දකුණේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දරුවන් මෙන්ම ඥාතීන් තම අපේක්‍ෂිකාවන්ගේ අදෝ ප්‍රදේශයේ දිග පළල මැන ඉන් ලබන වින්දනයෙන් තම ට්විටර් ජාලයේ ගිණුම පුරවන අතර තුර උතුරේ දේශපාලනය අතිශය ක්‍රමෝපායිකව ඉදිරියට ඇදෙමින් තිබේ. දෙමළ සංධානයේ නායක සම්බන්ධන් සහ උතුරේ මහ ඇමති විග්නේස්වරන්, ජාත්‍යන්තර වශයෙන් සිදුකරමින් සිටින බලපෑම අතිශය තීරණාත්මකය. එහි එක් පියවරක් වූයේ, දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටු සහ තවත් බලපෑම් කළහැකි බුද්ධිමතුන් මාර්ගයෙන් ලංකාවේ පවතින තත්වයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම වැඩිකිරීම සඳහා පියවර ගැනීමය. ඊට දකුණේ සිංහලයින්ට කළ හැක්කේ ඉරිසියා කිරීම හෝ වෛරය පතුරුවා අනෙකාගේ අයිතිය කොල්ල කෑමය. එය කිරීමට දකුණේ අයවලුන් අතිදක්ෂය.

මීට පැය කිහිපයකට පෙර, ලංකාවේ විදේශ ඇමති ගාමිණී ලක්ෂ්මන් ජීනීවා නුවර සිට වැරදිකරුවෙකු තම පාපොච්චාරණය කරන්නා සේ හැසිරෙමින්, කිසිවෙකු හෝ ලියා අනුමත කරනු ලැබූ කොලයක් කියවා ලංකා ආණ්ඩුව තම හුදෙකලා වීම සඳහා දක්වන නැමියාව විස්තර කළේය. අදාළ කථනය ඉදිරිපත්කිරීම සඳහා ඇමති ගාමිණි ලක්ෂමන්ටම සිදු විය. එය අදාළ අමාත්‍යංශයේ නිරීක්ෂක මන්ත්‍රී හෝ අලුතෙන් පත් කරනු ලැබූ අදාළ අමාත්‍යංශයේ ලේකම්වරිය සිදු නොකළහ.

සැබවින්ම එම අදාළ කථනය හෙවත් බලාගෙන කියවීම සිදුකළ යුතුව තිබුණේ ඔවුහු දෙදෙනාගෙන් එක් අයෙකි. ලංකාවේ මහජන මුදල් නාස්ති කරමින් මේ වනවිටත් රාජපක්ෂ ආණ්ඩුවේ හපන්කම භාරගැනීමට පිරිවරක් එහි ගොස් සිටිති. ඔවුහු වගකීම ගනුවෙනුවට ජිනීවා නුවර රැඳෙමින් තම වින්දනය ලබා යළි ලංකාවට පිවිස “දේශප්‍රේමියෙකුගේ” කාරය ඉටුකරනු ඇත. මෙවැනි වගකීම් විරහිත සහ රටක් මුහුණ දී ඇති ඛේදවාචකය ගැන කිසිඳු අවබෝධයක් නැති පිරිසක් ලංකාවේ විදේශ තානාපති සේවාවේ සිටින්නේ මෙරට බදු මුදලින් නඩත්තු වෙමිනි. මොවුහුට මෙම ඛේදනීය තත්වයට වඩා වැදගත් තම කාර්යාලයේම සිටින අයෙකු ගැන කේලම් ගොතා ඉහළපෙලේ සිටින නිලධාරීන්ගෙන් ලකුණු දමා ගැනීම පමණි. එක්කෝ හැකිතරම් තම ශරීර වින්දනයේ යෙදීමය.

නිතී රීතින් අමු අමුවේ උල්ලඝනය කරමින් තම පෞද්ගලික අභිලාෂයන් සතුටු කිරීම හැරෙන්නට රටේ නායකයා වෙනත් කිසිඳු වැදගැම්මකට ඇති දෙයක් මොවුන්ගෙන් බලාපොරොත්තු වන්නේද නැත. එසේ බලාපොරොත්තු වන්නේ නම් මෙවැනි පිරිසක් මෙම තීරණාත්මක ධුරවලට පත් කරන්නේද නැත. තානාපති සේවය වූකලී පෙර සඳහන් කළ පරිදි අනෙකාගේ අදෝ ප්‍රදේශයේ දිග පළල නිවැරදිව මැන එය නිවැරදිව ප්‍රකාශ කිරීමේ සහ නායකයාට වාර්තාකිරීමේ හැකියාව මත තීරණය වන තුටු පඬුරකි. සැබවින්ම තම රට නියෝජනය කිරීමට මෙවැනි පුද්ගලයින් සහ දේශපාලන හෙන්ච්චයියන් දැමීම මුළු රටටම බලපෑම් කොට ඇති ශාපයකි. තම රටේ තානාපති සේවාවන් වූ කලී වෙනත් රටක ජීවත්වන ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට ආඩම්බරයට සහ අභිමානයට හේතුවන සාධකයකි. නමුත් මැදපෙරදිග සිට ජිනීවා දක්වා ලංකාව සම්බන්ධයෙන් එය වෙනම කතාවකි. එහි ප්‍රතිඵලය විදේශ කටයුතු ඇමති ගාමිණී ලක්ෂ්මන්ගේ හැසිරීමෙන් අද දක්නට ලැබුණි. එය අසමත් බවේ ප්‍රකාශනයකි. චන්ඩිකම මතුපිටට දැමූ දුක් ගැනවිල්ලකි.

