ ඇවිදින්න පුළුවන්. පොඩි ළමයින්ට පාරේ බයිසිකල් පදින්න පුළුවන්. ඔය පාරෙ ඇඳලා තියෙන චිත‍්‍ර උඩ බුදියගෙන ෆොටෝ ගන්ඩ පුළුවන්. කකුල් පාර පැත්තට දාලා මේ සිමෙන්ති බෝල උඩ වාඩි වෙන්ඩ පුළුවන්…අනිත් පැත්තට වාඩි වෙන්ඩ දෙන්නෑ, මොකද එතකොට තණ කොළ පෑගෙන නිසා, ගස්වලට හේත්තු වෙලා ඉන්ඩ බෑ, පොඩි ළමයින්ට ගස් නගින්ඩ බෑ, ඔය ලස්සනට තියලා තියෙන කලූ ගල් උඩ වාඩි වෙන්ඩ බෑ,……බෑ….තහනං’’

‘‘ඇයි තණකොළ පාගන්ඩ බැරි?(මට විතරක් ඇසෙන ගාණට) බිම් බෝම්බ වළලලා තියෙනවද?’’

‘‘මේක හදලා තියෙන්නෙ පිඩලි අල්ලලා. හමුදාවයි නේවි එකයි හරි පරිස්සමට මේවා ඇල්ලූවේ. ඕක පාගන්ඩ දුන්නොත් පිඩලි ගැලවිලා යනවා. අනික එක්සයිස් කරන මහත්තුරු මේ ගස් අල්ලගෙන කණකොළ ගොඬේ උඩ පනිනවා…සමහර ගෑනු ළමයි ගස්වලට හේත්තු වෙලා ටෙලිෆෝන් වලින් කතා කරකර කකුල් වලින් පස් හාරනවා…එතකොටත් පිඩලි ගැලවෙන්ඩ පුළුවන්….ගැලවුණොත් හමුදාවයි නේවි එකයි තමයි ආයිත් අල්ලන්ඩ ඕනෙ.’’

‘‘මෙතන සෙකුරිටි මහත්තුරු කී දෙනෙක් ඩියුටි ඉන්නවද?’

ඔහු කියූ හැටියට ඒ පරිශ‍්‍රයේ ආරක්ෂක නිලධාරීන් 22 ක් මුරට සිටිති. ඔවුන් නාගරික සංවර්ධන අධිකාරියෙන් පත් කළ ආරක්ෂක නිලධාරීහු වෙති. මිනිසුන්ට නිදහසේ ගත කරන්නට, දරුවන්ට සෙල්ලම් කරන්නට හැදූ තැනකට ඒ සා විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොනවටදැයි මට සිතුණ නමුත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මේ සුවච කීකරු සේවකයාගෙන් මම එය නෑසුවෙමි. අනික එතැන ඇති නීතී රීති වල තරමට ඒ තරං ආරක්ෂක නිලධාරීන් පිරිසක් නැතිවත් බැරිය. මිනිසුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර, හැම මොහොතකම ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටිය යුතුමය. වෙලාවට විසිල් පාර ගැසිය යුතුය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ(එය කියවෙන්නේ ඒ අසල පිහිටුවා ඇති ඵලකයකය.) පාර්ලිමේන්තු මං සන්ධියේ වෝටර්ස් එජ් අසල ඉදිකර ඇති, තාමත් නොයෙක් අංග එකතු වෙමින් පවතින මේ ව්‍යායාම් සහ උද්‍යාන පරිශ‍්‍රය, අපේ රට තව අවුරුදු කීපයකින් පත්වීමට නියමිත් තත්ත්වය අත්හදා බලන තැනක් වැනිය. සියල්ල බැලූ බැල්මට ඉතා කදිමට නිමවා ඇත. පිළිවෙල උරිමයය. නඩත්තුව ඉස්තරම්ය. සියලූ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු යුද හමුදාව සහ නාවික හමුදාව විසින් මෙහෙය වේ. දහ අතේ ආරක්ෂක නිලධාරීහු වෙති. ‘‘ජනතා අයිතියට පවරා අතැයි’’ මිනිසුන්ට කියා එන එන එකා දෙස ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත. අතාර්කික නීති රැසකි. නිදහස, සැහැල්ලූව රස විඳීම මිනිසුන්ට ඕනෑ හැටියට කරන්නට බැරිය. කකුල තියන්නේ කොතනද, පස්ස තියන්නේ කොතනද, අත කොච්චරක් දික් කළ යුතුද, කී වාරයක් උඩ පැනිය යුතුද,…..මේ ආදී වශයෙන් සියලූ දේ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මිනිසුන්ට ඇත්තේ, (ඇත්තෙන්ම දැන් මිනිසුන් කරන්නේද එයයි) අමාත්‍යාංශයෙන් හදා දෙන සැහැල්ලූවේ පැකේජය පාවිච්චි කර, පොටෝ අරගෙන ගෙදර යාමය.

