sy 800

පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ තමන් ඒ බවක් දුටුවේ නැති බවය. කෙසේ නමුත් එම මැරයන් පසුව අත්අඩංගුවට ගත් අතර සුපුරුදු පරිදි අධිකරණයෙන් ඇප ලබා දී නැවත් සිය සුපුරුදු මැරකම් කරන්නට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර දුන්නේය.

ඉන්අනතුරුව පසුගිය 21 දා හම්බන්තොට පැවත්වීමට නියමිතව තිබූ විදියේ විරෝධය වැඩසටහනට කඩාවැදුනු, හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු නමැති පිස්තෝල මැරයා ඇතුලු පිරිසක් නැවතත් වීදියේ විරෝධය කණ්ඩායමට පහර දුන්නේ ය. එහිදී පිස්තෝල, දැලිපිහි, පොලු සමග පැමිණි එම මැරයන් පහරදෙන විට අසල ඇති පොලීසිය එය දුටුවේ නැතිලු! එසේම පොලිස් නිළාධාරීන් කිහිප දෙනෙක් ඈතට වී බලා සිටියේ පිස්තෝල නගරාධිපතිවරයාගේ පිස්තෝලයට රාජපක්ෂ ලයිසන් දී ඇති බවට එහි සිටි ඇතැමෙක් ප්‍රකාශ කළේය. පසුව පොලීසියට භාර වූ පිස්තෝල නගරාධිපති මැරයා දින දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප පිට නිදහස් කළේය. ගිණි අවි, දැලිපිහි, පොලු මුගුරු රැගෙන නිරායුද මිනිසුන්ට පහරදුන් රාජපක්ෂලාගේ බත්බැලයන් එසේ හැසිරෙද්දී මේ වන විට මැතිවරණ වේදිකාවල රාජපක්ෂලා ගිරිය පුප්පන් කතා කරන්නේ යහපාලනය, නීතියේ ආධිපත්‍ය ගැනය.

ඉන්පසු ඊයේ(29) අලුත් පරපුර නම් කලාකරුවන්ගේ සංවිධානය විසින් කුරුණැගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රසාංගික වැඩසටහනක් සිදු කරමින් සිටියදී එයට කඩා වැදුනු රාජපක්ෂ ආණ්ඩුවේ පළාත් සභා මංත්‍රී කමල් ඉන්දික ඇතුල මැර පිරිසක් එහි සිටි කලා කරුවන්ට පහර දුන්නේය. ඔහු සමග පැමිණි අනෙක් මැරයින් නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි බවට වාර්තා වූ අතර ඔවුන් ගල්මුල්, බිත්තරවලින් දමා ගැසුවේය. තර්ජනය කළේය. එහිදී පහර කෑමට ලක්වූ කලාකරුවන් කිහිප දෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුල් වී ප්‍රතිකාර ලබා ගන්නටත් සිදු විය.

කෙසේ නමුත් මේ සිදුවීම වන විට නිල් බලකායේ ප්‍රධානියා වන නාමල් රාජපක්ෂ, ජැකලින් ෆර්ඩිනැඩස් සහ සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමග රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ සිටියේ බබාලා සේය. නමුත් මේ බබාලා සහ බබාලාගේ තාත්තා සිතා ගත යුතු කරුණ වන්නේ සලමන් ලාගේ සිල්ලර හිනාවට වඩා, සමනලී ලාගේ, ලක්ෂ්මන්ලාගේ ලේ ඝනකම බවය. එහි ඇත්තේ මනුෂ්‍යත්වය සහ ප්‍රේමය බවය. එබැවින් ඔබලා විසින් මේ පහරදීම කරන ලද්දේ සලමන් ලාට මුදල් දී හයර් කරගෙන තමන්ගේ වේදිකාවට නංගා ගත්ලෙස ‘නලාකරුවන්‘ නොවන මේ ‘හෘද සාක්ෂියක් ඇති කලාකරුවන්ව‘ එසේ බාගත නොහැකි කෝපයට බවය.

රාජපක්ෂ මැරවාදය

දැන් කරලියට එමින් තිබෙන්නේ රාජපක්ෂ වියරුවේ උපරිම අවදියයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන රාජපක්ෂ එලි පිටම පෙන්වන්නේ රාජපක්ෂ මැරවාදයයි. එප්පාවලදීත්, හම්බන්තොටදීත්, කුඹුක්ගැටේදීත් මහදවල් පෙන්වමින් ඇත්තේ රාජපක්ෂ මැරවාදයයි. නිරායුද මිනිසුන්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට පහරදෙමින් සිටින්නේ ‘වෙන කිසිවෙකුගේ මතයක් බෑ. අපි විතරයි‘ යන්න පෙන්වමිනි. නමුත් නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන මේ රාජපක්ෂලා, ඔවුන්ගේ බත්බැලයන් විසින් සිදුකරමින් පවතින මේ නොසන්ඩාල මැරකම් නොදැක්කා සේ සිටියි. පොලීසියත් දැක්කත් නොදැක්කා සේ සිටින බවක් පෙනෙන්නට තිබේ. මෙය රාජපක්ෂ පාලනයේ මේ කාලය තුළ පමණක් සිදු වූ විශේෂ සිදුවීමක් නොවේ. පසුගිය වසර ගණනාවේම මේ කරුමය සිදුවිය. පොලීසියට කරන්නට දෙයක් නැත. අධිකරණයටත් කරන්නට දෙයක් නැතුවා සේය. සියලු දෑ, සියලු නොසන්ඩාලකම් සිදු කරන්නේ රාජපක්ෂලාගේ සෘජු නියෝග යටතේ ය. නැතිනම් රාජපක්ෂලා විසින් මෙහෙයවනු ලබන මැර කොන්තරාත් කරුවන් හරහාය. නොඑසේ නම් පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ටත්, පිස්තෝලය එල්ලකළ එරාජ්, පසුගිය දාත් පිස්තෝල, දැලි පිහි එල්ලකරමින් පහරදුන් එරාජ්, තවමත් නගරාධිපති පුටුවේ ලැග සිටින්නට හැකියාවක් නැත. ඒ හැකියාව ලැබෙන්නේ රාජපක්ෂලා විසින් ඔවුන්ව ආරක්ෂා කරන බැවිනි. ඊයේ කුඹුක්ගැටේදී කලාකරුවන්ට පහරදීමට පළාත් සභාවේ මැර මංත්‍රීට ශක්තිය ලැබෙන්නේ ඒ නිසාය. ගුටි කෑ කලාකරුවන් රෝහලේ ඇදන් මත වැතිර සිටිද්දී පහරදුන් මැර මංත්‍රීලා සැපට ගෙදරට වී බුදියා ගන්නේ ඒ නිසාය. ඒ මැරයින් ඇහැරවීමට නීතියට නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව රාජපක්ෂාලාගේ බල්ලාත් අද සිටින්නේ නීතියට ඉහලින් වීම නිසාය.