Image Credit: cmev

මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ. මුලින් සදහන් කළ චන්ඩින් තම ශරීර ශක්තියෙන් බලය පෙන්වූ චන්ඩින් වන අතර දෙවන කණ්ඩායම චන්ඩින් වෙන්නේ දේශපාලනයේ උදව්ව හේතු කර ගෙනයි. කෙසේ වුවත් මේ දෙකොටසම දාමරිකයින් වෙති. ගමේ හෝ නගරයේ නම මුලට යෙදෙන මොවුන්ගේ නම් අසන විටම අහවල් ප්‍රදේශයේ චන්ඩියා ඔහු බව එතුලින් ගම්‍ය වේ. නමුත් පසුකාලීන චන්ඩින් මේ ප්‍රදේශය තුල චන්ඩින් බවට පත්වනවා වාගේම දේශපාලනයේ සහ පොලිස් සහාය නිසාවෙන් එසේ නැත්නම් රාජ්‍ය බලයේ කොටස් කරුවන් බවට පත්වීමෙන් මුළු දිවයිනටම බල පැවැත්විය හැකි බලයක කොටස් කරුවන් වන්නේය. ඒ එසේ වන්නේ මැති ඇමති සිට ජනාධිපතිවරුන් දක්වා මෙම චන්ඩීන්ගේ සේවාව ලබා ගන්නා තත්වයක් රටතුල පැවතුණු බැවිනි.

‘අඩෝ මම තමයි ගෝනවල සුනිල් (අහවලා) මට පාට් එක දාන්න ආවොත් මැරුම් කන්න වෙන බව අමතක කරන්ඩ එපා’ කියා පවසන විට ඒ තුල ඇති තර්ජනය ලංකා සමාජය හඳුනයි. ලංකා දේශයේ ජනාධිපතිවරයා ‘මේ කට්ටියට අමතක වෙලා මම මැද මුලන මහින්ද වග’ කියා ප්‍රසිද්ධියේ පවසන විට අප වටහා ගත යුත්තේ කුමක්ද? චන්ඩීන්ගේ මෙවැනි තගරි කතා අසා නැති අයෙකු මේ රට තුල නැති තරම්ය. තමාගේ බල ප්‍රදේශයට එනම් ඔහු ජීවත් වන හන්දියට, ගමට හෝ වතුවලට මෙවැනි ගණන් කාරයින් සිටි අතර ඔවුන්ට ඔවුන්ගේම ආවතේව කරුවන් පිරිසක්ද සිටිති. මේ ආවතේවකරුවන් මෙම චන්ඩින්ගේ සියලුම උවමනා එපාකම් ඉටුකරන බත්බැලයන් කණ්ඩායමක් වන අතර අර චන්ඩියාගේ රැස් වළල්ලේ මහිමයෙන් ඔවුන්ද වැජබෙති. මෙම ආවතේව බත් බැලයන් නොකරන නොපනත් කමක් නැති තරම්ය. බොහෝ විට මොවුන් ඉතා පහත් නින්දිත නීච ක්‍රියාවන්හි යෙදෙති. මෙවැනි ඕනෑම සමාජයක් පිලිකුල් කරන පහත් ක්‍රියාවන්හි මොවුන් යෙදෙන්නේ අර චන්ඩියාගේ ආරක්ෂක වළල්ල තුල සිටිමිනි.

මේ චන්ඩියාගේ රැස් වළල්ලේ සිටින මෙම ආවතේවකරුවන් (බීඩි ගේන්න කඩේ යාමේ සිට බුලත්විට, අරක්කුටික සහ ස්ත්‍රීන් සැපයීම දක්වා) ඇත්තවශයෙන්ම නම් කිසිම ආත්ම ශක්තියක් නැති නිවටයින්, වෙන කෙනෙකුගේ බලය තුල වැජබෙමින් මිනිස් සංහතියට ඉසිලිය නොහැකි ගනයේ සාහසික සාපරාධී අපරාධයන්හි යෙදෙන කණ්ඩායමකි. දේශපාලන බලයද ආරූඨකරගත් පසු මොවුන් කරන කියන දැය වටහා ගැනීමට දෙවියන් වහන්සේට තබා යම රජුටවත් නොහැකි තරම්ය. ඒ තරමටම මොවුන්ගේ හිස් මත කොහේවත් යන දරාගත නොහැකි බලයක් පතිතවීම තුලින් තෝන්තු වී ගිය හිස්ගෙඩි තුල පහලවන විකෘතියන් අජූව දනවන නිසාවෙනි.

