Image : Vikalpa

<< මැයි 18 >> තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ මේ සා කාලයක් ලීයූ ඒවා කෙතරම් දුරට බලාත්මක වීම නැතිනම් මම මගේ ලීවීම් තුළින් සතුටක් ලැබූවා පමණක්ද ? මෙවැනි ගණයේ ප්‍රශ්ණ පෙළක් මසිත ට නොනවත්වා ඇදී එමින් එයි. නමුත් “කිසිවක් අවසන් නොවී ඇති මේ නිශ්චිත මොහොතක ලීවීම හෝ කරමින් සිටිනා ක්‍රියාවන් අ​​ධෛර්‍යයට පත්කර නොගත යුතුය. අවශ්‍ය වන්නේ අප කළ සහ කරමින් සිටින දෑ ගණනය කර විමසා බලා නැවත වටයකින් ආරම්භ කිරීමට උපක්‍රමික මාර්ග සේවීමය.” පපු කුහරයට ඒ ​​ධෛර්්‍යවන්ත හැගීම හුස්මක් කර ලියමනට හිත ​එකලස් කර ගතිමි.


<<මැයි 18>>

දෙමළ වර්ග සංහාරය කූඨාප්‍රාතියට පැමිණ දිනය. සහෝදර ජනකායක් මරණයට කැපකර දකුණේ කිරිබත් කෑ දිනය. මෙලෙස විවිධ නාමකරණයන් << මැයි 18 >> ඇත.

ඒ 2009 වසරයි. දැන් වසර 05 ගෙවී ගොස් ඇත. නිහඩවම ගෙවී ගිය වසර පහක් නොව දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කිරීමෙන් පසු අදාළ වර්ග සංහාරක ව්‍යාපෘතියම නොනැවතී ඉදිරියට ඇදෙමින් පවතින වසර 5 කි.

මේ ගෙවුනු වසර පහ, දෙමළ විමුක්ති අරගලය, දෙමළ වර්ග සංහාරය සහ අපි කරමින් සිටින සහ කළ ​දෑ අපම විග්‍රහකර ගන්නේ කෙසේද?

මා ලියන්නේ සිංහල භාෂාවෙනි. මාගේ භෞතික දෙමව්පියන් සිංහල ජනවර්ගය අයත්වූ නිසාම මා ද එම ජනවර්ගයට අදාළ විය. සුලු ජනවර්ගය වන දෙමළ ජනවර්ගය වර්ග සංහායට ලක්වන්නේ ප්‍රධාන ජනවර්ගය වන සිංහල ජනවර්ගයේ බහුතරයේ සෘජු හෝ වක්‍ර අනුමැතිය නිසාම මා එය කිසිදු ලෙසකින් සෘජු හෝ වක්‍ර අනුග්‍රහයක්​ නොදැක්වූව ද මා සිංහල ජනවර්ගයට අදාළ වන නිසාම පළමුව මෙලෙස සටහන් ආරම්භ කළ හැකිය.

දෙමළ සහෝදරවරුනි සමාවෙන්න.

දැන් අපට ඉහත් කී ගැන සංවාදය ආරම්භකළ හැකිය. එදා දෙමළ ජනයාට සිදු​වූයේ කුමක්ද යන්න අද එදාට වඩා පැහැදිලිව දකුනේ ජනයාගේ හිස මතට ඥාරසාර, රතුපස්වල පන්නයේ උදාහරණ කඩා පත්වෙමින් ඇති පැහැදිලි කර දෙමින් සිටිති.

කොළඹට නුදුරැ රතුපස්වල බීමට ජල බිදක් ඉල්ලූ ජනයාට ජලය වෙනුවෙන බුලට් යෑවූ <<කොළඹ අරලියගහ මන්දිර >> රේජීමය ගැන ජනයා කියූ කථාම උතුරේ සිදුවූයේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ඔවුන් කීවේ “සිංහල අපිට මෙහෙම කළානම්, උතුරේ දෙමළ ජනයාට කොහොම කරන්න ඇතිද? ” කියාය.

දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ඇති අයිතියට දෑත් දෙකම ඉස්සූවද ඉහත ප්‍රශ්ණය මා සලිත කලේය.

“දෙමළ ජනයාගේ ප්‍රශ්ණය අතිශය දේශපාලිකය. දේශපාලනික ප්‍රශ්ණ විසදිය හැක්කේ දේශපාලනයෙන් පමණි.(ආයුධ සන්නද්ධ අරගල පවා ​දේශපාලනික උපක්‍රමයකි) දේශාපාලන යනු කුමන හෝ මතවාදයක් බලය ලබාගැනීමට සදහා ජනයා සංවිධානය කිරීම සහ එම ජන සහභාගීත්වයෙන් බලය ලබා ගැනීමයි.” මේ ලෙසට ප්‍රශ්ණය ලඝුකර ගත් විට මම මගෙන් විමසන ප්‍රශ්ණයනම් ” සිංහල අපිට මෙහෙම කළානම්, උතුරේ දෙමළ ජනයාට කොහොම කරන්න ඇතිද? ” යැයි පැවසූ ජනයා එදා අපට දිනාගත නොහැකි වූයේ ඇයිද යන්නයි. බහුතර ජනතාවක් දිනා ගන්නවා තියා අප ළගම සිටි සමීපතයන් පවා දෙමළ ජනයාගේ විමුතිය නම් වූ විෂයට පැමිණි කල්හී අපගෙන් ඇත් වූයේ ඇයිද යන්නයි.

ඒ අනුව අප දැන් සිටින්නේ ඉතා තියුණු අභි​යෝගයක් ඉදිරිපිටය. එහිදී අපට විකල්පයන් දෙකක් තිබේ. එකක් නම් දකුණේ සමස්ථය ජාතිවාදී චෝදනාවට ලඝුකර සම්පූර්ණයෙන් සිංහල ස්වෝත්තමවාදය තුළ ගිලීයන්නට තව තවත් නව මංවාවත් විවර කිරීමයි. අනෙක් විකල්පය නම් දෙමළ ජනයාගේ අයිතිය වෙනුවෙන් දකුණේද << පුළල් ජන සංවාදයක් >> ගොඩනැගීමයි.

යමෙකු පළමු විකල්පය මත පිහිටා කටයුතු කරන්නේ නම් සිදුවීමට නියමිත් ඇත්තේ මහින්ද පමණක් නොව ‘ලිබරල් රනිල්’පැමිණිය ද දෙමළ ජතතාවට සිංහල-ස්වෝත්මවාදයෙන් පීඩාවට පත්වීමට සිදුවීමයි. අවසානයේ එය ඉතිරිවී සිටන දෙමළ ජනයාගේ ලෙයින් භූමිය තෙත්කරනු ඇත.

දෙමළ ජනයා ඉතිහාසය පුරා උවමානවට වඩා සිය විමුක්තිය වෙනුවෙන් කැපකිරීම,ජීවිත, ලේ දහඩිය පුදා ඇති නිසාම මේ මොහොත යෝජනා කර සිටින්නේ ඉහත සදහන් කළ දෙවැනි විකල්පයයි.

එනම් දෙමළ ජනයාගේ විමුත්තිය වෙනුවෙන් දකුණ තුළ පුලුල් ජන සංවාදයක් ගොඩ නැගීමටය. දෙමළ විමුක්ති කොටි සංවිධානය සිය ඓතිහාසක කාර්යභාරය සිදුකළ අතර දෙමළ විමුක්ති අරගලයට පක්ෂපාතී අප තවදුරටත් එම විමුක්ති සංවිධානයේ රැස්වළල්ලෙන් දිස්නය ලබාගැනීමට උත්සහ නොකර දෙමළ ජනයා​ගේ විමුක්තිය වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකලු යුතු කාලය පැමිණ තිබේ.

​එම සංවාදය දේශීය මෙන්ම විදේශීය හැඩහුරුකම්ද ගනු ඇත. දැන් අප අවංකව කථාකල යුතු කාලය පැමිණ ඇති යන්න මගේ වැටහීමයි. 2009 මැයි 18 වැනිදා දකුණේ බහුතරයක් කිරිබත් කෑවා කියා කියා සිටීමෙන් දෙමළ ජනයාට කිසිදු සෙතක් අත්නොවන අතර එය අප විසින් මේ නිෂ්චිත මොහොතේදී කළයුතු කාර්යය අමතකර කර වරද වෙනත් පිරිසකට පවරා ස්ව්‍යං වින්දනයකට පත්වීමකි. තාර්කික ​දේශපාලනික කරුණ වන්නේ දකුණේ බහුතරයක් කිරිබත් කෑමේ වගකීමෙන් අපටද මිදීමට නොහැකිය යන්නයි. මා කිරිබත් නොකෑවේයැයි සිතා එම වගකීමෙන් අපට මිදිය නොහැකිය. මන්ද මා අසල සිටි සමීපතයන් පවා සහෝදර ජනයා වෙනුවෙන් පෙළගැස්වීමට අප අසමත් වූ නිසාවෙනි.

එම නිසා අභියෝගය ඉතා තියුණු සේම ඉතා ප්‍රබලය.එනම් දෙමළ ජනයා​ෙග් අයිතිය වෙනුවෙන් දකුණු සංවිධානය කරන්නේ පෙළගස්වන්නේ කෙසේද යන්නයි. මන්ද එයම දෙමළ ජන විමුත්තිය උදෙසා අපට කළ හැකි සුවිශාලම කාර්යභාරය වන නිසාවෙනි.

අනෙක් පැත්තෙන් දෙමළ ජනයාගේ විමුක්තිය සහ රටතුළ පවතින පැසිස්ට් පන්නයේ පාලනයට එරෙහිව අන්තර්ජාතික මතයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි.

මම කථාවක් කියන්නට යන්නෙමි. එය සජීවී උදාහරණයකි.

මගේ මිතුරිය පැමිණියේ ස්පාඥ්ඥයේ බාර්සි​ෙලා්නාවෙනි. අප බොහෝ දේවල් කථාකළ අතර ලංකාව ඒ අතර ප්‍රධාන මාතෘකාවක් විය. ඇය ලෝකයේ බොහෝ අරගල සම්බන්ධයෙන් උනන්දුවක් සහ ඒ සම්බන්ධව වාර්තා වැඩසටහන් නිර්මාණය කරන්නියක් වෙයි. නමුත් ලංකාව නම් වූ විෂයට පැමිණි කළ ඇය දැන සිටි අදහස මෙලෙසය. පළමු කරැණනනම්, දෙමළ විමුක්ති කොටි සංවිධානය යනු ඇය දැන සිටි කරුණු වලට අනුව ත්‍රස්තවාදී සංවිධානයකි. දෙවැනි කරුණ ලංකාව දැන් යුද්ධය අවසන් කර ඇති බවයි. මේ කරුණු දෙක තුළම ස්ථාවර වන එක් දෙයක් වෙයි. කොළඹ රජය ත්‍රස්ථාවාදී සංවිධානයට කට එරෙහිව යුද්ධයක් සිදුකර එම යුද්ධය නිමා කර ඇත. බහුතරයක් බටහිර ජනයා දන්නා තොරතුර මෙය වෙයි.

එවිට අප ඉදිරියේ යළිත් නැගෙන ප්‍රශ්ණය වන්නේ අප දෙමළ විමුක්ති අරගලය පක්ෂපාතී වී හැරෙන්නට දෙමළ ජනයාගේ විමුක්ති නම් වූ ආශාව යථාර්තයක් බවට පත්කිරීමට අප සිදුකර ඇති කාර්යය කුමක්ද යන්නයි. අවම තරමින් දෙමළ ජනයා වෙන්වෙන් අන්තර්ජාතික ඒ රටවල පොදු සාමාජය දැනුවත් කිරීමටවත් අප හැකිවුනිද?

නැවත කථාවට,

මම මගේ මිතුරියට ලංකාව සම්බන්ධව දෙමළ අරගලය සම්බන්ධව මගේ බුද්ධි ප්‍රමාණයෙන් පැහැදිළි කිරීම් කළ අතර ඇය අවසානයේ පවසා සිටියේ තමන් මේ කිසිවක් නොදැන සිටි බවයි. ඇය පමණක් නොව ​බොහෝ බටහිර රාජ්‍යයන්ගේ පමණක් නොව කලාපයේ රාජ්‍යයන් ගේ ජනයා පවා සිදුවූයේ කුමක්ද යන්න හරිහැටි දන්නේ නැත.

වසර 30 ක විමුක්ති අරගලයක් විනාශ කර ජීවිත දහස් ගණනක් ඝාතනය කිරීම මානව ඉතිහාසයේ ව්‍යසනයක් ලෙස ඉතිහාස පොතට ඇතුළත් කිරීමට අපට හැකිවී නොමැත. ලෝක ඉතිහාසයේ මැයි 18 දිනය විකිපීඩියා හී සෙවුම් කළ විට 2009 මැයි 18 වැනි දින යන්නට පැමිණෙන පිළිතුර වන්නේ ශ්‍රී ලංකා රජය දෙමළ විමුක්ති කොටි සංවිධානය පරාජය කර 26 වසරක යුද්ධය අවසන් කළ බවයි. අවම තරමින් එහි දහස් ගණනක් දෙමළ ජනයා රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතය කළ බවටවත් සටහනක් එහි නැත.

බටහිර විදෙස් ප්‍රතිපත්තීන් දෙමළ විමුක්ති අරගලය විනාශ කිරීමට සහ වූ බව අප දන්නා කරුණකි. නමුත් එම රටවල පොදු ජන සමාජ කොටස් සමග ඒකාබද්ධතාවයක් නිර්මාණය කර ගැනීමට එය බාධාවක් නොවන අතර අප එසේ කර තිබුණානනම් එදා දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කරන විට ඔවුන් හරහා ඔවුන්ගේ ආණ්ඩුවලට බලපෑම් කිරීමට අපට අවස්ථාව හිමිවන්නට තිබුණි.

නමුත් ඉතිහාසය ලියවී ඇත්තේ රාජපක්ෂලා දෙමළ ජනයා ඝාතයය කළ බවට මෙන්ම අප විසින්ද නිශ්චිත මොහොතේදී අපගේ වගකීම ඉටුකර නොමැති නිසාම රාජපක්ෂලාට අවශ්‍යපරිදි නටන්නට වේදිකාවක් සකස් කර දුන්නා කියාය.

එතැන් සිටි අදවන වසර 5ක් ගතවී ඇතත් මගේ දෙමළ සහෝදරයන් ඉලක්කයෙහි ඇති පීඩන බිදකදු ඉවත් වී නොමැත. ​එසේම තවත් එකතු දෙමළ පුද්ගලයෙකුගේ හෝ ජීවිතයක් රාජපක්ෂලා ඉදිරියේ ලංසුවට තැබීමට මට කොහොත්ම අයිතියක් නොමැත. එමෙයින් වසර පහක් ගතවූ පසුව පවා නැවත අපට බලකර සිටින්නේ දෙමළ ජනයාගේ විමුක්ති වෙනුවෙන් වූ දකුණේ සංවාදය සහ එම සංවාදය අන්තර්ජාතික තලයට ගෙනියන්නේ කේසේද යන්නයි.

කලාව, දේශපාලනය මෙන්ම සංස්කෘතික අවකාශයන් තුළ දෙමළ ජනයා වෙනුවෙන් වූ පුලුල් සහෝදරත්ව ගොඩනගන්නේ කෙසේද යන්න අප සාකච්ඡා කළ යුතුය. දෙමළ ජනයා ඔවුන්ගේ විමුක්ති වෙනුවෙන් ඉතිහාසය පුරා අප්‍රමාණ කැපකිරීම් සිදුකර ඇති අතර එම අරගලය සහය දෙන දකුණේ පිරිස් ලෙස අපගේ කාර්යභාරය සිදුකිරීමේ කාලය පැමිණ ඇත.

2009 මැයි 18 සිය දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් ජීවිත දුන් දහස් ගණනක් වෙනුවෙන් අපට කළ හැකි උපරිම දෙයනම් සිංහල ජනවර්ගයට අයත් පිරිස් ලෙස දෙමළ ජනයාගේ අයිතිය පිළිගැනීමට ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට පිරිස් නිර්මාණය කිරීමයි. එක් රැයකින් විප්ලව කිරීමට නෙැහැකි නමුත් විප්ලව සැම විටම පවතින්නේ මිනිස් වර්ගයාට << කළ හැකි>> නම් ගොනුවට අදාළව වෙයි. එය කාලය සහ අවකාශ එකට එක මිටකට ගලපා ගැනීම සම්බන්ධ ප්‍රශ්ණයක් පමණකි. එම නිසාම දකූණ දෙමළ විමුක්තිය වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිය වෙනුවෙන්, ඔවුන්ගේ නිජබිම වෙනුවෙන් පෙළගැස්ස වීමේ වගකීම සහ අභියෝගය අප ඉදිරියේ වෙයි.

පසන් ජයතිලක ‍| Pasan Jayathilake[17/05/2014]

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.