බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම “ජයග්‍රාහකයා” වෙනුවෙන් ලියවෙන සුන්දර කතා වූ කලී අවස්ථාවාදීන්ගේ ප්‍රකාශනයන්ය. දේශපාලනයේ ඇත්ත මෙයයි.

හිටපු අගවිනිසුරුවරියගේ පුත්‍රයා මෙවර මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙන් මුහුණදුන් තත්වය තුළ ඇති හරය එයයි. එසේම මිනීමැරුම් චෝදනාමත රිමාන්ඩ් ගත කොට සිටින ප්‍රේමලාල් ජයසේකර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප දිනාගැනීම ආදී කරනා දෙස බැලීමෙන් මෙම තත්ත්වයේ ඇති ප්‍රයෝගික සහ ව්‍යාකූල මෙන්ම උකටලී ස්වභාවය තේරුම් ගැනීම අසීරු නොවේ.

මිත්‍යාවෙන් මිදුණු තැන වේදනාව ඇති වේ. ඊට අපි බොහෝ දෙනෙකු අකැමතිය. මෙවර මැතිවරණයෙන් දිනපු සිංහල දේශපාලන පක්ෂයක් නැත. ඇත්ත එයයි. සියල්ලෝම ජයග්‍රහකයෝය. සියල්ලෝම පරාජිතයෝය. නමුත් සැබෑ ලෙස දිනු පක්ෂයක් තිබේ. ඒ දෙමළ එක්සක් සංධානයයි. එය යළිත් මෙරට දේශපාලනයේ තීරණාත්මක මැදිහත්කරුවා බවට පත් වී ඇත. 2016ට පෙර අපි අපට තියෙන ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නවා, යැයි ආර්. සම්බන්ධන් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේදී කියූ අදහසේ ඇති ගැඹුරු දේශපාලනය තේරුම් ගැනීමට වැඩි කාලයක් අවැසි නොවේ. එය මෙම ප්‍රතිඵල තුළින්ම දක්නට ලැබේ.

මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම සුපුරුදු ආශාව වන ඇමෙරිකානු සංස්කෘතියට අනුව යමින් මාධ්‍යයවේදීන් අමතනු ලැබුවේ තම බිරිඳ දැඩි අව් රශ්මිය නිසා කුඩයක් හිසලාගෙන ඔහුට එකත් පසෙකව හිඳින විටදීය. මැතිවරණයෙන් පසු අගමැතිවරයාගේ හැසිරීම නිරීක්ෂණය කිරීම කදිම දේශපාලන අත්දැකීමක් වේ. එය ඉදිරි දේශපාලන තීන්දු තීරණ කෙරෙහි දැඩි ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහුගේ සුපුරුදු හැසිරීම පෙර පරිදිම, සම්ප්‍රදාය නමැති කුණාටුවට හසු වීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.

එසේම, මැතිවරණයේ ප්‍රතිඵල අනුව සහ එක් එක් සාමාජිකයා ලබාගත් මනාප අනුව, පෙනී යන මූලික කාරණයක් හඳුනා ගත හැකිය. එනම් මෙරට බහුතර ජනතාව තීරණාත්මක අවස්ථාවලදී තීන්දු තීරණ ගන්නා ආකර්ශනීය ස්වභාවයයි. සිංහල බහුතර ජනතාව තුෂ්නීම්භූත වී ඇති සැටියෙකි.

ප්‍රතිඵල ලෙස බැලීමේදී පෙනී යන මුලික කාරණය වූ කලී එය ජනාධිපතිවරණයකට සමාන හැඩතලයන් නිර්මාණය කොට තිබීමයි. එසේම රාජපක්ෂ සහ ඔහුගේ පහනෙන් එලිය බැලු ඍජු දේශපාලනඥයින්ට හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන මෝඩකම් වලින් මහත් ප්‍රයෝජන ලබාගත් අයවලුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්ප්‍රදාය කඩා දැමීමට හැකිවීම මෙහිදී නිරීකෂණය කළ හැකි තවත් එක් ප්‍රධාන කාරණයකි.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙනී අනෙක් මූලික කාරණය වූ කලී මෙය පුද්ගල කේන්ද්‍රීය මැතිවරණයක් ලෙස මතු වෙමින් පක්ෂ වලට තිබූ මූලික බලය චලනය කිරීමට සමත් වූ ප්‍රකාශනයක් ලෙස ඉදිරියට පැමිණ ඇති බවයි. මේ හමුවේ පක්ෂවලට හිමි ස්ථානයට තීරණය කිරීම සහ කිරා මැනීම වූ කලී පශ්චාත් මැතිවරණයෙන් පසු අදාළ පක්ෂ හමුවේ ඇති ප්‍රභල අභියෝගය වේ.

එසේම, රාජපක්ෂ වටා කේන්ද්‍රගත වූ සුළු පක්ෂ වඩාත් බුද්ධිමත් සහ කෛරාටක ලෙස රාජපක්ෂ රූකඩයක් ලෙස පාවිච්චි කිරීමට සමත් වී ඇති ආකාරය මෙන්ම රාජපක්ෂ අදාළ සුළු පක්ෂ වලට රැවටී ඇති ප්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකිය. එය සිංහලයින් හමුවේ සාර්ථක වූ දේශපාලන අත්හදා බැලීමකි. එහි සීමාව එයයි. මෙය කෙතරම් කණගාටුදායකද යන්න, උතුරු පළාතේ විද්‍යාදරන් යොදා ව්‍යාකූල කිරීමට ගිය දෙමළ ජනතාවගේ කැමැත්ත වෙනුවට තම පක්ෂය හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නන්නත්තාර කිරීමට රාජපක්ෂගේ උපායන් හේතූ වී ඇත.

තම උපායන් බූමරංගයක් බවට පත් වී එමඟින් තම ප්‍රතිරූපය දියකරමින් ඇති බව මේ නායකයාට තේරුම් ගැනීමට නොහැකි වී ඇති සැටියෙකි. එහි ඇති හාස්‍යජනක කාරණය වූ කලී රාජපක්ෂගේ දේශපාලනයෙන් අනෙකා වාසි ලබා ගන්නා ආකාරය සහ එම වාසි ලබා ගන්නා පුද්ගලයා තම උපදේශකයා සහ සැබෑ ආරක්ෂකයා ලෙස සිතීමට රාජපක්‍ෂ පෙළඹීමයි. ඔහු පීඩා වඳින සැබෑ රෝගය මෙයයි.

මැතිවරණයට දින කිහිපයකට පෙර මාධ්‍යයට නිකුත් වූ උදය ගම්මන්පිල, රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දරණ අදහස පටිගත කරනු ලැබූ රහස්‍ය හඬ පටයට නිරවුල් මනසකින් සවන්දීමට රාජපක්ෂට වෙලාවක් සහ වුවමනාවක් තිබේනම් හෝ වීරවංශගේ දේශපාලන පක්ෂ සාමජිකයින් බුලත් කොලෙන් තම බලය තවුරුකරගත් ආකාරය බුද්ධියෙන් විමසා බැලිය හැකිනම් මෙම තත්ත්වයේ ඇති සැබෑ ඇත්ත ඔහුට තේරුම් ගත හැකිය.

මෙම තත්වයෙන් ගොඩ ඒමට හැකිවන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙරකී තත්වය අධ්‍යනය කිරීමෙන් සහ ඔහුට ජනාධිපති මෛත්‍රීගේ සැබෑ දේශපාලනය කියවීමට බුද්ධිය සහ විනය මෙන්ම ඉවසීම පහල වීමෙන් පමණි.

මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉතුරු කොට ඇති අභියෝගාත්මක ක්ශේෂ පත්‍රය එයයි. ඔහුට මෛත්‍රී කිරීමට ගිය සැබෑ උදව්ව තේරුම් ගැනීමට හැකි ඥානය පහල වන්නේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දවසේ වැඩ භාර ගැනීමට සැලසුම් කොට ඇති මහින්ද රාජපක්ෂ මහතා රටේ දේශපාලනය තුළ යළිත් තීරණාත්මක සාධකයක් බවට පත් වනු ඇත.

නමුත් රාජපක්‍ෂ මහතාගේ මනෝභාවය අනුව එය දවල් හීනයක් වන්නේ ඔහු තම සැබෑ සතුරා හඳුනාගැනීමට කිසිඳු කුසලතාවයක් නොදක්වන්නෙකු නිසාය. රාජපක්ෂට ගැලවීම ඇත්තේ, ඔහුගේ නම සහ රුව යොදා රට තුළ පැළපදියම් කරනු ලැබූ ගෝත්‍රික දේශපාලනයේ උරුමය ඔහු නීච ලෙස පාවිච්චි කොට දේශපාලන වාසි ලබාගත් අයවලුන්ගේ හිස මත තබා, සැබෑ මිතුරා සහ මිතුරිය හමුවේ කරන දේශපාලන පාපොච්චාරණයකිනි. එය ඔහු මුහුණ දෙන බරපතළ අභියෝගයද වේ. දිනුමකුත් නැති පැරදුමකුත් නැති මෙවර මහමැතිවරණයේ දේශපාලනය තුළ රාජපක්ෂ අරඹයා ලියවෙන සැබෑ කාරණය එයයි.

මෙම කෙටි සටහන අවසන් කිරීම සඳහා බුරුම ජාතිකයින් භාවිතා කරන ප්‍රසිද්ධ කියමනක් උපුටා දැක්වීම උචිත යැයි සිතේ. ඒ වූ කලී, “ මුළා වූ පුද්ගලයා තම නිදියහන රනින් තැනු මාළිගයක් ලෙස සිතන්නේය.”

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa