Photo by Seshanka Samarajiwa/The Picture Press

බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා බැදි ක්‍රියාවලීන් ගණනාවකින් සමන්විත ව්‍යාපෘතියක් අප ‘විකල්ප‘ වෙබ් අඩවියේ සහෝදර වෙබ් අඩවිය වන ‘ග්‍රව්න්ඩ්වීව්ස්‘ වෙබ් අඩවිය මේ වන විට දියත් කරමින් තිබේ. විශේෂයෙන් ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය තුල නව මානයන් පිළිබදව ඉතා ප්‍රභල සංඛේත සපයන එම ව්‍යපෘතිය තුල ඉතා ප්‍රභල හැගවුම් මෙන්ම අතිශය දුර්ලබ ප්‍රකාශනයන් ගණනාවක් පවති.

විශේෂයෙන් කලු ජූලියට වසර 30ක් සැපිරෙන මොහොතේ ලාංකීය දේශපාලන සහ සමාජ වටපිටාව තුළ සිංහල වර්ගවාදී කණ්ඩායම්නැවතත් සිංහල නොවන ජාතීන්ට සිදු කරමින් පවතින හිංසනීය තත්ත්වයන් මෝරමින් තිබෙන ත්ත්වයක් තුළ මෙම ව්‍යායාමය වර්තමානයේ ලංකාව තුළ ප්‍රභල ලෙස සලකුණු වෙයි.

1983 දී වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම් ‘කලූ ජූලිය’ ට 2013 ජූලියට වසර 30කි. 1983න් පසු සංඛේතාත්මකව ඇරඹි සංහාරය 2009න් අවසන් කළා යැයි කියමින්, අද ද තුවාල සුවකිරීමේ කාර්යය වෙනුවට තුවාල පාරමින් නැවත වරක් වර්ගවාදයත්, සිය මුග්ධ අධිපතිවාදයත් ලාංකීය පොළොව මත වපුරමින් තිබීම අතිශය ඛේදජනකය.

එම බියකරු තත්ත්වය තුළ ”30 වසරකට පෙර” මේ උත්සහය තුවාල සුවකර ගැනීමට මෙන්ම, එවන් තුවාල යළි ඇති නොවීමට ගන්නා ලද උත්සහයක එක් පියවරක් ලෙසත් මෙම නවමු මාධ්‍ය ක්‍රියාවලිය හැදින්විය හැකිය.

එම ”30 වසරකට පෙර” ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යය සිදු කරන ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක, සංජන හත්තොටුව ”30 වසරකට පෙර” වෙබ් අවකාශය පිළිබදව මෙසේ සටහන් කරයි.

‘‘මෙම ව්‍යාපෘතිය මින් පෙර කලාතුරකින් පළ වූ හෝ කිසි දා පළ නොවූ අදහස් ඔස්සේ යුගකාරක ’83 දෙමළ විරෝධී සංහාරය සිහි තබා ගැනීමට සහ විමසා බැලීමට දරන ප‍්‍රයත්නයකි. ත්‍රෛමාධ්‍යයීය මිශ‍්‍රණයක සිට තොරතුරු ග්‍රැෆික් දක්වා, audio podcast සිට විඩියෝ පට දක්වා, ඡායාරූපකරණයේ සිට අවධානය ඇද ගන්නාසුලූ ලිපි දක්වා – නිෂ්පාදකවරුන් මාධ්‍ය සහ විධික‍්‍රම ගණනාවක් යොදා ගෙන ඇත. තමන් එල්ටීටීඊයට එක් වූයේ ඇයි ද යන්න සහ අද දින ගමන් දරන අදහස කුමක් ද යන්න පිළිබඳ මේරි ගුණවතී වර්ධරාජා පවසන කතාව වැනි ඇතැම් නිෂ්පාදන කිසි දා නෑසූ හඬවල් හසු කර ගනියි. සුනෙලා ජයවර්ධනගේ ත්‍රෛමාධ්‍යයීය නිෂ්පාදනය ගූගල් අර්ත්( Google Earth) ඡායාරූප සමූහයක් පසුබිම ලෙස යොදා ගෙන සාමාන්‍ය පුද්ගලයන්ට දේවත්වය ආරෝපණය කරමින් පසු ගිය දශක තුන පුරා පැතිර ගිය ප‍්‍රචණ්ඩත්වය විමසා බලයි. තෙහානි ආරියරත්න තමන් සහ තමන්ගේ පවුල් අවදානමෙහි හෙළා ගනිමින් ප‍්‍රහාරය තුළ දී අනෙකුන්ට ආරක්ෂා ස්ථාන සැපයූයන්ගේ කතා පුවත් හසු කර ගනියි. ෂානි ජයවර්ධන කළු ජුලිය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව දරන අවධානය ඇද ගන්නාසුලූ අදහස් සහ තමන්ට එරෙහිව අද දින එල්ල කෙරෙන වැඩෙන වාර්ගික ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ට හැගෙන ආකාරය හසු කර ගනියි. ශානිකා පෙරේරා 1983න් පසුව සිදු වුණු ප‍්‍රධාන ‘ව්‍යවස්ථාමය’ වෙනස් වීම්’ විමසා බලමින් අසංග වැලිකල කළ පර්යේෂණයක දෘශ්‍ය සැලසුම් යොදා ගනිමින් සිය අදහස් සන්නිවේදනය කරයි. Picture Press නිෂ්පාදකවරු, කලින් ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියෙහි කළාක් මෙන් ම, එළඹෙන 30 වසරේ දී ශ‍්‍රී ලංකාවේ සම්බන්ධතා කළු ජුලිය පැන නැගීමට තුඩු දුන් දෙයට උපකාර වේ දැයි නොඑසේ නම් එය වළකනු ඇත් දැයි ඡායාරූප 80කට වැඩි සංඛ්‍යාවක් සහ පුළුල් සටහන් මාර්ගයෙන් ප‍්‍රශ්න කරති. ඡායාරූප මාර්ගයෙන් ඔවුන් හසු කර ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, ආයතනයන් සහ ස්ථානයන් මින් පෙර කිසි විටෙක කවර හෝ මාධ්‍යයක පෙනී සිට නැත.”

අඩවියෙහි තව කළ යුතු බොහෝ දෑ ඇත. ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමෙහි මා සඳහන් කළ පරිදි,

‘‘..කාංසාව, භීතිය, ප‍්‍රචණ්ඩත්වය, ධෛර්යය, ආදරය, කැප කිරීම, අහිමි වුණු අවස්ථා මෙන් ම බලාපොරොත්තුවේ දිය උල්පත් පිළිබඳව ද කියැවෙන මෙම කතා පුවත් විස්මිත නිපුණතාවකින් සහ සහකම්පනයකින් යුතුව හසු කර ගැනෙන්නේ කුසලතා පූර්ණ සහ නානාවිධ පරම්පරාවලට අයත් නිෂ්පාදකවරුන් කණ්ඩායමක් විසිනි… ඉතා බොහෝ දෙනා අමතක කිරීමට උත්සාහ කරන එහෙත් අනෙකුන් නො මැකිය හැකි ලෙස කොටා තැබීමට උත්සාහ කරන සිදුවීම් අතිශයින් ම නවමු සහ ආකර්ෂණීය ආකාරවලින් යළි සිහිපත් කිරීම සඳහා ඩිජිටල් මාධ්‍යය සහ අන්තර්ජාලය බලපෑම් සහගත අයුරින් යොදා ගත හැකි ආකාරය පෙන්වන ආදර්ශයක් ලෙස ද ප‍්‍රයෝජනවත් වේ යැයි මම බලාපොරොත්තු වෙමි.‘‘


‘‘අඩවියට පිවිස නුදුරු අනාගතයේ දී තවත් දෑ එක් වනු ඇති නමුත් දැනටමත් පළකර ඇති අවධානය ඇද ගන්නාසුලූ අතිමහත් තොරතුරු එකතුව විමසා බැලීමට මම ඔබව දරි ගන්වමි.‘‘

කෙසේ නමුත් මෙම ප්‍රභල ව්‍යායාමයෙහි ප්‍රධන අවස්ථාවක් ලබන අගෝස්තු 24 සහ 25 දිනවල පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වාපාක් ස්ටී‍්‍රට් මිව්ස්හි සහ වෙයාර්හවුස් ඞීහි ද ව්‍යාපෘතියේ අන්තර්ගතයෙන් බොහොමයක් විහිදී තිබෙනු ඔබට දැක ගත හැකි ය. එසේම සති අන්තයේ දී මෙම ස්ථානවල මේ ආශ‍්‍රිත තවත් නොයෙක් දෑ ද සිදු වනු ඇති බවත් ”30 වසරකට පෙර” අඩවිය සදහන් කරයි.

එබැවින් එම ප්‍රභල නව්‍ය විහිදුම හරහා කලූ ජූලිය ගැන යළි ස්මරණය කිරීමට සහ එහි කම්පනයන් තම නිර්මාණ ඔස්සේ යළිත් සමාජය වෙත මුදා හරිමින්, යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම: ”30 වසරකට පෙර” අඩවිය සහ එයට සමගාමී ක්‍රියාවලීන් සමග එක්වන ලෙස ඝාතනයට එරෙහි ජීවිතයට ආදරය කරන සියලු දෙනාගෙන් ‘විකල්ප‘ වෙබ් අඩවිය ඉල්ලා සිටිමු.