පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි නමකට චීවරධාරියා යැයි කීමය.

එසැනින් කුලප්පු වූ සිහල රාවයේ සාදුලා සාධුකාර කියමින් අගමැතිවරයාට විරැද්ධව ඔහු ඉල්ලා අස් විය යුතු යැයි පවසමින් ඊයේ(08) අගමැති කාර්යාලයට පැමිණියේ ය. (සමාවන්න වැඩියේ ය.) එසේ වඩිනවිට සුපුරැදු පරිදි සාධුලාට සැම විට සහය වන පොලිස් මහතුන්ලා සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් බැරියර් දමා සිටියේ විහිලුවට මෙනි. කාලෙකින් හමුවුනු හොදම අවස්ථාව අතහැරිය නොහැකි නිසා, එහි සිටි චන්ඩි සාදුලා බැරියර් පෙරලුවේය. පොලීසියේ මහතුන් ට බැන වැදුනේය. කළ හැකි සියලු දේ කරමින් සිටියේ ය. ඒ අතර පෙරලු බැරියරයක් ආපසු කැරකී සාදු කෙනෙක් ගේ ලේ සෙලවීය. සාධුලා කිහිප දෙනෙක්ම රෝහල් ගත කෙරැණු බවත් ආරංචි විය. දැන් නාඩගම අවසන් වූයේ මාධ්‍ය මගින් එහි සියලු වර්ණාවස්ථා කිසිදු විචාරයකින් තොරව ඉහලටම ඔසවා තැබීමෙන් අනතුරැවය.

දැන් අගමැති ඉල්ලා අස්වූයේ නැත. එසේ වන බව සිහල සාධුලා ද හොදින් දනී. අනෙක නම් එසේ සත්‍ය ලෙසම අගමැතිවරයා ව ඉවත් කර ගැනීමට නම් යා යුත්තේ අරලියගහ මන්දීරයටය. අගමැතිට විරෝධය දක්වමින් ජනාධිපතිවරයා හමුවීමටය. නමුත් කිසිම විටෙක මේ සාධුලාවත්, බොදු බල සාධුලාවත් චන්ඩිපාට් දමන්නට අරලිය මැදුරට වැඩියේ නැත.වඩින්නේ ද නැත. අරලිය මැදුරේ ඕනෑම දෙයක් සිදු වුවත්, සිදු කළත් එහි වඩින්නේ නැත. (සියලු දේ සිදුවන්නේ අරලිය හෙවනේ බව මේ සියලු දෙනා නොදන්නවා නොවේ.)

කොන්තරාතුතුවට ලැබෙන සුපිරි වාහනයි මේ.
කොන්තරාත්තුවට ලැබෙන සුපිරි වාහනයි මේ.

නමුත්, මේ සියලු සාධුලා විරැද්ධ වන්නේ රාජපක්ෂලා නොවන අයටය. රාජපක්ෂලා හැර ඕනෑම අයෙකුට ඔවුන් විරැද්ධ වෙයි. රාජපක්ෂලා කුමක් කලත් ඔවුන්ට විරැද්ධ වන්නේ නැත. ඒ මේ සාදුලාට දී ඇති කොන්තරාතුත්වේ පදනමය. සත්‍ය ලෙසම ඔවුන්ට විරැද්ධ වී මෙම වර්ගවාදය පැතීරීම සිදුකල නොහැක.මක් නිසාද යත් ප්‍රභාකරන් නැති කළ රාජපක්ෂලාට සහ ජාතිවාදීන්ට අලුත් සතුරන් අවශ්‍ය කරයි. ඒ සතුරන් නිර්මාණය කර හදා වඩා ගන්නේ මේ සාධුලා ඇතුලු ජාතිවාදී පිරිසය. එබැවින් මේ සියලු දෙනාට සියලු දෙනා නැතිව බැරිය.

එය තවත් ලෙසකින් මතු වෙයි. අගමැතිවරයා කුඩු ගෙන්වා ඇත්නම් සහ එයට අදාලව භික්ෂූන්ට හෝ කාට හෝ අපහාස කර ඇත්නම් යුක්තිය ඉල්ලා යායුත්තේ අධිකරණයටය. ඔවුන් අධිකරණයට ගියේ නැත. ඒ අධිකරණය ස්වාධින නැති නිසා යැයි කියමින් නොවේ. වැඩ පෙන්විය යුත්තේ පාරේ දීය. මුස්ලිම් පල්ලියක්, මස් කඩයක් ඉදිරිපිට දීය. දැන් අගමැති කාර්යාලය වැනි රාජපක්ෂලා නොසිටින ඕනෑම තැනකය. ඒ එම කොන්තරාත්තුවේ අනෙක් පදනමය. එම කොන්තරාත්තුවට අනුව එය හොදින් සිදුකළ බැවින් සිහල රාවය පිටුපස සිටින වංශවත් ඇමති මහතා විසින් පැමිණි සියල්ලටම සුපිරි ගනයේ භෝජන සංග්‍රහයක් අරලිය පිහිටෙන් ලැබෙනු ඇත.

දැන්, රාජපක්ෂලා නොවන අයට අනතුරැදායක කාලයක් එළබ ඇත. එය ආශ්චර්යයේ තවත් පැතිකඩකි.

වසන්ත බණ්ඩාර | Wasantha Bandara