Image Credit : thehindu

අපි අපේ අමිහිරි මතකයන් වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා හිඳිමු. රැල්ලට හසුවී එම මතකයන් මුහුද ඇතුලට ගොස් නව වැල්ලක් ඉස්මතු වන්නා සේ, අපි අපේ මතකයන් නැවුම් කර ගනිමු. අනෙක් පසින් අපි අපේ මිහිරි මතකයන් ගල්වල කොටා වසර සිය දහස් ගණනක් පවතින ලෙස කටයුතු කොට මීළඟට එන පරම්පරාවලට එම මතකයන් ත්‍යාග කරමු. ආඥාදායක මහින්ද රාජපක්ෂ පසුගියදා තම 66 වන නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වූ කතාවේදී සෑම දිනකම කියන සුපුරුදු දෙයම වෙනස් ආකාරයකින් මෙවර ප්‍රකාශ කළේය. රාජපක්ෂ ජනාධිපතිවරයා වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා සිටීම ගැන කීමට මෙවර ගමන් කරනු ලැබුවේ කෑගල්ලටය.

කිසිඳු සැකයක් නැත. ඔහුට මිහිරි මතක රැසක් ඇත. අද රටේ නීතියටවත් යටත් නොවෙන පුද්ගලයෙක් දක්වා පැමිණි ගමනේ එම මිහිරි මතකයන් සෑම මොහොතකම මතක් කරන ආකාරයෙන්ම, තම බලය ගිලිහී යෑම පිළිබඳ වූ සාදාරණ බියකින්ද ඔහු පසුවේ. බෙලිඅත්තේ දී මැතිවරණ හටන ජය ගැනීම සඳහා මිනීමැරීමේ සිට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මෙන්ම ජනරාල් සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ කූඩු කිරීම දක්වා වූ වැඩපිළිවෙල ඔහුගේ මිහිරි මතකයන් අතර ප්‍රමුඛය. එසේම තම පවුලේ සාමාජිකයින්ට ලංකාව කාබාසිනියා කරමින් රිසි සේ හම්බ කිරීමට ඉඩහරිමින්, රටක පැවතිය යුතු එනම් රාජ්‍යක ගරුත්වය සහ ශක්තිය රඳා පවතින ආයතන වලට හිමි ස්වාධීන බලය සහමුලින්ම අතුගා දැමීමෙන් පසු ගිරුවාපත්තු මැර න්‍යාය ජයග්‍රහණය කොට ඇති ආකාරය ගැන වූ මිහිරි මතකයන්ද ඔහු සතුය. නමුත් හෙතමට අමතක වී අත්තේ එම මිහිරි මතකයන් ලිවීමට මෙරටට ගල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවයි. රාජපක්ෂගේ මිහිරි මතක ලිවීමට මෙරට ගල් චීන කොන්ක්‍රීට් කණු තරම්වත් ශක්තිමත් නැත.

එසේම ඔහු කියන පරිද්දෙන් අමිහිරි මතකයන්, වැල්ලේ ලියා තැබිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය , රාජපක්ෂට විරුද්ධව සම්මත කළ සහ සම්මත කිරීමට ඇති යෝජනා ඉන් ප්‍රධානය. එසේම තමන්ගේ සහෝදරයින්ද පුරවැසි භාවය ලබා ඇති ඇමෙරිකාව රාජපක්ෂට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල අමිහිරිය. ඔහු එම මතකයන් වැල්ලේ ලියා තැබීමට අණ කරනු ලබයි. රැල්ල පැමිණ එම අමිහිරි දෑ මකා දමනු ඇත. එය ඔහුගේ ටිකිරි මොළයයි.

සැබෑ සත්‍ය ඊට හාත්පසින්ම වෙනස්ය. රාජපක්ෂගේ මිහිරි මතකයන් සාමාන්‍ය ජනතාවගේ අමිහිරි මතකයන්ය. සාමාන්‍ය ජනතාවගේ මිහිරි මතකයන් රාජපක්ෂගේ අමිහිරි මතකයන්ය. මෙම සන්දර්භය ඔස්සේ ඔහුගේ ඉල්ලීමට කළ හැක්කේ කුමක්ද?

රට වටේම මුහුද ඇති හෙයින් රාජපක්ෂගේ අමිහිරි මතකයන් සියල්ල වෙනුවට අපේ අමිහිරි මතකයන් සියල්ලම වැල්ලේ ලියා තැබීම කළ හැකිය. රාජපක්ෂ නමැති නමද සෑම තැනකම ලියා රැල්ල එන තෙක් බලා සිටීමට හැකිය. සැබවින්ම නව දේශපාලන වැඩපිළිවෙලක් ආඥාදායකයාගේ නිදහස් කතාවින් පසු සිදු කළ හැකි අයුරු පෙනේ. එනම් ශිෂ්‍ය ව්‍යාපාර ඇතුළු අනෙකුත් කණ්ඩායම් වලට තම විරෝධය ප්‍රකාශ කිරීම සඳහා වැල්ල තෝරා ගත හැකිය. අරලියගහ මන්දීරය වෙත ගොස් කඳුළු ගෑස් වලින් හෝ බැටන් පොලුවලින් බැට කෑමට වඩා වැල්ලට ගොස් තම සතුරා ගැන වැල්ලේ ලියා තැබීම සෞඛ්‍ය සම්පන්නය.

