සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය. අනෙක මෙවර අයවැයේදී ය.

අනෙක් සියලු පාරිභෝගික භාණ්ඩවල මිළ ඉහල දැමීම පිළිබදව ජනතාව, සංවිධාන සහ පක්ෂ විසින් විවේචන ඉදිරිපත් කළත් මත්පැන් වල මිළ අවිචාරවත් ලෙස ඉහළ දැමීම පිළිබදව තවමත් ලාංකීය සමාජය සාකච්ඡා කරන්නේ නැත.

ඒ සම්බන්ධයෙන් මා විසින් මාගේ ෆේස්බුක් පිටුවේ කෙටි සටහනක් තැබූවේ ඊයේ(23) උදෑසනය.

මේ එම සටහනයි.

”ආණ්ඩුකරන මහත්තුරු දැනගන්න ඕන, බියර්, අරක්කු වැනි දේවලුත් පාරිභෝජන භාණ්ඩ කියලා. නැතිනම් ඒවා පරිහණය කරන්නේ වෙනත් ග්‍ර‍හලෝකවල මිනිසුන් නොවේ. මේ රටේ ම මිනිසුන් බව! මේකට කියන්නේ ඊනියා ශුද්ධවන්තභාවය මතින්(එය දඩමීමා කරගනිමින්) වඩා වැඩියෙන් බදු එකතු කරමින් තමන්ගේ පාලනයේ අයවැය සාර්තක කර ගැනීමට උත්සහ කරන බොහෝ පැරණි, නොදියුණු උපක්‍ර‍මයක්! මෙය දියුණු ලෙස හිතන පුරවැසියන් තේරුම්ගැනීමත් එයට සාධනීය ලෙස ප්‍ර‍තිචාර දැක්වීමත් ඉතා වැදගත්.!(අපි මතක තියා ගතයුත්තේ ‘මේ නොදියිණු උපක්‍ර‍මය භාවිතා කරන ලද්දේ ‘යහපාලනය‘පමණත් නොව, පැවති බොහෝ පාලනයන් මෙය භාවිතා කළා! නමුත් ඔවුන් පෙන්වන්න හදන ඊනියා ශුද්ධවන්ත භාවය නැතිනම් ‘මතට තිත‘ නම් සංඛ්‍යාලේඛන අනුව සාර්ථක වී නැත. සිදු වී ඇත්තේ ඊනියා ශුද්ධවන්තභාවය විසින් පාරිභෝගිකයාගේ ශරීරයට තවත් පැතතකින් හොදටම තඩිබෑමය!”

එයට සෘජු ප්‍ර‍තිචාර දැක්වීමට කිහිප දෙනෙක් එක් වුනත් බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් වන ප්‍ර‍තිචාරය මාගේ පුද්ගලික පණිවිඩ ගොනුවට එක්කර තිබේ.

එම ප්‍ර‍තිචාරවලින් කිහිපයක් පහත පළ කරන්නේ එහි ඇති හිතකර සහ අහිතකර බවට වඩා පාරිබෝජන භාණ්ඩයක් වන මත්පැන් වල මිල අවිචාරවත් ලෙස ඉහළ දැමීම පිළිබද සංවාදයක් දැන්වත් ලංකාව තුළ ඇතිවිය යුතු යැයි වන හැගීමෙනි. (ප්‍ර‍තිචාර මා වෙත පුද්ගලිකව එවා ඇත්තේ ඔවුන් මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට තිබෙන අකමැත්ත නිසා බව හැගී යන හෙයින් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකර අදහස පමණක් පහත දක්වමු)

‘‘..බේබද්දොන්ට වෙන කතා කරන්න දෙයක් මේ අයවැයේ ඇත්තේම නැද්ද..‘‘

‘‘…මත්පැන් පාරිබෝජන භාණ්ඩයක් ලෙස ලංකාවේ සාකච්ඡා නොවන්නේ ඔබ පවසා ඇති පරිදි කුහකත්වය නිසාය. නමුත් ලෝකයේ ශිෂ්ඨ සම්පන්න සමාජවල එය සාකච්ඡා වෙනවා. ලංකාව ඒ අතින් හරිම දුප්පත්. අදවත් මේ සාකච්ඡාව ගැනීම වැදගත්‘‘

