අද දෙසැම්බර් 9 වැනිදා නමුත් , දෙසැම්බර් 1 පළමු වැනිදා මුහුණු පොතේ බොහෝ ඉඩක් වෙන්වී තිබුණේ හදිසි අනතුරන් මියගිය ​පෝල් වෝකර් වෙනුවෙනි. ‘ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්’වීරයා වූ පොල්ගේ මරණය තවත් දහස් ගණනකගේ මරණ සගවා ගන්නට ගත්තාහ. පෝල්ගේ මරණය වෙනුවෙන් සිය පිටු වෙන්කරන බොහෝ කලා සගයන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට එදින ලෝක ඒඩ්ස් රෝගීන්ගේ දිනය කියා අමතක විය. ප්‍රශ්ණය පොල්ගේ මරණය සම්බන්ධ දුක්වීම නොවේ. ප්‍රශ්ණය ලෝකයේ අනෙකුත් ​​දෛනික ප්‍රශ්ණ වෙනුවෙන් අප තුළ පවතින සංවේදීතාවය පිළිබදවය.

සෑම විටම තමන්ට ජය ගැනීමට නොහැකි දෑ ඇග රිදවගන්නේ නැතිව වීරයන් පහළ වී ජයගන්නා තුරු බලා සිටිම යුගයේ සාමාන්‍යකරණය වී ඇත. පොල් වෝකර් වැනි සැලෝලයින් වීරයන් ​බොහෝ අයගේ ​ලෝකය බවට පත්වී ඇත්​තේ එහෙයිනි. උතුරේ දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, රතුපස්වල ජනයාට වෙඩි තබද්දී මේ කදුලු තිබුණේ දැයි ප්‍රශ්ණ කරන්නට වෙන්නේ මේ කදුලු සැබෑ මනුෂත්වයට යන්න ප්‍රශ්ණකාරී වන නිසාවෙනි. මෙය ලෝක පරිමාණයෙන් ද දෙසැම්බර් පලමු වැනිදා එසේම සිදුවිය.

පෝල් වෝකර් ගැන කම්පාවන ඇත්තන් ​​​දෛනිකව අධිපතියන්ගේ බල අරගලය වෙනුවෙන් ​​ලෝකය පුරා මරාදමන මිනිසුන් ගැන නිච්චියක් නැත. මලලා යුසුෆායි ගැන ​කම්පාවන බොහෝ පිරිස්වලට යේමනයේ, දකුණු පකිස්ථානයේ, ඈෆ්ගන්ස්ථානයේ ​​දෛනිකව මරාදමන ලමුන් ගැන කථාවක් නැත. එපමණක් නොව පොල් සමගින් මියගිය ඔහුගේ ගමන් සගයා ගැන කිසිදු කථාවක් නැත.

පෝල් වොකර්ට යටවූ ලෝක ඒඩ්ස් දිනයේදී ලංකාවේ ඒඩ්ස් සම්බන්ධ තත්ත්වය මෙසේ ය.

එච්.අයි.වී වයිරසය ශරීර ගතවූ පුද්ගලයන් 3,000ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු ගත කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ආසාදිතයින් 1808 දෙනෙක් සොයාගෙන ඇත.

ඔවුන් අතර මවගෙන් එච්.අයි.වී ආසාදිත වු 70 දෙනෙක් වන බව සඳහන්ය.මෙරටින් වාර්තා වු පළමු ඒඩ්ස් රෝගියා 1989 වාර්තා වී ඇති අතර මේ දක්වා කාලය තුළ ඒඩ්ස් රෝගීන් 337 දෙනෙක් මියගොස් ඈත.එච්.අයි.වී ආසාදිතයින්ගෙන් සියයට 60ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. සියයට 52 ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එච්.අයි.වී ආසාදිත තත්ත්වයට පත්වන්නන්ගෙන් සියයට 95ක්ම අනාරක්ෂිත ලිංගික චර්යා හේතුවෙන් ඊට ගොදුරු වන අතර සියයට 04ක් මවගෙන් දරුවාට රෝගය බෝවී ඇති බව වාර්ථා පෙන්වා දෙයි.

ලෝක තත්ත්වය ලෝකයට ඒඩ්ස් වෙතින් ඇති අවදනම පෙන්නුම් කරයි.

වසර 2012 අවසන් වන විටදී ලොව පුරා මිලියන 35.3 ක ජනගහණයක්‌ එච්. අයි. වී./ ඒඩ්ස්‌ වයිරසයෙන් ආසාධිත වී සිටි අතර එම පිරිසෙන් මිලියන 2.1 ක්‌ම නව යොවුන් වියෙහි පසුවන්නෝ වූහ.

2005 වසරෙහි සිට 2012 වසර දක්‌වා ගතවූ වසර හතක කාලය තුළදී ලොව පුරා සිදුවූ ඒඩ්ස්‌ රෝගය ආශ්‍රිත මරණවලින් නව යොවුන් වියෙහි පසුවූ එම රෝගීන්ගේ මරණ සංඛ්‍යාව සියයට 50 කින් වැඩි වී තිබූ අතර ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වූ සෙසු වයස්‌ කාණ්‌ඩවල රෝගීන් මියයැම සියයට 30 කින් අඩුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අවසන අපට මේ සියලු දත්ත පවසන්නේ ජීවිතය ඇත්තේ සැලෝ ලයිට් පටයට හුගාක් ඇතින් බවයි. පොල් මුහුණ දුන් සත්‍යයද එයම වන්නේය. තිරයේදී සියලු දුෂ්ඨයන් පරාජය කරමින් සිය රථය මෙහෙයවන වීරයා රිය අනතුරකින් මිය යාම ජීවිතය ඇති ඉසව්ව පිළිබද සජීවි උදාරණයක් නොවන්නේද?

Image Credit: movies.yahoo.com

පසන් ජයතිලක | Pasan Jayathilaka