වරක් ඔවුන් තමන්ගේ සියවැනි ස්ත්‍රී දූෂනය ප්‍රසිද්ධියේ සමරමින් පාටි දමති. තවත් සමහරු ආයුධ ගෙන කල්ලි ගැසී සංචාරක හෝටල්වලට පැන ස්වාමිපුරුෂයා කපා කොටා මරා දමා එම මළමිණිය ඉදිරිපිටම ඔහුගේ සහකාරිය බලු රැලක් මෙන් දූෂනය කරති. තවත් තැනක පිස්තෝල අමෝරාගෙන ක්ලබ් එකකට පැන ස්වාමිපුරුෂයාගෙන් බිරිඳ උදුරා ගැනීමට තැත් කරති. මෙසේ බලහත්කාරී ලිංගික බලපෑම්වලට සීමාවක් නොමැත. ප්‍රධාන චන්ඩියාගේ බලය සමග ඇති රාජ්‍ය බලයේ රැස් වළල්ලට මුවාවී මෙසේ ප්‍රසිද්ධියේ කරන සාහසික නොපනත් හැසිරීම් ලංකා ඉතිහාසයට ඇතැයි කියන වසර 2500 තුල වත් අසන්නට නොලැබුණ වර්ගයේ විකෘති ඒවාය. ඇත්තෙන්ම මෙවැනි ලිංගික බලහත්කාරයක් දකින්නට ලැබෙන්නේ ‘රැලේ වැටීම’ ලෙස හැඳින්වෙන බලු රෑන් එක බැල්ලියක පසුපස හඹායන විටක පමනි. එතැනද බැල්ලිය පසුපස යන මෙම බලු රෑන බලහත්කාරය උපයෝගී කර නොගනී. එනිසා මේ කල්ලිය හැරුණු විට තවත් මොනයන් ලෝකයක මෙය ඇත්ද මා නම් නොදනී.

බත්බැල වීරවංශගේ වෙබ් අඩවිය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සම්මානයට හා ගෞරවයට පාත්‍ර කලාකරුවන් ගණනාවකට අපහාස කරන්නේ අදහාගත නොහැකි අයුරින්ය. වීරවංශ යනු නිකම්ම නිකං හුඹස් හඬක් බව අප නම් ඔහුගේ හුඹස් හඬ තුලින් හඳුනාගෙන සිටියෙමු. ඔහුට නොතේරෙන ලෝක තත්වයක් ගැන කියමින් පවතින සැබෑ අධිරාජ්‍යවාදය ගැන නොව නොදන්නා මවා ගත් අධිරාජ්‍යවාදයක් ගැන කතා කරමින් එතුලින් තම මල්ල තරගකර ගත් මේ බත් බැලයා අර සම්මානනීය කලාකරුවනට අපහාස කිරීම තුලින් කරනුයේ ඔවුනගේ කීර්තිනාමය ප්‍රසිද්ධියේ දූෂනය කිරීමයි. චන්ඩින්ගේ බත් බැලයින් කොටසක් ප්‍රසිද්ධියේ ප්‍රචන්ඩ සාහසික නීච ක්‍රියාවන්හි යෙදෙනවා වාගේම මෙවැනි බත් බැලයින් කරනුයේද එවැනිම නීච පහත් ක්‍රියාවන්ය. වීරවංශලා වැනි බත්බැලයන් නිකම්ම නිකමුන්ගේ තත්වයේ සිට අද වන විට යමෙකු බවට පත්වී ඇත්තේ මේ රැස් වළල්ලේ ආරක්ෂාව මත සිටිමින් රාජ්‍ය බලය සහ ධනය අයුතු අයුරින් තම පුද්ගලික උවමනා සදහා යොදා ගැනීම තුලිනි. අද පවතින මජර, ජඩ, කාලකණ්නි ක්‍රමය පෙරළා දැමූ පසු මොවුන් ගසා කා ඇති ප්‍රමාණය හෙලිදරව් වනු ඇත. නීතියේ ආධිපත්‍යයේ ඇති රටකදී ඔවුනට නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිදුවන බව දන්නා ඔවුන් අද හැසිරෙන්නේ වියරුවෙන් දොඩවමිනි.