‘‘රුසියාවේ ප්‍රාදේශීය පානයක් වූ වොඩ්කා ජාත්‍යන්තර පානයක් ලෙස ඉස්මතු වූයේ ඒ සමාජය කුහක නොවූ නිසයි. කෝ යකෝ සමාජවාදය ගැන කතා කරන අයවත් මේ ගැන කතා නොකරන්නේ ඇයි. කසිප්පු බීමෙන් වන හානිය යම් පමණකට අවම කර ගත හැකිය එය ට යම් ප්‍ර‍මිතිකරණයක් හදුන්වා දුන්නොත්. එක කාලෙක කිතුල් රා වලට එහෙම කලා. නමුත් පස්සේ ඒක නිළදාරීන්ගේ අඩුපාඩු නිසා කෙළවුනා‘‘.

‘‘මේ හලෝ ආණ්ඩුව මේක කරලා තියෙන්නේ, ලංකානේ මිනිසුන්ගේ සෞඛ්‍ය ගැන හිතලා‘‘

‘‘යකෝ අපි බොනවා හැබැයි මේවාට උත්තර දීලා කොහොමද යකෝ පාරේ යන්නේ..‘‘

‘‘ඉතාමත් හොද සාධනීය සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි. හැම දේකටම කෙළවෙන්නේ ලංකාවේ මිනිසුන්ගේ මේ ශුද්ධවන්ත්භාවය නිසයි.‘‘

‘‘දැන් බයියෝ කියයි, අරක්කුවල මිළ වැඩිකලේ මිනිසුන්ගේ ජීවිතය ගැන හිතලා කියලා. ඇයි යකෝ 2009 දී රාජපක්ෂලා බෝම්බ දාලා සමූලඝාතනය කලේ කුකුල් පැටවුද? කියලා අහන්න මිනිස්සු නෑනේ..‘‘

‘‘මේ වගේ සටහනක් දැක්කේ අදම තමයි. හොදයි නේද?‘‘

‘‘මේවත් සමාජයට අවශ්‍ය දේවල්. නමුත් තාමත් ලංකාවේ සමාජය තුළ Drinking Culture එකේ තිබෙන වටිනාකම දන්නේ නෑ. අඩුම තරිම්න් රුබෙයියාට් ගේ කවි කියවන එවුන්වත්, අනික සම්පත් කෝ ජවිපේ, අර හැමදාම චේ සමරන කට්ටිය‘‘

##

පසු සටහනක්

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලංකාවේ එක් පුද්ගලයෙක් වාර්ෂිකව මත්පැන්(Alcohol) ලීටර 2.5 සිට 4.9 දක්වා පානය කරන බවය.(මෙයට නීතිවිරොධී යැයි සැළකෙන මත්ද්‍ර‍ව්‍ය කිසිවක් අඩංගු වන්නේ නැත/ 2010 වාර්තාවක් අනුව) නමුත් වර්මානය වන විට මේ තත්ත්වය තවත් වෙනස් වී ඇත.
3bbd7eba6b043fd8a3819fa2bb9dd9c9_L

ප්‍ර‍මිතිය

සෑම ආණ්ඩුවක්ම මිළ ඉහළ දැමුවාට මත්ද්‍ර‍්‍ය වල ප්‍ර‍මිතිය ගැන සාකච්ඡාවක් මතුකරන්නේ නැත. ආණ්ඩුවක් භාණ්ඩයක මිල ගැන සංවේදී නම් එම භාණ්ඩයේ ප්‍ර‍මිතිය ගැන ද සැළකිලිමත් විය යුතුය. එසේ නොවන්නේ නම් එම ආර්ථික ක්‍රියාවලීය ශිෂ්ඨ ආර්ථික ක්‍රියාවළියක් නොව මංකොල්ලකාරී ආර්ථික ක්‍රියාවළියකි. සත්‍ය ලෙසම ලංකාවේ මත්පැන් වෙළදපොළ මංකොල්ලකාරී වෙළදපොලකි. ප්‍ර‍මිතිය ගැන කිසිදු දෙයක් සොයානොබලන ආණ්ඩුව හිතුමතේ ක්‍රියාකිරිමට වෙළදපොළට අවසර දෙයි. අඩුම තත්ත්වයේ ස්ප්‍රිතු ගෙන ඒමට සිය සගයන්ට අවසර දීම තුළින් එය මනාවට තහවරු වෙයි. පසුගිය රාජපක්ෂ පාලන කාලයේ එැවැනි හොර ස්ප්‍ර‍ිතූ තොග ගනන් හසුවුනේ එම නිසාය. එපමණක් නොවේ තත්ත්වයෙන් බාල බියර්, අරක්කු වැනි මත්පැන් සුළභව වෙළදපොලේ ඇතැම්විට ඉතා අඩු මිලට අලෙවි වේ. ඇතැම් විට ඒවායේ හිමිකරුවන් මංත්‍රීවරැන්ය. රේඩියෝ නාලිකා හිමිකරුවන්ය. නමුත් ඒවා පිළිබද සොයැ බැලීමට පාරිභෝගික කටයුතු පිළිබද අයතනවත්, සුරාබදු දෙපාර්තමේන්තුවවත් දක්වන්නේ ඉතාමත් අඩු උනන්දුවකි. එබැවින් මත්පැන් පානය කරන පුරවැසියන් එහි ප්‍ර‍මිතිය පිළිබදව ආණ්ඩුවෙන් ප්‍ර‍ශ්ණ කිරීම දැන්වත් ආරම්භ කළ යුතුය.

නිවාරණ කටයුතු,

මත්ද්‍ර‍ව්‍ය සම්පූර්ණයෙන් නැති කිරීම පිළිබදව පසුගිය දා සිරිසේන ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් මතු කළේය. එහි දී ජනාධිපතිවරයා මතු කළේ ‘තමන් සූදානම් බවය‘ ඒ සාන්තුවරයෙක් ලෙස සමාජය ඉදිරියේ ඇග බේරා ගන්නටය. ජනාධිපතිවරයා ඇතුලු සියලු දෙනා දන්නා දෙයක් වන්නේ කිසියම් පාරිබෝජන භාණ්ඩයක් කොතරම් ශරීරයට අහිතකර වුවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීම අපහසු බවයි. එයම නැති නම් එයට විකල්පයන් එම සමාජය විසින් සොයා ගැනීම සුළබ කරුණක් වන්නේ ඒ නිසාය.

එැබැවින් මත්ද්‍රව්‍යය වල මිල ඉහල දැමීම මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද කල්පනා කරනවා නම්(ආණ්ඩුව එසේ නැත. ඉහත මා දක්වා ඇති දෙය නැවත කියවන්න) ආණ්ඩුව කළ යුත්තේ නිවාරණ කටයුතු සදහා මුදල් ප්‍ර‍මාණය වැඩි කිරීමය. එහි තත්ත්වයන් පිළිබද සමාජය දැනුවත්කිරිමට වැඩිවැඩියෙන් යොමු වීමය. කිසිදු නිවාරණ කටයුත්තක් පිළීබද සිය අවධානය යොමු නොකර සිය කුණු වසා ගැනීම සදහා මත්ද්‍රව්‍ය වල මිළ භාවිතා කිරීම මගින්‍(මත්ද්‍ර‍ව්‍ය පිළීබද සමාජයේ ඇති නොදියුණු තත්ත්වය මතින්) ආණ්ඩුව ජනතාවට කියන දෙය නම් සිදුවන්නේ නැත.(සංඛ්‍යාලේඛන පරීක්ෂා කරන්න, 1994 දී බියර් බෝතලයක මිල 80කට වැඩි කරන ලදී. නමුත් අද වන විට බියර් බෝතලයක මිල 250 ඉක්මවා ඇත. 1994 වර්ෂයට වඩා 2014 වර්ෂය වන විට 30%ත් වඩා සිය නිශ්පාදන බියර් ප්‍ර‍මාණය වැඩි වී ඇතැයි Lion Brewery (Sri Lanka) සමාගමේ නිළධාරියෙක් පැවසීය.

ඔබේ ප්‍ර‍තිචාර

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබේ ප්‍ර‍තිචාර ඉදිරියටත් මෙහි පළ කිරීමට අප සූදානම් බැවින් ඔබට පහසු ක්‍ර‍මයකට අපට ඔබේ ප්‍ර‍තිචාරය එවිය හැකි අතර එම ප්‍ර‍තිචාර අප පළ කරනුයේ ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ ආචාරධාර්මික මගපෙන්වීම් මත පමණක් බව සලකන ලෙස ඉල්ලා සිටිමු.

‘‘ලංකාවේ කිසිදු ආණ්ඩුවක් මත්පැන්වල මිල වැඩිකරන්නේ ජනතාවට තිබෙන ආදරේ නිසා නම් නොවේ‘‘

Sampath-TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon