Vikalpa File Photo

ජිනීවා වල මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය ඊයේ(03) දා ආරම්භ විය. මෙවර 25වන සැසියේ විශේෂය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්, නවනීදන් පිල්ලේ විසින් ලංකාව පිළිබද සිය වාර්තාව ඉදිරිත් කිරීමට නියමිතව තිබීමය. ඇය මෙම වාර්තාව මෙම සමුලුවට ඉදිරිපත් කරන්නේ පසුගිය දා ලංකාවේ සංචාරය කිරීමෙන් පසුව වීමද විශේෂ ලක්ෂණයකි. කෙසේ නමුත් එම වාර්තාව ලබන 26වන දින ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවන අතර, නවනීදන් පිල්ලේ මහකොමසාරිස්වරිය එම සමුලුවේ ආරම්භක සැසිය අමතමින් ප්‍රකාශ කර තිබුණේ

‘‘මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙන අතර ඔවුන්ට ඔවුන්ගේ බලය අහිමි වෙනවා,”

යනුවෙනි.

මේ සැසිය මෙසේ ආරම්භ වනවිට සුපුරැදු පරිදිම උතුරේ ජනයාගේ මානව හමිකම් රාජපක්ෂ ආණ්ඩුවේ හමුදා බලය විසින් යටපත්කරමින් තිබේ. ඊයේ ජිනීවාවල මානව හිමිකම් සැසිය ආරම්භවන විට, කිලිනොච්චිය, පලයි, ඉයක්කච්චිය ප්‍රදේශයෙහි ජනතාවට අයත් අක්කර 36ක ඉඩම් ප්‍රමාණයක හමුදාවේ 552වැනි බල සේනා මූලස්ථානය ඉදිකිරීමට අත්පත් කිරීමේ සැලැස්මක් පිළිබදව ඊයේ(03) ග්ලෝබල් ටැමිල් වෙබි අඩවිය වාර්තා කලේය. ඉයක්කච්චිය ප්‍රදේශයේදී ඊයේ(03) උදෑසන එම ප්‍රදේශයෙහි ජනතාව කැඳවා එම ඉඩම් හමුදාව විසින් හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට අත්පත්කිරීමට ඇති බවත්, මේ සඳහා ඉඩම් අයිතිකරුවන්ට ඉඩමේ වටිනාකමට වන්දි මුදල් ලබාදෙන බවද හමුදාව පවසා තිබේ.

එය ප්‍රතික්‍ෂේප කළ ඉඩම් අයිතිකරුවන් අතර 15 දෙනෙකුට අධික පිරිසක් ඉකුත් ඉඩම් තම පාරම්පරික ඉඩම් බවත් එය කිසිවිටක ලබාදිය නොහැකි බව තරයේ පවසා ඇති අතර තමන්ට අවශ්‍යවන්නේ ඉඩම පමණක් වන අතර වන්දි මුදල් නොවන බවද පවසා තිබේ. කෙසේ නමුත් එම ඉඩම්වල අයිතිකරුවන්ට පත්‍රිකාවක අත්සන් තබන්නැයි හමුදාව විසින් ඉල්ලා තිබේ. නමුත් ජනතාව එයද ප්‍රතික්‍ෂේප කර පිටත්ව ගොස් ඇති බව ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

යුද්ධයෙන් වසර 5කට ආසන්න වෙත්ම මේ සිදුවෙමින් පවතින එක් සිදු වීමක් පමණි. මෙවන් සිදුවීම් විශේෂයෙන් උතුරේ, නැගෙණහිර මෙන්ම දකුණේ කොළඹදී ද සිදු වෙයි. පසුගිය දා වනාතමුල්ලේ දී අත්දුටුවේ 2009 මැයි මාසයේදී කිරිබත් කමින් මහරාජානන්ට වීනා වැයු මිනිසුන්ට මහරජානනන් අත්කර දුන් ඉරණම්වලින් බිදකි.

ජීනිවාවලදී මානව හිමිකම් ගැන කතා කරන විට, ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ මානව හිමිකම්වල තත්ත්වය එයයි. ඉදින්, තව තවත් නවනීදන් පිල්ලෙට වස් කවි කියමින්, සිය දෙපාමුලින් තවතවත් ගැඹුරට වල හාරගමු.! පසුව එයට සුභ අනාගතයක් යැයි කියමු!