වරෙක මම මිත‍්‍රයෙකු සමග නිදහස් චතුරස‍්‍රයේ කණුවක් යට වාඩි වී, කුමක් හෝ වැඩක් කරන්නට ලැප් ටොප් එක දිග ඇරගත්තෙමි. ඈතින් පුටුවක වාඩි වී සිටි ගැටවර සිකුරිටි පරල වී අප අසලට විදගෙන ආවේය. ඔහු සිටියේ මහත් උදහසිනි. ‘‘ලැප්ස් තියාගෙන වැඩ කරන්ඩ දෙන්න බෑ’’ මාත් මිතුරාත් ඒ තහනමට හේතුව කුමක්දැයි දිගින් දිගටම ඔහුගෙන් විමසද්දී ඔහු කීවේ එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමන්ට දී ඇති උපදෙසක් බවයි. ඕනෑනම් තණකොළ පිට්ටනියට ගොස් වැඩ කරන්නැයි ඔහු අපට කීවේය. අව්වේ ලැප්ටොප් එකක් තියාගෙන වඩ කළ නොහැකි නිසා මෙතනට ආවා යැයි අප කී වීට ඔහු කීවේ, ආරක්ෂක හේතු මත කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවයි. අපේ රටේ ආරක්ෂක නීති රීතිවල විකල් ස්වභාවයට වඩා මගේ ඉහමොල රත් වූයේ, පීඩිත පන්තියේ අප වැනිම පුරවැසියෙකු වන මේ ගැටවර සෙකුරිටි, ඒ අභූත නීති රීති ක‍්‍රියාත්මක කරන්නට තමන්ට ලබා දී ඇති සොච්චම් බලය කරට ගෙන මයිල් පුප්පාගෙන දාන පාට් එකටයි. මේ අපේ රටේ පොදු ජනතාවගේ ඛේදවාචකයයි.

ආරක්ෂක ලේකම්වරයාගේ ව්‍යාපෘතිය යටතේ, මාදිවෙල ඉදිකර ඇති ව්‍යායාම් පරිශ‍්‍රය ද සුන්දර තැනකි. පස් යටකර හැමතැනකම කොන්ක‍්‍රීට් ගල් කෑලි අල්ලා ඇති නමුත් එතැනට ගිය විට සැහැල්ලූ හැඟීමක් ඇතිවේ. නමුත් ටික වේලාවකින් සෙකුරිටිලා එහෙන් මෙහෙන් එබෙන විට, ඒ හැඟීම අතුරුදහන් වේ. දිනක් රාත‍්‍රී 10. 30 ට පමණ අප මිතුරන් දෙදෙනෙකුත් සමග එතැන පසුකර එන විට, දියවන්නාව අසබඩ සඳ එළිය යට පාළුවට ඇති ගල් බංකු දැක, මඳකට වාඩි වී හිඳ යමුයි සිතා එහි ගියෙමු. අප, පරිසරයේ නිහඬබවට ගරු කරමින් බොහොම සෙමින් කතා කරමින් සල්ලාපයෙන් හිඳිද්දී, රයිපලයකුත් එල්ලා ගත් පොලිස් නිලධාරියෙක් ආවේය. අපි කවුද මෙතන මේ ? මොනවා කරනවාදැයි ඇසූ ඔහු, අපට දැන්මම පිට වී යන්නැයි කීවේය. ‘‘මෙතන හදලා තියෙන්නෙ ව්‍යායාම් කරන්න…නිකරුණේ ගැවසෙන්න බෑ….අනික දැන් වෙලාව 10 පහුවෙලා’’. ‘‘අපි ව්‍යායාම් මං තීරුවේ දුව දුව කතා කළොත් ඉන්න දෙනවාද ’’ යි මගේ වාචාල මිතුරා ඇසූ විට අපි ඔහුවත් ඇදගෙන වාහනයට ගොඩ වූයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උදහසට ලක් වීමේ ආදීනව ඕනෑවටත් වඩා හොඳින් දන්නා නිසයි.