මහාචාර්ය ගාමිණි ලක්‍ෂමන් නිතීය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු නිතීය කුමක්ද සහ ලංකාවේ නිතීය යනු කුමක්ද යන්න මැනවින් දන්නා අයෙකි. එම ඇත්ත සඟවා තබා ගනිමින් වෙනත් අරමුණක් වෙනුවෙන් ඔහුට ඇවිදින මළ කඳක් මෙන් කතාකිරීමට සහ අවනිතීය නීතිය බවට පෙරළීමට සිදු වී ඇත. මෙම තත්වය ඊයේ අමාත්‍ය කෙහෙළිය සඳහන් කළ කාරණයක් සමඟ කදිමට ගැලපේ. ඔහුගේ ගැටලුව, එක්සත් ජාතීන්ට ලංකාව වූ කලී ගල්යුගයේ ඇති ම්ලේච්ඡයන් ජීවත් වන රටක් සේ පෙන්නේන්ද යන්නය. එය ඔහු ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු මහ මඟදී මරා දමා එම මිනීමැරුමෙන් බේරීමට ආණ්ඩුවට එකතු වූ කෙහෙළිය ම්ලේච්ඡකම ගැන කතා කිරීම අතිශය දෛවෝපගත සිදුවීමකි. ඔහු පමණක් නොව ආණ්ඩුවේ සිටින බොහෝ දෙනෙකු, නායකයාද ඇතුළුව, කන්නාඩියක් ඉදිරියට ගොස් තම තමාගෙන්ම අසා සිටිය යුතු ගැටලුව වන්නේද එයයි. ව්‍යාජ “දේශප්‍රේමයක්” රට පුරා අලෙවි කරමින් රටේ බාසාවට පවා නිගාදෙන මෙම කෛරාටක කල්ලිය ගල්යුගයේ සිටි ම්ලේච්ඡයන් පිරිසක් වෙස්වලාගෙන මෙම යුගයට ප්‍රාදූර්භූත වී රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස පාගා දමන්නේද යන්න බොහොමයක් සිංහලයින් අසන ගැටලුවයි.

එය එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පසුගිය වසර කිහිපයේදී මෙන්ම මෙවරද අසන සහ විභාග වෙමින් ඇති ගැටලුවයි. ඇමති ගාමිණි ලක්ෂ්මන් ඊට රාජපක්ෂගේ අදහස අද දින ජිනීවාහීදී එකතු කළේය. සෑම ව්‍යාජ වීරත්වයක් ඇති වැළපීමකම ආඥාදායකයාගේ මීළඟ අවනීතිය සැඟවී ඇත. එය මෙවර යෝජනාවලීයෙන් ලංකාවට ලබා දී ඇති ඉඩද පයිසෙකට ගණන් නොගෙන ඉවතට දමන බව නොකියා කීමකි. එය යෝජනාවලීය වඩාත් පහසුවෙන් සම්මත වීම සඳහාද බලපෑ හැකිය. රාජපක්ෂ තම උපරිම වීරිය යොදා වාතය ඇර ඇත. මුළු ජිනීවා නුවරම එහි දුඟද පැතිරෙමින් ඇත. එහි දුර්ගන්දයේ මිනුම මෙමස අවසානයේදී බලාපොරොත්තු විය හැකිය. ලංකාව පසුකරමින් සිටින්නේ තවත් එක් දුර්ගන්ඳයේ අවධියකි. අත්හළ සහ මඟ හරිනු ලැබූ අවස්ථා රැසකින් පසු එය නීරසව අවසන් වනු ඇත. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ වෙනදා මෙන්ම මහ ජනතාවට මිස රාජපක්ෂට හෝ ඔහු වටා සිටින අවස්ථාවාදීන්ට නොවේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa
[Image Credit:newsfirst]