Cartoon Credit: Anjana Indrajith/bandaragama.wordpress

හදිසියේ මතක් වුණු දෙයක් තිබේ. තමන් සමඟ තමන් තරහ වී මුහුණ කපා ගැනීමට පෙර, පෙරදා සිරියන් ගත වූ වැසිකිළි වලෙන් එළියට ඒමට සිතී ඇත. තමා දකින්නේ සිහිනයක් බවත් ආසාව සිහිනයට අයිති බවත්, තමා මේ දිව යන්නේ සිහිනයෙන් බවත් ඔහුට අවබෝධ වී නැති සැටියෙකි. වැසිකිළි වල ඇතුලේ සිහිනෙන් ඇවිදින ඔහුට තම සැබෑ හොල්මන හමු වී ඇති සැටියෙකි. හමු වූවා පමණි බියට කෑ ගැසුණේය. අවධි වී සිටි සියල්ලෝම වික්ෂිප්ත වූහ. ඔවුන්ට මුඛයෙන් සිනහ වීමට නොහැකි හේතු ප්‍රකාර දොඩවන්නා විසින්ම තනා ඇති බැවින් අදෝමුඛයෙන් සිනහ වීමට පටන් ගත්තෝය.

සිහිනෙන් දොඩවමින්, කෑගසමින් සිරි යහන වටේ වටයක් ගොස් ඒ සමඟම යළිත් තමා සැතපෙමින් සිටි අසූචී වලේ තැනූ සිරියහනේම සිහිනෙන් දොඩවමින් නින්දට වැටුණේය. යළිත් සිහිනෙන් කෑ ගැසීම ආරම්භ කළේය. මෙවර කටහඬ තරමක් දැඩිය. මන්ද කෙසේ හෝ අනෙකාගේ අවධානය දිනාගෙන තමන් සිහිනෙන් හෝ අවංක චේතනාවෙන් දොඩවන බව අනෙකාට ඒත්තු ගැන්විය යුතුය. එය බරපතළ අභියෝගයකි.

මේ අතර ඉවසීමට නොහැකි තැන, සිහිනෙන් බිය වී කෑ ගසන කට හඬ අසා ඔහු දැකීමට තැඹිලි වතුර කෝප්පයද රැගෙන ස්වාමියා ආවේය. මෙවර පෙර එක් දවසක මෙන් නොව තත්වය වෙනස්ය. සිහිනෙන් හෝ තමන් ලබා දෙන තැඹිලි පානය නොකරන බව සිහිනයෙන්ම කෑ ගසා යළි තම දෙඩවීම කරගෙන ගියේය. තැඹිලි වලට මෙල්ල කළ නොහැකි බව හෝ මෙල්ල නොවෙන ලෙස මීට පෙර දැනුවත් කළා සේය. මෙම දෙඩවීම දැක බලා ගැනීමට බොහෝ පිරිසක් එක් රැස් වූයේ අවට ඇති අසූචී දුර්ගන්දයද ඉවසා දරාගෙන දෙඩවීමේ ඇති ආවස්වාදය විඳීම සඳහාය.

නිමක් නොමැතිව සිනහවෙන ආණ්ඩුවේ අයවලුන් දැක, ක්‍රවුන් කැසිනෝ අධිපති ජේම්ස් පැකර්ද මෙහි ආවේය. තම මිතුරා සමඟ මහපාරේදී ගුටි ඇන ගැනීමේ සිත් තැවුලෙන් පසු වූ හෙතම මෙම සිදුවීම තමාට මානසින සහනයක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් කරගත්තේ අනෙකා මෙන් තමන්ද කෙසේ හෝ අවට දුර්ගන්දය ඉවසා දරාගෙන දොඩවන්නාගේ දෙඩවීම සහ විලාපය ඇසීමෙන් මෙන්ම දැකීමෙන් සතුටුවීමේ වීරිය ඇතිවය. කදිමය තවමත් අසිහියෙන් දෙඩවීම එලෙසය. දේශ හිතෛශීන්, දේශ මාමකයින්, යුධ වීරයින්, ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට එරෙහිවන්නන් කී නොකී කවුරුත් වැසිකිලි වල අවට එක්රැස් වුවද තත්වයේ වෙනසක් නැත. මෙය සැබවින්ම ඇතැම් නාලිකා වලින් සජීවීව ප්‍රචාරණය කිරීමට වූයෙන් චූටී මල්ලි සහ පොඩි මල්ලීට තිබු ඉඩටද කණ කොකා හැඬුවේය.

