Cartoon Credit : Dailymirror/Awantha Artigala

පසුගිය 29 දින කාටූන් කලාකරුවකු වන අවන්ත ආටිගල විසින් ඉහත සඳහන් කාටූනය තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. ඔහු වචන දහසකින් පැවැසිය හැකි දැය තම එක් කාටූනයකින් පෙන්වා දෙන දක්‍ෂ නිර්මාණශීලි කලාකරුවකි. අවන්ත යනු සමාජ දැනුමක් ඇති සුවිශේෂි කලාකරුවකි. නමුත් ජාතික ප්‍රශ්ණය යැයි එනවිට ප්‍රගතිශීලී රචකයන්ගේ සිත්වලින්ද තුරන්විය යුතු ස්ථරයන් තවමත් ඉවත් නොවී තිබීම ගැන කණගාටුව පළකල යුතුයි.

ඉකුත් කාටූනය මඟින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට ෆැඩරල් ක්‍රමය ඉදිරිපත් කරයි. දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ජන්දය ලබා ගැනීමේ අරමුණින් ෆැඩරල් ඉල්ලීම ඉදිරිපත් කරයි. දෙමළ ජාතික සන්ධානය කිඹුල් කඳුලු සලන්නේ මැතිවරණය සඳහාය. මේ ගැන බියට පත්වීමට අවශ්‍ය නැත. එමෙන් ඔබලා බියට පත්වන්න එපා යැයි මෙම කාටූනය මඟින් සිංහල ජන්ද දායකයන් වෙත පවසා සිටියි. (ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති ප්‍රතිචාරයද බලන විට, එයට අවන්තගේ වගකීමක් නැති නමුත් සිංහල මානසිකත්යට මෙම කාටූනය මඟින් ඇති කර තිබෙන්නේ කුමක්ද යන කාරණාව වටහාගත හැකිය) එපමණක් නොව දෙමළ ජාතික සන්ධානය ෆැඩරල් ඉල්ලීම ගැන දෙමළ ජනතාව විශ්මයට පත්වන බවද පෙන්නුම් කර තිබේ. දෙමළ ජනයා යැයි හැඳුන්වාදීමට නළලේ තීරු සලකුණද පහරකි. කුරුසේ දමාගෙන සිටින දෙමළ ජනතාවද අප අතර සිටියි. ඇතම් විට මෙම කාටූනයේ අරමුණු දැක්ම දෙමළ ජනතාව පමණක් නම් මට සතුටුය.

කිසිවක් කථා නොකර තිරය පිටුපසින් ලබා දෙන දැය ලබාගෙන එකඟවී යන දෙමළ ජාතික සන්ධානය කිඹුලකු තරමට උසස් කර බියට පත්වුනාද?

මෙහි තවත් සන්ධානයක් තිබෙනවා. එය ඒකීය රටක්, දේශයන් දෙකක් යන ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එය සලන්නේ ඩයිනෝසර් කඳුලු බවට හෝ කාටූනයක් ලියා දෙන්න, එය ලොකු පිනකි.

අපි දෙමළ දේශපාලකයන් ඉදිරිපත් කරන ඉල්ලීම් ගැන ඔබලාට වඩා තදින් විවේචනය කරන්නෙමු. නමුත් එහි අරමුණ වෙනයි.

ජාත්‍යන්තර දේශපාලනය සහ ශක්තිමත් සිංහල ජාතිවාදී කරුණු ඇතුලත් රාජ්‍ය නීති පරිපාලන ක්‍රමවේදයන් නිසා ඉතා අවම දේශපාලන ඉල්ලීමක් පවා ලබා ගැනීමට නොහැකි තත්වයක ඔබලා පාර්ලිමෙන්තු පුටුවක් සඳහා දෙමළ ජනතාව මුලාකර රවට්ටන ව්‍යාජ දේශපාලනයක් පවත්වන බවට අපිම අපගේ දේශපාලකයන්ව විවේචනය කරන්නෙමු.

ඇත්තෙන්ම දෙමළ දේශපාලකයන් ෆෙඩරලයක් ද ඉල්ලා සිටියේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමෙන්තු පුටුවක් පමණි. නිකමට පාර්ලිමේන්තු ආසනයකට ලැබෙන වරප්‍රසාද සියල්ල ඉදිරි වසර පහකට ඔබලාට ලබා දෙන්නේ නැහැ කියා පවසා බලන්න, බොහෝ දෙනෙකු මැතිවරණයට පවා ඉදිරිපත් වන්නේ නැහැ.

ආයුධ අරගලයෙන් පරාජයවූ දෙමළ ජනතාව තම දේශපාලනික ඉල්ලීම් සියල්ලම එකලෙසින්ම අත්හැර දැමුවාද?

දෙමළ ජනතාව බෙදුම්වාදී ඉල්ලීම අතහැර ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස දේශපාලනික යෝජනාවක් ඉදිරිපත් කළ විට සිංහල ප්‍රගතිශීලීන් එය දැකිය යුත්තේ කෙසේද? තනි රටක් ඉල්ලා සිටි පිරිස ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින විට සතුටු වන්නේ නැද්ද? අවන්ත, එක් ජාතික ජන කොටසක සාධාරණීය දේශපාලනික ඉල්ලීම බලන්නේ කොහොමද? දේශපාලකයන් සලන්නේ කිඹුල් කඳුලු තමයි. නමුත් ඔබේ දැක්මට අනුව ෆෙඩරල් යනු හුදෙක් දෙමළ ජාතික සන්ධානය සලන කිඹුල් කඳුලක්ද?

ජාති මතභේද බිඳක් හෝ තවමත් අඩුවී නැහැ. මෙවැනි අවස්ථාවක කලාකරුවකු තම ජනතාවට පැවැසිය යුතු දෙය කුමක්ද? සුළු ජාතිකයන්ගේ දේශපාලනික ඉල්ලීම ගැන දැනුවත් කිරීමක් සිංහල ජනතාව අතර ලබාදීමේ වගකීමක් ඔබට නැද්ද? දෙමළ ජනතාව ඉල්ලන්නේ ෆෙඩරල් ක්‍රමයක්නේ යැයි ඔබට පැවැසීමට පවා නොහැකිය! දේශපාලන ප්‍රතිපත්ති දේශපාලන ස්ථාවරවලට එහා නිර්මාණශීලි කලාකරුවකුගේ සිත ක්‍රියාකරන ආකාරයම වෙනස්ය. කලාකරුවකුගේ සිත බලය මර්ධනයට විරෝධීය, පුළුල්ය, එය ඔබ සතුවද තිබේ. නමුත් එයට උඩින් සුළු සීරීමක් ඇත. එය ඉවත් කරන්න..

මෙතරම් කියවන්නේ, උතුරැ නැනෙහිර සිටින මුස්ලිම් ජනතාවට කියන්නේ මොනවද යැයි මගෙන් විමසිය හැක. මම ඔවුන්ව බලා “ඔබලාට හිමි දැය ඔබලාම ලබාගන්න යැයි පවසන්නෙමි“

ශ්‍රී ලංකාව තුල සියළු ජන කොටසකටම තමන්ට හිමි දෙය පමණක් තමන්ම ලබා ගැනීමට හැකි, අන්යොන්‍ය සිතක් පවතින වාතාවරණයක් තිබෙන්නේ නම් එක්වී ජීවත්වීමත්, බෙදාගෙන ජීවත්වීමත්, වෙන්වී ජීවත්වීමත්, සියළු දෙයම විය හැකිය.

ඇතැම් විට ශ්‍රී ලංකාව තුල ඉතා උසස් ප්‍රජාතාන්ත්‍රික පාලනයක් උදාවී සියළු ජාතිකයන්ම සමානව, මර්ධනයකින් තොරව ජීවත්වන අවස්ථාවක එය කඩාකප්පල් කරන අයුරින් දෙමළ ජනතාව වෙනම බෙදී යෑමට ජාතිවාදී අරමුණකින් දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේ නම් අවන්ත! ඔබගේ කාටූනය ද කෝටියක් වටිනා නිර්මාණයක් වනු ඇත.

දේව අභිරා
@පරිවර්ථනය/උපුටනය – GLOBAL TAMIL NEWS [SINHALA]