Image by: Ruki fernando @rukitweets

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා හිරීමට කොළඹ අධිකරණය අද තීන්දු කළත් එම රැදවියන් ආපසු බන්ධනාගාරය වෙත යවා ඇත්තේ ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ය.

එකම දවසේ දෙවතාවක් අධිකරණයට

කෙසේ නමුත් මෙම දෙමළ දේශපාලන සිරකරුවන් අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ආණ්ඩුවේ ත්‍ර‍ස්ථ මර්දනය ඒකකය පවසා සිටියේ ඔවුන්ට ඇප ලබා දීම සදහා තමන්ට නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

එම නිසා එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබිණි.

නමුත් ඉන් පසු නැවත බන්ධනාගාරය වෙත යැවූ එම දේශපාලන සිරකරුවන්, නැවතත් පස්වරුවේ අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ නඩුව නැවත කැඳවන මෙන් ඉල්ලීමක් කර තිබු හේතුවෙනි. ඒ අනුව අධිකරණයේ පෙනී සිටි රජයේ නීතීඥවරයා පවසා ඇත්තේ මෙම සැකකරුවන් පිරිස දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

කෙසේ නමුත් ත්‍ර‍ස්ථ විමර්ශන ඒකකය සිය සුපුරුදු සිය ජාතිවාදී තර්කය ඉදිරිපත් කළත් අද(11) දවසේ සිංහල සහ දෙමළ පුවත් පත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අගමැතිවරයා උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ රැදවියන් 31 දෙනෙක් ඇප මත මුදා හැරීමට රජය තීන්දු කර ඇති බවයි. එසේ තිබියදී එම රැදවියන්ව පළමුවරට අධිකරණයට කැදවීමේදී නීතිපති උපදෙස් ලැබී නැතැයි පැවසීම තුළම ත්‍ර‍ස්ථ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන ආකාරයත් නීතිපති දෙපාර්තමේන්වේ පවතින තත්ත්වය මනාවට පැහැදිලි වෙයි. ත්‍ර‍ස්ථ විමර්ශන ඒකකයට කිසිදු චෝදනාවක් ගොනු කරගත නොහැකිව(අද දක්වාම එසේමය!) දින 362ක් රදවාගෙන සිට පසුව ඇපමත මුදාහැරි බාලෙන්ද්‍ර‍න් ජෙයකුමාරි පිලිබදවත් ත්‍ර‍ස්ථ විමර්ශන ඒකකයත්, නීතිපති දෙපාර්තමේන්තුවත් දැරුවේ මෙම දුබල මෙන්ම යුක්තිසහගත නොවන ස්ථාවරයයි. එබැවින් ‘සංක්‍රාන්ති යුක්තියක්‘ ගැන සාකච්ඡා වෙන මොහොතක රටේ අධිකරණ සහ නීතිය ක්‍රියාත්මක කරන මෙවැනි ආයතනවලින්, මෙයට වඩා ‘යුද අපරාධ‘ වැනි සංකීර්ණ තත්ත්වයන් වල දී ද ‘යුක්තියක්‘ අපේක්ෂා කළ හැකිද?

පහත පළවන්නේ අද දවසේ පළ වූ සිංහල සහ දෙමළ පුවත්පත් වාර්තා කිහිපයක්..

දැඩි ඇප කොන්දේසි

ඒ අනුව එකම දවසේ දෙවතාවක් අධිකරණයට ඉදිරිපත් කළ එම දේශපාලන සිරකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත්තේ දැඩි ඇප කොන්දේසී මතය. ඒ අනුව අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙක බැගින් නියමකිරීමත්, එසේම ඔවුන්ගේ විදේශ ගමන් තහණම් කර තිබෙන අතර ඔවුන් පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණයට දැන්විය යුතු බවත් නියෝග කර තිබේ. එසේම සෑම සති දෙකකටම වරක් ඉරිදා දිනයේ ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බව සඳහන් කර ඇති මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි කඩ කරන්නේ නම් යළි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව දැනුම් දී තිබේ. එසේම මෙම රැදවියන් 31 දෙනාට වෙනුවෙන් පෙනී සිටින ඇප කරුවන් මෙම සැකකාර රැදවියන් පදිංචි ගමේ අය බව තහවරු කරමින් ග්‍රාමසේවා සහතික ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබේද?

IMAG2090

කෙසේ නමුත් මේ පිළිබද අදහස් දක්වන දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින මෙම දෙමළ දේශපාලන සිරකරුවන් ට පොදු සමාවක් ලබා නොදී ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් විය නොහැකි බවයි. එසේම ජාතින් අතර සංහිදියාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇත්ත උවමනාවක් තිබේ නම් පළමුව කළ යුත්තේ සියලු දේශපාලන සිරකරුවන් පුර්ණ ලෙස නිදහස් කිරිම බව එහි කැදවුම්කාර සත්‍යවේල් පියතුමා පැවසීය.

ඒ පිළිබදව මෙන්ම ඊයේ(10) දිනට පෙර එම සිරකරුවන් නිදහස් කරන බවට පොරරොන්දු වූ ආණ්ඩුව එසේ නොකළ හෙයින් ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලය වෙත පෙත්සමක් බාර දෙමින් ද ඔවුන් පවසා සිටියේ ‘සංහිදියාව පිළිබදව ඇත්ත වුවමනාවක් ඔබට තිබේ නම් මෙසේ රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්න‘ යන්න යි.

යළි බන්ධනාගාරයට

1

222

මෙම දේශපාලන රැදවියන් පදිංචිය තහවුරු කිරීමේ ලේඛන ඇතුළු අධිකරණය විසින් නියම කෙරුනු ඇප කොන්දේසි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත යොමුකර ඇතත්, එම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන්ව මුදාහැරීමට පියවර ගන්නා බව ද සඳහන්ය.

මෙයට අදාල නඩුව විභාගය ලබන ජනවාරි 27 දා යළි කැදවීමට නියමිතය.

නමුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ඔවුන් ප්‍ර‍කාශ කළේ ‘මෙය නීතිමය ප්‍ර‍ශ්නයක් නොවන බවත් මෙය දේශපාලන ප්‍ර‍ශ්ණයක් බවත්, එම නිසා ආණ්ඩුව මේ සමබන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගෙන යහපාලන ප්‍ර‍තිපත්තිය ක්‍රියාවෙන් පෙන්වන්න‘ යනුවෙනි.

මානසික වශයෙන් නැවත සිරගත කිරීමක්

‘ඔවුන්ට කොහෙන්ද සල්ලි, ඔවුන් කොහොමද සති දෙකකට වරක් කොළඹ හෝ වව්නියාවේ ත්‍ර‍ස්ථ විමර්ශන ඒකකයට එන්නේ, කෝ ඔවුන්ට රැකියාවක්, ඔවුන්ට කියන්නේ හොරකම් කරන්න කියලද? ඔවුන‍්ගේ ඥාතීනුත් අන්ත දුප්පත්. මෙකෙන් කරලා තියෙන්නේ මානසික වශයෙන් ඔවුන් ව නැවත වරක් සිරගත කිරීමක්‘ යැයි ඇප කොන්දේසි පිළිබද අදහස් දැක්වූ සත්‍යවේල් පියතුමා වැඩිදරටත් පැවසීය.

උතුරේ හර්තාල්

මෙම දේශපාලන රැදවියන් ට පොදු සමාවක් ලබා නොදීමත් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දීපවාලී දිනයට ප්‍ර‍ථම නිදහස් කරන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව කඩ කිරිම නිසා එයට විරෝධය දක්වමින් එළඹෙන සිකුරාදා උතුරු සහ නැගෙනහිර සියලු ප්‍ර‍දේශවල හර්තාලයක් ක්‍රියාත්මක කර බවට උතුරේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.