එසේම රටේ ඇති සුවිශාල ගල් සොයා ඒවායේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධය, අගවිනිසුරු ධූරයෙන් එලවා දැමීම, මෙන්ම රට පත් වී ඇති ඉරණම ගැන ඒවායෙහි ලියා තැබීම, ඉතිහාසය වෙනස් කරමින් එය ඔහුට අවශ්‍ය ආකාරයෙන් ලියන රාජපක්ෂ පරම්පරාවට නැතත් මෙරට සාමන්‍ය ජනතාව වෙනුවෙන් කළ හැකි හොඳම සත්කාරය නොහොත් කළ ගුණ සැලකීම වේ.

සත්‍ය වූ කලී අපට මිහිරි මතකයන් කියා යමක් නැත. රටේ මුළු ඉතිහාසය පුරාම අත්තේ අමිහිරි මතකයන් සහ මුසාවාදයෙන් පිරිණු පාපොච්චාරණයන් නොහොත් පාවා දීමය. අතිශය සරල කාරණා වෙනුවෙන් තම ගරුත්වය පාවාදීමට මෙන්ම තම අයිතීන් සහ අනුන්ගේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ වුන් එක පයිසයකටවත් මායිම් නොකිරීමට අපි සංස්කෘතික වශයෙන්ම ඉගෙන ගෙන ඇත. එය එසේ නොවේනම් තමන්ගේම සහෝදර ජනතාව මරා එය විමුක්තිය යැයි කියමින් උදම් ඇණිය නොහැකිය. එසේම තම පියා මහ මඟ අමු අමුවේ මරා දැමූ හිවලුන් අතර පොර කිකිළියක් වන්නේ නැත. එවැනි දෑ සිදු කරනු ලැබුවේ ගෝත්‍ර සමාජ වලය. එය ජීවත් වීම නොවේ, එය වූ කලී ජීවිතය කෙසේ හෝ බේරාගැනීමය ( නොට් ලයිෆ් බට් සර්වයිවල්). රට තුළ පාලනය කොට ඇති නමුත් රටින් පිට පාලනය කිරීමට නොහැකි සත්‍ය මඟින් දැඩිව අවදාරණය කරනු ලබන්නේ මෙම පැලපදියම් වී ඇති දීන කමයි. එය ජාතිමාමකත්වය ලෙස හැඩගන්වා අපි අපේම ජීවිත පාවාදෙමින් සිටින්නෙමු. ඒ, රටක් බේරාගැනීමට නොව එක පවුලක් නඩත්තු කිරීමටය.

එය රාජපක්ෂට අනුව දේශද්‍රෝහීය. නමුත් ඉඩි අමීන්ගේ සිට පිනෝචේ දකවා වූ මිනීමරු පාලකයින් රාජපක්ෂ අද දකින සිහිනයම දුටුහය. ඔවුහුද මවාගත් දේශහිතෛෂී භාවයක් ආදේශ කොට ගෙන එමඟින් සාමාන්‍ය සමාජය රෝගීන් බවට පත් කළේය. නිදහස යයි ඔවුහු පිළිගැනීමට බලකරුනු ලැබුවේ එයයි.

පන්දම් කාරයින්ගෙන් සහ කට්ට කෛරාටකයින්ගෙන් සමන්විත වන දේශීය දේශපාලනය මෙන්ම විදේශීය දූත සේවා දක්වා වූ සියලුම තැන්වල රාජපක්ෂ සිදු කොට ඇති ඛේදවාචකය එයයි. අර්බුදවලදී රාජපක්ෂ න්‍යායට කදිමට ගැලපෙන නයිජීරියානු කියමනක් තිබේ. එනම් , අර්බුධ අවස්ථාවලදී ඥානවන්තයින් පාලම් ඉදිකරනු ලබයි, මෝඩයින් තාප්ප ඉදිකරනු ලබයි. මෙය ඉදිරි මාර්තු මාසයෙදී වඩාත් මැනවින් අවබෝධවනු ඇත. රටේ අති විශාල ජනප්‍රසාදයක් තිබේ යැයි කෑ මොර ගහන ආණ්ඩුව කැබලි කොට පවත්වන මැතිවරණ නමැති රෙද්ද පල්ලෙන් වැහැරෙන්නේ එම මැකිය නොහැකි, දුඟද හමන භයානක සත්‍යයි.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa