එළබෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද ‘වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත්‘ ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් අද(25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් පැවැත්වීය.

වැඩසටහන ආරම්භ වී සුලු වේලාවකින් කුරුණැගල පොදුවෙළදපල අසලට පැමිණි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ‘අත්පත්‍රිකාවේ ඇති දේවල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා‘ යැයි කියමින් වීදියේ විරෝධයේ සාමාජිකයෙක් බලහත්කාරයෙන් පොලීසියට රැගෙන යාමට උත්සහ දැරීය. එවිට අනිකුත් සාමාජිකියන් විසින් ‘කුමන ස්ථානයේද මැතිවරණ නීතිය උල්ලංගණය වී ඇත්තේ‘ යනුවෙන් ප්‍රශ්න කිරීමේදී පොලීස් නිළධාරියාට එවැන්නක් පත්‍රිකාවේ අති බවට පෙන්වීමට නොහැකි විය.

ඉන් පසු එම පොලීස් නිළධාරියා එතැනින් නික්ම ගිය පසු වීදියේ විරෝධය කණ්ඩායම විසින් කුරුණෑගල නගරයේ සාමකාමීව සිය දැනුවත් කිරීම සිදු කලේය. නමුත් පැය කිහිපයකින් පැමිණි වෙනත් පොලිස් නිළධාරියෙක් ‘අපි ඔයාලාව අත්අඩංගුවට ගන්නවා‘ යැයි කියමින් ප්‍රකාශ කළේය.

‘කුමන නීතියක් යටතේද අත්අඩංගුවට ගන්නේ‘ යැයි වීදියේ විරෝධය කණ්ඩායම නැවත වරක් ප්‍රශ්න කිරීමේදී, ‘අත්අඩංගුවට ගන්නේ මැතිවරණ නීතිය යටතේ‘ යැයි එම නිළධාරියා ප්‍රකාශ කළ අතර, වීදියේ විරෝධය කණ්ඩායම නැවතත් ප්‍රකාශ කර සිටියේ ‘අප බෙදාහරින ලද අත්පත්‍රිකාවේ කුමන ස්ථානයේදී එම නීතිය උල්ලංඝනය කරන්නේ? යැයි පෙරළා ප්‍රශ්ණ කලේය.

එවිටද එම පොලිස් නිළධාරියා නිරුත්තර වූයෙන් පසුව ඔහු විසින් ඉදිරිපත්කළේ ‘පත්‍රිකාවේ ඉන්ප්‍රින්ට්‘ හෙවත් එක හෙවත් ප්‍රකාශකයා සහ මුද්‍රණකරු සඳහන්ව නැති බවය. එවිට ඉන් ප්‍රින්ට් එක පැහැදිලිව ඇති බවත්, ‘අපව ඔය කියන නීති කිසිවෙකින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වන්නේ කිසිදු නීතියක් අප උල්ලංගනය කර නැති බවත්‘ වීදියේ විරෝධයේ පිරිස පැවසීය.

කෙසේ නමුත් අවසානයේ වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගත් උත්සහය ව්‍යර්ත විය. නමුත් කුරුණෑගල පොලීසියේ ආරංචිමාර්ග පවසන්නේ උදෑසන දැනුවත් කිරීම ආරම්භ වූ මොහොතේ සිටම දිගින් දිගටම 119 ඔස්සේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පොලීසියට පැමිණිලි කරඇති බවය.

එම නිසා ඉන් ගැලවීම සදහා පොලීසිය විසින් වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට උත්සහ ගත් බවයි.

නමුත්, පොලීසිය විසින් දිගින් දිගටම කළ බාධා කිරීම් හමුවේ ද වීදියේ විරෝධය කණ්ඩායම සිය දැනුවත් කිරීම සිදු කළේය. මේ වන විට පරාජිත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් මහමැතිවරණයට තරග වැද සිටින්නේ කුරුණැගලින් වීමත් විශේෂයක් වන අතර ඔහුගේ ආධාරකරුවන්ට මෙම දැනුවත් කිරීම දරාගත නොහැකි වී ඇති බවට කුරුණැගල සමාජ ක්‍රියාකාරීන් පවසයි. එසේම කුරුණෑගල ප්‍රදේශයේ අනිකුත් සංධාන අපේක්ෂකයන්ගේ ‘මහින්ද විරෝධය‘, මනාප නිසා උග්‍රවෙමින් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.

IMAG1323