තවත් ඇමතිවරයෙකු වන, ඒ මදිවාට උසස් අධ්‍යාපන ඇමතිකම දරණ, එස්.බී. දිසානායකට ස්ත්‍රීන් පෙන්නන්න බැරිය. ස්ත්‍රීන් නිරුවත් කර මහමග ගෙනයාමේ තිරිසන් ආසාවකින් පෙළෙන අසනීපයකින් ඔහු පෙළෙන බව ඔහුගේ කියමන් වලින් පෙන්නුම් කරයි. මේ මා සඳහන් කරන බත් බැලයින් නැතිනම් ගණන් කාරයින්ගේ ආවතේවකරුවන් වූ විට බලයෙන් ගිණිකන වැටෙන මොවුන්ගේ විකෘති ආසාවන් ඉස්මතුව එන ආකාරයෙන්ය. මොවුන්ට ආචාරධර්ම නොමැත. ශීලාචාර සම්පන්නකම යන්න ඔවුනට වචන පමනි. ආශීලාචාර, නොදියුණු මනසකට හිමිකම් කියන මොවුන්ට රටක ඇමතිකම් ලැබී ඇත. ඒ මැදමුලන මහින්ද චන්ඩියා යටතේ ලබන බලයට පින් සිදුවන්නටය. මැද මුලන මොවුන් දිග එලිකර ඇති ලනුවේ කොණක් මැදමුලන කනුවේ ගැටගසා සිටී. මේ බත්බැලයන් කැරකෙන්නේ එනිසා මැදමුලන කණුව වටායි. ඔවුන් තමන්ගේ සිතන පතන නොපනත්කම් කරනුයේ මැදමුලන යටතේ සිට මහින්දලාගේ ඕනා එපාකම් මතයි.

මෙසේ එකෙකු දෙදෙනෙකු නොව මෙවැනිවුන් තවත් විශාල ප්‍රමාණයකි. මොවුන් නම් කර ඇත්තේ ඇමතිවරුන්, සභාපතිවරුන් ආදී තාන්න මාන්න ඇති නම්වලිනි. මොවුන් වැනි බත්බැලයනට ඇමතිතුමා යැයි කීමට එසේ නැතිනම් සභාපතිතුමා යැයි කීමට සිදුවීමද රටක අවාසනාවකි. එය රටටම මහත් කාලකණ්නිකමකි. දැන් එම කාලකණ්නිකමින් රට මුදවා ගැනීමට කාලය හොඳටම ප්‍රමාණවත්ය. ඒ කාලකණ්නිකමින් රට මුදා ගැනීමට මේ වන විට බලවේග බලමුළු ගන්වමින් පවතී. එකිනෙකාගේ අතිනත්ගනිමින් මේ සාපරාධී මජර බලහත්කාරයෙන් රට මුදවා ගැනීමට මිනිසුන් පෙළ ගැසෙමින් සිටිති.

මිනිසුන්ගේ දේපළ (රජයේ දේපළ) හොරා කන ජනතාවගේ බදු මුදලින් රජසැප විදින මේ පරපෝෂිතයන් රැළ පලවා හැරීමට ජනයා පෙළ ගැසෙන අයුරු දැක දැන් ඔවුන් වියරුවැටී ඇත. බලයෙන් අත්පත් කර ගත් බලය නැමැති පැහැදිලි දියේ සිත් සේ පිහිනමින්, පිනුම් ගසමින්, හිතුවක් කරමින් සියළු දෙය තම මඩියටම දමා ගනිමින් සැරිසැරූ මොවුනට දැන් අලුත් තත්වයකට මුහුණ දීමට සිදුවී ඇත. තම අයිතීන් ගැන, නිදහස ගැන, යහපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතියේ ආධිපත්‍ය ගැන, දූෂනයෙන් තොර රටක් ගැන, බලහත්කාරය පිටු දැකිය යුතු කම ගැන සිතන කතා කරන මිනිසුන් ලංකා දේශයේ සෑම අස්සක් මුල්ලකින්ම මතුවෙමින් එක පෙරමුණකට එකට එකකතු වෙමින් පවතී. මේ පෙල ගැසීම තුල මෙතෙක් ඔවුන් පිහිනමින් සිටි බලයේ දිය බොරවී ඇති බව මේ පරපෝෂිතයන් රැළට දැන් දැන් වැටහෙමින් පවතී. බොරවී ඇති දියෙහි පිහිනීමට ඉසව් සොයා ගත නොහැකිව අන්ද මන්ද වී ඇති මොවුන් බොරදියේ එහෙ මෙහෙ දගලන්නේ වියරුවෙන් මැත දොඩමිනි. නොපනත්කම්, චන්ඩිකම් ආදී විවිධ සාහසික ක්‍රියාවන්හි යෙදීම ඇරඹී ඇත. පවතින තත්වය තේරුම් ගෙන එම තත්වයට ගැලපෙන ආකාරයක දේශපාලනයක් කිරීම වෙනුවට තව තවත් ප්‍රචන්ඩත්වයම ආදේශ කරති. මොවුන් වටහා නොගන්නා කාරණය වන්නේ මොවුනගේ බලය දැන් බොරවී හමාර බවය. එහි රැස් වළලු එකින් එක බිඳෙමින් ඇති බවය. ජනතාව පොදු අපේක්ෂකයෙකු පෙරටු කරගෙන ජනබලය පෙරට ගෙනවිත් ඇත. ඒ ජනබලය හමුවේ මේ චන්ඩීන්ට සහ බත්බැලයන්ට දුවන්නට මං සෙවීමට සිදුවනු නියතය.

මැද මුලන මහින්ද සහ ඔහුගේ බත් බැලයන් කොතෙක් වියරු වැටී ඇත්ද යත් තැනක ඔවුන් පොදු අපේක්ෂකයාගේ වේදිකා ගිනි තබති. ජයතිලක බණ්ඩාර වැනි සාමකාමී මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ටද පහර දෙති. තවත් තැනක ඔවුන් විරුද්ධ පාක්ෂිකයින්ගේ රැස්වීමක් කඩාකප්පල් කරති. වෙඩි තැබීම්, බෝම්බ ගැසීම්, මඩ ගැසීම් ආදී ඔවුනට යෙදිය හැකි සියළුම නොපනත්කම් නීච සහ ජඩ ක්‍රියවන්හි දැන් ඔවුන් යෙදෙන්නේ කඩු අතින් ගත් පිස්සන් රැළක් මෙනි.

මිනි කඳු සහ ලේ විල් කිසි දිනෙක රටකට සෞභාග්‍ය උදා නොකරනු ඇත. ඉතිහාසයේ සියුළු ඒකාධිපතීන්, මිනීමරු පාලකයින් කොතරම් බලය, ආධිපත්‍ය, බලහත්කාරය සහ ප්‍රචන්ඩත්වය ජනතාව මත පැටවූවා වුවද අවසානයේ ඔවුන්ව ජනබලවේගයන් විසින් බලු කුක්කන් මෙන් පලවා හරිනු ලබන බව සහතිකය.

අද වන විට පිස්සු වැටී ඇති බලු ගැත්තන් රැළ හසුවන අතේ හපා කමින් සිටින්නේ පිස්සු බල්ලන් මෙනි. ඉතිහාසයේ කිසි දිනෙක කිසිම ඒකාධිපතියෙකු, ෆැසිස්ට්වාදියෙකු ජන බලය අභිබවීමට සමත් වී නොමැත.
මේ ප්‍රචන්ඩ අශීලාචාර මැර දේශපාලනය පිටු දකිමු!
යහපත් ශීලාචාර සමාජයක් සදහා මේ මැරයින් පරදවමු!
එහි මුල් පියවර ලෙස ජනවාරි 08 පොදු ජන අපේක්ෂක මෛත්‍රී ජයග්‍රහණය කරවමු!
පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය යනු පොදු ජනයාගේ ජයග්‍රහණයයි!

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarachchi