සිංහල, Democracy, Election, Governance, Human Rights, Human Security, Kurunegala

මැතිවරණයේ පළමු මිනිස් ඝාතනය මාවතගමින්

කුරුණැගල, මාවතගම, හොප්ටෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු කරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට පසුගිය 4දා රත්‍රියේ කැබ්රථයකින් පැමිණි සන්නධ පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. එම වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තරඟ වදින ආර්. බී. විමලදාස මහතාගේ ආධාරකරුවෙක් වන ජීවන් ප්‍රසන්න නැමති තරුණයාය.

මිය ගිය ජීවන් ප්‍රසන්න ඇතුඑ පිරිස 4දා රාත්‍රියේ ප්‍රචාරක කටයුතු සඳහා කැබ්රථයකින් ගමන් ගෙන ඇති අතර එහිදී එම කැබ්රථය ලුහු බැඳ ආ තවත් කැබ්රථයකින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බව වාර්තාවේ. මෙම වෙඩි තැබීම එල්ලකලේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙළි වී නැති අතර මෙම මැතිවරණයේ පළමු මිනිස් ඝාතනය මෙය බවත් වැඩිදුරටත් වාර්තාවේ.

විශේෂයෙන් ඉතිහාසයේ දරුණුම ප්‍රචණ්ඩක්‍රියාවන් සිදු වූ මැතිවරණය වන 1999 පැවති වයඹ පළාත් සභා මැතිවරණය වැනි මැතිවරණ වලින් මෙම පළාත ප්‍රචණ්ඩක්‍රියාවන්ට ප්‍රමුඛස්ථානයක් ගන්නා පළාතකි.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණවල ඝාතනයන් ඇතුඑ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස නීතිවිරෝධි ප්‍රචාරක කටයුතු සිදුකිරීමට යාමේදී ඇති වන තත්වයන් බව ඉහත ඝාතනයෙන් වුවත් පැහැදිළිවේ. එසේ වුවත් මෙම මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු ඊයේ(5) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වුවද දිවයිනේ සෑම පළාතකම පෝස්ටර්, කටවුට් වැනි ප්‍රචාරක මාධ්‍යන් තවමත් දක්නට ඇත.

එසේම මනාප පොරය නිසා මැතිවරණය දිනය ආසන්න වත්ම විශේෂයෙන් නීතිවිරෝධි ප්‍රචාරක යුද්ධයේදී තවත් බොහෝ ප්‍රචණ්ඩක්‍රියාවන්, ඝාතනයන් සිදුවිය හැකිය. මේ තත්වය පාලනය කිරීමට අදාළ අංශ පියවර නොගතහොත් ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ හැකිද? ජීවන් ප්‍රසන්න වැනි තරුණයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ‛සුභ අනාගතයක්’ යැයි කී පමණින් හැකිවේද?