මේ අතර වෙනත් ආකාරයක සිද්ධියක් විය. කෑ ගැසීම අසාගෙන සිටි ඔහුගේ ස්වාමියා සූක්ෂම හූනියමක නිරත වූයේ තම ගිරුවාපත්තු සම්ප්‍රදායට ගරුකරමිනි. මන්ද ඔහු වශීබෝලය කෙරෙහි මෙන්ම නානාප්‍රකාර හූනියම් ක්‍රමවේද විස්වාශ කරන්නෙකු බැවින් සහ මිනිසුන් ඔහුට අවිස්වාශ හෙයිනි. ගිරුවාපත්තු සම්ප්‍රදායට අනුව සිහිනෙන් දොඩවන්නාගේ පාදයේ මහපට ඇඟිලි සැලකිය යුතුවෙලාවක් අල්ලා ගෙන සිටීමේන් ඔහුට පිස්සු වැට්ටිය හැකිය. ගිරුවාපත්තුවේ අයවලුන් විසින් මෙලෙස පිස්සු වැට්ටු අයවලුන් මේ වැසිකිළිවල අවටම වාර්තා වී නැතිවා නොවේ. අදාළ මානුෂික මෙහෙයුම සඳහා තමන් නොගොස් වෙනත් අයෙක් යෙදීම උපාය ලෙස පාවිච්චි කිරීම සහ දොඩවන්නාට පිස්සු වැටුණු අවස්ථාවේදී තමන් වෙදා ලෙස පෙනී සිටීම ගිරුවාපත්තු න්‍යාය වේ.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් නොව හැකි උපරිමයෙන් මරණ්නේ එලෙසය. එම උපාය මඟින් ගෙලටීනය වෙනකෙකුගේ ගෙලටද, ගැරහුම හෙවත් ශාපය තව අයකුටද ලබා දී තමන්ට “ආදරණීය මුත්තා” විය හැකි බව ගිරුවාපත්තු වාසීන් විස්වාශ කරන්නේ යැයි, ගමේ නිතර ඇසෙන කතාවකි. මෙම ගිරුවාපත්තුවෙන් පැමිණ ලෝකය යැයි සිතා ලංකාව දුටු අයවලුන්ට ඇති තණ්හාව දෙයාකාරයකි. එකක් ගැහැණුන් කෙරෙහි ඇති “ස්ත්‍රී තණ්හාවය”. අනෙක මුදල් අරම්භයා ඇති “කාසී තණ්හාවය”. රත්‍රන් කාසී කළ හැකි බව වේළුපිල්ලේ ප්‍රභාකරන්ටත් ඉගැන්නුවේ ගිරුවාපත්තුවෙන් යැයි කතාවක් පසුගිය කාලය පුරා පැතිරුණා මතකය. තමන්ගේ අවසන් කැමති පත්‍රයට අනුව, කාසිකර ගැනීමට නොහැකි වූ රත්‍රන් තොගය ගිරුවාපත්තුවට යැවිය යුතු යැයි ප්‍රභාකරන් ලියා අත්සන් කොට අදාළ පත්‍රය බාලචන්ද්‍රන් අතෙහි එවූ බව ඇතැමුන් කියති. ලිපිය ලබාගත් විගසම කොලු ගැටයාගේ පපුවට වෙඩි තබන ලෙසද ප්‍රභාකරන් තම අවසන් කැමති පත්‍රයේ ලිව්වෙලු.

එසේම, මෙම වරිගයට පිටින් එකතු වූ අය සතු වූ තණ්හාව වනාහී “ඉඩම් තණ්හාවය.” මෙම ත්‍රිත්ව තණ්හා විසින් ගිරුවාපත්තු ආසාව දේශාපාලනය නමින් හැඩ ගැන්නුවේය. මේ කිසිවක් දොඩවන්නාගේ පිටපතට තවමත් එකතු කළ යුතු යැයි අණ ලැබී නැත. නමුත් ඇතැම් දේවල් සඳහා ඔහුට තම මුක්තිය ලැබී ඇත.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇසුණු නලා හඬකින් යළිත් තම සිරියහනෙන් නැගිට යටලීයේ නාරීලතා මල් අමතකකොට දමා වෙතත් අමුතුම නැටුමක් පැරණි සංගීතයකට අනුව යමින් නැටීමට විය. “ අන්න යකා…. මූ හිරකරපන්…. මට බුදිය ගන්න මූ… හිර කරපන්…” හිටි අඩියේ කියමින් හූ කියන්නට විය. එය කියනවාත් සමඟම අවට පරිසරයේ දුර්ගන්දය තවත් වැඩි විය. එය බ්ලුමැන්ඩල් කුණු ගොඩටත් වඩා ගඳ විය.

රැස්ව සිටි පිරිස ගඳ වැඩිවීමට හේතුව ගැන මුමුණන කල්හී, තම “කලා ජීවිතයට” මද විවේකයක් දී සිහිනෙන් දොඩවන්නාගේ අග බිසව පැමිණ සිටිනු පැකර් ඇතුළු රසික රසිකාවියන්ට දැක ගැනීමේ භාග්‍ය උදා විය. සැබවින්ම පැකර්ගේ ඇස් රති ආසාවෙන් මෝරා ගලනු පැහැදිලිව පෙනුණි. දෙඩවීමේදී කිසියම් කෙනෙක් පැමිණ ඔහුගේ ( තම ස්වාමියාගේ ) පාදයේ මහපට ඇඟිලි අල්ලා ඔහු පිස්සු වට්ටා ඇති බව ඇයට අවබෝධ වූවාය. එසේම තම අවට දුර්ගන්දය හදිසියේ පෙරදාට වඩා වැඩිවීම සඳහා හේතුවද ක්‍ෂණයෙන් සොයා ගෙන ඔහුගේ වම් ( පැරණි ජවිපෙ ජීවිතය මතක් කරමින් ) කනට තුන්වරක් පිඹිමින්ද, දකුණු කණට ඉතිපිසෝ ගාථාව කියා, මුහුණට පැන් පොඳක් ඉස, හෙතමෝ අවධි කොට මෙසේ කීවාය.

“ කොච්චර කිව්වත් අහනවද, බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වම නිදි පෙත්තකුත් ගන්න කියලා. දැන් ඔය හීනෙන්ම සරමේම ගිහින් තියෙන්නේ. සුද්ද කරගෙන නාගෙන එනවා ගිහින් ”, යැයි ඇයට මහා හඬින් කියවුණේ අවට සිටි පිරිස ගැනද කිසිඳු වගතුවක් නොමැතිවය.

එය ඇසු ඔහු තමාට රෙද්දේම මළ පහ වී ඇතිතේ රාත්‍රියේ බඩ සුද්ද වීමට ලබාගත් පෙති නිසා බව තේරුම් ගියේය.

දැන් ඔහු අවධි සිහියෙනි. එය කෙතරම් කාලයකට දැයි ඔහු දන්නේ නැත. මන්ද එය ඔහුට තීරණය කළ නොහැකිය. කළ යුතු රැසක් තම ශරීරයේ ඉහළම කොටසේ ( ඊට ඔලුව යැයි මිනිසුන් කියනවා ඔහු අසා ඇත.) මතකය සේ රැඳී තිබෙන බව ඔහුට වැටහේ. ජයන්සුන්දරට අසුන්දර විදිහට බණින මා ශතයක් හෝ සොරකම් කොට නැත්තේද? රාජ්‍ය දේපොළ අනිසි ලෙස භාවිතා නොකළේද? ගෙදර මහයියා සමඟ අමනාපයෙන් බෝතල් කටුවලින් අත කපා ගැනීම පැත්තකින් තිබ්බද, ලේක් හවුස් ආයතනයේ සේවිකාවට කළ අපරාධය යළිත් කවුරුන් හෝ අවුසන්නේද? කි නොකී කතා රැසක් මතක් විය. තම වෙවුලන දෑතින් දුරකථනය ගෙන, එක වරම ඔහු කතා කරන්නට විය. “ සෑර් අවුලක් නෑ නේද.. නින්දෙන් වගේ දෙඩේව්වට රඟපෑවේ ඔයා කිව්වා විදිහට සෑර්. මං හොඳයි නේද”. දුරකථනයේ අනෙක් පැත්තෙන් මෙසේ ඇසෙන්නට විය.

“ හොඳයි… හොඳයි… බොහෝම හොඳයි… ගඳ තමයි ප්‍රශ්ණේ.”

ආශ්චර්ය ගලාගෙන ගියේ මෙලෙසය. නමුත් ඊළඟ ජවනිකාවටද ඔහු ලක ලෑස්ති විය යුතුව ඇත.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa