ලංකාවේ පවතින්නේ ක්‍රමානුකූල වූ අධ්‍යාපන ක්‍රමවේදයක් නොවේ. එය එක්තරා අන්දමක ඇනිමල් ට්‍රේනින් එකකි.ඒ කියන්නේ ශුද්ධ වූ ගිරවුන් තෝරා යම් රටාවකට කූඩු කරන ක්‍රමවේදයකි.ඒ කූඩුවට සමාජය විසින් විශ්වවිද්‍යාලයයි කියන අතර එහි වසර තුනක් හතරක් සිරවී එළිමහනට එන ගිරවාගේ තටුද සිදී හොටද බිම ඇනී නන්නත්තාර වී ඇති බැවින් ඉන් පසු ඌට කළ හැක්කේ කෙටි දුරක් පයින් ඇවිද යාම පමණි.අත දුර මානයේ යමක් සෙමෙන් ඇහිද කෑම හැරෙන්නට මේ විසල් ආකාසයේ ඌට ඉගිල්ලෙන්නට නොහැකිය.කෙටියෙන් කියන්නේ නම් මුන් ට අහස අහිමිය.

තියරියෙන් පිට පරිප්පු හොද්දක් වත් හදන්නට බැරි මේ පරම්පරාව විශ්ව විද්‍යාල කූඩුවෙන් මිදී වසර හතක් හෝ අටක් තිස්සේ කට හැර බලා සිටින්නේ ජීවත් වීමට සලාකයක් හෝ සහනාධාරයක් ලෙස ආණ්ඩුව විසින් රැකියාවක් දෝතට පිරිනමන්නේ කවදාදැයි කියාය.මේ ලියන මාද යම් තරමකට මේ බුරුත්තට අයත්ය.නමුත් පෙර කී සාමුහික ලක්ෂණ වලින් තරමක් දුරට විනිර්මුක්තය.මා විශ්ව විද්‍යාලයෙන් පිට වූයේ 2006 වර්ශයේදීය. රැකියා සලාකය ලද්දේ 2012 වර්ෂයේ මැයි මාසයේදීය.‍මෙම වසර හයක පමණ කාලය තුළ මම ඉබා ගාතේ ඇවිද්දෙමි.විවිධ රැකියාවන් කළෙමි.ඒවා අතර කුලී වැඩ ගණයේ ඒවාද විය.මගේ දුෂ්කර ක්‍රියාවේ අවසාන බාගය වන විට මම පෞද්ගලික අංශයේ යම් දුරකට පැමිණ සිටයෙමි. විශ්ව විද්‍යාල කූඩුවෙන් අහිමි වූ ස්වාධීන තටු පැළැද සිටියෙමි. උපාධිධාරීන්ට රැකියා දෙන බවට ඇප්ලි කේෂන් කැදවූයේ මේ කාලයේදීය.පැන්ෂන් උණක් මට නැතත් යම් දුරකට හෙම්බත්ව සිටීම නිසා රාජ්‍ය අංශයට යොමු වීමට සිතීමි.

දේශපාලක ලයිස්තු වලින් කණ්ඩායම් කිහිපයක් බදවා ගත් අතර ඉන්ටවීව් කර තෝරා ගත් අතලොස්සක් අතරට මමද අයත් වීමි. දැන් ඉතින් මා අයත් වන්නේ අළුත්ම ලෝකයකටය. චීස් බීස් ඉංගිරිසි නැති ෆේස් බුකි යන්න පමණක් පරිගණක භාවිතා කරන රාජ්‍ය අංශය නම් වූ මහා වෘතිය අංශයටය .කෙසේ වුවත් මම යමක් කිව යුතුය. ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමවේදය අනුව බිහිවූ උපාධිධාරීන්ගේ දක්ෂතාවන් මනාව හදුනාගෙන මෙම අභ්‍යාසලාභී පුහුණුව සදහා බදවා ගන්නා ලදින් බොහෝ අයට සිදු වූයේ ගමක් ගමක් ගානේ ගොස් ඇට බෙදන්නටය. ධීවර ගම්මාන වල මුහුදු වෙරළ මායිම් වලට ඇට බෙදන්නට ගොස් ඇට කුඩු කර ගන්නටද අවස්ථාව ලබා දී තිබුණි. රැකියා නිර්මාණය අතින් ආණ්ඩුව අති විශිෂ්ටය. උපාධිය හිස තියා දකින සිහින පසෙක ලා ඇට මාමාලා ඇට නැන්දලා බිහි වූයේ එනිසාය.

මගේ කතාව

……………………..නම් වූ මගේ වසරක පුහුණු කාලය සම්පූර්ණ වූ දිනය 2012.05.02 වන අතර මා මුලින් සිටියේ ……………..අමාත්‍යංශයේය. අදාල කාලය සම්පූර්ණ වූ වහා රාජ්‍ය පරිපාලන අමාතයංශයට ගොස් ඔවුන්ගේ ඩේටා බේස් එක පිරික්සූ නමුත් එහි මගේ විස්තර කිසිවක් නොවිණි. ඔවුන් කීවේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඩේටා බේස් එක මුල් කරගෙන පත්වීම් ලිපි නිකුත් කරන බවත් එහි මාගේ විස්තර නොමැති බවත්ය. ඒ සැලවූ වහා මම මගේ විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අප්ඩේට් කර රාජ්‍ය පරිපාලනේ රිස්වාන් මහතාට ලබා දුන් අතර පෞද්ගලික ලිපිගොනුවද හතර පාරක් අතින් ගෙන ගොස් දුන්නෙමි. නමුත් ඔවුන් මගේ පත්වීම් ලිපිය නිකුත් කලේ (2013.9වන මාසයේදී) මා පෙර සිටි අමාත්‍යංශය නමටය. ඒ නිසා මට පසුව සිටි ආයතනයේ ස්ථිර පත්වීම යටතේ වැඩ බාරගත නොහැකි වූ අතර යලිත් ලිපිය අමාතයංශයේ නම සංශෝධනය කිරීමට බාර දුන්නෙමි. එයද මහා රස්තියාදුවකින් පසු නැවත ලබාගත් අතර එම සංශෝධිත ලිපියේ මගේ පත්වීම් දිනය යොදා තිබුණේ 2013.02.29 ලෙසය. එය හැම අතින්ම වැරදිය. යලිත් දිස්ත්‍රික් ලේකම් මගින් දිනය සංශෝධනයට රාජ්‍ය පරිපාලනය වෙත ඉදිරිපත් කළ අතර මේ වන තෙක් එය මට ලැබී නොමැති අතර සංශෝධිත පත්වීම් ලිපිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අස්ථානගතවූ බව පසුව දැනගන්නට ලැබුණි. ඉතින් මේ කතන්දරය මැයි මස දෙවනදා සිට මේ මස ආරම්භය දක්වාම පැවතී එය නිම වූයේ මා රැකියාවෙන් ඉවත් වූ බැවිනි. රාජ්‍ය පරිපාලනේ නාටකයේ ඉතිරි භුමිකා මා දුටුවේ ස්ථිර පත්වීම් කතන්දරයට මාස හයක් තිස්සේ බඩගාද්දි ය. මේ ඉන් කණට වැටුනු කිහිපයකි.

හංසිකාගේ කතාව

හංසිකා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අතිරික්ත ලයිස්තුවේය.(මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන් 300ක් පමණ පුහුණුව සදහා බදවා ගත් අතර ඔවුන් කිසිදු පුහුණුවක් ලද්දේවත් කිසිදු වැඩක් කලේවත් නැත) හංසිකාගේ ස්ථිර පත්වීම් දිනය 2013 අප්‍රෙල් මාසයේ දිනයකි. නමුත් ඇයට පත්වීම නිකුත් කරන්නේ 2013 එකොලොස් වන මාසයේදීය.එය X නම් අමාතයංශයටය (ඇය එම අමාත්‍යංශය යටතේ අනුයුක්ත වූ හෝ පුහුණුව ලද අයකු නොවන අතර මෙම පත්වීම එම අමාතයංශය යටතට රාජ්‍ය පරිපාලනයෙන් නිකුත් කරන්නේ අදාළ අමාතයංශයද නොදැනුවත්වය..). ගැබිණි සමයේ පසුවූ මෙම නිලදාරිණිය මේ වන විට දරු ප්‍රසූතිය සදහා රෝහල් ගතකළ යුතු කාලයද ඉතා ආසන්න වි තිබු අතර නිසි පරිදි ප්‍රසූත නිවාඩු ලබා ගැනීම සදහා ස්ථිර පත්වීමේ වැඩ බාර ගැනීම අත්‍යවශ්‍ය විය. ඇය මහමෙරක් බඳුව බලාපොරොත්තු සහිතව අදාළ ස්ථිර පත්වීමද රැගෙන X නම් අමාත්‍යංශයට ගිය අතර එහිදී ඇයට දැන ගන්නට ලැබුණේ අදාළ අමාත්‍යංශයට මුලින් අනුයුක්ත නොවී එකවර ස්ථිර පත්වීමේ වැඩ බාර ගන්නට නොහැකි බව හා එම අමාතයංශය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු කිසිවක් මේ වන විට ඉතිරි වී නොමැති බවකි. ඉන් සතියකට පසු ඇය මවක වූ අතර මේ කිසිවකට දුව පැන ඇවිදීමට නොහැකිව ස්ථිර සේවකයෙකුට හිමි වැටුප් සහිත ප්‍රසූත නිවාඩු සහ ඇරියස් වූ වැටුපද අහිමිව රැකියාව පිලිබදවද මහත් අස්තාවරත්වයෙන් පසුවන්නීය.

මධුවන්තගේ කතාව

මධුවන්ත කෑගල්ලේය. ඔහුගේ ස්ථිර පත්වීමේ දිනය 2013 මාර්තු මාසයේ වන අතර වාසනාවට අප්‍රේල් මාසය වන විට රාජ්‍ය පරිපාලනයෙන් ඔහුගේ ස්ථිර පත්වීම නිකුත් කලේය. එහෙත් එම පත්වීමේ ලිපියේ හැඳුනුම්පත් අංකය වැරදිය. සාමාන්‍යයෙන් පත්වීම් ලිපිය වැරදියට හෝ නිකුත් කලේ නම් එය සංශෝධනය වී එන තෙක් ඔහුට දහදාහේ දීමනාවද අහිමිය. අවසානයේ මධුවන්තගේ ලිපිය සංශෝධනය වූයේ නොවැම්බර් මාසයේදීය. එතෙක් කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලද නිසා ඔහු රාත්‍රී කාලයේ මුර කරුවෙක් ලෙස ආයතන කිහිපයක සේවය කළේය.

මේ අපේ කතන්දරය. මේ කතන්දරය නාටකයක් කළේ රාජ්‍ය පරිපාලනේ ප්‍රධාන නලු නිලියන් කිහිප දෙනෙක් විසින්ය . ඔවුන්ගේ භූමිකාවන් විවිධය. බුද්ධිනී, රිස්වාන්, චින්තක නම් සහකාර අධ්‍යක්ෂක මඩුල්ලත් ඒ සියල්ලන්ගේ ලොක්කා වන කවදාවත් කාර්යාලයේදී හමුවිය නොහැකි ප්‍රසාද් මහතාත් හැරුනු විට පත්විම් ගැටළු ව්සදාගන්නට එන නිලධාරීන් මෙල්ල කරන්නට සුරතල් සතෙකු සිටී. ඇය නමින් ගීතාය. කළමනාකරණ සහකාර සේවයේ මුර බැල්ලියෙකි. කුමක් ඇසුව ද ඇය ගෙරවීමෙන් පසු කියන්නේ කරුණාකරල යනවා….යන වදන පමණකි. රිස්වාන් මහතා මුදුය. එත් අකර්මණ්‍යය.

ලස්සනට හිනා වී වැඩේ පස්සට දමන්නේය. ඉන්නා තැනින් යන්තමින්වත් සෙලවෙන්නේ චින්තක මහතා පමණි. බුද්ධිනී මැඩම්ගේ උපදෙස් නම් මාරම කෙටිය. “මැඩම් මගේ රැකියා ස්ථානෙ වෙනස් වුනා. මම ආවෙ නුවර ඉදන්. කලින් වැඩ කළේ ඉස්කෝලෙක. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ. මගේ ඩේටා බේස් එක අප්ඩේට් නැතුව ඇති. අනේ ඒක බලල මගේ දැන් තොරතුරු ඇඩ් කර ගන්න. මගේ අවුරුද්ද සම්පූර්ණ වෙලත් මාස පහකට වැඩියි. පත් වීම් ලිවුම වැරදුනොත් මට ආයේ ගොඩක් කල් බලා ඉන්න වෙනවා…..”. යුවතියක් සීරුවට කියවාගෙන යයි. මලානික වූ ඇගේ අතේ කිරිකැටියෙකි. ඇයට යාබද අසුනේ දිරාපත් ව ගිය මහළු පියෙකි. දෙදනාම බලා සිටින්නේ තමා ඉදිරිපිට සිටින බුද්ධිනීගෙන් සැනසිලිදායක වදනක්ය. ඇය නිහඩව පරිගණකය ඔබයි. දුරකථනය කරකවයි. බැරිම තැන මහලු මිනිසා මදක් එසැවී “මාත් දුවේ රාජ්‍ය සේවකයෙක්. දැන් සාම විනිසුරුවරයෙක්.” යැයි අසරණව පැවසීය. ඉන් බුද්ධිනීගේ දැහැන බිදුනි. තමුන් කවුරු වුනත් මට කරන්න දෙයක් නැහැ. පත්වීම එනව නම් එන තැනකට එයි. ඒ එන තැන නෙමේ නම් තමන් එතකොට ඉන්නෙ ඒක ආවට පස්සෙ වෙනස් කර ගන්න. දැන් කරුණා කරල යන්න. යුවතියගේ දෑස කදුලින් පිරී තිබුනි. මාද හත් අට වතාවක් චාටර් වී නැවතත් එතැනට එනවිට සවස දෙක පමණ වී තිබූ අතර ඒ වන විටත් මේ යුවතිය එම ගොඩනැගිල්ලට ඉදිරිපස බංකුවක වාඩිවී දරුවාට කිරි පොවමින් උන්නාය. දැඩිව බැනුම් අසා ගීතාගේ බිරීමෙන්ද හෙම්බත් වූ මම එම දසුනෙන් මහත් සේ කළ කිරීමට පත් වූයෙමි.

රාජ්‍ය පරිපාලනය යනු රටේ මුදුන් මල් කඩ බඳු ආයතනයකි. එහෙත් එතැන සිටින්නේ එක්සෙල් තීරුවක දිග පළලවත් වෙනස් කර ගත නොහැකි බූරුවන් රොත්තකි. චක්‍රලේඛ පුරවා නීති හදන්නේත් උන්මය, කිසිදු විලි සංගයක් නැතිව ඒවා බිඳින්නේද උන්මය. මෙම පත්වීම් පනස්දහසෙන් සිදු වූ යේ මෙතෙක් උපාධිකාරයාට දශමයක හෝ තැනක් මේ සමාජයේ තිබුනේ නම් එයද නැති කර දැමීමය.

උපාධිධාරී අභ්‍යාසලාභිව සිට ඉන් මිදුනෙක් විසිනි.