දියවන්නාව අබියස සිදුවෙන දේ අපේ රට අද පසුකරමින් සිටින, අධ්‍යාත්මය කුණු වුණු සමාජ සංස්කෘතික මොහොත ඉතා නිවැරදිව පිළිබිඹු කරනවා නේදැයි මට සිතේ. රටක් ලෙස අප පසුකර ආ ඉතිහාසය උද්දච්ච ලෙස අමතක කරමින්, ඒ පිළිබඳ සියලූ සලකුණු බුල්ඩෝසර් කර, ඇස් බැන්දුං සංවර්ධනයත්, ජනාධිපති පවුලටත්, මැති ඇමතිවරුන්ටත්, ඒ අයගේ චක්ගෝලයින්ටත් මිස වෙන කාටවත් ඇඟට නොදැනෙන සෞභාග්‍යයකුත් මවා පා ඇත. අහිංසකයින්ගේ ආරාමය චප්ප කර දැමූ තැන ඇත්තේ විසිතුරු මල් අලෙවි කරන කුටිය. පාර්ලිමේන්තුවට හැරෙන පාර ආරම්භ වන තැන මංසන්ධියේ ඉදිකර තිබූ ඝාතනයට ලක් වූ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුව අද එතැන නැත. එයට කුමක් වුණාදැයි මා දන්නේ නැත. අද එතැන ඇත්තේ, ජාතික ඇඳුම ඇඳ සාටකය දමා ගත් අභිමානවත් පිරිමියෙක් සහ ඔසරිය ඇඳ මුතු පොට දැමූ ගැහැණියක් සහ ඔවුන් දෙදෙනාගේ පාමුලින් ගොවි, ගෙවිලියන්, පැරණි වෙදෙක්යැයි සිතිය හැකි වියපත් අයෙක්, පොතක් අතින් ගත් ළමයෙක් ආදී වශයෙන් වන පිරිසක් පිළිඹිබු කරන පිළිරුවකි. (එහි අර්ථය එතරම් පැහැදිලි නැත. ඒ බණ්ඩාරනායක සහ පංච මහා බලවේගය යැයි එකවරටම සිතුණත්, එවැන්නන් කිසිසේත් විය නොහැකි බව පසුව සිහිපත් විය.) එය සුදෝ සුදුය.

හැමදෙයක්ම පාලනය වෙන්නේ හමුදාව අතිනි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙනි.
(මළවුන් වෙනුවෙන් ඉදිකළ සෙහොන් සහ ස්මාරක කඩා බිඳ දමන්නේත්, හමුදාව. හැමදේම පාලනය කරන්නේත් ,උතුරේ පමණක් නොවේ, හමුදාවය)

මේ සියල්ල දෙස බලා සිටින, හිරි වට්ටවන ලද, පොදු ජනතාවට එකම තැන වට ගණං දුවන්නට නිදහස් පරිශ‍්‍රයක් ලබා දී ඇත. රාත‍්‍රියට පණ ගන්වන විස්මිත වතුර මලට වශී නොවී සිටිය නොහැකිය. දියවන්නාවේ පාවෙන බෝට්ටුවේ අවහන්හල දිහා බලා ඉඳ ගෙදර ගිහින් පාන් කෑල්ලක් කෑවත් සැපය. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කියන විදියට සැහැල්ලූව විඳගන්නවානං සෙකුරිටිලාගේ විසිල් වලින් සහ පොලිසීයේ කුරුමාණම්වලින් කරදරයක් නැත. ඔලූවලටට පොලූ වලින් ගසා හීලෑ කළ ජනතාව රුදුරු ආඥාදායකත්වයක් අහෝ සැපයි කියමින් සොඳුරු ලෙස විඳගනිමින් සිටිති.

දියවන්නාව අසබඩ අද පෙනෙන පින්තූරය විශාලනය කර බැලූවොත්, නුදුරේදී හදා නිමවන ශ‍්‍රී ලංකාව දැකගත හැකිවෙනු ඇත.

230402_1065506291950_3182472_sනදී කම්මැල්ලවීර | Nadee Kammallaweera